728x90 AdSpace

Latest News
Thursday, 13 August 2015

අසියානු අධිවේගී මාර්ගයේදී හමුවන ලෝක ථෙරවාදී බුදුදහමේ අග නගරය අනුරාධපුරය


ගෝලීයකරණයට සමාජ වෙනස්‌කම් ඇති කිරීම සඳහා දේශසීමාවන් අභිභවා යමින් ක්‍රියාත්මක වීමට හැකි බව ඉතා පැහැදිලිය.
ගෝලීයකරණය නූතන සමාජයන් මෙන්ම පෘථිවියේ පැරණි ස්‌වදේශික ප්‍රජාවද ඇතුළුව විවිධ සංස්‌කෘතීන්ද ඒ ඒ රටවල දේශීය වෙළෙඳ පොළවල්ද එකට යා කිරීමට සමත් වී ඇත.
එම නිසා දේශසීමා හරහා වන වෙළෙ¹ම, ආයෝජන මූල්‍ය ප්‍රාග්ධනය, අපනයනය සඳහා සුවිශේෂී කලාප බිහිවීම සංවර්ධන සැලසුම් සහ නොයෙක්‌ මාදිලියේ නවීකරණයන් වඩා පුළුල් වීමත් සමග ජාතික ආර්ථිකයන් වඩ වඩා ඒකාබද්ධ වී ක්‍රියාත්මක වී ඇත.
රට, රටවල් අතර ආර්ථික වශයෙන් එකිනෙකා මත ර¹ පැවැත්මේ තත්ත්වය වර්ධනය වීමත්, ඒ ඒ රටවල දේශීය වෙළෙඳ පොළවල් එක්‌ ගෝලීය වෙළෙඳපොළක්‌ ලෙස ඒකාබද්ධ වීමත්, දේශසීමා හරහා සිදුවන භාණ්‌ඩ හා සේවාවන් පිළිබඳ වෙළෙඳ ගනුදෙනු ප්‍රමාණයන්ගේ විවිධත්වයේ වැඩිවීමත් යනු භාණ්‌ඩ හා සේවාවන්ට හොඳ ඉල්ලුමක්‌ බිහිවීමය.
ගෝලීයකරණය හේතුවෙන් පෘථිවිවාසීන් එකිනෙකාට සමීපවීම වඩා පහසු කර ඇත. අනෙක්‌ අතට ආර්ථික, සමාජයීය. දේශපාලනික, තාක්‍ෂණික, විද්‍යාත්මක, ආගමික සංස්‌කෘතික සබඳතා වඩා පළල් වී ඇත. ඒ අනුව ගෝලයේ පොදු ජනතාව ඒකාබද්ධවීමත්, ජාතික වෙළෙඳ පොළවල් ගෝලීය වෙළෙඳ පොළට ඒකාබද්ධ කිරීමත්, තොරතුරු තාක්‌ෂණය හරහා නිරන්තරයෙන් නව්‍යකරණයට ලක්‌වන විද්‍යාත්මක හා අධ්‍යාත්මික චින්තනයක්‌ ලොව පුරා පැතිරී යැම බලවත් වී ඇත. අනෙක්‌ අතට ලෝකය එකම වහලක්‌ යටතට පැමිණ ඇති හෙයින් ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් තව තවත් ප්‍රසාරණය වන අතරේම මානව හා මූලික අයිතිවාසිකම්ද ඉතා කඩිනමින් ලෝක ප්‍රජාව සිසාරා වර්ධනය වෙමින් ඇත.
පූර්ව කාර්මික සමාජය වෙනස්‌ වූයේ හෙමිහිට නිසා එකල ජීවත් වූවන්ට, සිදුවූ සමාජ පරිවර්තන සැහැල්ලු ලෙස දැනගැනීමටත්, ඊට අනුවර්තනය වීමටත් හැකි විය. ඔවුනට ජීවිතයේ කුඩා කල උගත් දේ මුළු ජීවිතයටම ප්‍රමාණවත් සේ දැනිණි.
මේ අනුව අධ්‍යාපනය බොහෝ කලක්‌ තිස්‌සේ යොදාගනු ලැබුයේ වෙනස්‌ නොවන, ස්‌ථාවර ස්‌වරූපයේ සමාජයක නිශ්චිත ඉගෙනුම් කුසලතා සහ ගතිගුණ වර්ධනය කර ගැනීම සඳහාය. එහෙත් පසුගිය මෑත දශක කීපය තුළදී අවුරුදු දහස්‌ ගණනක්‌ සිසාරා පැවැති මේ සංසිද්ධිය වේගයෙන් සංස්‌කරණයට ලක්‌ වී ඇත. ඊට හේතුව වනුයේ මානව ප්‍රගමනය ඉතිහාසයේ මේ තාක්‌ නොවූ විරූ පරිදි දැනුම හා වෙළෙඳ පොළ ප්‍රසාරණය වීමයි.
