728x90 AdSpace

Latest News
Saturday, 15 August 2015

ඩිජිටල් තාක්ෂණයෙන් පුස්කොළ පොතට පණ දෙයි




2015 අගෝස්තු මස 10 17:48:41 | . , ගයාන් මධුශංඛ

පුස්කොළ පොත් සඳහා දේශීය මෙන්ම විදේශීයව ද ඇත්තේ සුවිශේෂී අවධානයකි. පුස්කොළ පොත් සම්බන්ධ වෙන්නම සංස්කෘතියක් ඇතුවා මෙන්ම ඒවා තුළ ඇති දැනුම මිල කළ නොහැකි වේ. ඒ හේතුවෙන් අභාවයට යමින් පවතින පුස්කොළ පොත් සංරක්ෂණය කිරීම සදහා විවිධ ආයතන සංවිධාන සොයා අවධානය යොමුකර තිබේ. මේ අතර පුස්කොළ පොත් සංරක්ෂණය සඳහා විශේෂ අවධානයක් යොමුකර ලංකාව පුරා ඇති පුස්කොළ පොත් සොයා යමින් ඒවා සංරක්ෂණය කිරීමට පියවර ගනිමින් කටයුතු කරන ආයතනයකි කැලණිය විශ්ව විද්‍යාලය. කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පුස්කොළ පොත් අධ්‍යයන සහ පර්යේෂණ ඒකකය මෙම ජාතික කාර්යයට මුලිකත්වය ගෙන ඇත. ලංකාව පුරා අභාවයට යමින් පවතින පුස්කොළ පොත් අරාක්ෂා කර ගැනීමට පියවර ගැනීමත් ඒවා සංරක්ෂණය කිරීමත් පමණක් නොව මෙම පුස්කොළ පොත් සම්බන්ධ අධ්‍යයන සහ පර්යේෂණ සඳහා ඉඩකඩ වෙන්කිරීම ඔවුන්ගෙන් ඉටුවන ප්‍රධාන කාර්යයකි. එම ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන පුස්කොළපොත් පුස්තකාලය තුළ පුස්කොළ පොත් අධ්‍යයනය සඳහා ඉඩකඩ වෙන් කර ඇත. එමෙන්ම ඩිජිටල් තාක්ෂණය සඳහා ලෝකයේ ඕනෑම කෙනෙකුට මෙම පුස්තකාලය හා වෙබ් අඩවිය හරහා එකතු වී මෙම අධ්‍යයනයන් සිදුකිරීමේ අවස්ථාවද උදාකර දී ඇත. මෙම සටහන ලංකාවේ ජාතික සම්පතක් වන පුස්කොළ පොත් පිළිබදවයි.



ක්‍රිස්තු වර්ෂ 1700 පමණ වන තෙක් ලංකාවේ ප්‍රධාන ලේඛන මාධ්‍ය වුයේ පුස්කොළයි. ප්‍රධාන වශයෙන් පුස්කොළ සකස් කරගැනීම සඳහා තාල වර්ගයට අයත් ශාක විශේෂ දෙකක් භාවිතයට ගැනුණි. ඒ තල හා තල් යන විශේෂ දෙකයි. ලංකාවේ දකුණු ප්‍රදේශයේ පුස්කොළ පත් සකස් කරගැනීම සඳහා යොදාගෙන ඇත්තේ තල ගසේ ගොබයයි. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල භාවිතා කර ඇත්තේ තල් ගසේ ගොබයයි. වැඩි වශයෙන්ම පුස්කොළ නිපදවා ඇත්තේ තලගසේ ගොබය යොදාගනිමිනි.
පුස්කොළ නාමය ඇතිවීම කෙරෙහි බලපෑ හේතු කිහිපයකි . පිසූ කොළ පුස්කොළ, තල ගසෙන් ගොබය කපාගෙන ඉන්පසුව එය ඖෂධීය සංයෝගයක් සමඟ මිශ්‍ර කර එය තම්බා ගනියි. එසේ පුස්කොළ සකසා ගන්නා බැවින් පිසූ කොළපුස්කොළ ලෙස හැදින්වේ. තවත් අර්ථයක් නම් පුදන ලද කොළ හේතුවෙන් පුද් කොළ - පුස්කොළ වශයෙන් නම් වේ. ක්‍රිස්තු පුර්ව පළමු සියවස වනතෙක් පැවතියේ ලේඛන ශෛලියකට වඩා භාෂණ ශෛලියකි.
