728x90 AdSpace

Latest News
Tuesday 25 August 2015

පරාජය-මරණය-ප්‍රේමය මුසුවු ක්‍රිඩාවේ චමත්කාර කුසලානය අළු බඳුන


දකුණත් පිතිකරුවෙක්‌ මෙන්ම ශූර නායකයෙක්‌ වන ඕස්‌ටේ්‍රලියාවේ මයිකල් ක්‌ලාර්ක්‌ (Michael Clarke) හා කඩවසම් වමත් ක්‍රීඩක එංගලන්තයේ ඇලෙස්‌ටයාර් කුක්‌ (Alistair Cook) මෙම එංගලන්ත ගිම්හානයේදී අළු බඳුන නමින් හැඳින්වෙන ගෞරවනීය කුසලානය හිමි කර ගැනීම පිණිස වූ දරුණු සටනක යෙදී සිටිති. මෙයට වසර එකසිය තිස්‌ තුනකට පෙර ඔවුන් මෙන්ම ඕස්‌ටේ්‍රලියා හා එංගලන්ත ක්‍රීඩකයින් අතර ක්‍රිකට්‌ ගැටුමක්‌ අගෝස්‌තු මාසයේ 28 වන දින පැවැත් වූ නමුත් එවර එය අළු බඳුන නමින් හැඳින් වූයේ නැත. එය ගිම්හානය බැවින් හොඳින් හිරු පායා ක්‍රීඩාවට උචිත සුව පහසු දිනයක්‌ බවට එදින පත්ව තිබුණි. දකුණු ලන්ඩන්හි කෙනිංටන් ඕවල් (Kennington Oval) ක්‍රීඩාංගනය සිසාරා හමා යන දැඩි සුළඟ තෙරපමින් ඉහලට විදින ලද කාසිය ඕස්‌ටේ්‍රලියානු නායක බිලී මුර්ඩොච්ගේ (Billy Murdoch) දෙපා මඟහැර ඕවල් තණ තිල්ල මත පතිත වූයේ එහි වාසිය ඔහු වෙතම හිමි කර දෙමිනි. ඔහු පළමුව පන්දුවට පහර දීම තෝරා ගත අතර එයට හේතු වූයේ එම රමණීය උදෑසනේ තණ තීරුව පිතිකරුවන්ට යෝග්‍යය වේයෑයි උපකල්පනය කළ නිසාය. මුර්ඩෝච් තම හිස්‌ වැස්‌ම ගලවමින් ප්‍රතිවාදී එංගලන්ත නායකයාට සුරත දිගු කර සුබ පැතුවේය. මද සිනාවකින් ඔහුට අතදී සිනාසුනු එංගලන්ත නායක ඇල්බට්‌ හෝන්බි (Albert Neilson Hornby) කාසියේ වාසිය අහිමි වීම පිළිබඳ කිසිදු තැකීමක්‌ නොකළේ වඩාත් හොඳම ක්‍රීඩකයින්ගෙන් සුසැදි කණ්‌ඩායමක්‌ ක්‍රිකට්‌ උපන් එංගලන්තය සතුව සිටි බැවින්ය. ක්‍රිකට්‌ ක්‍රීඩාව බිහි කළ පළමු සුපිරි තරුව ඩබ්ලිව්. ජී ගේ්‍රස්‌ ද (W. G. Grace) මේ අතර සිටියේය. නම් දැරූ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස ඕස්‌ටේ්‍රලියා කණ්‌ඩායමට ඇතුළත්ව සිටියේ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරඟ ඉතිහාසයේ පළමු ශතකය ලබා ගත චාර්ල්ස්‌ බැනර්මන් (Charles Banerman) පමණකි.
