728x90 AdSpace

Latest News
Sunday, 28 June 2015

සීගිරි ළඳුන්ගේ පතුරු ගැලවෙන්නේ අවුරුදු 8 ක සිට.... පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානා


සීගිරි ළඳුන්ගේ පතුරු ගැලවෙන්නේ අවුරුදු 8 ක සිට

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානා
සොබා දහමට නතු නොවන කිසිවක් මිහිමත නැත. ලක්වැසියාට හුරු පුරුදු බුදු වදන ‘සබ්බේ සංඛාරා අනිච්චා’ යන්නයි. රුසිරිමත් සීගිරි ළඳුනට ද එය පොදු ය. කලාකාර්යයන් අතර චිත්‍ර කලාව යනු ඉතා සියුම් නිර්මාණ කාර්යයකි. සිතුවමක කල් පැවැත්ම රඳා පවතිනුයේ ඒ සඳහා භාවිත කරනු ලබන වර්ණක හේතු කොට ගෙන ය. ලංකාවේ සිත්තරුන් අතීතයේදී වර්ණ සකසා ගැනීම සඳහා ශාකමය ද්‍රව්‍ය භාවිත කර තිබේ. පසුකාලීනව සාදිලිංගම් වැනි ද්‍රව්‍ය ඉන්දියාව වැනි රටවලින් ආනයනය කර තිබේ. සීගිරි සිතුවම් හි ඇති දීප්තිමත් වර්ණ සකසා ගැනීමට පොළොවෙන් ලබාගත් රතු සහ කහ වර්ණක ද හුණු ද භාවිත කර ඇත. නිල් සහ කොළ පැහැය සඳහා ඇෆ්ගනිස්තානයෙන් ආනයනය කරන ලද අර්ධ මැණික් භාවිත කර තිබේ. ඛනිජ ද්‍රව්‍ය භාවිතයෙන් සකසා ගත් වර්ණ හිරු එළිය හෝ වෙනත් පාරිසරික හේතුන් ගේ බලපෑමෙන් දුර්වර්ණ නොවේ. මේ හේතුවෙන් වසර 1500 පමණ පැරැණි සීගිරි සිතුවම් අදත් මන බඳී.
ඒ මන බඳිනා රුසිරු ළඳුන් සහිත සිතුවම්හි පතුරු ගැලැවී යාමක් වාර්තා වී ඇත. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසන පරිදි සීගිරි සිතුවම්හි පතුරු ගැලැවී යාම අදින් වසර 8 කට පෙරදි ගන්නා ලද ඡායාරූපයන්හි ද දක්නට ලැබේ. එහෙයින් මෙය අලුත් සංසිද්ධියක් නොවේ. එහෙත් අධ්‍යක්ෂ ජනරාල් වරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්ෂණ අංශය හා ප්‍ර‍මාණවත් දැනුමැති පිරිසක් එම සිතුවම් නිරීක්ෂණය සඳහා පිටත්කර යැවීමට කටයුතු යොදා ඇති බව පවසයි. මෙසේ ගැලැවී යන්නේ සීගිරි සිතුවම් හි මුල් වර්ණක බව ද හෙතෙම පවසයි.
සීගිරි සිතුවම්හි පතුරු ගැලැවී යාම අදින් වසර 8 කට පෙර සිට හෝ මාසයකට පෙර සිදුවූවක් නොවේ. ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ පළාත් ඉංජිනේරුවරයාව සිටී. ඒ. මරේ මහතා විසින් ලණු හිණිමඟ දිගේ පර්වත කෙවෙනිය වෙත ළඟාවී ට්‍රේසින් කොළ මතට පැස්ටල් භාවිතයෙන් චිත්‍ර 13 පිටපත් කර ට්‍රේසින් කඩදාසිය ඉවත් කර ගැනීමේදී ද සීගිරි සිතුවම් වටා මෙන් ම සිතුවම් මත ද වූ වර්ණ පදාස තීරු හා රාමු ලෙස ගැලැවී ගොස් ඇති බව වාර්තා වී තිබේ.
සීගිරි කුරුටු ගී අනුව (500) පන්සියයක් රූමතියන් සීගිරි පර්වත කෙවෙනි හි සිටියා යැයි වාර්තා වේ. එහෙත් මේ වනවිට වර්ග මීටර් 70 ක පමණ ප්‍රමාණයේ ඉඩක දක්නට ලැබෙන්නේ සිතුවම් 23ක් පමණි.
සීගිරි සිතුවම් අදින ලද හුණු බදාමය දහයියා මතු පිටක් මත යොදා ඇති බව සඳහන් ය. අතීතයේ පර්වත මුදුනෙහි සිතුවම් සහිත හුණු බදාමය වර්ග මීටර් 5600 පමණ පැතිර තිබූ බවට සාධක ඇත.
මානව බලපෑමකින් තොරව සීගිරි සිතුවම් හි පතුරු ගැලැවී යාමට විශේෂ හේතුවක් හඳුනා ගෙන නැත. එහෙත් පවත්නා අධික උෂ්ණත්වය වැනි පාරිසරික වෙනස්වීම් මෙයට හේතුවන්නට ඇතැයි විද්වතුන්ගේ මතයයි. ඒ හැරුණු විට සිතුවම් ඇඳ ඇති කැල්සියම් කාබනේට් ස්තරය ලිහිල්වීම ද මේ සිතුවම් විනාශ වී යාමට හේතු විය හැකි ය.
ජාතික උරුමයන් රැක ගැනීමේ වගකීම හිමි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාරිසරික බලපෑම් අවම කර ගනිමින් අවම මැදිහත් වීමක් මඟින් සංරක්ෂණය කර සීගිරිය අනාගත පරපුර වෙත තිළිණ කිරීමට කැපවී සිටී.