පුස්කොළ උපත පිළිබඳව ඇති මිත්‍යා විශ්වාස ද ගණනාවකි. ක්‍රිස්තු පුර්ව පළමු සියවසේදී මහරහතන් වහන්සේලා අට්ට කතා රචනා කිරීමට කටයුතුන් කරන අවධියේ මේ කරුණ සක් දෙවිදු දිවසින් දැක ඇත. එනම් රහතන් වහන්සේලා ධර්මය ගබඩා කර තැබීමට මාධ්‍යයක් සොයන බව සක් දෙවිදුගේ වෛජයන්ත ප්‍රාසාදය ඉදිරිපිට මේ තලගස තිබුණු බව ජනප්‍රවාදයේ සදහන් වේ. සක් දෙවිදු ගුරුළු වේශයක් මවාගෙන තල ඇට කිනිත්තක් රැගෙන අලව්වේ ගලතර මැඩිල්ල කියන ස්ථානයේ එම තලඇට සහිත කිනිත්ත අතහැර ඇත .එම ස්ථානයේ තල ගස රෝපණය වී ඇති බවට ජනශ්‍රැතියේ සඳහන් වේ. තලගසේ ගොබය යොදාගෙන සකස් කරගත් පුස්කොළ පත් ඉරු මත ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කර ඇත. එතෙක් මුඛ පරම්පරාගතව පැවති ධර්මය එසේ ලේඛන ගත විය.

ලංකාවේ පළමු විශාලම පුස්කොළ පොත් රචනය ලෙස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීමේ අවස්ථාව දැක්විය හැකියි. පුස්කොළ පොතක කොටස් කිහිපයකි. පුස්කොළය හදුන්වන්නේ පත් ඉරුවක් වශයෙනි. පත් ඉරු සකස් කරගැනීම සම්බන්ධ විශාල ක්‍රියාවලියක් ඇත. ගසෙන් පත් ඉරුව කපා ගැනීමේ සිට ඇසුරුම්කරණය දක්වාම ඇති ක්‍රියාවලිය අභිචාර විධි ශිල්ප කලාවන් සහ චාරිත්‍ර වාරිත්‍ර මිශ්‍ර වූ සංකීර්ණ ක්‍රියාවලියකි. පුස්කොළ පොතක පිටතින් ඇති ඝන වැස්ම හදුන්වන්නේ පිට වැසුම හෙවත් කම්බය වශයෙනි. කම්බයට පසුව පත් ඉරු හමුවෙයි. මේ සියල්ල එකට අමුණා ඇත්තේ නුලක් ආධාරයෙනි එය හුය වශයෙන් හදුන්වයි . කම්බ දෙකක් අතර ආරක්‍ෂිත ලෙස තබා ඇති පත් ඉරු හුයකින් එකතු කර ඇත. මේ සියල්ල තදවන සේ එකතු වන ස්ථානයේ සකියා නමින් හදුන්වන අංගයක්ද ඇත. පොත බැද ගැනීමට උදව් වෙන්නා යන අර්ථයෙන් සකියා ලෙස එය හදුන්වන බවද සඳහන් වේ.
පුස්කොළ පොතක් අමුණා ගන්නේ වම් පස සිටයි ඉන් පසුව පොත බැදීම සිදුකරනු ලබයි. පොත බැදීම ද පුස්කොළපොත් ශිල්ප ක්‍රමයකට අනුව සිදුකරනු ලබයි. පුස්කොළ පොතේ දකුණු පස සිට පොත බැදීම සිදුකරයි. ‘ප්‍රථමේ දස සුත්‍රානි’ පළමුව පොටවල් දහයක් බදියි. ‘පංච සුත්‍රානි මධ්‍යමේ’ මැදට පොටවල් පහයි. ‘තිපනම් බන්දම් මත මත විජිගතේ’ පොටවල් තුන බැගින් දෙකක් බදිනු ලබයි. මෙම සම්මත ක්‍රමයට අනුව පුස්කොල පොතක් බැදගැනීම සිදුකරනු ලබයි. පුස්කොළපොත් ලිවීමද වෙනමම ශිල්පයක් ලෙස පන්සල් අධ්‍යාපනය තුළ පැවතිණි. පන්සල් අධ්‍යාපනය තුළ අක්ෂර ශික්ෂාව යනුවෙන් වෙනමම කලාවක් පැවතිණි. ඒ අනුව ශිෂ්‍යයා