පළමුව පිත්ත හැසිරවූ කැන්ගරුවන්ට තම ප්‍රථම ඉනිම විශාල ලකුණු ගණනකට රැගෙන ඒමට නොහැකි වූ අතර එය ලකුණු හැට තුනකට සිමා විය. ඕවල් පිටිය පිරෙන්න පැමිණ සිටි එංගලන්ත නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මැද තම පළමු ඉනිමට පිටියට බට එංගලන්තයටද රැස්‌ කිරීමට හැකි වූයේ ලකුණු සියය ඉක්‌මවා තවත් එක ලකුණක්‌ පමනි. දකුණතින් ආරම්භක පන්දුකරු වූ උසැති ෆේ්‍රඩ් ස්‌පොෆොaත් (F. R. Spofforth) එංගලන්තයේ කඩුලු හතක්‌ ලකුණු හතලිස්‌ හතක්‌ තුළ බිඳ දමමින් තම හොඳම පන්දු යෑවීම වාර්තා කළේ, පළපුරුදු පිතිකරු ඩබ්ලිව්. ගේ්‍රස්‌ ගේ මැද ඉන්නද බිමට සමතලා කරමිනි. දෙවනි ඉනිම සඳහාද ඕස්‌ටේ්‍රලියානුවන් අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගිය අතර ඔවුන් ලබා ගත්තේ ලකුණු එකසිය විසි දෙකක්‌ පමණකි. මහත්වරුන්ගේ ක්‍රීඩාව නැරඹීම සඳහා දෙවැනි දිනටද මහත්වරු හා නෝනාවරු විසි දහසකට අධික පිරිසක්‌ පැමිණ සිටියහ. ඔවුහු නොදැනුවත්ම අමරණිය ක්‍රිකට්‌ තරගයක අවසානය පිළිබඳ ඇසින් දුටු සාක්‌ෂිකරුවන් බවට පත් වීමට නියමිතව සිටියහ.
තරඟයේ ජය සඳහා එංගලන්ත පිතිකරුවන් කළ යුතුව තිබුණේ ලකුණු පුවරුව අසූපහ දක්‌වා කැරකැවීමයි. ගේ්‍රස්‌ හා ඔහුගේ මිතුරන්ට මෙය රට කජු අහුරක්‌ පමණක්‌ම ලෙස පෙනී ගියේ ඔවුන්ගේ දක්‌ෂතා එතරම් ඉහළ මට්‌ටමක තිබු බැවිනි. ඉස්‌තරම් තේ කෝප්පයක්‌ පානයෙන් අනතුරුව ඒ ඉරණම්කාර සැන්දෑවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඉංග්‍රීසීන්ගේ පහසු ජයග්‍රහණය පතා පිටියට පැමිණියහ. ඒ වනවිට කෙනිංටන් ඕවල් පිටිය අසල පිහිටා ඇති දැවැන්ත ගෑස්‌ ටැංකියේ සෙවනැල්ල සෙමින් හතරේ සිමා ඉර සිප ගෙන තිබුණි. ආඩම්බරකාර ඉංග්‍රීසි මහත්වරු හා ෙ-ත්තුකාර නෝනාවරුන් ඔල්වරසන් නගමින් තම පිතිකරුවන් දිරිමත් කළ අතර කැන්ගරුවෝ බිමට නැඹුරු කර ගත හිසින් යුතුව පිටියට පැමිණියහ. ඉක්‌මණින්ම කඩුළු දෙකක්‌ බිඳ වැටුනත් ජෝර්- උල්යෙට්‌ හා සෙමින් ඉනිම ගොඩ නැංවීමට ගේ්‍රස්‌ ට හැකියාවක්‌ ලැබුණි. ඕවල් ලකුණු පුවරුවේ ලකුණු පනහ සටහන් වන විටදී ඔවුන්ට තවත් ලකුණු තිස්‌ හතරක්‌ ලබා ගත යුතු වූ අතර ඒ සඳහා කඩුලු අටක්‌ම ඔවුන් සතුව ඉතිරිව තිබුණි. සුපිරි තරුව ගේ්‍රස්‌ ආයාසයකින් තොරවම ලකුණු තිස්‌ හතරක්‌ ලබා එක්‌ අන්තයක පහසුවෙන් රැඳී සිටියේය. හදිසියේම