728x90 AdSpace

Latest News
Saturday 22 August 2015

උද්‍යාන අලංකරණය සඳහා කැනාස් ශාකය


මල් පිපෙන විසිතුරු ශාක අතර කැනාස් (cannas)ශාකයට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. මෙයට ප‍්‍රධානම හේතුව වී ඇත්තේ උද්‍යාන අලංකරණය සඳහා කැනාස් ශාකය බෙහෙවින් උපයෝගීී කර ගැනීමය. ඇතැම් විසිතුරු ශාක වගා කර ගැනීමට දැඩි කැපවීමක් අවශ්‍ය වුවද මෙම ශාකය වගා කිරීමටත්, බෝ කර ගැනීමටත් ඉතා පහසුය.මලින් පිරුණු කල නෙතට සුන්දර දසුන් මවන කැනාස් ශාකයේ නිජබිම මධ්‍යම ඇමරිකාව වුවත් අද එය ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇත. විවිධ උස මට්ටම් වලින් යුත් මෙම වර්ගයේ මිටි ශාක මෙන්ම සාමාන්‍ය ප‍්‍රමාණයේ ශාකද දක්නට ලැබේ. පත‍්‍ර අනුවත්, ශාකයේ විවිධ ගති ලක්ෂණ අනුවත් කැනාස් විවිධ නාමයන්ගෙන් හඳුන්වන අතර Canna Phasion, Canna Pretoria, Canna Indian Shot  ඉන් කිහිපයකි.ප‍්‍රභේද කිහිපයකින් යුත් මේ ශාකය අයත් වන්නේ කැනේසියේ (Cannaceae)  කුලයටය. රතු, කහ, තැඹිලි, ද්විත්ව වර්ණ ආදී විචිත‍්‍ර වර්ණයන්ගෙන් යුත් මෙම ශාකයේ පොකුරු ලෙසින් මල් හටගත් කළ අලංකාරය කියා නිම කළ නොහැකිය. ඒ නිසාමදෝ මන්දා ගෙවතු නිර්මාණයේදී කැනාස් ශාකයට ඉහළ ඉල්ලුමක් ලැබෙනුයේ.තුවක්කුවක මූූනිස්සමක හැඩය ගන්නා බැවින් Indian shot යන නමින් හඳුන්වන කැනාස් මලෙහි බීජ හටගනී. මේ නොමේරූ බීජ සුදු පැහැයෙන් යුතු වුවද මේරුණු පසුව ක‍්‍රමයෙන් දුඹුරු පාටට හැරී කළු පැහැයක් ගනියි.කැනාස් පත‍්‍ර විවිධ ප‍්‍රමාණයෙන් ගෙන් යුත්ත වේ. මිටි ශාකවල සාමාන්‍ය මහතින් යුත් දික්වූ පත‍්‍ර හට ගන්නා නමුදු මඳක් විශාල ශාකවල පත‍්‍ර පළලින් සහ දිගින් වැඩිය. මෙම පත‍්‍ර තද කොළ පැහැයෙන් මෙන් ද්විත්ව වර්ණයෙන්ද, බහු වර්ණයෙන්ද දක්නට ලැබෙන අතර කොළපාට, කහපාට මිශ‍්‍ර පත‍්‍ර වැඩි වශයෙන් දැකිය හැකිය. Canna phasion  ශාකයේ පත‍්‍ර රතු පාට සහ කොළපාට ඉරි වලින් සමන්විත අතර මෙම පත‍්‍ර සාමාන්‍ය කැනාස් පත‍්‍රයකට වඩා ප‍්‍රමාණයෙන් විශාලය. දුඹුරු පැහැයට හුරු කැනාස් පත‍්‍රද අපට හමුවන අතර කොළ පැහැති පත‍්‍රයේ රන්වන් පැහැති ඉරි දක්නට ලැබෙන්නේ Canna Pretortia ශාකයේය. මෙම පත‍්‍ර ද ප‍්‍රමාණයෙන් විශාල බවක් ගනියි.