විසින් මුලින් ස්වර අක්ෂර සහ ව්‍යන්ජනාක්ෂර හොඳින් හදුනාගෙන කටපාඩමින් කියවිය හැකි විය යුතුයි. ඉන් පසුව අක්ෂර ලිවීමට පුරුදු කරනු ලබයි . මුලින්ම වැලි පිල්ලේ ලිවිම පුරුදු කරයි. ඉන් පසුව ලැබෙන්නේ උල් කටුවයි. උල්කටුවේ කර කොළයේ ලිවීමට පුරුදු කරනු ලබයි. එනම් හොදින් මැද නැති තල කොලයයි. ගුරුවරයාගේ අකුර මත ගෝලයා උල් කටුවෙන් නැවත නැවත ලියා අකුරු ලිවිම පුරුදු වෙයි. එය හදුන්වන්නේ සටහන් කැපීම යනුවෙනි. එසේ ගුරුවරයාගේ අකුර ලිවීමට පුරුදු වෙයි. මෙම ලේඛන කලාවේ දක්නට ලැබෙන විශේෂිතම ලක්ෂණය නම් ගුරාගේ අක්ෂරය ඒ ආකාරයෙන්ම ගෝලයා මත පිහිටීමයි. ඊට හේතුව වන්නේ ගෝලයා අක්ෂර පුරුදු වන්නේ ගුරාගේ ගුරු අක්ෂරය මත නැවත නැවත සටහන් කැපීම හේතුවෙනි. ලංකාවේ දක්නට ලැබෙන ගුරු ගෝල සම්බන්ධය අතර ඇති විශේෂ ලක්ෂණයකි මෙය. පරම්පරා කිහිපයකට පසුව කෙනෙකුගේ අක්ෂර රටාව ඒ පරම්පරාවේ මුල් ගුරුවරයාගේ අක්ෂර රටාවට සමාන වේ. පරපුරෙන් පරපුරට ලේඛන ශාස්ත්‍රය රැකගෙන ඒමත් ඒවා එක සමාන ලක්ෂණ වලින් ආරක්ෂා කර ගැනීමත් මෙහි දක්නට ලැබෙන ලක්ෂණයකි. පුස්කොළ පොත් රචනයේදී පන්හිද දකුණු අතින් ගෙන රචනා කිරීම සිදුකරයි. පත් ඉරුව රදවා ගන්නේ වමතිනි. ලේඛකයාගේ වමතේ මහපට ඇගිල්ලේ නියපොත්තෙ කැපුමක් යොදයි ඒ කැපුම අතරට පන්හිදේ ලෝහ තුඩ යවා පත් ඉරු මත කැපීම යොදයි. සැබෑ ලෙසම බලන කළ රචනය කරන්නේ වමතිනි. වමතේ මහපට ඇගිල්ල සියුම් ලෙස කරකවමින් රචනයේ යෙදෙයි. දකුණත ආධාරකයක් සේ ඒ අවස්ථාවේදී ක්‍රියා කරනු ලබයි. පුස්කොළ පොත් රචනය එයටම අවේනික වූ ක්‍රමවේදයකට අනුව සිදුකරන ලද කලාවක් බව පෙන්වා දිය හැකිය.

පුස්කොළ පොත් සංරක්ෂණය කිරීම සදහා මුලිකත්වය ගෙන කටයුතු කරන කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාපිඨයේ පීඨාධිපති මහාචාර්යය ඒ.එච්.එම්.එච්. අභයරත්න මහතා ඒ මෙසේ අදහස් දක්වා සිටියේය.
‘සමාජීය විද්‍යා පිඨයට අයත් පුස්කොළ පොත් පර්යේෂණ සහ අධ්‍යයන පුස්තකාලය ආරම්භ කළේ ජාතික වශයෙන් වැදගත් වන පුස්කොළ පොත් අභාවයට යාම වළක්වාලිමත් ඒ වගේම ඒ පුස්කොලපොත් ආශ්‍රය කරගෙන සිදුකරන විවිධ පර්යේෂණ සඳහා සහය වීමත් සදහායි. වර්තමාන උපකුලපතිතුමා ජේෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා සමාජීය විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමා වශයෙන් කටයුතු කරන කාලේ තමයි මේ කටයුත්ත ආරම්භ කරන්නේ විශ්වවිද්‍යාලය උපයාගත් මුදල් වලින් .

