728x90 AdSpace

Latest News
Sunday 16 August 2015

දශකයක් කල් මග ගෙවා දෙපැයක හමුවකට ගිය නිව් හොරයිසන් කවුද මේ ප්ලූටෝ?


සෞරග්‍රහ මණ්ඩලයේ අවසන් සාමාජිකයා ලෙසින් සැලකුණි.
සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයෙක් නම් එම ග්‍රහයා අනිවාර්යයෙන්ම සූර්යයා වටා භ්‍රමණය විය යුතුය. 1930 දී ක්ලයිඩ් තොම්බෝට් විසින් සොයා ගත් ප්ලූටෝ 2006 වසර වන තෙක්ම සෞරග්‍රහ මණ්ඩල සාමාජිකයෙක් ලෙසින් සැලකුම් ලැබූව ද පසුව සොයා ගත්තේ ප්ලූටෝ වෙනත් පථයකද ගමන් කරන බවයි. මේ නිසා දශකයක් මුළුල්‍ලේම ප්ලූටෝ සම්බන්ධයෙන් පැවැතියේ විවාදයකි. එක් පාර්ශ්වයක් ප්ලූටෝ වාමන ග්‍රහයෙක් ලෙසින් විග්‍රහ කළ අතර තවත් පිරිසක් ප්ලූටෝ ග්‍රහ මණ්ඩල සාමාජිකයෙක් වශයෙන් සැලකූහ. මේ නිසා, සෞරග්‍රහ මඬුල්‍ලේ අවසන් සාමාජියා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්ලූටෝගේ ඉරණම දෙපසට දෝලනය වූවකි.
නිව් හොරයිසන්
විශ්වයේ තොරතුරු සෙවීම සේම ප්ලූටෝගේ මතෛක් අනාවරණය නොවූ තොරතුරු සෙවීම පිණිස වර්ෂ 2006 ජනවාරි මස 19 දා සවස 7.00ට කේප් තුඩුවෙන් අභ්‍යාවකාශ ගත කිරීමත් සමග මෙහෙයුම ආරම්භ විය. ඇට්ලස් ම 551 රොකට්ටුවෙන් අභ්‍යවකාශයට මුදාහ‍ලේ ඉතිහාසයේ මතෛක් වේගයෙන්ම ගමන් කළ රොකට්ටුව බවට පත් වෙමිනි. වේගය තත්පරයට කිලෝමීටර් 17කට ආසන්න විය. නාසා ආයතනයේ New Frontiers program වැඩසටහනේ තවත් එක් අංගයක් ලෙසින් ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික භෞතික විද්‍යා පර්යේෂණාගාරය සහ සවුත්වෙස්ට් පර්යේෂණ ආයතනයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වේ. මෙහෙයුම් ප්‍රධානියා ඇලන් ස්ටෙයින් වේ. යානයේ බර කිලෝග්‍රෑම් 478ක් වන අතර වොට් 228ක බලයකින් යුක්තය. සමස්ත මෙහෙයුමේ වියදම ස්ටාලින් පවුම් මිලියන හත්සියයකි. යානය ප්ලාස්මීය උපකරණ ද්විත්වයක්, දර්ශන සංවේදී උපකරණ ත්‍රිවිත්වයක්, ධූලි සංවේදකයක් සහ රේඩියෝ සංඥා ග්‍රාහකයකින් සන්නද්ධය. මේ උපකරණ තුළින් ප්ලූටොගේ භූවිෂමතාවය, උෂ්ණත්වය, මතුපිට ස්වභාවය, වායුගෝලීය ස්වභාවය සහ චන්ද්‍රයන් පස් දෙනා සම්බන්ධයෙන් දත්ත රැස්කිරීමට නියමිතය.
ඓතිහාසික අභ්‍යාවකාශ මෙහෙවර නිව් හොරයිසන් යානාව කිලෝමීටර් බිලියන තුනක් දුර ගෙවා, පුරා වසර නවයක් තිස්සේ පැමිණියේ පැය දෙකක තරම් සුළු වේලාවකට ප්ලූටෝට සමීප වීම පිණිසය. නව වසරක් තිස්සේ පෙරුම් පිරූ ඒ ඓතිහාසික මොහොත ඡායාරූපයට නැඟෙන්නේ මානව වංශකතාවේ පමණක් නොව ලෝකයේ බිහිවීම අරභයා ද බොහෝ විස්තර තොරතුරු රැගෙනමය. එනම් ප්ලුටෝ ග්‍රහයාට කිලෝමීටර් 12500 ක් ආසන්න වෙමිනි.

