728x90 AdSpace

Latest News
Sunday 23 August 2015

බුලතේ වග විත්ති.



උ.ගැ ..හේමන්ත සිල්වා
බුලත් කොළයට දිගු ඉතිහාසයක්‌ ඇත. එසේම ගෞරවනීය උපතක්‌ පිළිබඳ කතාන්දරයක්‌ ඇත. බුලත් ලාලිත්‍යයෙන් හෙබි වැලකි. එය සුවඳවත්ය. දෙවියන් රජුන් පවා සේවිතය. පත්‍රය මතු පිට ඉතා සිනිදුය. සිංහලයාගේ පමණක්‌ නොව පොදුවේ පෙරදිග වැස්‌සන්ගේ ගෞරවාදරයට බදුන්වන නාගයකුගේ පෙණයේ හැඩයෙන් බුලත් කොළය උපකල්පිතය. බුලතෙහි ගුණ 13 ක්‌ ගැන හිතෝපදේශයේ සඳහන් වෙයි. විෂ කැවීම, බුලත් කෙළ පහරක්‌ මුහුණට ගැසීම වැනි අවස්‌ථා කිහිපයක්‌ හැරුණු විට බුලත් හැම විටම යොදා ගන්නේ ගෞරවනීය කාර්යයක්‌ හා සම්බන්ධවය. උසස්‌ පුද්ගලයකු වුවද තමාට වඩා පහළ පංතියේ මිනිසකුගෙන් බුලත්විටක්‌ ඉල්ලා ගැනීම ලැඡ්ජාවට කාරණයක්‌ සේ නොසිතයි. පෙර රජුන්ද බුලත් අතක්‌ රැගෙන තමාට වඩා පහත් අය හමුවීමට යාමට සිදු වී තිබේ. එවිට බුලත් අත අල්ලන පැත්ත හා ක්‍රමය වෙනස්‌ වේ.

බුලත හා සම්බන්ධ බොහෝ කාරණාසේම බුලත් දී වැදීම දැනට බොහෝ දුරට සිංහලයා අතරින් අභාවයට යන සිරිතකි. බුදුන්, දෙමාපියන් සිල්වතුන් වැදීම ආචාර විධියක්‌ පමණක්‌ නොව පූණ්‍යකර්මයකි. එවිට එය නාමයක්‌ (නැමීමක්‌) නොවේ. ප්‍රණාමයකි. නාමය ප්‍රණාමයක්‌ වන්නේ නොමැතිනම් ආශීර්වාදයක්‌ වන්නේ බුලත් අතක්‌ සහිතව වැදිමෙනි.

බුලත් හුරුල්ලටද යම් කොළ සංඛ්‍යාවක්‌ තීරණය කළේ නිකමට නොවේ.

බුලත් හුරුල්ලට කොළ හතලිහක්‌ ඇතළත් වේ. මේ සංඛ්‍යාව තීරණය වී ඇත්තේ උසස්‌ සංකල්පයක්‌ මතය. දීඝනිකායේ ලක්‌ඛන සූත්‍රයේ සඳහන් වන පරිදි අසූමහ පුරුෂ ලක්‌ෂණ අනුව බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛය දත් හතලිහකින් සැදුම් ගනී. උන්වහන්සේ තමන්ගේ ශ්‍රී සද්ධර්මය දේශනා කළේ ඒ ශ්‍රී මුඛයෙනි. ඒ උතුම් ධර්මයම දත් සතලිහේ ස්‌පර්ශය ලැබුණු වග වෙසෙසින් නොකිව මනාය. ඒ සංසිද්ධිය සංකේතවන්නේ බුලත් හුරුල්ලට බුලත් කොළ හතලිහක්‌ තැබීමෙනි. උඩුඇන්දේ දත් විස්‌සක්‌ හා යටි ඇනදේ දත් විස්‌ස සංකේතවත් වන ලෙසට හෙප්පුවේ තබා බුලත් හුරුල්ල පිළිගන්වන්නේ ගොඩවල් දෙකක්‌ ලෙසටය. පෙනෙන සේ ඇසිරීමෙන් බුලත් හුරුල්ල පිළිබඳ මේ ගෞරවනීය පිළිගැනීම ගැන සඳහන් වන්නේ මුඛ පරම්පරා ගත ව්‍යවහාරයෙනි.

මේ අවුරුදු සමයේ භික්‌ෂුන් වහන්සේට දෙමාපියන්ට වැඩිහිටියන්ට බුලත් හුරුලක්‌ දී වැදීම අර්ථ සම්පන්න බව මේනයින් අවබෝධ කරගත හැකිය. වැදුම් ලබන්නා හා වඳින්නා අතර බැදීම පිළිබඳ සාක්‌ෂ්‍යයට සංකේතයක්‌ වන්නේ බුදුන් වදාළ ධර්මයයි. එම ධර්මයේ බලයෙන් වැදුම් ලබන්නාත් වඳින්නාත් අතර සුහදතාව වර්ධනයත් මෙයින් අපේක්‌ෂිතයි. අවුරුදු සමයේ වැදුම් ලබන, වදින සියල්ලටම උදාවන්නේ බුදුන් සරණ සහිත යහපත් වාතාවරණයකි.

Ajith Jayawardana
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බුලතේ වග විත්ති. Rating: 5 Reviewed By: Unknown