පුස්කොලපොත් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණේම පුස්කොළ පොත් වසර සිය ගණනක් පැරණි ඒවා. මේ පුස්කොළ පොත් බහුතරයක් මේ වන විට අභාවයට යමින් තියෙනවා. පුස්කොලපොත් ලිවිම ආරම්භ වන්නේ ක්‍රිස්තු පුර්ව පළවැනි ශත වර්ෂයේ ඉදලා බව නිශ්චිතව කියන්න පුළුවන්. වළගම්බා රාජ්‍ය කාලයේ ඇතිවුණු යම් යම් තත්ත්ව හේතුකොට ගෙන එතෙක් මුඛ පාඨයෙන් ආරක්ෂා කරගෙන ආව අට්ට කතා ලේඛන ගත කලාය කියන කාරණය වංශ කතා වල පැවතෙනවා. ලේඛන ගත කිරීම කරන්නේ කිසියම් කරුණු කොටස් ආරක්ෂා කරගැනීමේ අරමුණ ඇතිව. ව්‍යාකුල තත්ත්ව තියෙන කාලයක තමයි එවකට හිටිය මහතෙරුන් වහන්සේලාගේ තීරණය මත ත්‍රිපිටකය සහිත අට්ට කතා ලේඛනය ගත කළේ. මේ අවදියේ ඉදල පුස්කොල භාවිතය තිබුන කියල කියන්න පුළුවන්. ඒ භාවිත පුස්කොළ පොත් වසර දහස් ගණනක් තිස්සේ දේශීයව තිබුණා. මුද්‍රණ යන්ත්‍රයේ ආගමනයත් සමඟ පුස්කොලපොත් භාවිතය අවම වුණා.

අපේ දේශීය ඥාණය පාරම්පරික දැනුම ගබඩා කෝෂිකාගාර හැටියට තමයි අපි සලකන්නේ. ඒවා ආරක්ෂා කරගැනීම අසීරුයි. කාලය ගතවීමත් සමඟ විනාශ වෙනවා. කාවන්ගේ ප්‍රහාරයට ලක්වෙනවා. මේවා නැවත ලියවෙන්නෙත් නෑ. මේක සංරක්ෂණය කරලා ඩිජිටල් පුස්තකාලයක් හැටියට පවත්වාගෙන යනවා. මේ පත්ඉරු විනාශ වුනොත් ඒ ලංකාවේ මේ තොරතුරු තියෙන එකම ලේඛනය වෙන්න පුළුවන්. ඒ නිසා සංරක්ෂණය කරන්න ඕනේ. තැනක දිරාපත්වෙන තත්වෙට පත්වෙන්න පුළුවන්. අපි අරමුණු කළේ මේ පුස්කොළ ආරක්ෂා කරගැනීම සහ පර්යේෂණ කටයුතු සදහා යොදාගැනීම.
පුස්කොල පොත් සිය ගණනක් තැන් තැන් වල තියෙනවා මේවා මුද්‍රණය වෙලා නෑ. අපි කල්පනා කළා මේ ලංකාවේ විසිරිලා තියෙන පුස්කොලපොත් පර්යේෂණය කිරීමට කෙනෙකුට ඒ හැම තැනටම යන්නත් බෑ ඒ තියෙන තැන්වල මේවා අරක්ෂිතත් නෑ. අපි කල්පනා කළා මේ විසිරිලා තියෙන පොත් ඩිජිටල් කැමරාවකින් ඡායාරූපයට අරගෙන අපි එකතුකර ගන්න. ඒවා විද්‍යුත් පුස්තකාලයක් වශයෙන් පවත්වාගෙන යනවා. භෞතික වශයෙන් මේ පුස්කොලපොත් අපිට පරිත්‍යාග වශයෙන් ලබාගෙන අපේ පුස්තකාලයේ තැන්පත් කර ආරක්ෂා කරගැනීම. ඇතැම් අයට මේවා සංරක්ෂණය කරගැනීමට අපහසුයි. ඇතැම් දේශීය වෛද්‍යවරු ළග තිබුණු පුස්කොළ පොත් එකතුන් ඔවුන්ගේ දරුවන් මුණුබුරන් පරිශීලනය කරන්නේ නෑ. ගෙවල්වල විනාශ වෙලා යනවා. අභාවයට යන පුස්කොළ පිටපත් අපිට සංරක්ෂණය කරන්න අපිට පුළුවන්. මෙන්න මේ කරුණත් එක්ක මේ පුස්තකාලය ආරම්භ වෙනවා. ප්‍රථම උපාධිය සහ පශ්චාත් උපාධි සහ වෙනත් විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් මේ පුස්තකාලය පරිශීලනය කරනවා. මේ පත් ඉරු අපේ වෙබ් අඩවියෙන් දැකබලා ගන්න පුළුවන් ඇතැම් ඒවා සඳහා ආරක්ෂක හේතුන් මත අවස්ථාව විවර වෙන්නේ නෑ ඒ සදහා විශේෂ අවසරයක් ලබාගත යුතු වෙනවා. මේ පුස්තකාලය ආරම්භ කිරීමත් එක්ක පුස්කොලපොත් පිළිබද අවධානය වැඩිවෙලා තියෙනවා.
