බුදුරජාණන්වහන්සේගේ ජීවන චරිතයේ විවිධ වැදගත් අවස්‌ථා කලා නිර්මාණ තුළින් නිරූපණය වී ඇති බව බෞද්ධ සිතුවම්, කැටයම් හා මූර්ති කෘතිවලින් මනාව පිළිඹිඹු වේ. පැරණි ඉන්දීය කලාකරුවන් විසින් නිර්මිත මෙම බෞද්ධ කැටයම් භාරුත්, සාංචි, අමරවතී ස්‌තූප ආශ්‍රිත නිර්මාණ ඇසුරෙන් ද, ගන්ධාර හා නාගර්ජුනකොණ්‌ඩ කැටයම් තුළින් ද අපට හමුවේ.
ඇසල පොහොය හා සම්බන්ධ යෑයි සැලකෙන බුද්ධ චරිතයේ සමහර සිද්ධීන් ද යටකී කලා නිර්මාණයන් තුළින් නිරූපණය වී ඇති බව පෙනී යයි. ඇසළ පොහොය දින සිදුවී යෑයි සැළකෙන සිද්ධීන් අතර බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසඳ ගැනීම, සතර පෙරනිමිති දැක ගිහිගෙය ගැන කළකිරී ගිහිගෙයින් නික්‌මීම (අභිනිෂ්ක්‍රමණය / මහාභිනික්‌මන), රාහුල කුමරුගේ උපත, බුද්ධත්වයට පත්වීමෙන් පසු පස්‌වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනය පැවැත්වීම, බුදුරජාණන් වහන්සේ තීර්ථකයන්ගේ මානය බි`දීම ස`දහා ගණ්‌ඩරීබ රුක්‌ඛ මූලයේ දී යමාමහ පෙළහර පෑම, බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩමවා මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන දෙවියන්ට විජම්බණ (අභිධර්මය) දේශනා කිරීම වැනි සිද්ධීන් වැදගත් වේ.
මේ අතරින් කලාකරුවාගේ දැඩි අවධානයට යොමු වූ ද, විවිධත්වයෙන් යුතුව නිරූපණය වූ ද සිද්ධිය වන්නේ 'බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසඳ ගැනීම' යන සිද්ධියයි. ඇසළ පොහොය දින, මහාමායා දේවිය රෑ නින්දෙහි දී සිහිනයක් දුටුවාය. සුදු ඇත් පැටවෙක් සොඬින් සුදු පියුමක් ගෙන දේවියගේ නිදියහන තුන් වරක් පැදකුණු කොට දේවියගේ කුසට වම් ඇලයෙන් ඇතුළුවීම එම සිහිනයයි. බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගන්නේ එම සිහිනය දුටු අවස්‌ථාවෙහි දී ය.
ක්‍රි. පූ. පළමුවන සියවසට අයත් යෑයි සැලකෙන භාරුත් ස්‌තූපයේ ශිලාවේදයේ (ගල්වැට) වෘත්තාකාර පනේලයක ඇති කැටයම, 'මහාමායා දේවිය දුටු සිහිනය' කැටයමට නැගූ මුල් අවස්‌ථාවක් ලෙස සැලකිය හැකිය. බෝධිසත්වයන් වහන්සේ ඇත්පැටවෙකුගේ ස්‌වරූපයෙන් මවුකුසට ඇතුළුවන ආකාරය මහාමායා දේවියගේ වම් අතට උඩින් දක්‌වා ඇති අතර, යහනට පහතින් කාන්තාවන් දෙදෙනෙක් චාමර සලන ආකාරය පෙන්නුම් කරයි. එහි 'භගවතෝ උක්‍රාන්ති' යනුවෙන් බ්‍රාහ්මී අක්‍ෂරයෙන් ඇති සටහනක් වෙයි. (සංස්‌කෘති බසින් එය 'ගර්භාවක්‍රාන්ති' නම් වෙයි. 'ගැබට පිවිසීම' යනු එහි සිංහල අර්ථයයි) මේ අනුව මහාමායා දේවියගේ සිහිනය මෙන්ම බෝසතුන් මවුකුස පිළිසිඳ ගැනීම ද මින් හ`ගවනු ලබයි. ස්‌වාභාවිකත්ව නිරූපණ කලාවට අදාල සිද්ධාන්තයන් අනුගමනය නොකර, ඉතා සරල ආකාරයෙන් කැටයම් කිරීම මෙහි ඇති කැපීපෙනෙන ලක්‍ෂණයකි. පසුතලය මඳක් හාරා රූප මඳක් මතු කිරීමෙන් හා රේඛා මගින් විස්‌තර දැක්‌වීමෙන් ඉතා සරල මට්‌ටමකින් නිමාකර ඇත. රූපවල ïවී ප්‍රකාශනය දුර්වල වුව ද, නරඹන්නා වෙත පැහැදිලි චිත්‍රයක් මවාපෑමට ශිල්පියා සමත්වී ඇත. තලය පිරීයන සේ රචනය වීම කැටයමේ කලා රසය මතුකරවන්නකි.
