728x90 AdSpace

Latest News
Sunday, 16 August 2015

සිසිකිරණ වැටුණු ජල රළ මිණිමුතු සේය, මැඩියෙකුගේ ශබ්දය වරින්වර දෙසවනෙහි ගැටුනේය. නොනිදනා නගරය මොහොතකට ගොළුවී ඇත. ඒ නිහඬ නිශායාමයේ මම තනිවීමි. සීතල මඳනල මා වැළඳගත්තේය. දෑස් පියාගත් මම ජීවිතය විඳින්නට සැරසුනෙමි.


සිසිකිරණ වැටුණු ජල රළ මිණිමුතු සේය, මැඩියෙකුගේ ශබ්දය වරින්වර දෙසවනෙහි ගැටුනේය. නොනිදනා නගරය මොහොතකට ගොළුවී ඇත. ඒ නිහඬ නිශායාමයේ මම තනිවීමි. සීතල මඳනල මා වැළඳගත්තේය. දෑස් පියාගත් මම ජීවිතය විඳින්නට සැරසුනෙමි.


‘‘හායි’’

සමන්මල් සුගන්ධයත් සමඟ ඇය පැමිණ සිටියාය. ඇගේ උවන පුරා හසරැල්ලක් නැඟී තිබුණි.

‘‘ඉතිං කොහොමද?’’

මම ඇය සමඟ දොඩමළු වුණෙමි.

‘‘හොඳයි... ඒත් ටිකක් විතර දුකයි’’

ඇගේ වදන් සැබැවින්ම දඟකාර විය. කෙළිලොල් පෙනුමකින් යුතු වූ ඇය සැබැවින්ම සුරූපී දඟකාරිනියකැයි මම අනුමාන කළෙමි. ඒ සුරූපිනියගේ ජීවිතයේ කඳුළක සටහනක් ඉතිරිවූ තැන සිට ඇගේ ජීවිතය කියවූයෙමි.

‘‘මම ජීවිතේ දිහා ගොඩක් සැහැල්ලූවෙන් බැලූව කෙල්ලෙක්. කිසිම දෙයක් ගැන සීරියස් වුණේනෑ. ඉස්කෝලේ යන කාලෙත් මාර ෆන් එකේ හිටියේ. අම්මා මට කොච්චර අවවාද කළත් ඒවා එක කනකින් අහලා අනෙක් කනින් පිටකළා. මම කරනා හැමදේම මගේ තාත්තා අනුමතකළා. එයා නිතරම කිව්වෙ ගෑණු ළමයි නිදහසේ ඉන්නේ අම්ම තාත්තාගාව ඉන්නකොට විතරයි, ඒ නිසා සතුටෙන් සැහැල්ලූවෙන් ඉන්න ඉඩදෙන්න කියලා. ඒ වෙලාවට අම්මා ‘‘ඔයා තමයි මේ කෙල්ලව නරක්කරන්නේ’’ කියලා තාත්තට කෑ ගහනවා. ඒත් ඒ හැම සටනකින්ම ජයගත්තේ මම. ඒ තාත්තා මම ළඟ ඉන්න නිසා.

ඉස්කෝලේ යන කාලේ මට පුදුම ඩාන්සින් පිස්සුවක් තිබුණේ. කැසට් එක දාගෙන තනියම හිංදි සිංදුවලට ඩාන්ස් කරනවා. මම අධ්‍යාපනය ලැබුවේ බාලිකාවක. පන්තියේ ඕෆ් පීරියඞ් එකක් ආවා කියන්නේ අපිට ඉතින් ෆුල් ෆන් තමයි. අපි හැමෝම එකතුවෙලා සිංදු කියනවා, නටනවා... හරිම ජොලි.
මම උසස්පෙළට හැදෑරුවේ නාට්‍යය කරණය විෂය ධාරාව. පෞද්ගලික පන්තිවලින් ඩාන්සින් ඉගෙන ගත්තා. ඒ නිසා පාසලේ තියෙන හැම ප‍්‍රසංගයකම මගේ නැටුමක් තිබුණා.