ප්ලූටෝගේ විශාලත්වය සම්බන්ධයෙන් මතෛක් තිබූ නිගමනයන් සනාථ කිරීමට නිව් හොරයිසන් යානාව එවූ ඡායාරූපයන්ට හැකිවිය. දීර්ඝ පරාස ප්‍රතිභිම්භ පිරික්සුම Long Range Reconnaissance Imager හරහා හෙළි වූ අකාරයට ප්ලූටෝගේ දැන් විශ්කම්භය කිලෝමීටර් 2370කි. මේ නිසා ම නේප්චූන් ග්‍රහයාට එපිටින් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම ග්‍රහ වස්තුව බවට ප්ලුටෝ පත් ව තිබේ. 1930 දී ප්‍ලේටෝගේ සොයා ගැනීමේ සිට ඇරැඹී තිබූ විශාලත්වය සම්බන්ධ කතාබහට මේ නිසා විරාමයක් ලැබි තිබේ. එසේ ම ප්ලූටෝගේ ඝනත්වය සම්බන්ධ ගණනය කිරීම් ද වෙනස් වී තිබේ. ඝනත්වය අඩු විය හැකි සේ ම වායුගෝලයේ පහළ ම ස්ථරයේ පැතිරීම ද පෙර ගණනය කිරීම් වලට වඩා අඩුය.
ප්ලූටෝගේ විශාලම චන්ද්‍රයා වන 'චරොන්' ගේ විශාලත්වය ද නිව් හොරයිසන් යානාවේ තාක්ෂණික දෙනෙතින් ගණනය කර තිබේ. එහි විශ්කම්භය කිලෝමීටර් 1208කි. එසේම කුඩාම චන්ද්‍රයන් දෙදෙනකු වන 'නික්ස්' සහ 'හයිඩ්‍රා'ටද හොරයිසන්ගේ දෘෂ්ටියෙන් මිදීමට හැකිවී නැත. නික්ස් සහ හයිඩ්‍රා සොයාගෙන තවම වසර 10කි. පෘථිවියේ විශ්ව අක්ෂිය වන හබල් දුරේක්ෂයෙන් මේ චන්ද්‍රයන් දෙදෙනා සොයා ගත්තේ 2005 දීය. නික්ස්ගේ විශ්කම්භය කිලෝමීටර් 35ක් සහ හයිඩ්‍රාගේ විශ්කම්භය කිලෝමීටර් 45කි විය හැකි බවට ගණන් බලා තිබේ. මේ දෙදෙනාටත් වඩා කුඩා තවත් චන්ද්‍රයන් දෙදෙනෙක් ප්ලූටෝ සතුය. ඒ 'කැබරෝස්' සහ 'ස්ටයික්ස්'ය. මේ දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරියේ දී නිගමනය කළ හැක්කේ නිව් හොරයිසන් යානාවෙන් ලැබෙන ඡායාරූප ස්වභාවය අනුවය. නිව් හොරයිසන් යානාව සතු තාක්ෂණික උපකරණ නිසා යානය ගමන්ගන්නා වේගය කොතෙක් වූවත් ඡායාරූප ගැනීමේ හැකියාව තිබේ. ගන්නා ඡායාරූප නිරීක්ෂණය කිරීමට මෙන්ම මිමි ගත කිරීමේ හැකියාව ද යානය සතුය. මේවා යානය විසින්ම සකසාගෙන දත්ත ගබඩාවේ තැන්පත් කර ගනී.
