728x90 AdSpace

Latest News
Monday, 10 August 2015

සුවගෙනෙන, රුව වඩන, යෝගාසන

කාලයත් සමග වේගවත් ව ඉදිරි ගමනක යෙදෙන මිනිසා නවීන විද්‍යාවේ හිනිපෙත්තේ සිටිය දී වුව ද සියවස් ගණනාවක් ඉපැරණි විද්‍යාවන්, තාක්ෂණ ශිල්පීයක‍්‍රම, සෞන්දර්ය කලා ශිල්ප, නිපැයුම්, වෛද්‍ය ක‍්‍රමවේද හා භාවිතාවන් කෙරෙහි ද සමගාමී ගවේෂණයක යෙදීම අවධානයට යොමු කළ යුතු කාරණයකි. කායික හා මානසික වශයෙන් නවීන තාක්ෂණයේ සාක්ෂිකරුවකු වී සිටින නූතන මානවයා එම විලංගු වලින් මිදී ඉදිරි පියවර තැබිම සදහා ස්වභාවධර්මය හා ඒකාබද්ධ ව පසුතලය සකසා ගැනීමේ අඛණ්ඩ උත්සාහයක යෙදී සිටි. එහි දී ‘‘සොබාදහමට එරෙහි ව කිසිවක් නො පවතින්නේ ය’’ යන සංකල්පය යථාර්ථයක් බවට පත්කරමින් තම ජීවිතයට ස්වභාවික දේ ලංකර ගැනීමට දරන උත්සාහයේ ප‍්‍රවණතාවක් දක්නට ලැබේ. සොබාදම් නිපැයුම් අතරින් වසර දහස් ගණනකට පෙර ඉන්දීය අර්ධද්වීපයේ සම්භවය ලද ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය කෙරෙහි සමස්ත ලෝකයෙහිම මූලික අවධානය යොමු වී තිබිම මෙහි දී සුවිශේෂි ව සදහන් කළ යුතු ය. ඇලෝපති වෛද්‍ය ක‍්‍රමයේ ආරම්භය, වර්ධනය හා ව්‍යාප්තිය හමුවේ පසුබෑමකට ලක් ව පැවති මෙම වෛද්‍ය ක‍්‍රමය නැවතත් ඉතා වේගයෙන් ලොව පුරා ප‍්‍රචලිත වෙමින් පවති. එයට හේතුව ලෙස දක්නට ඇත්තේ නවීන තාක්ෂණයේ දියුණුවත් සමගම සිදුවන පාරිසරික කායික, මානසික වෙනස්කම් හේතුවෙන් ඇති වන්නාවූ අහිතකර බලපෑම් වලට එතුළින්ම සොයාගන්නා ප‍්‍රතිකර්ම වල සඵල්‍යතාවය අපේක්ෂිත මට්ටමේ නො පැවතිම හා එය ඇතැම් අවස්ථාවල දී අනපේක්ෂිත ප‍්‍රතිඵල ලබා දීමත් ය. එම නිසා ආයුෂ පිළිබ`දව විද්‍යාව ලෙස හදුන්වන ආයුර්වේදයේ ස`දහන් ස්වාභාවික ප‍්‍රතිකර්ම කෙරෙහි පර්යේෂකයාන් ද අවධානය යොමු කර තිබෙනු දක්නට ලැබේ.
