728x90 AdSpace

Latest News
Sunday 9 August 2015

පෘථිවියේ අලුත්ම නෑයා


"අපේ මිහිකතගේ විශාලතම වයසැතිම නෑයා" සොයාගත් බව පසුගියදා ඇමරිකාවේ නාසා (NASA) ආයතනය ප්‍රකාශ කළේ ආඩම්බරයෙනි. නාසා ආයතනය මගින් අභ්‍යවකාශගත කරන ලද කෙප්ලර් (Keplar) අභ්‍යවකාශ යානය මගින් මෙම නවතම ග්‍රහලෝකය සොයාගත් බව ඔවුන් ප්‍රකාශ කරයි.
අපගේ සෞරග්‍රහ මණ්‌ඩලයට එපිටින් ඇති වෙනත් සෞරග්‍රහ මණ්‌ඩලයක පිහිටි මෙම නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ "Keplar - 452ඉ" ලෙසය. මෙම ග්‍රහලෝකයෙහි ජීවීන් වාසය කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි නාසා (NASA) විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති. ජීවයක්‌ ඇතිවීමට ඇති සියලුම සාධකවලින් මෙම නව ග්‍රහලොව පොහොසත් බවත් මෙවැනි සාධක සහිතව ග්‍රහ ලොවක්‌ හමු වූ ප්‍රථම අවස්‌ථාව මෙය බවත් ඔවුහු ප්‍රකාශ කරති. මේ නිසා අපේ පෘථිවියට දැන් තනියක්‌ නොදැනෙන්නේ යෑයි ද තනියට නෑදෑයකු අප සොයාගත් බව ද ඔවුහු ආඩම්බරයෙන් පවසති.

මෙම නව ග්‍රහලෝකය එනම් Keplar - 452 b පිහිටා ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 1400 කට එපිටිනි. එය අයත් වන්නේ සිග්නස්‌ (Cygnus) නම් තාරකා මණ්‌ඩලයටය. පෘථිවියට වඩා 60% ක විශාලත්වයකින් යුතු මෙම ග්‍රහලෝකයෙහි ගුරුත්වාකර්ෂණ බලය පෘථිවියේ මෙන් දෙගුණයකට ආසන්නය. Keplar - 452 b හි වායුගෝලයේ ඝනත්වය වැඩිය. මේ නිසා එහි මතුපිට ක්‍රියාකාරී ගිනිකඳු පිහිටා තිබිය හැකි බවට විද්‍යාඥයෝ අනුමාන කරති. මෙම ග්‍රහලොවෙහි අවුරුද්දකට, එනම් තම සූර්යයා වටා වරක්‌ භ්‍රමණය වීමට ගතවන කාලය, දින 385 කි. ඉන් අදහස්‌ වනුයේ ඔහුගේ කක්‍ෂය පෘථිවියේ කක්‍ෂය හා ආසන්න වශයෙන් සමාන බවයි. මෙම ග්‍රහලෝකය නිර්මාණය වී දැනට වසර බිලියන 6 ක්‌ පමණ කාලයක්‌ ගතවී ඇති බව ද සොයාගෙන ඇති විද්‍යාඥයෝ මේ සියලු කරුණු ජීවයක්‌ පැවතීමට ඉවහල් වන බව ප්‍රකාශ කරති.
මීට ප්‍රථම හමු වූ පෘථිවියට සමාන ග්‍රහලෝකය වන Keplar - 186f පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 500 කට එපිටිනි. එය පෘථිවිය මෙන් 10 ගුණයක්‌ විශාල ග්‍රහලොවකි. එය මත පතිත වන හිරු රැස්‌ ප්‍රමාණය ඉතා අඩුය. එම නිසා එහි මධ්‍යහ්නය පෘථිවියේ සැන්දැ කාලය මෙනි. මෙම ග්‍රහලෝකයට සාපේක්‍ෂව අලුතින්ම හමු වී ඇති Keplar - 452b හි ජීවයක්‌ ඇති බව හොඳටම විශ්වාස කළ හැකි බව පවසන නාසා විද්‍යාඥයෝ මේ පිළිබඳ තවමත් ගවේෂණවල යෙදී සිටිති.
2009 දී නාසා (NASA) ආයතනය මගින් ආරම්භ කරන ලද මෙම ක්‍ෂීරපථ ගවේෂණ ව්‍යාපෘතිය සඳහා ඔවුන් ඇමරිකානු ඩොලර් මිලියන 600 ක්‌ වෙන්කර ඇති අතර මෙහි ප්‍රධාන අරමුණ වනුයේ අපේ ක්‍ෂීරපථයෙහි ඇති ජීවය ඇති වෙනත් ග්‍රහලෝක පිළිබඳ ගවේෂණයයි. මෙමගින් මේ වන විට ග්‍රහ වස්‌තූන් 1000 කට අධික සංඛ්‍යාවක තොරතුරු ලබාගෙන විශ්ලේෂණය කර ඇති අතර ඉන් ජීවය ඇති බවට සැක කෙරෙන ග්‍රහ වස්‌තූන් ඇත්තේ (මෙම නව ග්‍රහලෝකය වන Keplar - 452 b ත් සමඟම) 12 කි.
2017 දී නාසා (NASA) ආයතනය මගින් අභ්‍යවකාශගත කිරීමට නියමිත ග්‍රහලෝක පිරික්‌සුම් චන්ද්‍රිකාවක්‌ වන 'TESS' මගින් අඟහරු ග්‍රහයාගේ වායුගෝලය පිළිබඳවත් අනෙකුත් ග්‍රහලෝකවල ප්‍රමාණය හා ඒවා තමන්ගේ සූර්යයන් වටා යන කක්‍ෂ පිළිබඳවත් වැඩිදුර තොරතුරු ලබාගැනීමට නියමිතය. මීට අමතරව ලබන වසරේ ඉදිකිරීමට නියමිත "ඡේම්ස්‌ අභ්‍යවකාශ ජාල දුරදක්‌නය" (James Webb Space Telescope) මගින් ද අනෙකුත් දුරස්‌ථ ග්‍රහලෝක පිළිබඳ තොරතරු ලබාගැනීමට නියමිතය. මෙමගින් එම ග්‍රහලෝකවල සිසිල් බව, සෘතු වෙනස්‌වීම්, කාලගුණ විපර්යාස හා ඒවායේ ඇති ගහකොළ පවා හොඳින් නිරීක්‍ෂණය කළ හැකි වනු ඇත. මේ සියල්ල මගින් ඉතා ළඟදීම අපට අපගේ නෑදැ පරපුර හොඳින් හඳුනාගත හැකි වන අතර 'නෑගම්' යන දිනයක්‌ ද හෙට උදා වෙනු ඇත.
- සිසිර කිත්සිරි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පෘථිවියේ අලුත්ම නෑයා Rating: 5 Reviewed By: Unknown