728x90 AdSpace

Latest News
Saturday 22 August 2015

නිවැරදි කප්පාදුවෙන් ලස්සන මල් ගොඩක්


නයනීයවූත් මනනීය වූත් සුමුදු සුවඳ නිරතුරු වෑහෙන සුන්දර රෝස පඳුරක් ගෙවත්තටම සිරියාවයි. මෙතරම් මනරම් රෝස මල් පොකුරු පුදින්නේ අලුත් අතුරිකිලි ඇති සරුසාර රෝස පඳුරක පමණයි. දිගු ආයුකාලයක් හිමි රෝස ගසකින් හැමදාමත් නැවුම් වූ මල් විකසිත වන්න විටින් විට කප්පාදුවෙන් එය අලුත් කරගත යුතුයි. එහෙත් මෙය ඉතා පරෙස්සමින් කළ යුතු කාර්යයක්. අනවබෝධයෙන් කරන කප්පාදුවක් නිසා ඇතැම් විට ගසට බරපතල හානියක් පවා සිදුවිය හැකියි. ඔබ හදවතින්ම ආදරය කරන සුන්දරත්වයෙන් යුතු මේ රෝස කුසුමියේ සිරියාව බලන්නට පසුවන්නේ නොමද ආසාවකින්ද? රෝස මලකින් ලබන ආස්වාදය හිතේ හැටියට විද ගන්න නම් නිවැරැදි කප්පාදුවක් අවශ්‍යමයි. කප්පාදුව යන්න සරළ බසින් පවසතොත් ගසේ අනවශ්‍ය අතු ඉති ඉවත් කිරීමයි. මෙහිදී රෝගී අතු ඉවත් වීමෙන් රෝස පඳුර අලුත් වෙනවා වගේම පඳුරේ උසත් පාලනය වෙනවා. රෝස පඳුරේ ආයුකාලය සහ ස්වභාවය අනුව කළයුතු කප්පාදුවත් විවිධයි. ඒ අනුව රෝස කප්පාදු කිරීමේ ප‍්‍රධාන ක‍්‍රම තුනක් වෙනවා.1. දළ කාප්පාදුව2. මධ්‍ය කප්පාදුව3. දැඩි කප්පාදුවදළ කප්පාදුවේදී රෝගී වූ සහ කැඩී බිඳි ගිය අතු සම්පූර්ණයෙන් ද සමස්තයක් ලෙස ප‍්‍රධාන අතු වලින් 2/3 ක් පමණ ද ඉවත් කෙරේ. මෙහිදී ඉතිරි වන්නේ පිටතට විහිදුණ නිරෝගී අතු තුන හතරක් පමණි. ඔබේ රෝස වගාව වසර 3 ක් පමණ වියපත් වී ඇත්නම් ඊට මධ්‍යම කාප්පාදුවක් සිදු කළ හැකියි. එහිදී රෝගී සහ කැඩි බිඳී ගිය අතු සියල්ලත් ප‍්‍රධාන අතු වලින් අඩක් පමණත් කපා ඉවත් කළ යුතුය. වසර 7 කට වඩා වැඩි රෝස පඳුරක් සඳහා යෝග්‍ය වන්නේ දැඩි කප්පාදුවයි. මෙහිදී රෝස පඳුරේ සෑම අත්තක්ම කප්පාදුවට ලක් කෙරේ. ඒ අනුව පඳුරේ උස අඩියක් පමණ වන තෙක් සියලුම කොටස් කපා ඉවත් කළ යුතුය. සාමාන්‍යයෙන් ඕනෑම වර්ගයක කප්පාදුවක් සිදු කිරීමේදී පිළිපැදිය යුතු මුලික කරුණු රැසකි. කප්පාදුවක් අවශ්‍යයැයි ඔබ තීරණය කළ රෝස පඳුරක මැරීගිය අතු පළමුව ඉවත් කරන්න. ඒ සමගම දුර්වල සිහින් වූ අතු ද ඉවත් කරන්න. මේ දුර්වල අතුවල කිසිවිටකත් සුන්දර පිරිපුන් රෝසමල් නොපිපේ. පඳුරේ අභ්‍යන්තරයට වැඩුණු හරස් අතු ද ඉවත් කළ යුතුය. ඒ ආලෝකය නිසි ලෙස නොලබන නිසා මෙම අතුවලද මල් නොපූදින නිසාවෙනි.
ගසක් කප්පාදු කිරීමෙන් පසු කැපුමේ සිට පහළට සිදුවන පසු මැරීම බොහෝවිට උද්ගතවන ගැටලුවකි. කැපුම හැකිතාක් අංකුරය අසලින් සිදු කිරීමෙන් මේ පසු මැරිම පාලනය වේ. එමෙන්ම අංකුරයෙන් ඉවතට කැපුම් කළ පෘෂ්ඨවල දිලීර නාශකයක් හෝ ලා පාට තීන්ත ආලේප කිරීමෙන් ද කප්පාදුවෙන් ශාකයට සිදුවන හානි බොහෝ දුරට වළක්වා ගත හැකියි. ඕනෑම ආකාරයක කප්පාදුවකින් පසුව රෝස පඳුරට පොහොර සහ ජලය නිසියාකාරයෙන් යෙදීම අත්‍යාවශ්‍යයි. එහෙත් මෙහිදී සිහි තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ කප්පාදුවට සතියකට පෙර හෝ පසු රසායනික පොහොර නොයොදන බවයි. පැළය වටා කවයක් ලෙස පස බුරුල් කොට කාබනික පොහොරත් ජලයත් යෙදීමට ඔබට හැකියි. එමෙන්ම දැඩි වර්ෂා කාලයේදී මෙන්ම දැඩි හිරු රශ්මියක් ඇති පායන කාලයේ දි රෝස ගස කප්පාදුවට ලක් කිරීම එතරම් නුවණට හුරු නැහැ. කප්පාදුව ඉතා සියුම් කැපුමක් ලෙස සිදු කළ යුතු නිසා ඒ සඳහාම විශේෂිත වූ “ කැපුම් කතුර “ භාවිතා කරන්නට වග බලාගන්න. මෙය වෙළෙඳ පොළෙන් පහසු මිලට මිලදි ගත හැකියි. මෙතෙක් ඔබේ ගෙවත්තේ නොසලකා හැරි රෝස පඳුරක් නිසි කප්පාදුවට ලක් කිරීමෙන් සොඳුරු මලින් බර වූ අයස්කාන්ත ගෙවත්තක් ඔබටත් හිමිකර ගත හැකි වේවි.
ප‍්‍රසන්නී ගී තරංගමා


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නිවැරදි කප්පාදුවෙන් ලස්සන මල් ගොඩක් Rating: 5 Reviewed By: Unknown