විල්පත්තුව වනෝද්‍යානය යාල වනජීවී රක්‍ෂිත සංකීර්ණය තරම්ම විශාලය. රටේ ජෛව විවිධත්වයට මෙන්ම රටේ වන ගණත්වයට වැදගත්ය. වසර තිහක යුද සමයේදී මෙම වනාන්තර යුගලම ඉතා හොඳින් ආරක්‍ෂා විය. එනම් යුද්ධය මෙම වනාන්තරවල ආරක්‍ෂාවට කදිම පළිහක් විය. එකල විල්පත්තුව හා යාල දකුණේ අවසන් කෙළවර බවට පත්ව තිබිණි. ඒ මැදින් උතුරට හෝ නැඟෙනහිරට යාමට යහපත් ප්‍රවේශ මාර්ග තිබුණේ නැත. යාල වනෝද්‍යානයේ නම් කලාප අංක දෙක කුමන හරහා පානම ප්‍රදේශයට ජීප්රථ මාර්ගයක් තිබිණි. එහෙත් විල්පත්තුවේ නම් ඊට පෙර අතී තයේ පැවැති කරත්ත පාරද වැසී මහා ගණ වනාන්තරයක් බවට පත්ව තිබිණි. එනිසාම වයඹ දිග මුහුද දක්‌වා විල්පත්තුව පැතිර තිබූ අතර වනෝද්‍යාන ප්‍රකාශයට පත්කර ඇති නීතිය (වනසත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥ පනත) අනුව මහා සාගරයේ සැතපුමක් දුරටද විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සීමාව තිබිණි. යාල වනෝද්‍යානයේද එසේමය.
එක් පැත්තකින් ඩොල්පින් තල්මසුන් ගැවසෙන මුහුද සීමාව වෙද්දී අනෙක් පසින් ගණ වනාන්තරවලින් යුත් වනගහනය තුළ අලි, කොටි, වළසුන් ගැවසෙන වන සත්ව පාරාදීස ලොව වෙත්නම්, ඒ විල්පත්තුව හා යාල පමණක්‌ම වීමට ඉඩ තිබේ. මා මේ කියන්නේ දිය ඉතා ලොකුම සතා (තල්මසා)
මෙන්ම ගොඩ ඉතා ලොකුම සතා (අලියා) කෙටි දුර සීමාවක රැඳී සිටින මෙවන් වටිනා පරිසර පද්ධති ලොව කොතැනකවත් වෙන නැතැයි කියන කතාවය.
එහෙත් මේ වටිනාකම් දැන් වැටහෙනු පෙනෙන්නේ පරිසරවේදීන්ට, පාරිසරික මාධ්‍යවේදීන්ට වැනි ඉතා සුළු කොටසකට පමණි. දේශපාළුවෝ මෙවන් වනෝද්‍යාන මැදින් පාරවල් කපා වන රක්‍ෂිත තනිරූල් කොටුරූල් කර ඒ මදිවාට ඒවායේ වැටවල් ගසා ඔප්පු තිරප්පුද ලියාගනිති. අද එවන් තත්ත්වයකට විල්පත්තු උයනද පත්වෙමින් තිබේ.
යුද්ධය නිසාවෙන් පුත්තලමේ එළුවන්කුම සිට මන්නාරමේ මොල්ලිකුලම දක්‌වා විල්පත්තු උද්‍යානය මැදින් කැපූ මාර්ගය උද්‍යානය අනතුරේ හෙලන්නකි. මෙම මාර්ගයෙන් මුහුද පැත්තට ඇති බිම්කඩට ඔප්පු ලියාගන්නට දේශපාළුවෝ උත්සාහ ගන්නේ වරක් දෙවරක් නොවේ. ඒ සංචාරක හෝaටල් ව්‍යාපෘති සඳහාය. වාසනාවකට පරිසරවේදීන්ගේ දැඩි විරෝධතා නිසා තවමත් එම තිරස්‌චීන අදහස්‌වලට ඉඩකඩ ලැබුණේ නැත. එහෙත් යුද්ධය නිසා මෙහි කඳවුරු බැඳගත්, ආරක්‍ෂක හමුදාව නිසාද මාර්ග තැනීම නිසාද සැලකිය යුතු බලපෑමක් සිදුව තිබේ.