ඒ කාලේ තිබුණ ලොකුම පිස්සුව තමයි සිනමා තරුවල පින්තූර එකතු කරන එක. මගේ කාමරේ පුරා මම අසාකරන නළු නිළියන්ගේ පින්තූර අලවලා තිබුණේ.

මගේ තාත්තත් කලාවට ගොඩක් ආසයි. ඒ නිසා එයත් ලස්සන පින්තූර හම්බ වුනොත් මට ගෙනැත් දෙනවා. අම්මා මටයි තාත්තටයි හොඳටම දෙහි කපන වෙලාවලූත් තිබුණා. ඒත් අපි ඒවා ගණන්ගත්තේ නෑ. ඒ වෙලාවට මායි තාත්තයි දෙන්නම හිනාවෙලා මාරුවුණා.

ඒ වගේ පසුබිමක හිටපු මම ටී.වී එකේ පුංචි ඇඞ්වර්ටීස්මන්ට් එකකට යන්න පුංචි හීනයක් දැක්කා. මගේ ඒ හීනය ගැන දැන ගන හිටියේ තාත්තා විතරයි.
ඒ නිසා අම්මට හොරෙන් තාත්තා මට සිනමාව සම්බන්ධ පුවත්පත් ගෙනැල්ලා දුන්නා. එහෙම ගෙනාපු එක පුවත්පතක අලූත් චිත‍්‍රපටියකට නළු නිළියන්
ගන්නවා කියලා දාපු දැන්වීමක් තිබුණා. එදා මට මහමෙරක් ලැබුණා වගේ ලොකු සතුටක් ඇතිවුණේ. අම්මට හොරෙන් ඇප්ලිකේෂන් එක පුරවලා තාත්තා අතේ පෝස්ට් ඔෆිස් එකට යැව්වා. ඒකේ ප‍්‍රතිඵලය මට සති දෙකකින් ලැබුණා. ඒ ලිපියත් තාත්තා අම්මට හොරෙනුයි මගේ අතට දුන්නේ. මම ඒ ඉන්ටවිව් එකට ගියෙත් අම්මට හොරෙන් තාත්තත් එක්ක. තාත්තට තිබ්බ චිත‍්‍රපටි පිස්සුවයි මගේ නිළි උණයි එකතුවුණාම අපි කරන දේ බරක් පතළක්, හරි වැරුද්දක් අපිට තේරුණේ නැහැ.

එදා මාව ඉන්ටවිව් එකෙන් තෝරාගත්තා. ස්ක‍්‍රීන් ටෙස්ට් එකට එන්න කියලා ආයේ දවසක් දුන්නා. මටයි තාත්තටයි හරිම සතුටුයි. අපි දෙන්නා ගෙදර ආවත් හැමදේම රහසක් විදියට තියාගත්තා.

මම නගරය ආශ‍්‍රිතව හැදුන කෙනෙක් නිසා හොඳට පාරවල් දන්නවා. බස් එකේ යන්නත් දන්නවා. අම්මට හොරෙන් තාත්තටයි මටයි දෙන්නටම කොළඹ යන්න බැරි වුණා. මම ස්ක‍්‍රීන් ටෙස්ට්එකට ගියේ තනියම.


එදා තෝරාගත්ත පිරිසෙන් කීපදෙනෙක් ඇවිල්ලා තිබුණා. කැමරා, ලයිට්ස් ගොඩක් දාලා තිබුණා. මාව විවිධ ඉරියව්වලින් තියලා පින්තූර ගත්තා. ඒ අත්දැකීමට මම ආශාවෙන් මූණ දුන්නා. ඒ නිළියෙක් වීමේ පිස්සුව හොඳටම තිබුණ නිසා. ඒ විදියට ජීවිතේට අලූත් පාරක් හොයාගත්ත මම අලූත් පන්තියකට යනවා කියලා දවස් කීපයක්ම කොළඹ ගියා. ඒ හැම දවසකම ඒ චිත‍්‍රපටිය නිෂ්පාදනය කරන මහත්තයා මාව චිත‍්‍රපටි රූගත කරන ස්ථානවලට එක්ක ගියා. චිත‍්‍රපටිය නිෂ්පාදනය කරන මහත්තයත් එක්ක ඒ විදියට සුහදවීමට ලැබීම ලොකු භාග්‍යක් කියලයි එදාමට හිතුණේ. ඒත් මගේ ජීවිතේ ඉරණම වෙනස්වුණේ අන්තිමටම මාව ෂූටින් බලන්න එක්කරගෙන ගිය දවසෙයි.