තව ද කාර්ය බහුල ජීවිතය තුළදීම කායික හා මානසික සහනය අත්විදීමට සෑම කෙනෙක්ම පාහේ වැඩි රුචිකත්වයක් දක්වති. එහි දී ලොව අන් සියලූ දෙයෙහි දි මෙන්ම වෛද්‍ය ක‍්‍රමවේද හා භාවිතාවන් අතර තියුණු තරගකාරීත්වයක් ඇතිව තිබේ. ඒ අතරින් තම දෛනික ජීවිතයට පහසුවෙන් හා ආර්ථීකයට බලපෑමක් නොවි ලගාකරගත හැකි මාධ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමුවීම ස්වභාවික ය. ඒ අනුව කායික මානසික ස්වස්ථතාවය උපරිමයෙන් හා පහසුවෙන් ලගාකරගත හැකි යෝග අභ්‍යාස පෙරමුණ ගනිමින් සිටී. භාරතයේ සෘෂි භාවිතයෙන් පැවත එන යෝග අභ්‍යාස කායික හා මානසික යන දෙයාකාරයෙන්ම බලපවත්නාවූ, ස්වායුතත්වය යටතේ සිදු කරනු ලබන ක‍්‍රියාකාරකම් සමුදායකි. ශාරිරික සුවතාව හා මානසික ඒකාග‍්‍රතාව ඇති කිරීම එහි ප‍්‍රමුඛ පරමාර්ථය වේ. යෝග ශාස්ත‍්‍රය ප‍්‍රධාන වශයෙන් කාණ්ඩ 4 කට වර්ගීකරණය කෙරේ. භක්ති යෝග , කර්ම යෝග, ඥාන යෝග හා හඨ යෝග ලෙස එය දැක්විය හැක. කෙසේ වුව ද මෙම යෝග අභ්‍යාස කිරීම ස`දහා මනා පුහුණුවක් හා කැපවීමක් අවශ්‍ය වේ. එහෙත් කාර්ය බහුල මිනිස් සමාජය අපේක්ෂා කරනුයේ එම කාර්ය බහුල දෛනික ජීවන රටාවට අන්තර්ගත කරගත හැකි සරල අභ්‍යාසයන් ය. එබැවින් යෝග අභ්‍යාසවල උගැන්වෙන ‘‘සූර්ය නමස්කාරය’’ ඒ ස`දහා ඉතා යෝග්‍ය වේ. මන්ද පහසුවෙන් හා ඉක්මනින් ද, ආර්ථීක පිරිවැයකින් තොරව ද පුහුණු වී පවත්වාගෙන යා හැකි සරල ව්‍යායාම පියවර 12 කින් එය සමන්විත වන බැවිනි.
සූර්ය නමස්කාරය යනු සූර්ය දෙවියන් වෙනුවෙන් සිදුකරන වන්දනා ක‍්‍රමයක් ලෙස ද අර්ථ ගැන්වෙන අතර එය යෝග අභ්‍යාසයක් ලෙස පුරුදු පුහුණු වීම තුළින් කායික මානසික සුවය ලගාකරගත හැක. එනම් සූර්ය නමස්කාරය ආසන හා ප‍්‍රාණායාම යන දෙයාකාරයෙන් එනම් ශාරිරික ක‍්‍රියාකාරකම් හා ශ්වසන ක‍්‍රියාකාරකම් වලින් සමන්විත පරිපූණ_ ක‍්‍රියාකාරකම් මාලාවකි. ප‍්‍රාණායාම හෙවත් ශ්වසන ව්‍යායාම මගින් ශරිර අභ්‍යන්තරයට ගනු ලබන ඔක්සිජන් මගින් ශ්වසන පද්ධතියේ හා රුධිර සංසරන පද්ධතියේ ක‍්‍රියාකාරිත්වය වැඩි කරයි. ඒ තුළින් රුධිරය පිරිසිදු කිරීමේ කාර්ය මනාලෙස සිදු කෙරේ. පටක වලට ඔක්සිජනීකෘත රුධිරය මනාලෙස ලැබිමෙන් ඒවායේ මනා පැවැත්මක් ඇතිකෙරේ. එසේම ආසන පුරුදු පුහුණු කිරීම තුළින් ශරිරයේ ශක්ති දහනය ක‍්‍රමවත් ව සිදුවීමෙන් ශරිරයේ තැන්පත් ව ඇත්තාවු මේද කොටස් දහනයෙන් ශක්තිය නිෂ්පාදනය කෙරේ. එතුළින් ශරිර පටක වල අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීම පාලනය වේ.
