728x90 AdSpace

Latest News
Tuesday 18 August 2015

බොදුබැතිය වඩවන අභයගිරිය


ක්‍රි.පු.පළමු වැනි සියවසේ ඉදිවී අනුරාධපුර රාජධානිය නිරිත දිගට සංක්‍රමණය වීමත් සමඟ පරිහානියට පත් අභයගිරි විහාර සංකිර්ණය අතිතයේ ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක්ව පැවැතියේ ය. වරින් වර කැණිම් හා සංරක්ෂණ කටයුතු කරමින් පැවැති අභයගිරි ස්තූපයේ ප්‍රතිසංස්කරණ 1981 ආරම්භවිමෙන් පසු නොකඩවා සිදු විය. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදු කරන්නට යෙදුණු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ව අභය ගිරි ස්ථූපය නැවැත විවෘත විනි.මේ ලිපිය ඒ නිමිත්තෙනි.
අභයගිරි විහාරය ක්‍රි.පු පළමු සියවසේදී ලක්දිව වළගම්බා රජු විසින් කරවු විහාරයකි. ක්‍රි.ව. එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණි. විවිධ උසස් කලා ශිල්ප දක්නට ලැ‍බෙන ඉතා අලංකාර විහාරයක් ලෙස අභයගිරි විහාරය දැක්විය හැකි අතර ලංකාවේ ඇති වු දෙවැනි බෞද්ධ නිකාය වේ.
මෙය පැරණි ඉන්දියාවේ පැවති නාලන්දා, ජගද්දලා, වික්‍රමශිලා වැනි බෞද්ධ ආරම්භක විශ්ව විද්‍යාල ගණයට ඇතුල් කළ හැකිය. ගුණවර්මන් නැමති කාශ්මීර රජතුමාද, පාහියන් වැනි චීන ජාතික භික්ෂුන්ද ඇතුලු විදේශිය පිරිස් ආගමික අධ්‍යාපනය සඳහා මෙහි පැමිණියහ. මහා විහාරය ථෙරවාදයට පමණක් සිමා වී සිටියදී අභයගිරිය එවකට පැවති හීනයානා හා විවිධ මහායානා දර්ශනයන් අධ්‍යයනයට හා ඒවා ප්‍රකාශයට ඉඩ ලබා දී ඇත. සතර මුලයකින් වට වු අභයගිරි විහාරයේ රත්න ප්‍රසාදය දිව්‍ය විමානයක් බඳු වු බව පස්වන කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපියේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ සුවි‍ශේෂි කලා නිර්මාණ අතර‍ ප්‍රමුඛස්ථානයක් ගන්නා මුරගල, සඳකඩපහණ, කුට්ටම් පොකුණ, සමාධි බුදු පිළිමය ආදිය පිහිටා ඇත්තේද අභයගිරියේය.
දෙමළ සේනාව අතින් පරාජයට පත් වී ආරක්ෂාව පතා පලායමින් සිටී ලංකා ද්වීපයේ මහ රජු දුටු ගිරි නිගන්ඨයා "මහා කළු සිංහලයා පලායති"යි වහසි බස් බිණිය. නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය කඩා දමා අභයගිරිය සාදා තමාට බැරි කාලයේදි උපකාර වු කුපික්කල මහාතිස්ස හිමියන්ට පුජා කළබවත් තමාගේත් නිගණ්ඨයාගේත් නම් එක් කොට එය අභයගිරි විහාර‍ය යනුවෙන් නම් කළ බවත් මහා වංශයේ සඳහන් වේ. පුරාණයේ උස් බිම් හා පර්වත ආශ්‍රිතව ඉදි කළ විහාරගිරි යන්නෙන් අවසන් කර ඇත. මේඝගිරි, චේතියගිරි, මුහුන්දගිරි, වෙස්සගිරි ආදියේත් ගිරි නිගණ්ඨයන් නොසිටි හෙයින් අභයගිරි යනු අභය රජතුමා උස් බිමක සෑදු විහාරය නිසා නම් වු බව පෙනේ. පස්වැනි සියවස වන විට මෙහි භික්ෂුන් 5000 ක් වැඩසිටි බව අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික පාහියන් හිමියන් සඳහන් කරයි. එසේම හතරවැනි සියවසේදි කිත්සිරිමෙවන් රජ දවස මෙරට ගෙන ආ දළදා වහන්සේගේ භාරකරත්වය හිමි වුයේද අභයගිරියේ පැරණිතම භික්ෂූ කණ්ඩායම වු උත්තර මුලය‍ටයි. අනුරාධපුර යුගයේදි දළදා පෙරහැර පැවතුනේද ඇතුළු නුවර සිට අභයගිරියටයි. ලංකාරාමය මෙහි භික්ෂුණි ආරාමයක් විය. වයඹදිග ප්‍රදේශයේ තපෝවනයක් ද විය. 1017 සොළි ආක්‍රමණ නිසා අඩපණ වු අභයගිරිය 1215 මාඝගේ ආක්‍රමණය නිසා වල්වැදි ගියේය.
