728x90 AdSpace

Latest News
Wednesday 12 August 2015

අපේ ඉංගිරීසි සිංගිරීසි





සිංහලයන්ගේ ඉංග්‍රීසි අතර තිබෙන ඇතැම් යෙදුම් හිනා යනසුළු වුණත් ඒවා හරි අපූරුයි. මේ ලක්ෂණය වැඩියෙන් ම දකින්නට ලැබෙන්නේ පොදු ජනයාගේ ඉංග්‍රීසි ව්‍යවහාරයන් අතරයි. එහෙත්, ඒවා එතැනින් පොදු ව්‍යවහාරයට එන එකත් වළක්වන්න බැහැ.
දැන් අපි යමුකො හෝටලේකට. ලංකාවෙ මිනිස්සු හෝටල් කියන්නේ ඉංග්‍රීසි හොටෙල් (hotel) කියන වදනින් අරුත් ගැන්වෙන ස්ථානයට ම නෙමෙයි. ඉංග්‍රීසියෙන් හොටෙල් කියන ස්ථානයේ අනිවාර්යයෙන් ම නවාතැන් පහසුකම් තිබෙනවා. ඒත්, ලංකාවේ කෑම විකුණන්න තිබෙන ඕනෑම තැනකට හෝටලේ කියනවා. සමහර පෙට්ටි කඩවලත් හෝටලය කියා ලියා තිබෙනවා.
පැරණි ජනප්‍රිය ළමා ගීයක මෙවැනි සෙල්ලම් කඩයක් හැඳින්වෙන්නේ සීනිබෝල හෝටලේ කියායි. එය මේ වදන සාහිත්‍යයට එක් වූ අවස්ථාවක්.
කෑමවලට විතරක් නෙමෙයි, ඇතැම් විට බීලා වැඩි වෙලා වමනේ දානකොටත් හෝටල් දානවා කියනවා. බීලා වැඩි වුණාම වෙරි වෙනවා. මේ වෙරි (very) කියන වචනය ඉංග්‍රීසියෙන් ගත් එකක්. වැඩියි කියන එක තමයි අර්ථය. ඉංග්‍රීසි බජාර් භාෂාවේ, එහෙමත් නැතිනම් ගොඩේ ව්‍යවහාරයේ තිබෙන හෙවත් ඩෝප් (dope) කියන වචනයෙන් අරුත් ගැන්වෙන්නේ මත්ද්‍රව්‍ය හෝ නීති විරෝධී මත්පැන්. ඒ වුණත් අපේ මිනිස්සු සීල් අරක්කු බිව්වත් කියන්නේ ඩෝප් එක දානවා කියලයි. සීල් අරක්කු කියන වචනයේ සීල් (seal) කියන්නේ ඉංග්‍රිසි වචනයක්. එයින් අදහස් කෙරෙන්නේ බෝතලේ මූඩිය ආරක්ෂිත ආවරණයකින් යුක්තයි කියන එකයි. ඒ වුණාට ඉතින් සීල් කඩලා මිස් (mix) කරන තැන් ඕනැ තරම් තිබෙනවා. බොනවාට ඩ්‍රින්කෙක දානවා කියනවා. එතකොට ඉතින් ෂැන්ඩි, බයිට් එහෙමත් ඕනැ වෙනවා. මේවා කරන්නෙ ඉතින් ෆන් එකටනේ. හැබැයි ඉතින් බිරින්දෑ හෙවත් වයිෆ් හෙවත් වයිපරේ නම් බොහෝ වෙලාවට මේවාට කැමති නැහැ. එතකොට ගෙදර කචල්. කචල් මොන භාෂාවෙන් ආපු වචනයක් ද? කරච්චල් කියන දෙමළ වදනින් බිඳී ආපු එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට බීපු මිනිස්සු බිරියන්ට පෝරියල් දෙනවා. හැබැයි දෙමළෙන් පෝරියල් කියන්නේ නම් ව්‍යංජනයකට.
“බීපු මිනිහෙක් මට පාට්ටෙකක් දැම්මා.“ පාට්ටෙක දානවා කියන්නේ තර්ජනය කරනවාට. මේක හැදිලා තිබෙන්නේ පාට් (part) කියන වදනින්. මම හිතන්නේ මෙම යෙදුමේ මූලය තිබෙන්නේ රංගන ශිල්පය තුළයි.
අපි කතා කරමින් හිටියේ හෝටල් ගැනනේ. ලංකාවේ හෝටල් කියන්නේ කෑම කඩවලට. ඒ කෑම කඩවල තිබෙන ප්‍රධාන බීමක් තමයි ප්ලේන්ටි (plain tea). මේක ප්ලේන් ටී නෙමෙයි ප්ලේන්ටි. “මට ප්ලේන්ටියක් දෙන්න.“
ටීඑක කියන්නේ කිරි දාපු තේවලට. හැබැයි සීනි නැති වුණොත් එම බීම ම තනිකර සිංහලෙන් කිරි කහට වෙනවා.
හෝටලේ තේ හදන්නාට කියන්නේ ටී මේකර් කියලා. ටී මේකර්වරු ඉල්ලලා පත්තරවල ලුහුඬු දැන්වීම් ද පළ වෙනවා. ඒත්, වතු ක්ෂේත්‍රයේ නම් ටී මේකර් කියන්නේ නිෂ්පාදන කළමනාකාරවරයාට.