බෝ කිරීමකැනාස් මලෙහි හට ගන්නා බීජ මාර්ගයෙන් පැළ ලබාගත හැකි වුවත් මෙම බීජ සියල්ලම පැළ කරගත නොහැකිය. මේ නිසා පැළ ලබා ගැනීමේ සාර්ථක ක‍්‍රමයක් ලෙස එය හඳුන්වා දිය නොහැකිය. ස්වභාවික රෝපණය තුළින් ලැබෙන මේ පැළ වර්ධනය වන්නේද ඉතා සෙමෙනි. එබැවින් කැනාස් බෝ කර ගැනීමේ පහසුම ක‍්‍රමය වන්නේ අංකූර වලින් පැළ ලබා ගැනීමයි.මෙහිදී මල් පිපී අවසන් වූ කැනාස් ශාක කපා ඉවත් කළයුතු අතර එහි අල මඟින් නැවත මොරෙයියන් හට ගනී. මෙම ක‍්‍රමයට පැළ ගැනීම වඩාත් පහසු වන අතරම ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේද වගා කළ හැකිය. එය කැනාස් වගාකරුවන්ට මෙන්ම උද්‍යාන අලංකරණයේ යෙදෙන අයහට ද මහඟු ප‍්‍රයෝජනයකි.
වගා මාධ්‍යය සහ පොහොරකොම්පෝස්ට් කොටස් එකකට මතුපිට පස් කොටස් එකක් සහ වැලි කොටස් එකක් යොදා මිශ‍්‍ර කොට වගා මාධ්‍යය සකසා ගත යුතුය. කැනාස් ශාකය සාමාන්‍යයෙන් වැඩෙන්නට ආරම්භ වන කාලයේ නයිට‍්‍රජන් වැඩි පොහොරක්ද, යම් තරමින් වර්ධනය වූ පසු 20 : 20 : 20(N. P. K.) සමතුලිත පොහොරක් ද යෙදිය යුතුය. ඉන්පසුව මල් හට ගැනීම සඳහා පොස්පරස් වැඩි පොහොරක් භාවිතා කරන්න.මෙහිදී ජල සැපයුම දිනපතා කළයුතු අතර බඳුනේ හෝ පාත්ති වල ජලය හොඳින් බැස යාමට හැකිවන පරිදි සකස් කර ගැනීම වැදගත්ය.රෝග සහ පළිබෝධ හානිකැනාස් වලට දිලීර රෝග වැළඳීමේ ප‍්‍රවණතාවය වැඩිය. පත‍්‍ර මත වේළුණු ස්වභාවයකින් යුත් පැල්ලම් දක්නට ලැබෙන්නේ නම් එය මලකඩ රෝගය විය හැකිය. මෙය සුදුසු දිලීර නාශකයක් මඟින් සුවකර ගත හැකිය. ඇතැම් විට කුඩා සතුන් ද මෙම ශාකයට හානි කරනු දක්නට ලැබේ. එවිට කෘමිනාශකයක් භාවිතා කිරීමෙන් මෙම ගැටලුව විසඳා ගත හැකිය.ඔබට අලංකාර මල් ලබා ගැනීමටත් සුන්දර දසුනක් නැරැඹීමටත් ශාක නඩත්තුව ඉතා වැදගත්ය. ශාකයේ වියළි පත‍්‍ර ඉවත් කොට පඳුරෙහි වැඩි පැළ ගලවා ඉවත් කරන්න. මල් පිපී අවසන් වූ පැළ සහ වියළි කැනාස් පැළ ඉවත් කර කුඩා මොරෙයියන් වෙන් කර සිටුවා ගන්න. මේ ආකාරයට නිසි පරිදි ශාක නඩත්තු කිරීමෙන් ඔබටත් හොඳ කැනාස් වගාවක් ලබාගත හැකිය.
සටහන - චම්පා වරුසප්පෙරුම
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: උද්‍යාන අලංකරණය සඳහා කැනාස් ශාකය Rating: 5 Reviewed By: Unknown