ක්‍රි. වර්ෂයෙන් 5වැනි සියවසේ ලක්දිව පැමිණි පාහියන් භික්ෂුවගේ වාර්තාවට අනුව අභය ගිරි ‍‍චෛත්‍ය ඉදිවී ඇත්තේ බුදුන්ගේ සිරිපා සලකුණ මතය. ක්‍රී.පූ.1වැනි සියවසේ ඉදිවූ මෙම චෛත්‍යය පිළිබඳ විවිධ කතා තිබේ. තෙවෙනි ලංකා ගමනයේ දී ලක්දිව පැමිණි බුදුන්වහන්සේ ලක්දිවින් නික්මයෑම සඳහා අහසට පැන නැඟී ස්ථානයෙහි අභය ගිරි චෛත්‍ය ඉදිවූ බව ජනශ්‍රැතියේ සඳහන්ය.
පාහියන්ගේ වාර්තාව අනුව ක්‍රි.ව.5වැනි සියවසේ දී මෙය ලොව විශාලතම සහ උසම ස්ථූපය වූ බව ද එය උසින් අඩි 400 උසින් යුතු වූ බව ද කියැවේ. මුල් කාලයේ බුබ්බුලාකාර චෛත්‍යයක් වූ මෙය පසු කාලීන ප්‍රතිසංස්කරණවලින් පසු ප්‍රමාණයෙන් කුඩා වි ඇති බවටද මෑත කාලීන ප්‍රතිසංස්කරණ වලින් පසු ධාන්‍යාකාර ස්වරූපයක් දක්නට ලැබෙන බවටද අදහසක් තිබේ. පළමුවන පරාක්‍රම බාහු රජුගේ ප්‍රතිසංස්කරණ වලින් පසු එය අඩි 280 තරම් උසට තනා ඇත. එහෙත් වර්තමාන දාගැබේ උස 243 ක් පමණ වේ. පාදමේ විශ්කම්භය අඩි 310කි. දාගැබේ පිහිටිගලින් කළ වේදිකාවේ එක් පැත්තක් අඩි 587ක් පමණ වේ.
වළගම්බා රජු ස්ථුපය ඉදිකිරීමෙන් අනතුරුව පළමු ගජබා රජු ක්‍රිව 1වැනි සියවසේ දී ප්‍රතිසංස්කරණය කර තිබේ. ස්තූපයේ සිව් මහල් වාහල්කඩ කණ්ඨක තිස්ස රජු විසින් ඉදිකර තිබේ. ක්‍රි. ව. 2වැනි සියවසේ දී රජ පැමිණි වෝහාරික තිස්ස රජු විසින් දාගැබේ ඡත්‍ර තබා ඇති අතර 3වැනි සේන රජු ක්‍රි.ව. 9වැනි සියවසේ දී දාගැබේ සලපතල මළුව නිර්මාණය කළ බව කියැවේ. පසු කාලීනව ඡත්‍රය ඉවත්වි දේවතා කොටුව හා කොත් කැරැල්ල ඉදි වී ඇත. අතීතයේ පැවැති චෛත්‍යයේ යූප කණුව අඩි 30ක් පමණ වන අතර එය කොටස් තුනකින් යුතුව අද ස්තූප මළුවේ දි දැක ගත හැකිය. වාස්තු විද්‍යා ලක්ෂණ අනුව සර්වස්තිවාදින්ගේ ස්තූප සම්ප්‍රදායට අයත් කොට සැලැකෙන අභයගිරිය අංග සම්පූර්ණ ස්ථූප ලක්ෂණ වලින් යුත් චෛත්‍යයකි.
