728x90 AdSpace

Latest News
Tuesday, 4 August 2015

ශී‍්‍ර ලංකාවේ මුලුම කාසිය “හස් එබූ කහාපන


ලෝහහ සොයා ගැනීමත් සමඟ එතෙක් පැවැති මුදල් මෙන් පිළිගත් විවිධ ක‍්‍රම වෙනුවට ලෝහවලින් පිළියෙළ කර ගත් මුදල් භාවිතයට ජනතාව ක‍්‍රම ක‍්‍රමයෙන් හුරු පුරුදු විය. මෙකී මුදල් මාධ්‍යය පිළිබඳ තොරතුරු පොතින් පතින් පමණක් නොව ශිලා ලේඛන, ගල් කැටයම් වැනි දෑ තුළින් ද දැනගත හැකි ය. කහවනු යන වචනය ශී‍්‍ර ලංකාවේ මුල් කාලයේ සිට සියවස් දහයක් පමණ යන තෙක් කාසිවලට යෙදුන පොදු නාමයකි. එම කාසි අතරින් මුලින්ම භාවිත වූ කාසියේ ඇති සංකේත පිළිබඳ සැලකිල්ලට ගෙන වර්තමාන නාණක විද්‍යාඥයන් එය “හස් එබූ කහාපන”  (Punch marked coin) යන නාමයෙන් හඳුන්වා ඇත.
සංසරණය වූ කාලයමෙකී කාසිය සංසරණය වූ කාලය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඉන්දීය කාසි ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමට සිදුවෙයි. එයට ප‍්‍රධාන හේතුව වන්නේ ඉන්දියාවේ ද මෙකී කාසිය භාවිත කර තිබීමයි. ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පුරාණයේ පටන් විවිධ සම්බන්ධතා පැවැත්වීය. ඒ පිළිබඳව විටින් විට සඳහන් වන වංසකථාවලින් මෙන් ම පුරා විද්‍යාත්මක සාධක තුළින් ද උත්තර භාරතීය සබඳතා හෙළිවන සාක්‍ෂි ලැබී තිබෙයි. මෙම සබඳතා ඔස්සේ කාසි භාවිතය සහ නිෂ්පාදනය ඉන්දියාවෙන් ශී‍්‍ර ලංකාවට හුරු වූ බව විශ්වාස කරයි.හස් එබූ කහාපන කාසිය මුලින්ම ඉන්දියාවේ නිෂ්පාදනය කළ බව බොහෝ නාණක විද්‍යාඥයින්ගේ පිළිගැනීමයි. ඉන්දියාවේ මෙම කාසිය භාවිත වූ කාලය ලෙස සැලැකෙන්නේ කි‍්‍ර. පූ. 3 වැනි සියවසයි. එසේ නම් ශී‍්‍ර ලංකාවෙහි ද මෙම කාසිය එම යුගයේ හෝ ඊට ආසන්න කාලයක දී භාවිතයට එන්නට ඇත. හස් එබූ කහාපන කාසිය අනුරාධපුරයේ නිදන් වස්තු කිහිපයක ම තිබිණි. කි‍්‍ර. පූ. 3 යුගයට අයත් යටාලතිස්ස ධාතු ගර්භයේ තිබී මෙම කාසි සොයා ගැනීමෙන් මෙම කාසිය භාවිත වූ පැරැණිම කාලය ලෙස එම යුගය හැඳින්විය හැකිය. මෙම කාසි භාවිතය පිළිබඳව අවසාන වරට සාධක හමුවන්නේ බෝ උපුල්වන් කසුප්ගිරි විහාරයෙන් ය. එහි අඩිතාලමේ තිබී මෙවැනි කාසි සොයාගෙන ඇති අතර ඒවා කි‍්‍ර. ව. 5 - 6 සියවස්වලට අයත් වෙයි. මෙයින් මෙකී කාසි කි‍්‍ර. පූ. සිට කි‍්‍ර. ව. 5 – 6 කාලය දක්වා සංසරණය වූ බව සිතිය හැකිය.