මෙසේ විල්පත්තුව හරහා කරත්ත පාර වැල්වැදී තිබූ වකවානුවේදී ත්‍රස්‌තවාදීහු නිරන්තරයෙන් විල්පත්තුවේ රැඳී සිටි බවට කියන කතා අසත්‍යයක් නොවේ. මන්ද විල්පත්තු මහමුහුදට යාවන වෙරළ තීරයේ සිට ඔවුන් අපගේ හමුදාවට එරෙහිව ප්‍රහාර කිහිපයක්‌ම දියත් කිරීම නිසාය. එසේ ඔවුන් ප්‍රහාර දියත් කළ ප්‍රධාන ස්‌ථානයක් වන්නේ කුදිරමලේ තුඩුවනය. පලාලි සිට ගුවන් ගමන් අරඹා මුහුදෙන් යළිත් රට තුළට ගමන් ගන්නා ගුවන් යානාවල ගමන් මාර්ගයක් වී තිබුණේ කුදිරමල තුඩුව ප්‍රදේශයයි. එබැවින් මෙම ස්‌ථානයේ සිට එකල ත්‍රස්‌තයන් ගුවන් යානාවලට ප්‍රහාර කිහිපයකින්ම එල්ල කර ඇත. එතරම්ම එම ගොඩබිම් පිහිටීම නොහොත් තුඩුව සංග්‍රාමිකව වැදගත් ස්‌ථානයක් නිසාය. එසේම නාවික යාත්‍රා කිහිපයක්‌ද කුදිරමලේ - බත්තලංගුණ්‌ඩුව මුහුදේදී මුහුදුබත් වූවා අපට මතකය. එසේම කුදිරමලයට නුදුරු පලුගහතුරේ යුද කඳවුරද වරෙක ප්‍රහාරයකට ලක්‌ව තිබිණි. මා මේ කියන්නට සැරසෙන්නේ වෙනකක් නොව කුදිරමලේ තුඩුව ප්‍රදේශය එකල ත්‍රස්‌තයන්ගේ වැදගත් යුද මර්මස්‌ථානයක් වශයෙන් භාවිතයට ගත් කතාන්දරයයි. එහෙත් විරෝධාර යුද බලඇණි මෙම ත්‍රස්‌ත බිය පහකර කුදිරමලේ තුඩුව ඔවුන් යටතට ගත්තේය. එවන් අවස්‌ථා කිහිපයකදී මට කුදිරමලේ ප්‍රදේශයට සංචාරය කරන්නට හැකියාව ලැබිණ. ඇත්තෙන්ම කුදිරමලය වනාහි අතිශය සුන්දර මුහුදු ප්‍රදේශයකි. මෙම ස්‌ථානය මුහුදු මට්‌ටමේ සිට අඩි 30 - 35 ක් පමණ උසින් පිහිටි කඳු ප්‍රදේශයකි. මෙම කඳු මුදුන එකවරම කෙළවර වන්නේ දළ බෑවුමක් සහිතව මුහුදටමය. එහෙත් මෙම තුඩුව දෙපසින් කිලෝමීටර් තුන්කාලක් පමණ දෙපසට ගියවිට ගොඩබිම මුහුද වෙරළ දක්‌වාම බෑවුම් වීගෙන යෑයි.