සූර්ය නමස්කාරය බොහෝ විට සිදුකරන්නේ උදෑසන සූර්යයා වෙනුවෙන් වන නමුත් සන්ධ්‍යාවේ වුව ද සිදු කිරීම වරදක් නොවේ. ඉතා පහසුවෙන් සිදුකළ හැකි පහත දැක්වෙන ආකාරයේ සරළ පියවර කිහිපයකින් යුතු මෙම අභ්‍යාසය දිනකට විනාඩි 20 - 30 කාලයක් සිදු කිරීම ප‍්‍රමාණවත් ය. අතුරු ආබාධ ඇති නො කරන්නාවූ සූර්ය නමස්කාර යෝග අභ්‍යාසයේ යෙදුම මගින් අම්ල පිත්ත (බඬේ දැවිල්ල) , අතිස්ථෞල්‍ය හෙවත් අධික තරබාරු බව, රස නො දැනීම, මතක ශක්තිය අඩු වීම, අරුචිය, සන්ධි ප‍්‍රදාහය හෙවත් සන්ධි ඉදිමීම, උණ්ඩුකපුච්ඡු ප‍්‍රදාහය, ඇදුම, තට්ටය පැදීම, කොන්දේ වේදනාව, කුරුලෑ, පීනස, ආහාර ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිත ආබාධ, මල බද්ධය, කැස්ස හා උගුරේ ආබාධ, දියවැඩියාව, පාචනය, කණ_ ආබාධ, මීමැස්මොර, මුඛ දුර්ගන්ධය, හිසරදය, හෘද රෝග, අධික රුධිර පීඩනය, රුධිර පීඩනය අඩුවීම, හර්නියා, මානසික රෝග, ලිංගයේ අප‍්‍රාණිකත්වය, ආහාර අජීර්ණය, සෙම්ප‍්‍රතිශ්‍යාව, නින්ද නො යාම, සෙංගමාලය, වකුගඩු ආබාධ,පාදවල වේදනාව, අක්මාව ආශ‍්‍රිත ආබාධ, ඉරුවාරදය, මාංශ පේෂින්ගේ වේදනාව, ස්නායු රෝග, අංශභාග රෝගය, ආමවාත ජ්වර හෙවත් උණ, දත් කැක්කුම, සෙම්ගෙඩි, ලිංගික බෙලහීනතාව, වන්ධ්‍යාභාවය, අමාශගත හා ගර්භාෂගත පිලිකා ආදි වශයෙන් වූ විශාල රෝග සංඛ්‍යාවකට පිළියම් යෙදිය හැකි ය. බොහෝ විට ඒ පිළිබද ව සැක සංකා මතු විය හැකි වුව ද නවීන වෛද්‍ය විද්‍යාත්මක පරියේෂණයන් තුළින් ද උක්ත කරුණු කාරණා බොහෝමයක් විද්‍යාත්මක ව සනාථ කොට ඇත. එබැවින් බටහිර ලෝකය අද ඉතා සීඝ‍්‍රයෙන් මෙම අභ්‍යාස වෙත නැඹුරුවෙමින් සිටි. මෙහි දී ප‍්‍රධාන වශයෙන් රූපලාවන්‍ය ක්‍ෂෙත‍්‍රය තුළට මෙම යෝග අභ්‍යාස අන්තර්ග‍්‍රහනය කර ගැනීමේ ප‍්‍රවණතාවක් දක්වයි. එයට හේතුව වන්නේ වර්තමාන සමාජය තම බාහිර පෙනුම එනම් තම රූ සපුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමයි.
රූප සටහන්හි දැක්වෙන පියවර අනුගමන කරමින් සූර්ය නමස්කාර ව්‍යායාමයන්හි යෙදීමෙන් ශරිරයේ බර සැලකිය යුතු මට්ටමකින් අඩුකරගත හැක. එනම්, ස්වායු ක‍්‍රියාකාරකම් ශරිරයේ අධික ලෙස තැන්පත් ව ඇති මේදය දහනය කිරීම මගින් BMI අගය එනම් Body mass index නම් දර්ශකය නිසි පරිදි පවතවාගෙන යා හැකි බව පර්යේෂණාත්මක ව තහවුරු කර අත. එමගින් අධික තරබාරුව නැති කර ශරිරයේ මනා හැඩයක් ලබා ගැනීමේ හැකියාව ලැබේ.
මෙම යෝග අභ්‍යාසයන්හි රූප සටහන්හි පෙන්වා ඇති දෙවන, තෙවන, සිවුවන, සත්වන, අටවන, නව වන, දහවන සහ එකලොස්වන පියවරයන් මගින් උදර මාංශපේශීන් හා ඉන පිටුපස මාංශපේශීන් ආතතියට ලක්වේ. එමගින් උදරයේ සහ ඉගටිය ප‍්‍රදේශයේ මස්පිඩු එල්ලා වැටීම පාලනය වේ. එසේම දෙවන, සයවන, සත්වන. අටවන හා එකලොස්වන පියවරයන් මගින් බෙල්ලේ මාංශපේශීන්ට ව්‍යායාම සිදුවන අතර එමගින් බෙල්ලේ මාංශපේශීන් ශක්තිමත් වේ. දෙවන, තුන්වන, සිවුවන, පස්වන, හයවන, හත්වන, අටවන, නව වන, දහවන සහ එකලොස්වන පියවරයන් මගින් බාහුවල මාංශපේශීන් වල එල්ලා වැටීමේ ස්වභාවය පාලනය කෙරේ. වයස්ගත වීමත් සමග බොහෝ විට උඩ බාහුවේ මාංශපේශීන්ගේ ශක්තිමත් භාවය අඩුවීම නිසා ඇතිවන මෙම තත්වයට සූර්ය නමස්කාරය මනා පිළියමකි. එසේම දෙවන, තුන්වන, සිවුවන, පස්වන, හයවන, හත්වන, අටවන, නවවන, දහවන, එකලොස්වන පියවරයන් මගින් පාද වල මාංශපේශීින් සදහා ව්‍යායාම සපයන අතර මෙමගින් විශේෂයෙන් කලවා මාංශපේශි හා කෙණ්ඩා ශක්තිමත් වීම සිදුවේ. එබැවින් සිරුරේ මනා හැඩය පවත්වා ගැනීම සදහා මෙම සූර්ය නමස්කාරය ආසන වලින් මනා රුකුලක් ලැබේ.
