728x90 AdSpace

Latest News
Sunday 9 August 2015

මනරම් ගම් පියසකින් ආ මෙරට ප්‍රථම පොලිස්‌ කාන්තාව


කළුතර දිස්‌ත්‍රික්‌කයේ රයිගම් කෝරළයේ මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සුන්දර ගමකි, අඟුරුවාතොට කනන්විල, එය අපේද ගමයි. මනරම් කඳුවැටියකින් හා ගලාබස්‌නා කළු ගඟින්ද වටවී ඇති මෙම ගමෙහි ඇත්තේ නිවෙස්‌ 25 ට අඩු සංඛ්‍යාවකි. එහි වැසියන්ගේ ජීවනෝපාය තේ සහ රබර් ආර්ථිකයයි. 21 වන සියවසේද වසර 15 ක්‌ ගතවී ඇතත් මෙහි ගැමි පරිසරය වෙනස්‌ වී ඇත්තේ ස්‌වල්ප වශයෙනි. එයද වැඩි වෙනසක්‌ වී ඇත්තේ මෙහි තිබූ රබර් ගස ඉන් ඉවත්ව එම හිඩැසට නූතන පරපුරේ අවශ්‍යතාව මත නව නිවෙස්‌ ඉදිවීමයි.
අප කුඩා කල කෙළි සෙල්ලම් කළ වෙල් ඉපනැල්ල ඕවිටි සහ ලඳු කැලෑවලින් ශේෂව ඇත්තේ සුළු ප්‍රමාණයකි ඒවා නෙත ගැටෙන අප ඉන්
ලබන්නේ ඉමහත් ප්‍රීතියකි.
තවමත් වෙනස්‌ව නැති රමණීය කුඹුරුයාය මධ්‍යයේ ඇති අති විශාල මන්දිරයකි. එහි අධිපති වන්නේ ප්‍රදේශයේ පාසල්හි ප්‍රධානාචාර්ය වශයෙන් සේවය කළ දොන් චාර්ල්ස්‌ ගුණවර්ධන මහතා සහ එම මැතිනිය වන පාඨශාලාචාරිනී දොaන මිසිනෝනා තිලකරත්න මහත්මියයි. ඔවුන්ගේ කැදැල්ල ඇත්තේ පිරිමි 4 ක්‌ සහ ගැහැනු 2 ක්‌ වශයෙන් දරුවන් සය දෙනෙකි. ඉන් පළමු වැන්නා ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. එනම් එම ප්‍රදේශය පාලනය වන මුංවත්ත බාගේ පත්තුව ගම් කාර්ය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ උපාලි ගුණවර්ධන මහතාය. දෙවැනියා වශයෙන් 1928 දී උපත ලද හේමලතා ගුණවර්ධන නොහොත් හේමා ගුණවර්ධන මහත්මිය මෙහි කතානායිකාවය.
මව සහ පියා සමග එම ළදැරිය ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා වැඩිමහල් සහෝදරයාගේ අඩිපාරේ යමින් වැඩිදුර අධ්‍යාපනය සඳහා එවකට සංගීත, නැටුම්, හා කර්මාන්ත ආදී ශිල්ප පිළිබඳ හසල දැනුමක්‌ ලබාදෙන දිවයිනේ ප්‍රකට විදුහලක්‌ වූ හොරණ ශ්‍රී පාලි මහ විදුහලට ඇතුළත් වූවාය. එහිදී ඇය ක්‍රීඩාවට විශේෂ දක්‌ෂතාවක්‌ දැක්‌වූවාය.
එහි අධ්‍යාපනය අවසන් කළ මෙම යුවතිය රැකියාවක්‌ බලාපොරොත්තුව නිවසට වී කල්ගත කරන අවධියේ එනම් 1952 වසරේ ලංකාවේ කිසිම කාන්තාවක්‌ නොදන්නා නොකළ රැකියාවකට යැමට ඇයට අවස්‌ථාවක්‌ උදාවිය. එනම් ශ්‍රී ලංකා පොලිස්‌ සේවයේ ප්‍රථම වරට කාන්තා අංශයක්‌ ස්‌ථාපිත කිරීමට පළමු ගැසට්‌ නිවේදනය අනුව දෙමවුපියන්ගේ ආශිර්වාදය හා අවසරය මත ඇයද එයට ඉදිරිපත් වූවාය.
ඇයගේ ක්‍රීඩා දක්‌ෂතාවන් නිසා පළමුව තෝරාගත් හේමා ගුණවර්ධන, එච්. ඩී. ලැනරෝල්, ජිනීටා පෙරේරා සහ එල්. පකීර් යන සිවුදෙනා අතරින් ප්‍රථමයා වීමට ද ඈ භාග්‍යය ලැබුවාය. ඒ අනුව පුහුණුවීම් කටයුතු සාර්ථක ලෙස නිමවා 1957 අගෝස්‌තු 29 දා පොලිස්‌ කාන්තා සාජන්ට්‌ තනතුරට තේරී පත් වූවාය.
මෙම අවධියේ ඇයගේ කාර්යක්‍ෂම සේවය නිසා දිවයිනේ කැපී පෙනෙන පොලිස්‌ කාන්තා නිලධාරිනියක්‌ වශයෙන් පත්වූවා පමණක්‌ නොව පාසල් සමයේ ලද රංගන දක්‌ෂතාවද නිසා චිත්‍රපට නිළියක්‌වීමේ අවස්‌ථාව ලැබුවාය. එකල තිරගත වූ ගැහැනු ගැට චිත්‍රපටයේ හාස්‍යජනක සුළු කොටසක රඟපෑමට අවස්‌ථාව ලැබිණි. මෙය දැක ඇති ලියුම්කරුට එම හාස්‍යජනක අවස්‌ථාව තවමත් මතකයේ පවතී. ඇයගේ සහජ දක්‌ෂතාවන් රට දැයට ලබාදීමට ද නිර්ලෝභී වූවාය. එයට නිදසුනක්‌ වශයෙන් මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබන ගුරු සිසු සිසුවියන්ගේ උපදේශකත්වය සඳහා ස්‌වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූවාය.
1959 වර්ෂයේ පන්නිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරික කරුණාසේන පෙරේරා මහතා සමග විවාහ ගිවිසගත් අතර 1960 අගෝස්‌තු මස 05 දින හදිසි ආබාධයකින් අභාවප්‍රාප්ත වූවාය. මෙම විවාහයෙන් දියණියක ලැබුණ අතර ඇයද දැනට අගනුවරට ආසන්නයේ සාර්ථක ව්‍යාපාරයක යෙදී සිටින්නීය. හේමා ගුණවර්ධන මහත්මිය මියයන විට පළමු කාන්තා පොලිස්‌ උප පොලිස්‌ පරීක්‌ෂක ධුරයට පත්කර තිබුණ අතර ඇයගේ අවමඟුල් කටයුතු ගම් ප්‍රදේශයේ පෙර නොවූ ආකාරයට පොලිස්‌ දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන ලදී. මෙය නැරඹීම සඳහා පිට පළාත්වලින් පවා ජනතාව රැස්‌ව සිටියහ.
විශ්‍රාමලත් ග්‍රාම නිලධාරි රත්නපාල රූපසිංහ මහතාට විශේෂ ස්‌තුතිය හිමි වේ.
මදුරාවල - ජී. කරුණාරත්න
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මනරම් ගම් පියසකින් ආ මෙරට ප්‍රථම පොලිස්‌ කාන්තාව Rating: 5 Reviewed By: Unknown