ඇය දිගු සුසුමක් ගෙන නිසල ජලය දෙස බලාසිටින්නට වූවාය. ක්ෂණයකින් ජබොස් හඬක් නඟමින් සැඟව සිටි මැඩියෙකු ජලයට පැන්නේය. ඒත් සමඟම ගිලන් රථයක් වේගයෙන් ධාවනය වන ශබ්දය පරිසරය සිසාරා ගියේය. ඇය යළිත් දැහැනින් මිදුණාය. ඇගේ ජීවිතයේ නැවතුණු ඉසව්වේ සිට නැවතත් ගළපන්නට වූවාය.

‘‘එදා ඒ මහත්තයා මාව එක්කරගෙන ලොකු හෝටලයකට ගියා. දවස් ගාණක් එයත් එක්ක ෂූටින් බලන්න ගිය නිසා මට එයා ගැන පුංචි සැකයක්වත් ඇතිවුණේ නෑ. එයා එදා හොඳටම බිව්වා. මටත් කූල් ඩි‍්‍රන්ක්ස් අරගෙන දුන්නා. ඒත් ටිකවෙලාවකින් මට හිස කැරකිල්ලක් ආවා. මට මතක එච්චරයි. සිහිය එද්දි මම හිටියේ කාමරේක. මගේ ජීවිතේ රැුකගත්තු ගෞරවය මට නැතිවෙලා. මම හොඳටම ඇඬුවා. ඒත් මගෙන් උදුරාගත්ත ගෞරවය මට ලබාගන්න බැරිබව මම දැනගෙන හිටියා. අම්මට බොරුකියලා, අම්මව රවට්ටලා කරපු සෙල්ලමේ භයානකකම තේරුම් යද්දි මට මාවම නැතිවෙලා ඉවරයි.

ගෑණු අපි කොච්චර ශක්තිමත් වුණත් ජීවිතේ වරදින්න යන්නේ ටිකවෙලාවයි. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නෙත් ටික දෙනාටයි. මටත් ලස්සන හීන ගොඩක් තිබුණා. ලස්සන ගෙදරක්, ලස්සන වාහනයක්, ප‍්‍රසිද්ධිය, හොඳ විවාහයක් ඒ සිහින අතර වුණා. ඒත් ඒ සිහින සැබෑ කරගන්න තෝරාගත්ත මාවතේ ඇති කටුකබව තේරුම් ගන්න බැරිවුණා.

එදා ඒ නරුම මිනිහා මාව විනාශ කරලා මට තව යෝජනාවකුත් ගෙනාවා. ඒ මාව ප‍්‍රසිද්ධ ජනප‍්‍රිය තරුවක් කරනවා. ඒක තියෙන්නේ එයාගේ අතේ කිව්වා. ඒත් එයාට චිත‍්‍රපටිය හදන්න මුදල් මදිනිසා මට ඒ මුදල් හොයාගන්න උදව් කරන්න කිව්වා.