මේ සිද්ධිය ම තේමා කරගත් පුවරු කැටයමක් ක්‍රි. පූ. පළමුවන සියවසට අයත් සාංචි අංක 01 ස්‌තූපයේ නැගෙනහිර තොරණෙහි දක්‌නට ඇත. එහි ඇති විශේෂත්වය නම් මහාමායා දේවියගේ පා පෙදෙසට ඉහළින් ඇතාගේ ඉදිරිපස කොටස පමණක් කැටයම් කර තිබීමයි.
ක්‍රි. පූ. පළමුවන සියවසට අයත් ගන්ධාර කැටයමකින් ද 'මහාමායා දේවිය දුටු සිහිනය' නිරූපණය කර ඇත. එය රූප පහකින් යුත් රචනයකි. රූපවල මූලික හැඩ සරලව දක්‌වා ඇත. සියුම් විස්‌තර නොමැත. වම් ඇලයෙන් සැතපී සිටින දේවියට සමීපව ඉහළින් ඇත් පැටවා දක්‌වා ඇත.
ක්‍රි. ව. දෙවන සියවසට අයත් අමරවතී ස්‌තූප කැටයම් අතර ද 'මහාමායා දේවියගේ සිහිනය' ප්‍රධාන තැනක් ගනී. ස්‌තූපය වටා ඇති ගල් ගරාදි වැටෙහි එක් රාමුවක බුද්ධෝත්පත්තියට සම්බන්ධ අවස්‌ථා හතරක් වෙන් වෙන් වශයෙන් දැක්‌වීම මේ කැටයමෙහි ඇති විශේෂත්වයකි. කලාත්මක අයුරින් බෙදූ තලයෙහි උඩ දකුණු පැත්තේ දේවිය දුටු සිහිනය කැටයමට නගා ඇත. සිරිත් පරිදි වම් ඇලයෙන් සැතපී සිටින දේවිය බෝසතුන්ගේ පිළිසිඳ ගැනීම සංකේවත් කරවන අතර සතරවරම් දෙවිවරු අංජලී මුද්‍රdවෙන් නමස්‌කාර කරත්. දෙවැනි කොටසින් රාජසභාව මූර්තිමත් කරවන අතර බ්‍රාහ්මණ පූජකවරුන් සිහිනය තෝරන ආකාරය නිරූපිතය. අවසන් කොටසින් සිදුහත් කුමරු මවුකුසින් බිහිවූ බව පෙන්නුම් කරයි. එම අවස්‌ථාව සංකේතාත්මකව නිරූපණය කර ඇත්තේ සල්ගසක් සමීපයේ සිටින දේවියට දකුණු පසින් දෙවිවරුන් කිsහිපදෙනෙකු හැඩට නැවූ වස්‌ත්‍රයක් දෑත්වලින් දරා සිටින අයුරු දැක්‌වීමෙනි. (මෙම සංකේතමය නිරූපණය පසුකාලීන නාගර්ජුනකොණ්‌ඩ ආදී වෙනත් කැටයම්කරුවන් විසින් ද අනුගමනය කර ඇත.) මෙම කැටයම් අනෙකුක් සියලූ කැටයම්වලට වඩා ප්‍රකාශන ගුණයෙන් යුක්‌තය. මානව රූපයන්හි ïවී ස්‌වභාවය, චලන ස්‌වරූපය, රිද්මිත ඉරියව්, රූපවල නම්‍යශීලී බව මනාව නිරූපණය කර ඇත.