අපි ආරාධනා කරනවා අපේ වෙබ් අඩවියෙන් මේ තොරතුරු ගන්න පුළුවන්. අපි සමාජ විද්‍යා පිඨයේ මුදල් වලින් තමයි මේ හැමදේම කරන්නේ. මේ පොත් පරිශීලනය කිරීමේ හැකියාව තියෙන පිරිසත් ඉතාම සීමිත වෙලා තියෙන්නේ. මොකද මේ පොත් නැතුව පර්යේෂණ කරන්න බෑ. දර්ශනපති දර්ශන විශාරද වගේ උපාධි සදහා සිදුකරන පර්යේෂණ වලදී මේ පොත් අධ්‍යයනය කරන්නේ නැතුව කරන්න බෑ. මුලික කාරනා ගැන අවධානය යොමුකරන්න ඕනේ. මේවායේ තමා ඇත්ත තොරතුරු තියෙන්නේ. මුද්‍රිත ග්‍රන්ථ වල අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි උත්සහ කරනවා ඒ සදහා පහසුකම් සපයන්නෙක් හැටියට උදව් කරන්න. ලෝකයේ ඕනෑම තැනක ඉදගෙන යම් ප්‍රමාණයකට පුස්තකාලය පරිශීලනය පුළුවන්. අපි ඉල්ලා සිටින්න කැමතියි පරිත්‍යාගශීලින්ට ඔබ ළඟ තියෙන පිටපත් වලින් කිහිපයක් අපිට දෙන්න පුළුවන් නම් අපි ඉතාමත් අගය කරනවා ඒ වගේම ඔබට සංරක්ෂණය කිරිමට අපහසුයි නම් අභාවයට යනවා වගේ දැනෙනවා නම් එක වළක්වා ගැනීම සදහා අපට ලබාදෙන්න අපි ඔබ වෙනුවෙන් ඒවා සංරක්ෂණය කරනවා.’

පුස්කොළ ලේඛන කලාව තුළ විශේෂයෙන්ම අක්ෂර කලාව පිළිබඳව ද අවධානය යොමුකළ යුතුම වෙයි. පුස්කොළ පොත්වල සටහන්ව ඇති අක්ෂර ගත් විට දැනට ලංකාවේ බහුලවම හමුවන පුස්කොල පොත් හා අට දහනම වන සියවස් වලට අයිති පුස්කොළ ලේඛන. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශාසන පුනරුදයත් සමගින් පුස්කොළ ලියවීම තව තවත් වර්ධනය විය. ප්‍රධාන අක්ෂර ශෛලි කිහිපයකි. හංස ශෛලිය හසකුරු ලෙස හදුන්වයි. මෙම හංස ශෛලිය බොහෝවිට උඩරට ප්‍රදේශවල හදුනාගත හැකියි. මහනුවර කෑගල්ල මාතලේ කුරුණෑගල ප්‍රදේශවලින් හමුවන පුස්කොළ පොත්වල වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ හසකුරුයි. එහි ප්‍රධානම ලක්ෂණය නම් තුඩු සහිතයි. මේ අක්ෂර සදහා හංසයාගේ ශෛලිගත රුපය ලේඛකයා රැගෙන තිබේ. නුවර යුගයේ හංසයාගේ රුපය අක්ෂයකට රැගෙන ඇත. ඒවා ඉතාම ලාලිත්‍යයෙන් රිද්මයානුකුලව රචනා කරන ලද සියුම් අකුරකි. ලේඛණයේ ප්‍රවීණයන් මෙම අක්ෂර භාවිත කරනු ලබයි. හස්ති ශෛලිය හෙවත් ගජකුරු තවත් ශෛලියකි. ගජකුරු දිගැටි අක්ෂර විශේෂයකි. තරමක් විශාල වේ. අකුර එක පැත්තකට බරව ලේඛනය කර ඇත. ඇත් ගමනක විලාසයෙන් මෙම අක්ෂර ලේඛන ගත කර ඇත. සිංහ ශෛලිය අපට හදුනා ගත හැකි විශේෂ ලක්ෂණය නම් අක්ෂර විශාල වන අතර රවුම් ස්වභාවයක් ගනියි. මේ අක්ෂර බොහෝ දුරට යොදාගෙන ඇත්තේ පිරුවානා පොත් වහන්සේ සද්ධර්ම රත්නාවලිය ජාතක පොත් වහන්සේ වැනි බහුලව භාවිතයට