නව ජීවයක්‌ ලද ඕස්‌ටේ්‍රලියා කණ්‌ඩායම, වෘත්තියෙන් වෛද්‍යවරයෙක්‌ වූ දැවැන්තයා, ගේ්‍රස්‌ දවා ගැනීමට සමත් වූහ . ඔහු තම රස්‌පුටින් (Rasputi) මාදිලියේ දිගු රැවුළ අත ගාමින් ක්‍රීඩාගාරයට පිය මැන්නේ මොනවාදෝ මුමුණමිනි. සෙසු පිතිකරුවන්ද ඔහු අනුව යමින් එකා පසු පස ඉක්‌මනින්ම දැවී ගියේ ජයග්‍රාහි ඉලක්‌කය පසු කිරීමට තව ලකුණු අටක්‌ ඉතිරිව තිබියදීය. ගොදුරු සොයන යක්‌ෂයෙක්‌ ලෙස එංගලන්ත ක්‍රිකට්‌ ඉනිම බිමට සමතලා කළ ෆේ‍ර‍රaඩ් ස්‌පොෆොර්ත් මෙවරද කඩුලු හතක්‌ බිඳ දැමීමට සමත් වූයේ සංචාරකයන්ට සදාතනික මිහිරි මතකයක්‌ ලබා දෙමිනි. ලෙස දිස්‌ වූ හිරු එලිය අඩු වෙමින් යද්දී ක්‍රීඩාංණය ඉහලින් අහස මනස්‌කාන්ත තැඹිලි පැහැයක්‌ ගත් අතර ක්‍රීඩාපිටිය මතට වැටුන යෝධ සෙවනැළි දිගු වෙමින් තිබුණි. එය කැන්ගරුවන්ට සව්දිය පිරීමට උත්තේජනයක්‌ ලබා දෙන වට පිටාවක්‌ විය. වෙනදා උෙද්‍යාaගීමත් එංගලන්ත ප්‍රේක්‌ෂකයන්ගේ මුහුණු මැළවී යද්දී ඕස්‌ටේ්‍රලියානුවන් ඉතිහාසයේ ප්‍රථම වරට එංගලන්ත භූමියේදීම ටෙස්‌ට්‌ තරඟයක ජයග්‍රහණයේ රස බැලීය.
"පසුගිය අගෝස්‌තු මස විසි නමවන දින ඕවල්හි දී එංගලන්ත ක්‍රිකට්‌ ක්‍රීඩාව මිය ගියේය. ශෝකයට පත් හිතමිතුරන් රාශියක්‌ ඉදිරියේ අවසන් කටයුතු පැවතී අතර ආදාහනයෙන් පසු අළු ඔස්‌ටේ්‍රලියාව වෙත රැගෙන ගියේය."
1882 වසරේ සැප්තැම්බර් දෙවන දින ද ස්‌පොටින් ටයිම්ස්‌ (The Sporting Times) පුවත් පතේ පළවූ අවමංගල්‍යය දැන්වීමක එසේ සඳහන් වී තිබුණි එය කවදත් මතභේදාත්මක විශේෂාංග රචනයේ යෙදුන රේනෝල්ඩ් ෂර්ලි බෘක්‌ (Reginald Shirley Brooks) විසින් ලියන ලද්දකි. ඉංග්‍රීසී ජනමාධ්‍යය එසේ උපහාසයෙන් අවමානයේ දිග පළල තක්‌සේරු කරමින් එංගලන්ත ක්‍රිකට්‌ ක්‍රීඩාව පිළිබඳ සඳහන් කිරීමට නිමිත්ත වූයේ ඕවල් නගරයේදී ලද පරාජයයි. නමුත් මෙම පරාජය ක්‍රිකට්‌ පුරාවෘත්තයක ආරම්භය විය. ඒ මෙම දෙරට අතර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරඟ වලදී ජයග්‍රාහකයාට පිරිනමන අළුබදුන කුසලානයේ උපතයි. ලොව ඕනෑම ක්‍රීඩාවක ප්‍රතිමලුන් බිමදමා ජය පැන් බොන්නන්ට ලබා දෙන ඉහලම ජය සලකුණක්‌ ලෙස එදා ඕවල් පිටියේදී මිය ගිය ක්‍රිකට්‌ ක්‍රීඩාව සංකේතවත් කරන අළු බහා සැකසූ අළු බඳුන හැඳින්වීමට හැකිය. නමුත් සැබවින්ම බඳුනක්‌ තුළට අළු පැමිණීමද රසවත් කතාන්දරයකි.