ලංකාව වෙත ලෝකයේ අවධානය යොමු කළ ලෝක උරුමයක් වූ සීගිරිය ලංකාවේ සංචාරක ආකර්ෂණ කලාප අතරින් ප්‍රධාන වේ. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කළමනාකරණය කරන සීගිරිය එම ආයතනයට වාර්ෂිකව ඉහළම ආදායම් ලබාදෙයි‍.
එහෙත් සීගිරි කැටපත් පවුරේ හා සිතුවම්හි නඩත්තුව සංරක්ෂණය හා ආරක්ෂාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දරයි. ඒ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල උපයන ආදායමෙන් 25% ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට නියමිතවේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ප්‍රිශාන් ගුණවර්ධන පවසන පරිදි පසුගිය පොසොන් පෝදා සීගිරිය නැරඹීමට පැමිණි දේශීය සංචාරකයන් ගණන 15000 පමණ වේ. මහජනයා ගේ දහදිය ප්‍රාශ්වාස වාතය ගල්වන ලද විලවුන් ආදිය හේතු කොට ගෙන සිතුවම් හානියට ලක්විය හැක.
එබැවින් සීගිරිය නැරඹීමට පැමිණෙන ජනයා හැකි පමණ සිතුවම් වලින් ඈත් කර තැබීමට ක්‍රමවේදයක් සකස් කිරීම යෝග්‍ය වේ යැයි ආචාර්ය ප්‍රිශාන් පවසයි. චිත්‍ර සංරක්ෂණය සඳහා ස්ථිරව අයෙකු සිටිය යුතු බව ද විනාශ වූවාට පසු සංරක්ෂණය කිරීම වෙනුවට දෛනිකව සංරක්ෂණය හා කළමනාකරණය කළ හැකි ක්‍රමවේදයක් සැකැසීම ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය බව පවසන ආචාර්ය ප්‍රිශාන් ගුණවර්ධන සීගිරිය සඳහා එවන් කළමනාකරණ ක්‍රමවේදයක් ඉක්මනින් ම සකස් කළ යුතු බව ප්‍රකාශ කර සිටී.
සීගිරි සිතුවම් මෙන් ම තිවංක පටිමාඝරය ලංකා තිලකය ථූපාරාමය වැනි ස්ථාන‍යන් හි සිතුවම් ද මහනුවර යුගයේ චිත්‍ර ද දෛනිකව කළමනාකරණය කරමින් අනාගත පරපුර වෙත උරුම කරදීම මඟින් සිංහල චිත්‍ර ශිල්පියා ගේ නිර්මාණකරණ කුසලතාව අනාගත පරපුරට ද හඳුනාගැනීමට අවස්ථාවක් උදාවේ.
මේ වන් ක්‍රියාදාමයක් සඳහා යෙදවීමට ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙන් ම මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ද නොමැත. මානව සම්පත් දියුණු කිරීමේ ක්‍රමවේදයක් මේ ආයතන තුළ නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. ඒ හේතුවෙන් 1998 වසරේ සිට නිසි ලෙස උසස් වීම් ලැබී නැත. ඒ තත්ත්වය හේතු කොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පමණක් අධ්‍යක්ෂ තනතුරු 12 ක් හිස්ව තිබේ.
අපේ උරුමය අනාගත පරපුර වෙනුවෙන් රැක බලා ගන්නා ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි.
ජාතික උරුමය අනතුරට පත්වීම යනු ජාතික ප්‍රශ්නයකි‍. එබැවින් මේ ආයතන සඳහා අවශ්‍ය සේවක ‍සංඛ්‍යාව බඳවා ගනිමින් උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා වගකිව යුත්තන් අවධානය යොමු කළ යුතුව ඇත‍.
එසේ නොවුණු කල ක්‍රි.ව‍. 477 සිට 495 දක්වා ලංකාවේ රජ පැමිණි පළමු කාශ්‍යප රජුගේ නාමය හා අවියෝජනීයව බැඳී ඇති රුසිරුබර සීගිරි ළඳුන්ගේ නාමය මෙන් ම ලාංකේය ජනයාගේ අතීත ශ්‍රී විභූතිය පිළිබිඹු කරන උරුමයන් ද අපට අහිමි වී යනු ඇත.
ප්‍රා‍ග් ඓතිහාසික ප්‍රෝ‍ටෝ ඓතිහාසික මෙන් ම ඓතිහාසික වැදගත්කමකින් යුත් සීගිරිය ආරක්ෂා කරගැනීම අප කාගේත් වගකීමයි.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සීගිරි ළඳුන්ගේ පතුරු ගැලවෙන්නේ අවුරුදු 8 ක සිට.... පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානා Rating: 5 Reviewed By: Unknown