පැරණි අනුරාධපුර ඇතුල් නගරයට උතුරු දිසාවෙන් පිහිටා ඇති අභයගිරිය විහාරාම සංකීර්ණය උත්තර මහා වෙහෙර, අභය ගිරි වෙහෙර, බයාගිරිය ආදි නම් වලින් හඳුන්වා ඇත. මහා විහාරයට සාපේක්ෂව අභයගිරියේ ද අධ්‍යාපන ආයතනයක් විය. එහි අධ්‍යාපන පීඨ හතරක් වු අතර ඒවා කපාර මූළ, උත්තර මූළ, වසාදු මූළ, මහ නෙත් පා මූළ වශයෙන් නම් කොට තිබේ. මෙම මූළයන්ට අයත් පංචාවාස 24කින් ද අභයගිරිය චෛත්‍යය, සමාධි පිළිමය, කුට්ටම් පොකුණ, ලංකාරාමය, දානශාලාව, රත්න ප්‍රාසාදය, ආදියෙන් සමන්විත සශ්‍රීක විහාර ආරාම සංකීර්ණයක් ලෙස අනුරාධපුරයේ උත්තර මහා චෙති විහාරය සැලැකේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලාංකිකයා ගේ උරුමයක් වූ අභය ගිරි චෛත්‍යය 1981වසරේ දි යුනෙස්කෝ ලංකා සංස්කෘතික පදනම යටතේ ප්‍රතිසංස්කරණය ආරම්භ කරන ලදි. එවකට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ වරයා වූ ‍රෝලන්ඩ් ද සිල්වා යටතේ කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ කෙරිණ. 1981 වසරේ සිට මේ දක්වා අභයගිරි චෛත්‍යයේ කැණිම් සංරක්ෂණ ගවේෂණ කටයුතු සඳහා විශාල නිලධාරීන් පිරීසක් සහභාගී වූහ. මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආරම්භයේ සිට මේ දක්වාම සහභාගී විය.
චෛත්‍යය ගවේෂණයේ දි චෛත්‍යයේ අඩි 90 උසින් ක්‍රි.ව. 7වැනි සියවසට අයත් ධරණී ගල් හමුවී ඇත. නැ‍‍‍ඟෙනහිර ඉන්දියාවේ ටිබෙට් අකුරු හා සමාන නාගර අකුරින් ලියැවී ඇති බැවින් ඒවා එම ප්‍රදේශයෙන් ‍රැගෙන විත් තැන්පත් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. උත්තර භාරතයට අයත් මහායාන බුදුපිළිම ප්‍රතිමා ගර්භයේ තිබී හමු වි ඇත. ඒ අනුව මෙම චෛත්‍ය ක්‍රි.ව.7වැනි සිය වසේ දී ප්‍රතිසංස්කරණය කරවා ඇතිබව සනාථ වේ. අභය ගිරී කැණීමේදි හා ගවේෂණයේ දී මහා වංශයේ සඳහන් නොවූ විස්තර සෙල් ලිපි හා අනෙකුත් පුරාවස්තු ආශ්‍රයෙන් අනාවරණය කර ගැනීමට හැකි වු බව මහාචාර්ය කුලතුංග පවසයි.
මහා විහාරය විසින් ලියන ලද මහාවංශයට අභයගිරි විහාර සංකිර්ණයේ තොරතුරු ඇතුළත් ව නොමැත. එසේ වීමට හේතු රාශියක් බලපෑ බව ට ඉතිහාසය සාක්ෂි දරයි. පරාක්‍රම බාහු රජුගේ ප්‍රතිසංස්කරණ සනාථ කිරීමට මළුවේ ගල් පුවරු යටින් හමු වූ කාසි හා බුදුපිළිමය පිහිටි ස්ථානය පිළිබඳ සදහන් 12වැනි සියවසට අයත් අක්ෂරයෙන් ලියැවුණු සෙල් ලිපියක් ද ගවේෂණයේ දී හමු වී ඇත. අභයගිරි චෛත්‍යයේ සලපතල මළුව පුරා ඔබ්බවන ලද සිරිපතුල් ගල් විශාල ප්‍රමාණයක් හමු වී ඇත. මහාචාර්ය සෙනරත් පරණ විතානයන් විසින් 1951 දි ස්තූපයේ නැ‍ඟෙනහිර ආයාතය ප්‍රතිසංස්කරණය කරද්දී එම ස්ථානයේ ගල් පුවරුවල තිබී රතු, කහ, .තැඹිලි වර්ණ භාවිත කරමින් අඳින ලද සිතුවම් හමුවි ඇත.