මැරුණු ඉංග්‍රීසි ක්‍රිකට්‌ ක්‍රීඩාවට නැවත ප්‍රාණය ලබා දීමේ අරමුණින් ඕවල් තරඟයෙන් මාස කිහිපයකට පසුව ක්‍රිකට්‌ සංචාරයක්‌ කැන්ගරු දේශය සමඟ පැවැත්වීම සඳහා සැලසුම් කෙරුණි. මේ සඳහා සීතල උඳුවප් මාසයේදී ජාතික කණ්‌ඩායම ලන්ඩන් වරායෙන් ඔස්‌ටේ්‍රලියාව බලා නැව් නැග්ගේ කණ්‌ඩායමේ වෙනස්‌කම් කිහිපයක්‌ද සමඟිනි. ඕවල් තරඟයේදී නායකත්වය දැරූ ඇල්බට්‌ හෝන්බිව ඉවත් කර තිබු අතර ඉංග්‍රීසි ප්‍රභූ පවුලක සාමාජිකයෙක්‌ වූ ඉවෝ බ්ලයි (Ivo ‘Lemur’ Bligh) නව කප්පිත්තා බවට පත්වුයේ ඔවුන් ගමන් ගත් නෞකාවට නොව එංගලන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායමටය. තවත් සුවිශේෂී දෙයක්‌ වුයේ සුපිරි ක්‍රීඩක ගේ්‍රස්‌ එම නෞකාවේ නොසිටීමයි.
ඔස්‌ටේ්‍රලියාවට පැමිණි පසු නායක බ්ලයි කියා සිටියේ අපෙන් කැන්ගරුවන් රැගෙන ආ අළු නැවත රැගෙන යන බවයි. නැතහොත් සිඳී ගිය අභිමානය නැවත දිනා ගන්නා බවයි. ටෙස්‌ට්‌ තරඟ තුනකින් යුතුවූ තරඟාවලිය බලාපොරොත්තු වූහ ලෙසින්ම බ්ලයි ඇතුළු පිරිවරට දිනා ගැනීමට හැකි වූහ. ඔවුන් කැන්ගරුවන්ගේ ක්‍රීඩාව අළු බවට පත් කළේ දෙකට එකක්‌ ලෙසිනි. මේ අතරතුර ඔවුන් නත්තල් සාදයකට සහභාගිවෙමින් සිටියේදී වංශවත් එංගලන්ත නායකයාගේ නෙත් එම සාදයට සහභාගී වූ සුරූපී සංගීත ගුරුවරියක්‌ අභියස නතර විය. දෑස්‌ පමණක්‌ නොව ඔහුගේ හදවතද අවසානයේදී මෙම දඟකාරිය කෙරෙහි ඇදී ගියේ ඇය ඔහුගේ අනාගත සහකාරිය බවට පත් කර ගනිමිනි. ඇය නමින් ෆ්ලොරන්ස්‌ මෝපි (Florence Morphy) නම් වූවාය. සංචාරය නිමවා සිය රට පැමිණීමට පෙර ඉවෝ බ්ලයි වෙත ඇය විසින් සුවඳ විලවුන් බඳුනක්‌ තෑගි දෙන ලදී. එය ෆ්ලොරන්ස්‌ හා ඇයගේ තවත් මිතුරියන් කීප දෙනෙකු විසින් සකසා ඇත. නමුත් එතුල බහා තිබුණේ සුවඳ විලවුන් නොව ක්‍රිකට්‌ බේල්ස්‌ කිහිපයක්‌ දවා ලබා ගන්නා ලද අළුය. (මෙය විවාදිතය) ඕවල්හිදී මියගිය ඉංග්‍රීසී ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අළු සංකේතාත්මකව රූපාන්තරණය කිරිමක්‌ මෙහිදී මෙම රූමත් තරුණියන් විසින් සිදුකර තිබුණි.