දැනුම ප්‍රසාරණය වේගය කෙතරම් ඉහළ ගොස්‌ තිබේදයත්, 1960 ගණන්වල සිට සෑම අවු. 4-5 කටම වරක්‌ම ලෝකයේ දැනුම් සම්භාරය දෙගුණ තෙගුණ වන බව දැකිය හැකිය.
ප්‍රංශ අධ්‍යාපනඥ පියරේ බර්ටොක්‌ස්‌ ප්‍රකාශ කරනුයේ වර්තමානයේදී පරම්පරාවක පවතින දැනුම එම කාලය තුළදීම 97% කින් නොවටිනා තත්ත්වයට පත්වන බවයි. ඒ අනුව හොඳින්ම පැහැදිලි වනුයේ ගෝලීයකරණයේ වඩා පලදායී පැතිකඩයන් රාශියක්‌ම ඇති බවයි.
ඩේවිඩ් රිකාඩෝ (David Ricardo) ඉදිරිපත් කළ වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය අද සම්පූර්ණයෙන්ම ප්‍රතික්‌ෂේප වී ඇති බව පැහැදිලිය. මක්‌ නිසාද යත් ඔහු ප්‍රකාශ කළේ භාණ්‌ඩ හා සේවාවන්හි වර්ධනයට බලපානුයේ පුද්ගලයකුගේ ශ්‍රමය බවයි. එහෙත් 1970 දී ඔස්‌ටි්‍රයානු ඇමරිකානු ලේඛකයකු, අධ්‍යාපනඥයකු සහ කළමනාකරණ උපදේශකවරයකුද වූ පීටර් ඩෘකර් (Peter Drucker) විසින් එළිදැක්‌වූ The Age of Discontinuity ග්‍රන්ථයෙන් දැක්‌වූ අදහස්‌වලින් පසුව දැනුම් ආර්ථික සංකල්පය ලොව සාකච්ඡාවට බඳුන් විය.
ඔස්‌ටි්‍රයානු ඇමරිකානු ආර්ථික විද්‍යාඥ Pritz Machlup (ෆsරිට්‌ස්‌ මැකල්ප්) විසින් දැනුම් ආර්ථික සංකල්පය වැඩි දියුණු කරන ලදී. අද වන විට ගල් යුගය, (Stone Age), ලෝකඩ යුගය (Bronze Age), යකඩ යුගය (Iron Age) වලින් පසුව වඩාත් ක්‍රියාශීලී වී ඇත්තේ තොරතුරු යුගය (Information Age) බව දැන් ඉතා පැහැදිලිව දක්‌නට හැකියි.
ඒ අනුව වෙඩ්විඩ් රිකාඩෝගේ ශ්‍රමය පිළිබඳ සංකල්පය අහෝසි වී ඊට ආදේශ වී ඇත්තේ දැනුම් ආර්ථිකයයි. දැනුම් ආර්ථිකය නිර්වචනය කරනුයේ, නිෂ්පාදනයේ ප්‍රධාන සාධක වන්නේ තවදුරටත් ප්‍රාග්ධනය, ස්‌වභාවික සම්පත් නොහොත් භූමිය හෝ ශ්‍රමය නොව දැනුම බවයි.
නූතන ලෝක ආර්ථිකයේ ඉතා කඩිනමින් ප්‍රචලිත වී ඇති සහ වඩා කාර්යක්‌ෂම ආර්ථිකයක්‌ වී ඇත්තේ දැනුම් ආර්ථිකයයි. ඕනෑම රටක දැනුම් ආර්ථිකය (Knowlege
Economy) ගොඩනැඟෙsනුයේ ඒ රටේ පරම සම්මත මානව සම්පත මතයි.
වර්තමාන තොරතුරු යුගයේදී (Information Age) ගෝලීයකරණය වඩා ක්‍රියාශීලී වී ඇත. මීට දශකයකට පෙරදී ගෝලීයකරණය, වෙළෙඳ පොළ හරහා සියලු දේශසීමාවන් අභිභවමින් ප්‍රගමනය විය.
අද වන විට ගෝලීයකරණය වෙළෙඳ පොළ පමණක්‌ නොව සෑම පුද්ගලයකුම වෙත සමීප වී ඇත්තේ ජංගම දුරකතන මගිනි.