ගැනෙන පොත් ලිවිම සඳහායි. තවත් අක්ෂර ශෛලියක් නම් කාක ශෛලියයි. ලේඛනය පිළිබඳ විධිමත් පරිචයක් නොමැති ග්‍රාමීය ලේඛකයින් විසින් ලියන ලද අක්ෂරයි. වෙදපොත් යන්ත්‍ර මන්ත්‍ර ශිල්පකලා මේ ආදී පොත් රචනා වී ඇත්තේ මේ අක්ෂර වලිනි. නමුත් ඒවායේ ඇති දැනුම ඉතාම වටිනා කමින් යුක්තයි. තවත් සම්භාව්‍ය ශෛලියකි මුක්ත හෙවත් මුතුකුරු. මේ මුතුකුරු පිළිබදව සටහන් කිරීමේදී ඒ හා බැදුණු රසවත් සිදුවීමක් ඇත. ලංකාවේ අවසාන රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේදී එක් ස්වමින් වහන්සේ නමක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පොතක් පිළිගන්වා ඇත. ඒ පොත දුටු රජතුමා අක්ෂර පිළිබඳව ඉතාම පැහැදීමට ලක්ව මේ පොතේ ඇති අකුරු මුතු ඇට වගේ කියල. ඉන් පසුව රජතුමා ප්‍රකාශ කර තිබෙනවා තමන්ටත් මේ අකුරු වලින් පොතක් රචනා කර දෙන ලෙස. ඒ ස්වාමින් වහන්සේ ඒ අකුරු වලින් පොතක් ලියා ඔප්පු කර ඇත. පසුව රජතුමා මේ පොත ලීවාට අවශ්‍ය කුමක්දැයි විචාලා ඇත. මට වියන කොළ ටිකක් කඩාගන්න අහවල් කොටස දෙන්න කියලා. පසුව රජතුමා මේ වෙල් යායම සන්නසකින් ස්වාමින් වහන්සේට පවරා දී තිබේ. එය කරගන සන්නස නමින් හැදින්වේ. විශ්මිත කරුණ නම් පුස්කොල පොතක දෙපැත්තේම ලේඛනය කරයි. පුස්කොළ පොතක ස්ථර දෙකක් ඇත. එහි මැද කොටු දැලක් ඇත. මැද කොටු දැලට හානියක් නොවන ලෙස රචනා කළ යුතු වේ. පුස්කොළ ලේඛන වල එක් පසක පේලි හතක් හෝ අටක් රචනා කරනු ලබයි නමුත් මුතුකුරු අක්ෂර ශෛලිය ලියන ලේඛකයෝ පේලි දොළහත් දා හතරත් අතර ප්‍රමාණයක් රචනා කරනු ලබයි

පුස්කොළ පොත් සංරක්ෂණය කිරීම සදහා ඇති විශාල කාර්යයක් සිදුකරන ජේෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහ මහතාමෙසේ අදහස් දක්වා සිටියේය.
‘ලංකාවේ පුස්කොළ පොත් පිළිබද පුනර්ජීවනයක් ඇතිකළේ මධ්‍යකරුවෝම තමයි හැබැයි ලංකවේ මාධ්‍ය කරුවෝ නෙමෙයි. එංගලන්තයේ මාධ්‍යකරුවෝ. ලංකාවේ පුස්කොලපොත් අවුරුදු දෙදහකට වැඩි කාලයක් තිස්සේ තිබුණා මේ පුස්කොලපොත් විවිධ විහාරාරාම වල එකතු කරලා තිබුණා. විදේශීය ආක්‍රමණ වලින් පස්සේ මේවා අභාවයට යන්න පටන්ගත්තට පන්සල්වලින් මේවා කොහොම කොහොම හරි රැකගත්තා. බ්‍රිතාන්‍යයෝ ලංකාවේ පාලනය කරන කාලේ ප්‍රංශයේ නිලධාරීන් මෙහෙ ඇවිත් හිටියා. තානාපති කම් ඇතිකරගන්න ඒ අය ප්‍රංශයට අරගෙන ගියා පුස්කොලපොත් තාමත් ඒවා ප්‍රංශයේ තියෙනවා. මේ පිළිබදව එංගලන්තයේ සැටඩේ රිවිව් කියන පත්තරේ මේ පිළිබදව විවේචනාත්මක පිළියක් පළවුනා. ලංකාව ථෙරවාදී බුද්ධාගම