කුදිරමලේ තුඩුව මුදුනේ සිට හාත්පස හරි අපූරුවට දැකගත හැකිය. වම්පසින් පලුගහතුරේ වෙරළ ප්‍රදේශයයි. දකුණු පසින් වෙරළබඩට මොල්ලිකුලම හා පූකුලම වෙරළ තීරයත් ඈත දකුණ ක්‍ෂිතිජ ඉමේ තලෙයි මන්නාරම් ගොඩබිම් ප්‍රදේශයත් ඡායා මාත්‍රයකින් දැකගත හැකිය. එසේම සෘජුව ඈත බටහිර මුහුදේ ඡායා මාත්‍රයකින් දිස්‌වන්නේ බත්තලංගුණ්‌ඩුව දූපත්ය. කල්පිටිය සිට උතුරු දෙසට විහිද යන දූපත් කලාපයේ අවසන් දූපත පල්ලියවත්ත සින්නගුණ්‌ඩුව - බත්තලංගුණ්‌ඩුව යන ගම්මානවලින් යුත් බත්තලංගුණ්‌ඩුව දූපතයි. හිරු බැස යන හැඳෑවේ හොඳින් අපට මෙම දූපත් දැකගත හැකිය. කුදිරමලේ තුඩුව උසින් වැඩි නිසා ආපසු හැරී විල්පත්තුව දෙස බැලීමේදී විල්පත්තු වන වියනද වනගහනයද ඉතා හොඳින් දැක ගත හැකිය. එසේම එහි ඇති තඹ පැහැති වැලි කඳු අපට "තම්බපණ්‌ණිය" ගැන නැවුම් ආශ්වාදයක් ලබාදේ. එසේම මෙම තඹපැහැති පොළොව විජය රජුගේ ආගමනය දක්‌වා අප රැගෙන යයි.
විල්පත්තුවේ අප කළ සංචාරයේදී මීළඟ කතාංගය ලෙස අප තෝරාගත්තේ මෙසේ කුදිරමලේ පිළිබඳ කරුණු කාරණා ඔබට ගෙන ඒම සඳහාය. සැබැවින්ම කුදිරමලය ලෙස අප හඳුන්වන්නේ එකල විජය රජු ඇතුළු උතුරු ඉන්දියානුවන් පන්සියයක් පිරිස ශ්‍රී ලංකාවට ගොඩ බැසගත් ස්‌ථානයයි. තවත් සමහරු මීට උතුරින් පිහිටි තම්මැන්නාව හෝ මල්වතු ඔය මෝදර හෝ අරිප්පු ප්‍රදේශය විජය රජු ගොඩබට ස්‌ථාන ලෙසද විග්‍රහ කරති. එහෙත් සැබෑව නම් දෙඅත්ලේ තඹ පැහැති වැලි දුටු නිසා තම්බපණ්‌ණිය කියා ආමන්ත්‍රණය කළ බවකි. එම ඛනිජවැලි සහිත ප්‍රදේශය නම් නියත වශයෙන්ම කුදිරමලයම වේ.
අප අද රැඳී සිටින්නේ කුදිරමලේ වුවද පසුගිය සතියේ විල්පත්තුව තුළ කරන ලද චාරිකාවේදී කුවේණියගේ මාලිගාව නමින් හැඳින්වෙන තැනක් ගැන අප ඉඟි කළා ඔබට මතක ඇති. එය පිහිටා ඇත්තේ සුප්‍රකට කාලිවිල්ලුවට මඳක් ඔබ්බෙනි. එහි දැවැන්ත ගල්කුලුනුවලින් සමන්විත ඉපැරැණි ගොඩනැගිල්ලක නටබුන් අදටත් දක්‌නට ඇත. ඒ ආශ්‍රිත කලාපයේ වෙනයම් ගොඩනැඟිල්ලක හෝ එවන් සංකීර්ණයක සලකුණු නැත. ඇත්තේ මෙම ගල් කුලුනු ඉතිරිවූ ගොඩනැඟිල්ල පමණි. මෙය කලක පටන් හඳුන්වන්නේ
කුවේණියගේ මාලිගාව නමිනි. එය ජනප්‍රවාදයේ එන්නේද ඇයගේ නිවස පිහිටි තැන ලෙසය. කුදිරමලයට ඉතා ආසන්න මෙම ස්‌ථානයේදී විජය කුමාරයාට කුවේණිය මුණ ගැසුණු බව කියනු ලැබේ. නොහොත් කුවේණිය කපු කටිමින් සිටි ස්‌ථානය ලෙස කුවේණියගේ මාළිගය සැලකේ. මෙවන් කරුණු කාරණා සහිත ස්‌ථාන අපූරු ඉතිහාස කතාන්දරයක් අපට කියා දෙයි. විල්පත්තු චාරිකාවේදී එවන් ස්‌ථාන ගවේෂණයටද අවස්‌ථාවක් යොදා ගත්තේ එනිසාය.
ජගත් කණහැරආරච්චි
0 comments:
Post a Comment