සැබැවින්ම නූතන තොරතුරු යුගයේ ලෝකවාසී සියලු පුද්ගලයන් ගෝලීයකරණයේ සක්‍රිය සාමාජිකයන් වී ඇත. එම නිසා ගෝලීයකරණයට ඇතුළු වී ගෝලීයකරණයේ යහපත් හා වටිනාකම් රටේ පොදු ජනතාවට ලබාදීමට ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය පෙරමුණ ගත යුතුයි.
එසේ කිරීමට තව දුරටත් අප ජාතියක්‌ වශයෙන් අපොහොසත් වුවහොත් රට ආපස්‌සට යනුයේ වසර 100 ගණනකිනි. කාර්මික විප්ලවයෙන් පසුව නැවත ලෝකය වෙනස්‌ වූයේ විමර්ශන තොරතුරු තාක්‌ෂණ යුගයේදීය. නමුත් තොරතුරු තාක්‌ෂණ මුල් යුගයේදීම අපේ රට ගියේ රාජාණ්‌ඩු ක්‍රමයටය. එසේ නැතහොත් ආපස්‌සටය. එම නිසා රටට අනාගතයෙන් ලබා ගැනීමට තිබූ බොහෝ ජයග්‍රහණ අපට අහිමි වී ඇත.
රට පුරා යටිතල සංවර්ධනයට අදාළ මාර්ග පද්ධතිය අතිශය අක්‍රමිකතා හමුවේ ඉදිකර ඇතත් රටටත්, ජාතියටත්, අනාගත පරපුරටත්, අනාගතයට යාමට අවශ්‍ය පාරක්‌ තවම පෙනෙන තෙක්‌ මානයේ නැත.
ආසියානු මහා මාර්ගය හරහාද අපේ අනාගතයට පාරක්‌ නිර්මාණය කිරීමට හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 2005 මහ මැතිවරණයේ ඉදිරිපත් කළ එතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී මේ පිළිබඳව අදහස්‌ දක්‌වා තිබිණි.
ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ දිවෙන ආසියානු මහා මාර්ගයට සහක්‍රියාදාමයෙන් ක්‍රියාත්මක වන යෝධ ව්‍යාපෘති 40 වැඩි ගණනක්‌ එහි යෝජනා කර තිබිණි.
අනුරාධපුර නගරය ලෝක ථෙරවාදී බුදුදහමේ ගෝලීය ප්‍රධාන නගරයක්‌ බවට පත් කිරීම එතුමන්ගේ එක්‌ වටිනා අදහසකි. මක්‌ නිසාද යත්, ඉංගී්‍රසි ආණ්‌ඩුව විසින් 1819 නොවැම්බර් 18 වන දින නිකුත් කරන ලද ආඥවට අනුව ඉංගී්‍රසි ආණ්‌ඩුවේ අවසර නොමැතිව රට වැසියන්ට බෞද්ධ සිද්ධස්‌ථානවලට ඉංගී්‍රසි ආණ්‌ඩුවේ ඒජන්තවරයා හෝ ආදායම් කොමසාරිස්‌වරයාගේ කාර්යාලයේ ලියාපදිංචි කරන ලෙසටද නියෝග කර තිබිණි.
ඉන් පසුව 1856 අංක 03 දරන විහාර දේවාලගම් පනත 1/856 අංක 10 දරන පනත ආදී වශයෙන් උක්‌ත පනත් සංශෝධනය කරමින් බෞද්ධ සිද්ධස්‌ථානවලට අයත් ඉඩම් කඩම් තමන්ගේ පාලනයට යටත් කර ගැනීමට ක්‍රියා කර ඇත.
ක්‍රි.පූ. 250-210 රජ කළ දේවානම්පියතිස්‌ස රජ සමයේදී මහමෙව්නා උයන සම්පූර්ණයෙන්ම අනුරාධපුර මහා විහාරයට පූජා කර ඇත. නමුත් 1872 නොවැම්බර් 20 වන දින අංක 88737 දරන ඔප්පුව අනුව අනුරාධපුර අටමස්‌ථානයට අයත් ඉඩම් ප්‍රමාණය අක්‌කර 43 රූඩ් 03 පර්චස්‌ 02 කි. ඒ අනුව පැහැදිලි වනුයේ ඉංගී්‍රසි ආණ්‌ඩුව බෞද්ධ සිද්ධස්‌ථානවලට අයත් දේපළවලට කර ඇති බලපෑමයි. ඉන් නොනැවතුණ ඉංගී්‍රසි ආණ්‌ඩුව 1911 ජනවාරි 27 වන දින ලංකා යටත්විජිත ආණ්‌ඩුව විසින් නිකුත් කරන ලද ගැසට්‌ නිවේදනයකින් අපේ රටේ පළමු බෞද්ධ විහාරය වන මිහින්තලා පූජාභූමියෙහි අක්‌කර 02 යි රූඩ් 1 යි පර්චස්‌ 35 හැර ඉතිරි වූ සේල චෛත්‍ය, මළුව, නාගපොකුණ, මිහිඳු ගුහාව ආදී සියල්ල ඇතුළත් භූමි භාගය මුඩුබිම් පනතට අනුව ආණ්‌ඩුවට පවරා ගන්නා ලදී.