කාසියේ  ලෝහයරිදී සහ තඹ යන ලෝහ දෙක භාවිත කරමින් කාසිය නිෂ්පාදනය කර ඇත. තඹ ලෝහයෙන් නිෂ්පාදනය කර ඇති කාසි සහ රිදී ලෝහය උපයෝගී කර ගෙන නිෂ්පාදිත කාසි ද හමු වෙයි. මෙයින් විශාල වශයෙන් හමු වී ඇත්තේ රිදී කාසිය. පොළොව යට තිබීමේ දී තඹ ලෝහය විනාශ වීමට ඇති හැකියාව වැඩි නිසා තඹ කාසි විරල වන්නට ඇත.එසේම මෙම ලෝහයන් දෙක මිශ‍්‍ර කිරීමෙන් නිර්මාණය කර ගත්් කාසි ද හමු වේ. විශාල තඹ ප‍්‍රමාණයක් සහ රිදී මිශ‍්‍ර කිරීමෙන් නිෂ්පාදනය කර කාසියත් තඹ ලෝහයෙන් නිෂ්පාදනය කර රිදී ආලේප කළ කාසියත් අනුකරණ කාසි (හොර කාසි) ලෙස සැලකිය හැකි ය. ඒ අනුව මෙකී කාසිය එකම ලෝහයක් පදනම් කර ගනිමින් නිර්මාණය නොකළ බව පැහැදිලිය.සෘජුකෝණාස‍්‍ර, චතුරස‍්‍රාකාර, ඕවලාකාර, වෘතාකාර, ති‍්‍රකෝණාකාර යන හැඩයන්ගෙන් මෙම කාසිය නිර්මාණය කර ඇත. මෙයින් සෘජුකෝණාස‍්‍ර, චතුරස‍්‍රාකාර කාසිවල එක් කොණක් හෝ කොන් දෙකක් කපා දමා ඇති කාසි හමු වෙයි. මෙයට හේතුව වන්නට ඇත්තේ නිෂ්පාදනයෙන් අනතුරුව මෙහි බර සමාන කිරීමට අයින් කපා ඉවත් කිරීමයි. ඒ අනුව මෙම කාසිය නිශ්චිත ලෝහ බරකින් නිෂ්පාදනය කරන්නට ඇති බව පැහැදිලිය.
නිෂ්පාදන තාක්‍ෂණයඑසේම ශී‍්‍ර ලංකාවේ ති‍්‍රකෝණාකාර හැඩයෙන් යුත් එකම කාසියක් හමු වී ඇති අතර එම කාසිය හමු වී ඇත්තේ අනුරාධපුර අභයගිරි විහාරයට අයත් දීඝ පාෂාණ කැණිමෙනි.ඉන්දියාවෙන් ද ති‍්‍රකෝණාකාර හැඩය ඇති කාසි හමු වී නැත.තඹ වෘතාකර සහ ඕවලාකාර කාසි නිපදවීමේ දී තඹ කූරු ගෙන පෙති කපා ගැනීමෙන් එකී කාසි සාදා ගත් බව ඉන්දීය පුරා විද්‍යාඥයන් ප‍්‍රකාශ කරයි. පොළොන්නරුවෙහි සොළී කාසි නිපදවීම සඳහා භාවිත කළ මැටි අච්චු හමු වී ඇත.මෙම අච්චුවෙහි ඇති සිදුරුවලට උණු කළ ලෝහ වත්කර එකී ලෝහ ගුලිය රස්නය ඇති විටම තලා ගෙන වෘතාකාර කාසි නිෂ්පාදනය කර ගෙන ඇත. හස් එබූ කහාපන කාසි නිපදවීම සඳහා ඇතැම් විට මෙවැනි ක‍්‍රමයක් අනුගමනය කරන්නට ඇති බව ද සිතිය හැකිය.සෘජුකෝණාස‍්‍ර, චතුරස‍්‍රාකාර කාසි නිපදවීමේ දී විශාල රිදී තහඩුවක් ගෙන එම හැඩවලට නියනෙන් කපා ගෙන ඇත. නියන වැනි කිසියම් උපකරණයකින් මෙය කපා ගත් බව ඇතැම් කාසිවල කොන්වලින් පැහැදිලිව දැකිය හැකිය.