අභිනිෂ්ක්‍රමණය හා ප්‍රථම ධර්ම දේශනය ද ඇසළ පුර පසළොස්‌කවක පොහෝ දින සිදු වූ බුදුසිරිත හා සම්බන්ධ වැදගත් සිද්ධි දෙකකි. මේ අවස්‌ථාවන් දෙක ද කැටයමට නැගීමට භාරත ශිල්පීන් උනන්දුවක් දැක්‌වූ බවට සාධක එමටය. අමරවතී ස්‌තූපයේ ගල්ගරාදි වැටෙන් හමුවු එක් කුළුනක අභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වය, ප්‍රථම ධර්ම දේශනය හා පරිනිර්වාණය යන අවස්‌ථා හතර කැටයමින් නිරූපණය කර ඇත. මේවා කුඩා ප්‍රමාණයේ පනේල වුවද අදාල තොරතුරු දැක්‌වීමට ශිල්පීන් උනන්දු වී ඇත. අනෙක් විශේෂිත කාරණය නම් මෙතෙක් භාවිත වූ සංකේත වෙනුවට බුදුරජාණන්වහන්සේ මානව ස්‌වරූපයෙන් දැක්‌වීමය. පසුකාලීන වූ මහායාන බුදුදහමේ බලපෑම් හේතුකොට එසේ සිදුවී ඇති බවට සිsතිය හැකිය. බුදුරුව අවධාරණයෙන් දක්‌වා ඇත. බුදුහිමියෝ අසලින් සිටින නමස්‌කාර ඉරියව් නිරූපිත ශ්‍රමණ රූප පහෙන් පස්‌වග මහණුන් නිරූපණය කෙරේ.
ක්‍රි. පූ. පළමුවන සියවසට පෙර කරන ලද සාංචියේ කැටයම් හි බුදුරජාණන් වහන්සේ හෝ සිදුහත් චරිතය මානව රූපාකාරයෙන් නොදැක්‌වූ අතර ඡත්‍රය, සිරිපතුල, බෝධිය, වජ්‍රාසනය, ධර්මචක්‍රය වැනි සංකේත තුළින් නිරූපණය කර ඇත. සාංචියේ නැගෙනහිර තොරණේ මැද පුවරුවේ දැක්‌වෙන මහබිනික්‌මන කැටයමෙහි අසුපිට යන අයෙක් දක්‌වා නැතත් ඉහළින් ඡත්‍රයක් යොදා තිබේ. ඉන් නිරූපණය වන්නේ සිදුහත් කුමරුන්ය. මේ කැටයම අතිශය සංකීර්ණය. සිද්ධීන් ක්‍රමානුකූලව පෙළගස්‌වා 'අඛණ්‌ඩ කථන' මාර්ගයෙන් (කථාව එක දිගට ගලායන අයුරින්) නිරූපණය කර ඇති නිසා සිද්ධියේ අවස්‌ථා තෝරාගැනීමට ඉන් හැකිවේ. ඉතා සුළු ඉඩකඩක් තුළ රූප බොහෝ සංඛ්‍යාවක් ගැටලුවකින් තොරව රචනය කිරීම ශිල්පියාගේ නිර්මාණ හැකියාව පෙන්වන්නකි. භාරුත් කැටයම් මෙන් නොව මේවා වැඩියෙන් මතුකර දක්‌වා ඇති අතර, වඩා ජීවි ස්‌වභාවයක් ප්‍රදර්ශනය කරයි.
කැටයමින් පමණක් නොව මූර්තියෙන් ද සිද්ධි නිsරූපණයට පැරණි ඉන්දීය ශිල්පීන් පසුබට නොවූ බව සාරානාත් බුදුපිළිමය සාක්‍ෂි දරයි. මථුරා ශිල්පීන්ගේ කෘතියක් වන සාරානාත් බුදුපිළිමයෙන් නිරූපණය වන්නේ බුදුරජාණන් වහන්සේ පස්‌වග තවුසන්ට බරණැස ඉසිපතනයේ මිගදායේ දී ප්‍රථම ධර්ම දේශනය සිදු කළ අවස්‌ථාවයි. පද්මාසනයෙන් වැඩ සිටින බුදුපිළිමයේ දෙඅතින් නිරූපණය වන්නේ ධම්මචක්‌ක මුද්‍රdවයි. බුද්ධ ප්‍රතිමාවේ ආසනයේ අඩක් මතුකර කැටයම් කොට තිබෙන ශ්‍රාවක රූප හයකි. ධර්මය අසන ශ්‍රාවකයන් තිදෙනා බැගින් දෙපසට වී ධර්ම චක්‍රය අල්ලාගෙන සිටිති. ධර්ම චක්‍රය දෙපස දණ ගසා වාඩිවී සිටින මුව පොව්වන් දෙදෙනෙකි. ඒ තුළින් බුදුරජාණන්වහන්සේ මංගල ධර්ම දේශනය පවත්වන බව තහවුරු වේ.
භාරුත්, සාංචි, අමරවතී, නාගර්ජුනකොණ්‌ඩ ආදී සෑම බෞද්ධ වාස්‌තු විද්‍යාත්මක නිර්මාණයක ම පාහේ බුදුසිරිත කැටයමින් නිරූපණය කර දැක්‌වීමට මූර්ති ශිල්පීන් දැඩි උනන්දුවක් දැක්‌වූ බව පැහැදිලිය.
ආර්. ඒ. නයනානන්ද
0 comments:
Post a Comment