කිලෝමීටර් බිලියන තුනකටත් එහා දුරක ඇති යානය සමග ගනුදෙනු කිරීම පහසු කර්තව්‍යයක් නොවේ. දුරත් සමග යානය හා සම්බන්ධ වීමට ගුවන්විදුලි සංඥාවකට පැය නවයකට වැඩි කාලයක් ගතවේ. පෘථිවියෙන් යවන සංඥාව යානයට ලැබි ලැබුණු බවට වන සංඥාව ආපසු පැමිණීමට ගත වන කාලයයි. එනම් යානයේ එක් දත්තයක් (ඡායාරූපයක්) ලැබිමට ගත වන කාලයයි. මේ ගණන් බැලීමට අනුව නිව් හොරයිසන් යානයේ සම්පූර්ණ දත්ත ලැබිමට මාස දහසයක කාලයක් ගතවේ. මේ නිසා යානය තවත් මාස දාසයක් අනිවාර්යයෙන් ම නිරුපද්‍රිත ව පැවතිය යුතුමය. දැනට රැස්කරගත් දත්තයන්ගෙන් සියයට අනූනවයක් ම තවමත් ඇත්තේ යානයේ මතක ගබඩාවේ නිසා එය නිරුපද්‍රිත ව පැවැතීම සියලු දෙනාගේ ම එකම ප්‍රාර්ථනාව වී තිබේ. ප්ලූටෝට ඔබ්බෙන් අභ්‍යාවකාශයේ පවතින උල්කාශ්ම කැබැලි යානයේ ගැටුණහොත් යානයේ ආයු කාලය එයින්ම අවසන් වනු ඇත. එවැන්නක් වීමේ සම්භාවිතාවය දසදහසකින් එකකි. යානය නිරුපද්‍රිතව පවතිනු ඇත්තේ 2030 වන තුරු පමණි. ඉන් එපිට කාලයක් පැවතීමට තරම් යානය සතුව ඉන්ධන නොමැති වීම එයට හේතුවයි. යානය ක්‍රියාත්මක වන්නේ න්‍යෂ්ටික බලශක්තියෙනි. මෙහි යොදාගෙන ඇති බලශක්ති මූලද්‍රව්‍ය ප්ලූටෝනියම් ය. එහි ක්‍රියාකාරීත්වය පවත්නා තාක් යානය සක්‍රිය වේ. ප්ලූටෝගෙන් පසුව කූපර් වළාවේ රහස් සෙවීමට නිව් හොරයිසන් යානය යොමු වන්නේ ද එබැවිනි. එහෙත් 2030 දී නිව් හොරයිසන් අක්‍රිය වන විට එය පවතිනු ඇත්තේ පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර මෙන් සිය ගුණයක් එපිටිනි.
2006 වර්ෂයේ ජනවාරි 19 දා නිව් හොරයිසන් යානාව ප්ලූටෝ බලා ගමන් ඇරඹුවේ හිස් අතින් නොවේ. 1930 දී ප්ලූටෝ ග්‍රහයා සොයා ගත් ක්ලයිඩ් තොම්බෝට්ගේ භෂ්මාවශේෂ ද රැගෙනය. ප්ලූටෝට ආසන්න අභ්‍යාවකාශයට ඔහුගේ භෂ්මාවශේෂ එකතු කරන ලද්දේ ඔහුට ගෞරවයක් ද වශයෙනි.සෞරග්‍රහ මණ්ඩලයේ අවසන් ග්‍රහයා වශයෙන් ප්ලූටෝගේ පිහිටන්නේ අවසන් සීමාවේය. මේ අවකාශය නම්කර ඇත්තේ කූපර් වළාව ලෙසිනි. අභ්‍යවකාශ විද්‍යාඥයන්ට අනුව ඒ සෞරග්‍රහ මණ්ඩලයේ තෙවන අභ්‍යාවකාශ කලාපයයි. පළමු වළාව බුද ග්‍රහයා සහ අඟහරු ග්‍රහයා අතර පිහිටන අතර දෙවැන්නේ පිහිටීම සටහන් වන්නේ බ්‍රහස්පති සහ නෙප්චූන් අතරය.පළමු වළල්ල පාෂාණමය ග්‍රහයකයන්ගෙන් පිරී පවතින අතර, දෙවැන්නේ වළල්‍ලේ ඇත්තේ වායු ග්‍රහයන්ගේ අවශේෂයන්ය. තෙවැනි වළල්ල වන කූපර් වළාවේ ධූමකේතු සහ තවත් ක්ෂුද්‍ර ග්‍රාහක කැබැලි ලක්ෂයකට වඩා පවතින බව අභාවකාශ විද්‍යාඥයන්ගේ අදහසයි.