පිළිබදව සාහිත්‍යයක් තියෙන රටක් ඒ වගේම මේ තියෙන සාහිත්‍ය ඉතාම වටිනවා ප්‍රංශය උනන්දු වුනත් අපිට උනන්දුවක් නෑ කියන එක ගැන. යටත් විජිත ලේකම් වරයා මේ පිළිබදව උනන්දු වෙලා කරුණු එකතු කරලා පුස්කොලපොත් ගැන අධ්‍යයනය කරන්න පටන් ගත්තා. අපි බ්‍රිතාන්‍ය විවේචනය කලාට මන් හිතනවා මෑතකාලීනව බ්‍රිතාන්‍යයන් තමයි එකේ වටිනාකම හදුනා ගත්තේ. අපිට තාමත් ඒ වැඩේ කරගන්න බැරි වුණා. අපේ පුස්කොලපොත් එකතුව පිළිබදව නාමාවලි කිහිපයක් තියෙනවා කෞතුකාගාරයේ පුස්කොලපොත් 5000 ක් විතර තියෙනවා. නමුත් තවම නාමාවලි ගත කරලා තියෙන්නේ බාගයක් විතර වගේ. පේරාදෙණිය පුස්තකාලයේත් එහෙමයි. නමුත් යාපනය විශ්ව විද්‍යාලයේ දෙමල පුස්කොලපොත් ඇති විශාල ගණනක් තියෙනවා ඒවා නම් සුචි ගත කරලා තියෙනවා. අපිට විතරක් ආවේනිකව නෙමෙයි උතුරු නැගෙනහිරත් මේ පුස්කොලපොත් සංස්කෘතිය ඒ විදිහටම තියෙනවා. විශේෂයෙන් අපි මේවා නාමවලිගත කරලා වැඩක් නෑ. පොත් වල නම් ලැයිස්තුවක් තිබ්බට වැඩක් නෑ මේවා අධ්‍යයනය කරනන් අවශ්‍යයි. මේ පොත් වල තියෙන දැනුම අපි අරගන්න ඕනේ. අපි හැමදේම දන්නවා කියල හිතාගෙන හිටියට වැඩක් නෑ.


විශේෂයෙන්ම අපේ රටේ ශාස්ත්‍රීය වශයෙන් අන්ධකාර යුගයක් වශයෙන් හැදින්වුනු නුවර යුගය. ඒ යුගයේ තමයි හැබැයි වැඩි වශයෙන්ම පුස්කොලපොත් ලියවිලා තියෙන්නේ. යන්ත්‍ර මන්ත්‍ර යාතුකර්ම වගේ දේවල් ඒ කාලේ සාමාන්‍ය මිනිස්සු පුස්කොලපොත් වල රචනා කරලා තියෙනවා. වෙදහෙදකම් ගැන පොත් අතිවිශාලයි. ඒ කාලේ පණ්ඩිතයෝ අඩු වුණා අකුරු ලියන්න පුළුවන් වුන අය ලියන්න ගත්තා. ගැටළු තියෙනවා නමුත් ඒ මිනිස්සු ලිව්වා. මේවා කොහොමත් හොයාගන්න නෑ. මොන එකතුවක වත් නෑ. මොන නාමාවලියක වත් ඒවා නෑ. වටිනාකම ඉතාම වැඩියි. මේ පුස්තකාලයෙන් අපි බලන්නේ පර්යේෂණ කටයුතු වල යෙදෙන අයට සම්පුර්ණ සහයෝගය දෙන්න. අත් පිටපත් සංස්කෘතිය ගැන අධ්‍යයනය කරන්න පුළුවන්, භාෂා සාහිත්‍ය ගැන අධ්‍යයනය කරන්න පුළුවන්, පැරණි සන්නිවේදන ක්‍රම පැරණි ඥාන සංවිධානය ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. පුරාතන කළමනාකරණ ක්‍රම, සන්නිවේදන ක්‍රම මේ පිළිබද කරුණු මේ පොත්වල තියෙනවා. මේ පුස්කොලපොත් වල සියල්ල අන්තර්ගතයි. මේක ලොකු නිධානයක්. අධ්‍යයනය කරන අයට කරදරයක් නැතුව මෙතනට ඇවිත් අධ්‍යයනය කරන්න පුළුවන්. අපි පහසුකම් දීල තියෙනවා. අපි හරිම සතුටුයි කවුරුහරි ඇවිත් අධ්‍යයනය කරනවා නම්. නමුත් සිදුවන්නේ අපිට වඩා විදේශිකයෝ මේ සම්බන්ධව වැඩි උනන්දුවක් දැක්වීමයි.