එසේම සූර්ය නමස්කාරය ප‍්‍රාණායාම ලෙස හදුන්වන ශ්වසන ව්‍යායාම කාණ්ඩයන්ද සමන්විත වේ. මෙම ශ්වසන ව්‍යායාම මගින්ද උදර හා බෙල්ලේ මාංශපේශීින් ශක්තිමත් වීම සිදුවේ. තවද පපු ප‍්‍රදේශයට ව්‍යායාම සිදු වීමද වේ. ගායකයන් හා සංගීතඥයන් ස්වර අභ්‍යාස වලට මෙන්ම මෙම යෝග අභ්‍යාසයන්ට ද දැඩි උනන්දුවක් දක්වන්නේ එය ඔවුන්ගේ හැකියාවන් ඔප්නැංවීමට රුකුලක් වන බැවිනි. විශේෂයෙන්ම ශ්වසන ව්‍යායාම මගින් රුධිරය පවිත‍්‍ර කිරීම සිදුවන නිසා එය චර්මයට බලපායි. එසේම අහාර ජීර්ණය හා අවශොෂනය නිසි පරිදි සිදුවීම තුළින් පෝෂ්‍ය පදාර්ථ නිසි ආකාරව ලැබිමද ඡවි වර්ණය ප‍්‍රශස්ථ මට්ටමක පවත්වා ගැනීමට මෙය ඉතා වැදගත් වේ. රූපලාවන්‍ය ගැන කථා කිරීමේදී මානසික සුවතාව ඉතා වැදගත් වේ. මානසික පීඩනය රෝග රැසකට මුල්වන අතර එමගින් පුද්ගල පෞරුෂයටද හානි පමුණුවයි. මානසික පීඩනය, හිසකෙස් යාම, තට්ටය පෑදීම. මුහුණේ කුරුලෑ ඒම, කළු පැල්ලම් ඇතිවීම, ඇස්යට කළුවීම, මුහුණේ මාංශපේශීන් එල්ලා වැටීම ආදී වූ රුව අවලස්සන කරන්නා වූ කරුණු කාරණා වලට මග පාදයි. යෝග ව්‍යායාම මගින් ඇති කරන මානසික ඒකාග‍්‍රතාව තුලින් ඉහත තත්වයන්ට පිළියම් සැපයේ. තවද මෙම අභ්‍යාස වල නිරත වීමේදී ආහාර අරුචිය නැතිවන අතර ආහාර මනා ලෙස පරිපචනය වන නිසා පෝෂ්‍ය පදාර්ථ පටක වලට නිසිපරිදි ලැබේ. ඒ තුලින් ඒවායේ මනා පැවැත්මක් ඇතිවන අතර වයසට යාම නම් වන මිනිසා විසින් පාලනය කිරීමට ඉමහත් වෑයමක් දරන්නා වූ ස්වාභාවික සංසිද්ධිය බොහෝ දුරට පාලනය කිරීමේ හා ප‍්‍රමාද කිරීමේ හැකියාව ලැබේ. එමගින් සෑම මනුෂ්‍යයකුම දැඩි ඇල්මක් දක්වන තාරුණ්‍යයේ රූප කාය හා මානසික ශක්තිය නිරෝගිව දිගු කලක් පවත්වා ගැනීමට හැකිවීම දායාදයක් ලෙස සැලකිය හැකිය.
එසේ හෙයින් රෝග නිවාරනයත්, නිරෝගී භාවය සුරැකීමත්, තුලින් සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් ගත කිරීම සදහා තම දෛනික චර්යාවන් අතරට සූර්ය නමස්කාර යෝග ව්‍යායාම පුරුදු පුහුණුකර පවත්වාගෙන යාම පෙර අපර දිග ජාති, ආගම් කුළ හා සංස්කෘතිකමය බාධාවන්ගෙන් තොරවුත් කාලීන වූත් යෝග්‍යතාවක් ලෙස හදුන්වාදිය හැකි ය.
වෛද්‍ය. එම් වයි පෙරේරා
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සුවගෙනෙන, රුව වඩන, යෝගාසන Rating: 5 Reviewed By: Unknown