අළු බඳුන රැගෙන බ්ලයි සියරට පැමිණියේ දිනූ අභිමානයත් සමඟින්ය. ඉන්පසු එංගලන්ත නායකයා සුරූපී සංගීත ගුරුවරියගේ පෙම්බරා ලෙස වසරක පමණ කාලයක්‌ සිටීමෙන් අනතුරුව ඇය හා විවාහ වූවේය. ඇය තෑගි කළ අළු බදුන 1927 වසරේදී ඉවෝ බ්ලයි මිය යන තුරුම දෙදෙනාගේ නිවසේ තිබුණු අතර ඉන් පසු එය ෆ්aලොරන්ස්‌ මෝපි මහත්මිය එය ලෝර්ඩ්ස්‌ ක්‍රීඩාංගනයේ කෞතුකාගාරය වෙත ලබා දුන්නාය. අඟල් හයක උසකින් යුතු වූ මෙම කුඩා මංජුසාව ටෙරා කොටා අමුද්‍රව්‍යයෙන් නිමවා ඇත. ලෝර්ඩ්ස්‌හි කෞතුකාගාරයේ එය තැන්පත් කර තිබුණද එංගලන්තය හා ඔස්‌ටේ්‍රලියාව අතර පැවැත්වෙන ටෙස්‌ට්‌ තරඟාවලියන්හි ජයග්‍රාහකයන් සඳහා පිරිනමන කුසලානය අළු බඳුන ලෙසම හැඳින්විණි. ඒ වෙනුවෙන් සංකේතාත්මකව එහි අනුරුවක්‌ ප්‍රදානය කිරීමේ සම්ප්‍රදාය ශත වර්ෂයකට අධික කාලයක සිට තවමත් අඛණ්‌ඩවම පැවතේ. නමුත් වර්ෂ 2009 දී මෙම කුඩා මංජුසාව වෙනුවට පලිඟු වලින් නිපදවනු ලැබූ කුසලානයක්‌ පිරිනැමීම ආරම්භ විය. එය ප්‍රථම වරට අත දරා ගැනීමට සමත් වූයේ, විචක්‌ෂණශීලි ඕස්‌ටේ්‍රලියානු නායකයෙකු වූ මාර්ක්‌ ටේලර්ය. 1930 දශකයේදී මහත් ආන්දෝලනයට ලක්‌වූ බොඩි ලයින් (Bodyline) තරඟ පෙළද අළු බඳුන හිමි කර ගැනීම උදෙසා සිදු වූ සංග්‍රාමයකි.
අළු බඳුන ශුරතාව එදා මෙදාතුර ක්‍රීඩාවේ විශිෂ්ටතමයන් හා සිදුවීම් රාශියක තිඹිරි ගෙය බවට පත්ව ඇත. පළමු ක්‍රිකට්‌ තාරකාව ගේ්‍රස්‌, පළමු ශතක ලාභියා චාර්ල්ස්‌ බැනර්මන් මෙන්ම වික්‌ටර් ට්‍රම්පර්, විල්µ්‍රඩ් රෝඩ්ස්‌, සිඩ්නි බාර්න්ස්‌, ජැක්‌ හොබ්ස්‌ වැනි සුවිශේෂී ක්‍රීඩකයන් මුල් යුගයේදීද, ක්‍රිකට්‌ ක්‍රීඩාව බිහිකළ අසිරිමත්ම පිතිකරුවා ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ලෙන් හටින්, වොලී හැමන්ඩ්, හැරල්ඩ් ලාවුඩ් ඉන් පසුවද අළු බඳුන වේදිකාවක්‌ කර ගනිමින් ක්‍රිකට්‌ කරළිය එකලු කර ඇත. එමෙන්ම හැත්තෑව දශකයෙන් පසු චැපල් සොයුරන් හා ඇලන් බෝඩර්, හැඩකාර ඩේවිඩ් ගවර්, පැයට සැතපුම් සියයකට ආසන්නයට පන්දු යෑවූ මාරක වේග පන්දු යුවළ ලිලී හා තොම්සන්, ඉයන් බෝතම්, වෝ නිවුන් සොයුරන්, ෂේන් වෝර්න්, මැග්‍රාත්, පොන්ටින් ආදී ක්‍රීඩාවේ ශේ්‍රෂ්ඨයන් පෙළක්‌ම අළු බඳුන තම රටට හිමිකර දීම වෙනුවෙන් දහදිය හෙළා ඇත. මේ වනවිට අළුබඳුන වෙනුවෙන් මෙම දෙරට 69 වරක්‌ උරෙන් උර ගැටී ඇති අතර දෙපිලම තරඟාවලි 32 බැගින් ජයග්‍රහණය කර ඇත. සත්‍යය ලෙසම මහත්වරුන්ගේ ක්‍රීඩාවේ චමත්කාරය වැඩි වීමට වැඩිම දායකත්වයක්‌ ලැබී ඇත්තේ පරාජය, මරණය, ප්‍රේමය හා ක්‍රීඩාව යන සියල්ලේම මුසුවක්‌ව උපත ලැබූ දඟකාර සංගීත ගුරුවරිය ෆ්ලොරන්ස්‌ගේ සුවඳ විලවුන් මංජුසාව නැතිනම් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ පුරා වෘත්තයක්‌ වූ අළු බඳුනය.
Ö ප්‍රවීණ සේනාධීර

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පරාජය-මරණය-ප්‍රේමය මුසුවු ක්‍රිඩාවේ චමත්කාර කුසලානය අළු බඳුන Rating: 5 Reviewed By: Unknown