පසුගියදා ඇමරිකානු ජාතිකයෙක් ආවා. ඔහු ආවේ තේල පතහ ගාථා පිටපතක් බලන්න. මම ඇහුව ඇයි ඒ ගැන මෙතරම් උනන්දු කියලා. ඔහු කියනවා මේක රසවත් පාලි කාව්‍යයක් මම අවුරුදු දෙකක ඉදලා මේ ගැන අධ්‍යයනය කරනවා ඒ වගේම මේක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනවා කියලා. ඒ වගේ විවිධ විදේශිකයන් මේ පිළිබදව දැඩි උනන්දුවක් දක්වනවා. විවිධ පුද්ගලයෝ ඉන්නවා මේ තොරතුරු හොයන. විදේශවල මේ දේවල් ගැන ලොකු උනන්දුවක් තියෙනවා නෙදර්ලන්තයේ තියෙනවා ලෙඩ්න් විශ්ව විද්‍යාලය එහි තියෙනවා වෙනම පෙරදිග අධ්‍යයන කරන තැනක් එහි පුස්කොලපොත් අධ්‍යයනය කරනවා. ඔවුන් පසුගිය කාලයේ යන්ත්‍ර මන්ත්‍ර ගැන අධ්‍යයනය කරලා තියෙනවා. අපේ උනන්දුව අඩු උනාට ඔවුන් ඒ ගැන අධ්‍යයනය කරනවා. ඔවුන් බලනවා මුදල් වියදම් කරන්නේ නැතුව දෙයක් මන්තරයකින් කරන්න පුළුවන් නම් එය ලොකු ලාබයක් නේ කියල ඒ වගේ දෘෂ්ටි කෝණයකින් ඔවුන් ඒවා හොයලා බලනවා. බොරුවක් නම් ඒවා මෙච්චර කාලයක් තියෙන්නේ නෑ. මිට වඩා ගැඹුරින් අධ්‍යයනය කලොත් දේශීය අනන්‍යතාවය ආරක්ෂා වෙනවා.

මේ වගේ ජාතික ව්‍යාපාරයක් අපේ සල්ලි වලින් තමයි කරන්නේ. රජය මුදල් වෙන් කරනවා නමුත් අපිට නෙමෙයි. පුස්කොලපොත් අධ්‍යයනයට කියලා වෙන් කරනවා නමුත් කරපු දෙයක් නෑ. අපි ගිහින් හිටපු ඇමති වරයා එක්ක සාකච්ඡා කළා නමුත් සාර්ථක වුණේ නෑ . බොරුවට අපි සංස්කෘතිය වෙනුවෙන් වැඩ කරනවා කියලා පෙන්වන්න මේ වගේ වැඩ කරනවා. නමුත් ප්‍රතිඑලයක් ලැබෙන දෙයක් කරන්නේ නෑ. මුදල් වියදම් කරලා ඇති නමුත් වැඩේ කෙරිලා නෑ. මේ පිඨයේ පශ්චාත් උපාධි පාඨමාලා වල අරමුදල් වලින් කොටසක් වෙන් කරගෙන තමයි මෙය පවත්වාගෙන යන්නේ.’
පුස්කොළ පොත් වටා ගෙතුණු සාහිත්‍යය කලාව සහ සංස්කෘතිය ලංකාවට අවේනික අපේ අනන්‍යතාවය ආරක්ෂා කරන්නකි. එමෙන්ම ඒ තුළ අන්තර්ගත දැනුම ඊටත් එහා ගිය වටිනාකමක් එකතු කරනු ලබයි. බටහිර ලෝකය තාක්ෂණයේ හිනිපෙත්තටම දිවගොස් ඔවුන් නැවත පසුපස බලන කාලයක් උදාවී ඇත. පෙරදිග චින්තන රටාවන් සහ පෙරදිග දැනුම සොයා යන්නට අද යුරෝපය කටයුතු කරනු ලබයි. නමුත් අප සතු වන මෙම සම්පත පිළිබදව යුරෝපියන්ට දැනුනු වටිනාකම තවමත් අපට දැනුනේ නැතිද යන්න විමසීය යුතු කරුණකි. මේ වටිනා සම්පත ආරක්ෂා කර ගැනීමට කැලණිය විශ්වවිද්‍යාලය කටයුතු කිරීම ඉතාම අගය කළ යුතුවා මෙන්ම එවැනි උත්සාහයන් සදහා දිරිගැන්වීම සහ ඒවා ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කිරීම ජාතික අවශ්‍යතාවයක් වන බව සටහන් කළ යුතුමය. ඉන් ලාංකේය අනන්‍යතාවයත් සාඩම්බරත්වයත් මතුවට ආරක්ෂා වනු ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඩිජිටල් තාක්ෂණයෙන් පුස්කොළ පොතට පණ දෙයි Rating: 5 Reviewed By: Unknown