උණු වතුරට ඇල් වතුර කලවම් කරපු වතුරට කියන්නේ ඩබල් වතුර. බයිසිකල්වල දෙන්නෙක් යනකොට කියනවා ඩබල් දාලා යනවා කියලා. හමුදාවේ පුහුණුවීම් අතරතුරදී යම් ක්‍රියාකාරකම් වේගයෙන් කරන එකට ඩබල් එකේ කරනවා කියනවා. හමුද‍ා සෙබළු මේ මිලිටරි උපභාෂා ගෙදරට ගෙනැවිත් දැන් සමහරු ඉක්මණින් වැසිකිළි ගොස් පැමිණීමටත් “ඩබල් එකේ බොගක් දැම්මා කියනවා.“ බොග කියන්නේ බොග් (bog) කියන ඉංග්‍රීසි වදනින් හැදුණ සිංහල වචනයක්. ඒත්, ඉංග්‍රීසියේ නම් එය ගඳගහන තැන් වෙනුවෙන් මිස මළ වෙනුවෙන් නෙමෙයි.
හෝටල්වල රයිස් හා බත් කියා කෑම වර්ග දෙකක් තිබෙනවා. රයිස් කියන්නේ ෆ්‍රයිඩ් රයිස්වලටයි. බත් කියන්නේ නිකම් බත්. මේවාට රයිස්සැන්කරි කියලාත් සමහර ටිකක් ‘පොෂ්‘ තැන්වල කියනවා. “බත්ද රයිස්ද ඕනැ?“ කියලා අහන ‘වේටර්ලා‘ ඉන්න හෝටල් තිබෙනවා.
මාළු කරි, මස් කරි එහෙම කියා කියනවා. කරි කුඩු කියාත් ජාතියක් ඉවුම් පිහුම්වලදී පාවිච්චි කරනවා. කරි කියන්නේ දෙමළෙන් ඉංගිරිසියට ගිය වදනක්. හැබැයි කරි කියා වෙනත් ඉංග්‍රීසි වදනකුත් තිබෙනවා. එය මේ වදන සමග සම්බන්ධ නැහැ.
බතුයි රයිසුයි වගේ තවත් යෙදුම් දෙකක් තමයි බයික්කෙක හා බයිසිකලේ. සිංග්ලිෂ්වල බයික්කෙක කියන්නේ මෝටර්සයිකලයටයි. බයිසිකලේ කියන්නේ පාපැදියට.
ටේක් අවේ, පීසා, මෙනූ වැනි යෙදුම් රැසක් කලිනරි (culinary) හෙවත් ඉවුම් පිහුම් ඉංගිරිසියෙන් සිංහලට ඇවිත් තිබෙනවා. හැබැයි, මේ ඇතැම් කලිනරි වදන් ඉංගිරිසියට ආවේ වෙනත් භාෂාවන්වලින්. කලිනරි කියන වදනට ඇතැමෙක් සූප ශාස්ත්‍ර කියනවා. සූප කියන්නේ සුප් නිසා අවසානයේදී ඒ සිංහල වදනත් මිශ්‍ර එකක්. අනෙක කලිනරි කියන්නේ සුප් හදන ශාස්ත්‍රය නෙමෙයි නේ. සූපවේදියා හදන්නේ සුප් විතරක් නෙමෙයිනේ. භෝජන සම්බන්ධ සිංහල භාෂාවේ බරපතල අඩුපාඩු රැසක් තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ ලේඛන සිංහලට පරිවර්තනය කරන්න ගියාම අභියෝග රැසක් මතු වෙනවා.
සිංහලයන්ගේ භෝජන කලාව දැන් බටහිරත් එක්ක සම්මිශ්‍රණය වෙලා. ඒ නිසා කිරිබත් කද්දිත් ටේබල් මැනර්ස් පැටලෙනවා. හෝටල්වල වෙඩිං තිබෙනවා. ඒවා තිබෙන්නේ කෑම ශාලාවක. එතැනම එක කෙළවරක පෝරුව එහෙම තිබෙනවා. තවත් කෙළවරක බෑන්ඩෙක. හැම තැනම මේස තිබෙනවා. ඒවා තිබෙන්නේ භෝජන සංග්‍රහය සඳහා හැඳි ගෑරුප්පු ආදිය කල් තබා සූදානම් කරලායි. අපි උදේ දහයට විතර ගිහින් දවල් එක විතර වෙනකල් අර කෑම මේසවල වාඩි වෙලා, කාන්තාවන්ගේ අත් බෑග් එහෙම පිඟන් අතරේ තියලා කතා කර කර ඉන්නවා. ඊට පස්සේ බුෆේ එකෙන් බෙදාගෙන ඇවිත් අතින් කනවා. බාත්රූම් එකෙන් අත හෝදනවා. මේ සංකර මංගලෝත්සව කරන්නේ සිංහල චාරිත්‍රානුකූලව නැකැත් එහෙමත් බලලායි.
බුෆේ (buffet) කියන්නේ බෙදාගෙන කෑම කන්න තිබෙන කවුන්ටරයක් ඇති කෑමහලටයි. එවැනි කෑමහලක් දුම්රියවලත් තිබෙනවා. හැබැයි, අපේ දුම්රිය මගියෝ ඒ කෝච්චි පෙට්ටියට කියන්නේ බපට්ටෙක කියලායි. “අද කෝච්චියේ සෑහෙන සෙනග. යන්තම් බපට්ටෙකේ තමයි ආවේ.“
මංගල ශාලාවල මේසවල නැප්කින් තිබෙනවා. ඇතැම් සිංහලයන්ට නැප්කින් හා නැපි පැටලෙනවා. පොඩි බබාලාට අන්දවන නැපිවලට සමහරු නැප්කින් කියනවා. ආරියවංශ රණවීර නැපිය සාහිත්‍යයට ගෙනාවේ මෙහෙමයි.
සුදු සුදු නැපි - ඇස හැපි හැපි
බිළිඳකු ඇති - බව පවසති
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අපේ ඉංගිරීසි සිංගිරීසි Rating: 5 Reviewed By: Unknown