මට ගොඩක් දුකයි, වේදනාවයි, මුළු ජීවිතේම කඩාවැටිලා. මේ කිසිදෙයක් ගෙදරට කියන්නත් බෑ. මම ඒ පව්කාර යෝජනාවට කැමති වුණා. මම ඒ මිනිහා කියන කියන ලොක්කන්ව සතුටු කළා. මට ලොකු ගෙයක්, වාහනයක් ලැබුණා. මාව ජනප‍්‍රිය නිළියෙකුත් වුණා. මට විශාල රසික පිරිසකුත් ඇතිවුණා. ඒ හැමදේම ලැබුණ මට ගෙදරිනුත්, ගමෙනුත් ලොකු පිළිගැනීමක් ලැබුණා. මම හැමෝටම උදව්කළා. අදටත් උදව්කරනවා. ඒත් මුළු ලෝකෙටම පේන්න ලස්සනට හිනාවෙලා ඉන්න මම ලෝකෙටම හොරෙන් හැංගිලා දස දාස්වාරයක් අඬනවා. ගෑණියක් විදියට මටත් ආශාවන් තියෙනවා. මමත් කැමති විවාහවෙලා දරුවෝ හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න. ඒත් ඒ හැමදේම මායාවක් විතරයි කියලා මම දන්නවා. අද මම ඉන්න තැනින් මට පහළට බහින්න බැහැ. මම ගැන දන්න අය මට ඉන්න දෙන එකකුත් නැහැ. ඒ ජීවිතෙන් මට මිදෙන්නත් බැහැ.

අද සමාජය බෝඞ් අල්ලගෙන කෑ ගහනවා කාන්තා හිංසනය පිටුදකිමු කියලා. ඒත් කොතැනද කාන්තාවට සාධාරණය ඉටුවෙලා තියෙන්නේ. දක්ෂයෙකුට ඉදිරියට යන්න බැහැ. ස්ත‍්‍රීත්වය කියන දෙය ඒකට හරස්වෙනවා. ගෙදර ස්වාමියාගේ ප‍්‍රචණ්ඩත්වය, කාර්යාලයේ බොස්ලගෙ හිංසනය, මහමඟ පාදඩයන්ගේ ප‍්‍රචණ්ඩත්වය... හැම තැනකින්ම ගැහැණුකම කියන සාධකය දුර්වල වෙලා.

මම රංගනයට දක්ෂයි නම් මට අවස්ථාවක් ලැබෙන්න ඕන. ඒත් මගේ දක්ෂතාවයෙන් ප‍්‍රයෝජන ගන්න, මගේ ඉලක්කයට යන්න මට ගැහැණුකම විකුණන්න වෙලා. මට වගේම ගොඩක් ගෑණු අයට මේකට මුහුණදෙන්න සිද්ධ වෙලා. අපි කැමති නෑ තාමත් අපි දුර්වලයි කියලා පිළිගන්න. ඒත් පිළිගන්න අකමැති කටුක සත්‍යය තමයි ඒක.

ගිනි පුළිඟුවන් දිලිසෙන ඇගේ දෙනෙත් දෙස මම බලා සිටියෙමි. සුන්දර බෙහෝ දේ පිටුපස අසුන්දර බොහෝ දේ ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක නම් සුදුස්සාට සුදුසුතැන ලැබිය යුතුය. එහෙත් තාක්ෂණික වර්ධනයක් පමණක් සිදුවන ආකල්ප සංවර්ධනයක් නොවන සමාජයක සැබැවින්ම සර්වසාධාරණයක් ඉටු කරගැනීම මනඃකල්පිතයකි. එනම් අප සංවර්ධනයට පිය නැඟිය යුත්තේ කුමන නැවතුමක සිටද? සිතීම ඔබට භාරය.

කුමාරි හේරත්


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සිසිකිරණ වැටුණු ජල රළ මිණිමුතු සේය, මැඩියෙකුගේ ශබ්දය වරින්වර දෙසවනෙහි ගැටුනේය. නොනිදනා නගරය මොහොතකට ගොළුවී ඇත. ඒ නිහඬ නිශායාමයේ මම තනිවීමි. සීතල මඳනල මා වැළඳගත්තේය. දෑස් පියාගත් මම ජීවිතය විඳින්නට සැරසුනෙමි. Rating: 5 Reviewed By: Unknown