සංකේත යෙදීමඅනතුරුව කපා ගත් කැබලිවල බර කිරයි. එලෙස බර කිරන්නට ඇත්තේ ඒවායෙහි බර සමාන කර ගැනීමටය. මෙහි දී නියමිත ප‍්‍රමාණයට වඩා බර ඉක්ම වූ ලෝහ කැබලිවල කොන් කපා බර සමාන කර ගෙන ඇත.  කාසියෙහි හැඩය සහ බර සම්පූර්ණ කර පසුව අවසානයට සංකේත සලකුණු කර ඇත.හස් එබූ කහාපන කාසියෙහි කිසිදු පාඨයන් සටහන් නොවී සංකේත පමණක් සටහන් වී ඇත. කාසියක එක් පැත්තක සාමාන්‍යයෙන් සංකේත හයක් පමණ දැක ගත හැකිය. එහෙත් එකම සංකේතයක්වත් නොමැති කාසි ද හමු වී ඇති අතර එක් සංකේතයක් පමණක් ඇති කාසි ද දැකිය හැකි විය.මෙලෙස කාසියෙහි ඇති සංකේත ප‍්‍රමාණය සැලකිල්ලට ගෙන නාණක විද්‍යාඥයන්් කාසියෙහි අභිමුඛය සහ ප‍්‍රතිමුඛය හඳුනාගෙන ඇත. එනම් කාසියක සංකේත වැඩි වශයෙන් සටහන්වී ඇති පැත්ත කාසියෙහි අභිමුඛය ලෙසත් සංකේත එකක්, දෙකක් වැනි සුළු සංඛ්‍යාවක් ඇති පැත්ත ප‍්‍රතිමුඛය ලෙසත් හඳුන්වා ඇත. මෙයින් ප‍්‍රතිමුඛයේ ඇති සංකේත රජයේ හෝ කාසි නිපදවීමේ බලය ලැබූ ආයතනයක සංකේත සටහන් කර ඇති බවත්, අභිමුඛයෙහි කාසි සංසරණය වීමේ දී ඒ ඒ වෙළෙඳ ශ්‍රේණි මගින් සංකේත යොදන්නට ඇති බවත් බොහෝ නාණක විද්‍යාඥයන්ගේ පිළිගැනීම වෙයි.
පුද්ගල රූප, සත්ව රූප, ස්වභාවික වස්තූන්, අවි ආයුධ හා හඳුනා නොගත් සංකේත වශයෙන් කාසිවල සටහන් කර ඇති සංකේත කොටස් කිහිපයකි.මෙහි සඳහන් පුද්ගල රූප නිශ්චිතව හඳුනාගත නො හැකිය. ඇතැම් විට මෙම පුද්ගල රූප තුළින් එම ජනතාව විශ්වාස කළ දෙවි දේවතාවන්ගේ හෝ ප‍්‍රභූ පුද්ගලයන් හෝ සංකේතවත් කළා විය හැකිය. සත්ව රූප අතර සතුන් ගණනාවකගේ රූප දැකිය හැකිය. ඇතා, බල්ලා, මොණරා, ඉබ්බා එම සතුන් අතරින් කිහිපදෙනෙකි. ස්වභාවික වස්තූන් ලෙස කඳු, ගංගා, ගස්, සූර්යා වැනි සංකේත යොදා ගෙන ඇත. වෘක්‍ෂ සටහන් කිරීමේ දී එය මණ්ඩපයක් තුළ ඇති ආකාරයට සටහන් කර ඇත. එයින් පූජනීය වෘක්‍ෂයක් බව මනාව පසක් වෙයි. කඳු සටහන් කිරීමේ දී අඩකව 3 ක්, 5 ක් හෝ 7 ක් දක්වා තිබෙයි. දුණු හෙල්ල වැනි ආයුධ ද නන්දිපාද ලකුණ වැනි හඳුනා නොගත් සංකේත ද මේ අතර වෙයි. මෙකී සංකේත තුළින් ඇතැම් විට වංශ පරම්පරාවන් සංකේතවත් කළ බව හෝ පූජනීය වස්තූන් මෙයට ඇතුළත් කළ බව සිතිය හැකිය.කාසියට සංකේත ඇතුළත් කිරීමේ දී වෙන් වෙන් වශයෙන් එක් එක් සංකේත කාසියෙහි සටහන් කරන්නට ඇති බව සිතිය හැකිය. එනම් මෙම කාසිවල එක් සංකේතයක් මත තවත් සංකේතයක් සටහන් වී ඇති ආකාරය මනාව දැක ගත හැකිය.


  • Blogger Comments
  • Facebook Comments

1 comments:

  1. මේ රූපේ තියෙන්නේ හස්එබූ කහාපණ කාසියක් නෙවේනේ.ඉතිම් අදාල රූපෙත් වැරදි නම් කොහොමද අපි මේ විස්තරය පිලිගන්නේ.රූපේ තියෙන්නේ VOC ඕලන්ද කාසියක්නේ 😐

    ReplyDelete

Item Reviewed: ශී‍්‍ර ලංකාවේ මුලුම කාසිය “හස් එබූ කහාපන Rating: 5 Reviewed By: Unknown