728x90 AdSpace

Latest News
Saturday 22 August 2015

තේජාන්විත ඕකිඩ් මලේ නොනිමි සිරියාව



තේජාන්විතව විකසිතවී ආඩම්බර ලීලාවෙන් මල් ලොවේ විසිතුරු මවන ඕකිඩ් නෙත සිත වසඟයට ගන්නා අයුරු අපූරුයි. ඒ තරමටම මනබන්ධනීය වූ මේ පුෂ්පය ගෙවත්තක විකසිත වීම තරම් තවත් සිරියාවක් තිබේද? දින ගණනාවක්ම පිපී වැජඹෙන ඕකීඩ් මල් කුමරිය මල් ලෝකයේ හමුවන සොබාදහම් දිනිතියගේ අපූරුතම නිමැවුමක් උඩවැඩියා ලෙසත් නම් පටබැඳ ගෙන ඇති ඕකිඩ් සුන්දරිය අයත් වන්නේ ඕකිඩේසියේ   (Orchidaceae)   කුලයටයි. ලොව පුරා ස්වාභාවික ඕකිඩ් වර්ග 25000 -30000 ක් පමණ හඳුනාගත හැකියි. මීට අමතරව දෙමුහුම් උඩවැඩියා වර්ගත් 40000 ක් පමණක් වේ. මේ අතරේ ඕකිඩ් විශේෂ 19000 ක් පමණ ආර්ථික වටිනාකම් ඇතැයි සැලකේ. මෙවැනි වටිනාකමක් ඇති ඩෙන්ඩෝබියම් (Dendrobium)  වැන්ඩා  (Vanda)  ඔන්සීඩියම්  (Oncidium)  කැටලියා  (Cattleya) පැලනොප්සිස් (Phalaenopsis) සිම්බිඩ්යම්  (Cymbidium)  යන ඕකිඩ් වර්ග ශි‍්‍ර ලංකාවේ මල් ලෝලීන්ගේ ආදරයට පාත‍්‍රයි. කිනිති ලෙස මල් පූදින ඕකිඩ් මෙතරම්ම ජනපි‍්‍රය එහි ඇති අසීමිත සුන්දරත්වය නිසාමයි. මේ සුන්දරත්වය වර්ණවත් විවිධ හැඩතලැති ඕකීඩ් මලෙන් පමණක් මතුවන්නක් නොවෙයි. ශාකයේ රිද්මානුකූල හැඩතල මවන සුන්දරත්වයත් ඕකිඩ් වගාව කෙරෙහි අපව ආකර්ෂණශීලී කරනවා. අපට තිබෙන්නේ ඕකිඩ් වගාව සඳහා ගැළැපෙන දේශගුණයක් . වගා කිරීමත් වගාවේ නඩත්තුවත් පිළිබඳ නිවැරැදි දැනුමක් ඇත්නම් මලින් පිරි ඕකිඩ් වගාවකට ඔබටත් පහසුවෙන්ම හිමිකම් කියන්න පුළුවන්. වෙළෙඳ පොළෙන් මිලදී ගත් බෙහෙවින්ම අලංකාර මල් පිදුණු නිරෝගී ඕකිඩ් පැළය ගෙවත්තේ සිටුවා දින සති ගෙවෙද්දී නිසරුවීම ඔබට මතු වූ ගැටලුවක් නේද? නිවැරැදි ලෙස බඳුන්ගත නො කීරීම මෙහිදී ඔබ අතින් සිදුවූ වරදක් විය හැකියි. පැළයේ ස්වභාවය අනුව ඕකිඩ් රෝපණය කළ හැකි බඳුන් වර්ග මෙසේ හඳුනා ගන්න. 1. සිදුරු සහිත මැටි බඳුන් 2. ප්ලාස්ටික් බඳුන් 3. සිමෙන්ති බඳුන් 4. ලී වලින් තැනු බඳුන් 5. පර්ණාංග කැබැලි 6. සිමෙන්ති තැවරූ සෘජුෆෝම් කැබැලි ඕකිඩ් රෝපණ මාධ්‍ය සකසාගත යුත්තේ උළු කැට, ගල් කැට, අඟුරු