නිව් හොරයිසන් යානාවෙන් ලද දත්තයන් අනුව කූපර් වළාවේද ග්‍රාහක කඳු නිර්මාණය වී තිබේ. එසේම ප්ලූටෝ ග්‍රහයා වටාද ලක්ෂයකට අධික මිදුණු ග්‍රාහක තිබේ. සූර්යයාගෙන් ඉතා දුරින්ම පිහිටීම නිසා වන අධි සීතල තත්ත්වය මත මෙලෙස මිදුණු ද්‍රව්‍ය නිර්මාණය වී තිබේ. ප්ලූටෝ ග්‍රහයාගේ ඡායාරූප නිරීක්ෂණය කරන අභ්‍යවකාශ විද්‍යාඥයන් පවසන්නේ අඩි එකොළොස් දහසක් උසැති කඳු පන්තියක් ප්ලූටෝ මත පිහිටා ඇති බවයි. සැතපුම් සිය ගණනක් පුරා විහිදී ඇති මෙකී කඳු පන්තිය දකුණු පෘථිවියේ රොකී කඳු පන්තිය මෙන් වන බව විද්‍යාඥයන්ගේ අදහසයි. ප්ලූටෝ මතුපිට සක්‍රිය තත්ත්වයේ සීතල ගිනි කඳු ද දැකිය හැකි බවත්, ඒ අතර ප්ලූටෝ මතුපිට නිරන්තරයෙන් ම සක්‍රිය උණුදිය උල්පත්වලින් මෙන් අයිස් වැගිරෙන බවත් විද්‍යාඥයන් පවසයි. උපකල්පනයන්ට අනුව ප්ලූටෝ මතුපිට නිර්මාණය වී ඇති කඳුවල සංයුතිය දියර අයිස් විය හැකිය. මෙම අනිජ අයිස් අනිවාර්යයෙන් ම මීතේන් සහ නයිට්‍රජන්වලින් යුත්ත බව ද ඔවුන්ගේ මතයයි.
ප්ලූටෝ මත මෙසේ කඳු නිර්මාණය වී ඇත්තේ මීට වසර මිලියන සියයකට පෙර සිට බවත්, ඒවා තවමත් සක්‍රිය මට්ටමේ පැවැතිය හැකි බවත් විශ්වාස කරයි. සෞරග්‍රහ මණ්ඩලය මීට වසර බිලියන 4.6කට පෙර බිහිවී තිබෙන නිසාත්, කඳු තවමත් සක්‍රිය නිසාත් විශ්වයේ බොහෝ රහස් මේ තුළ සැඟව පැවතිය හැකි බව ඔවුන්ගේ මතයයි.
විද්‍යාඥයන් අදහස් කරන ආකාරයට මෙම දියර අයිස් තට්ටුව ප්ලූටෝගේ කඳු පන්තීන් දරාගැනීමට තරම් ශක්තිමත් ය. මීතේන් සහ නයිට්‍රජන් වැස්මක් සහිත දියර අයිස් තට්ටුවක නිර්මිත කඳු වළල්ලක් හමුවන ප්‍රථම අවස්ථාව ද මෙයයි. එසේම ඒ හා සමාන තවත් කඳු පන්තියක තොරතුරුද අනාවරණය වී තිබේ. ප්ලූටෝ මත සිදුවන මෙම ක්‍රියාවලිය නිසා බලය නිපදවීමට තාපය අවශ්‍ය වේ යන නියමය ද අභියෝගයට ලක්ව තිබේ.
නිව් හොරයිසන් යානාව ගත් ප්ලූටෝගේ ඡායාරූප අතරින් දැනට ලැබි ඇත්තේ කිහිපයකි. ඒවායෙන් ද ප්ලූටෝ මත හදවතේ හැඩයට යම් පිහිටීමක් හඳුනාගෙන තිබේ. එය තොම්බෝට්ගේ නමින් නම් කිරීමට කටයුතු කර ඇත්තේ ඔහුට ගෞරවය පිණිස ය. කෙසේ වෙතත් දැනට ලැබෙමින් පවතින දත්තයන්ට අනුව ප්‍ලේටෝ ග්‍රහයාගේ තුනෙන් දෙකක් සමන්විත වන්නේ අයිස්වලින් සමන්විත තද පාෂාණයන්ගෙන් බවත්, පෘෂ්ඨයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ණ 230ක් පමණ විය හැකි බවටත් උපකල්පනය කෙරේ.
මධුරංග සී. නුවන්ප්‍රිය


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දශකයක් කල් මග ගෙවා දෙපැයක හමුවකට ගිය නිව් හොරයිසන් කවුද මේ ප්ලූටෝ? Rating: 5 Reviewed By: Unknown