1933 දී ඩී. එස්‌. සේනානායක, මැතිඳුන් රටේ කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් ඉංගී්‍රසි ආණ්‌ඩුවේ මුඩුබිම් පනත අහෝසි කොට දේවානම්පියතිස්‌ස රජ බුදු සසුනට පූජා කළ ලක්‌ පොළොවේ ඓතිහාසික බෞද්ධ විහාරය වන මිහින්තලාවම සකල ලෝවාසී බෞද්ධ ජනයාට නැවත නිදහස්‌ කර දෙන ලදී.
ඉන්පසුව 2300 මිහිඳු ජයන්තිය වෙනුවෙන් ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා මිහින්තලාව පූජා භූමියක්‌ වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. අනගාරික ධර්මපාල තුමා, බ්‍රහ්මචාරි වලිසිංහ හරිස්‌චන්ද්‍රතුමා, නීතිඥ බටුවන්තුඩාව මුනිතුමා, නීතිඥ එච්. ඩබ්. ජයවර්ධන මුදලිතුමන් අදාළ මිහින්තලාව බේරාගැනීමට කැපවී කටයුතු කළ සියලු දෙනාම මේ අවස්‌ථාවේ සිහිපත් කිරීම ගරු කටයුතුය.
1940-42 දී ඩී. එස්‌. සේනානායක මැතිඳුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සැලසුම් නිර්මාණය කිරීම සඳහා පැමිණ සිටි බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ලෙස්‌ලි පැටි්‍රක්‌ ඇබර්කෝම්බී. Sir Leslic Patrick Abercrombie සහ බ්‍රිතාන්‍ය ජාතික ක්‌ලිෆර්ඩ් හොලිඩේ (Clifford Hollday) ගෘහ නිර්මාණ ශිල්පීන් අනුරාධපුරයට යොමුකර වර්තමාන අනුරාධපුර නගර සැලැස්‌ම සකස්‌ කළේය. එවකට ඩී. එස්‌. සේනානායක මැතිඳුන්ගේ ආණ්‌ඩුවේ පළාත් පාලන ඇමැතිවරයා වූයේ එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාය.
අනුරාධපුර නගරය ලෝක ඉතිහාසයේ මෙන්ම මානව හා පුරාවිද්‍යාත්මකවද ඉතා වැදගත් ඓතිහාසික බෞද්ධ පූජනීය නගරයකි. වත්මන් පරපුරට මෙන්ම විශේෂයෙන් අනාගත පරපුරට මෙකී අමිල ජාතික උරුමය ආරක්‌ෂා කොට විද්‍යානුකූලව ලෝක ප්‍රමිතීන්ට අනුව සංවර්ධනය කිරීම ජාතික මෙන්ම ගෝලීයවද ඉතා වැදගත් කටයුත්තකි.
අතීතයේදී ලෝකය සිසාරා ථෙරවාදී බුදු දහම ප්‍රචාරණය කළ කේන්ද්‍රස්‌ථානය වූ අනුරාධපුරයේ මහ විහාරය ඇතුළු පැරණි ඇතුළු නුවර වැනි ආගමික සිද්ධස්‌ථාන ඇතුළත් මහමෙව්නා උයනේ අතීත ශ්‍රී විභූතිය යළි පාදා වර්තමානයට උරුම කරදීම වත්මන් පරපුරේ ඉතා තීරණාත්මක වගකීමකි.
ඒ වෙනුවෙන් මහමෙව්නා උයන හා සබැඳි අනුරාධපුර නගරය ථෙරවාදී බුදු දහමේ ලෝක අගනගරය වශයෙන් දියුණු කිරීම ලෝවාසී බෞද්ධයන්ට පමණක්‌ නොව ඉතිහාසයඥයන්ටද, පුරාවිද්‍යාඥයන්ටද, මානව විද්‍යාඥයන්ටද, ඇතුළු ලොව සිසාරා නොයෙක්‌විධ විද්වතුන්ටද, වන්දනා කරුවන්ටද, පොදු සංචාරකයන්ට පමණක්‌ නොව ආගමික සංචාරකයන්ටද (Religious Tourism) මහත් ප්‍රයෝජනවත් වනු ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අසියානු අධිවේගී මාර්ගයේදී හමුවන ලෝක ථෙරවාදී බුදුදහමේ අග නගරය අනුරාධපුරය Rating: 5 Reviewed By: Unknown