කැට, 1 : 1 : 1 අනුපාතයට මිශ‍්‍ර කිරීමෙනි. බඳුනේ ජලවහන සිදුරු මත උළු කැට කැබැල්ලක් තබා පතුලේ සිට 1/3 ක් පමණ වනතෙක් මාධ්‍ය මිශ‍්‍රණයෙන් පුරවා ගන්න. බහුපාදි ඕකිඩ් වර්ධක අග‍්‍රය බඳුනේ මධ්‍ය දෙසට එක් කෙළවරකත් ඒකපාදී වර්ගය බඳුන මධ්‍යයේත් සිටුවා මාධ්‍ය මිශ‍්‍රණය පුරවන්න. අනතුරුව පැළයට ආධාරකයක් සිටුවීම ද වැදගත් පියවරකි. අලුත සිට වූ ඕකිඩ් පැළය සහිත බඳුන තැබිය යුත්තේ 50% - 60 % ක් පමණ වන සෙවණකය. මුල් දින කීපයේදී දිනකට දෙවරක් ද පසුව වරක් බැගින් ද ජලය යෙදීම සෑහේ. සති දෙකක් ගත වූ පසු මේ ඕකිඩ් බඳුන නියමිත හිරු එළියේ තැබිය හැකියි. ඕකිඩ් සඳහා ජලය යෙදීම හිතුමතේට කරන්නට එපා. ශාකයේ වර්ධනයටත් නිරෝගි මල් හටගැනීමටත් පොහොර යෙදීමේ නිවැරැදි පිළිවෙත ද අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි.
පොහොර යෙදීමට පෙර ඕකිඩ් පැළයට ජලය සපයා තිබිය යුතු අතර පොහොර යෙදීමට සුදුසු වන්නේ ආලෝකය සහිත උදය කාලයයි. මේ මල් වර්ගය සඳහා සාමාන්‍යයෙන් යොදන්නේ ජලද්‍රාවී පොහොරයි. පැය හතරකට පසු එය ජලය යොදා සෝදා හරින්න. යොදන පොහොර ද පැළය පවත්නා අවස්ථාව අනුව තරමක් වෙනස් වේ. ඒ අනුව කුඩා පැළ සඳහා නයිටි‍්‍රජන් වැඩි පොහොරක් ද (N.P.K   30 : 10 : 10) හෝ (N.P.K  20: 10 : 10)වර්ධක අවස්ථාවේ පොස්පරස් වැඩි පොහොරක් ද  (N.P.K  13 : 27 : 27)  හෝ(N.P.K 7 : 6 : 19)  මධ්‍යම වර්ධන අවස්ථාවේ දී සමතුලිත පොහොරක් ද (N.P.K 20: 20: 20) හෝ (N.P.K 18 : 18 : 18)යෙදිය යුතු වේ. වැඩුණු ඕකිඩ් පඳුරකට සාමාන්‍යයෙන් දිනකට වරක් ජලය යෙදීම ප‍්‍රමාණවත් වුවත් වියළි කාලයේ දී දිනකට දෙවරක් ජලය යෙදීමට අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් සිදුකරන ජල සම්පාදනය දිනපතා උදෑසනත් අමතරව ජලය යෙදීම සවස් කාලයට පෙරත් සිදු කරන්න. මනා අවබෝධයෙන් මෙසේ රැක බලා ගන්නා ඕකිඩ් පඳුරක පීදෙන වර්ණවත් මලින් වෑහෙන සිරියාව ඔබේ දෙනෙතටත් මනසටත් අමයුරු චමත්කාරයක් ගෙනදේවි.


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තේජාන්විත ඕකිඩ් මලේ නොනිමි සිරියාව Rating: 5 Reviewed By: Unknown