බටහිර ආයාතය කැණිමේ දි වළගම්බා රජු විසින් කරවන ලද ස්ථූපය ක්‍රි.ව. දෙවැනි සියවසේ දී ගජබාහු රජු විශාල කළ බව විශ්වාසයයි. ස්තූපයේ ගල් සලපතල මළුව යටින් පිහිටි මැටි ගලින් සැකැසූ කුඩා මළුව ඊට සාක්ෂියකි. මේ ස්ථූපය ඉදිකිරිමේ දි පිහිටි කුඩුගලක් මත චෛත්‍ය ඉදිකළ බවට සාධක හමු වී ඇත. චෛත්‍යයේ දකුණු ආයතයේ ක්‍රි. ව. 2වැනි සියවසේ දී කණ්ඨ තිස්ස රජු කළ ප්‍රතිසංස්කරණ සනාථ කරමින් එම රජුගේ මව හා බිසව තැන්පත් කරන ලද ධාතු කරඩු හමු වි තිබේ. සම්පූර්ණයෙන් අභයගිරි චෛත්‍ය බැඳිමක් සිදු කර නොමැති බව ගවේෂණයේ දී අනාවරණ වූ බව පවසන මහාචාර්ය කුලතුංග පහත සිට ගඩොලින් කළ කාමර ලෙස බැදි කුටි වල අවකාශය බදාම හා ගඩොල් අතුරා පුරවා ඇතිබව පවසයි.
1981දි ප්‍රතිසංස්කරණය ආරම්භ වූ දා සිට ම මේ චෛත්‍යයේ කටයුතු පිළිබඳ නොයෙක් මතිමතාන්තර පැවැතිණි. ඇතැම් අයගේ මතය වූයේ හුනු පිරියම් කොට චෛත්‍යයේ කටයුතු අවසන් කළ යුතු බවයි. එවිට එහි පුරාවිද්‍යාත්මක අගය නොසලකා හැර බෞද්ධයාගේ අස්පෘෂ උරුමය පිළිබඳ අවධානය යොමු කිරීම සිදු වේ. තවත් පිරිසකගේ මතය වී ඇත්තේ සම්පූර්ණයෙන් ම හුනු පිරියම් නොකර තැබිය යුතු බවයි. කෙසේ වූවද අවසානයේ අභයගිරී චෛත්‍යයේ හුනු පිරියම් කිරීම සිදු නොවීය. ඒ හේතුවෙන් අනාගත පරපුර වෙත දාගැබ පැරණි ගඩොල් මතුපිට සහිතව දක ගැනීමට අවස්ථාව සැලැසී ඇත. අභයගිරිය සංරක්ෂණයේ දී සංරක්ෂකයන් විසින් විශේෂයෙන් සැකැසූ බදාමයක් භවිත කර ඇත.
එම බදාමය වැස්සට සේදීයාම සිදු නොවන බව සංරක්ෂකයන් ප්‍රකාශ කරයි. එම බදාමය හුඹස්මැටි, අලුහුනු, දහයියා අළු, රට උළුකුඩු මිශුකර සකසා ගත්තකි, වැසි සමය ඉක්මයාමත් සමග දාගැබ මත මතුවන වල් පැළෑටි ඉවත් කිරීම සඳහා මධ­්‍යම සංස්කෘතික අරමුදල මගින් දිගුකාලින ක්‍රමවේදයක් හා සේවක පිරිසක් පත් කර ඇත. 1982 වර්ෂයේ සිට ලෝක උරුමයක් ලෙස සැලැකෙන අනුරාධපුර පූජා නගරයේ ඇති ජේතවනය ස්තූපය හා අභයගිරිය අතීත ශ්‍රී ලාංකේය පුරවැසියා‍ගේ තාක්ෂණය ප්‍රකටවනසේ ප්‍රකට වනසේ නිමකිරීම මඟින් අතීත ශ්‍රීලාංකේය ශ්‍රී විභූතිය තවත් චිරාත් කාලයක් විශ්වය පුරා ප්‍රකට කිරීමට හේතුවේ.
ජේතවන දාගැබසංරක්ෂණයේ අත්දැකීම් පාදක කරගනිමින් 1997 දී ආරම්භ කෙරුණු අභය ගිරී ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 519.5 වැයකර ඇත. අමිල වූමහජන ශ්‍රම පරිත්‍යාගයන් මේ ගණන් හිලව් වලට අයත් නොවේ. ඒවා මිල කළ නොහැක්කේ අපගේ අතීත උරුමය සංරක්ෂණය හා ආරක්ෂණය අරමුණු කර ගනිමින බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව බෞද්ධ සැදැහැවතුන් මෙන්ම අන්‍යාගමිකයන් ද මේ සංරක්ෂණ ගවේෂණ සඳහා ශ්‍රම දායකත්වය ලබා දී ඇති බැවිනි.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමය හා අස්පෘෂ උරුමය සංරක්ෂණයේ දි බුද්ධිමත්ව අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුත්තකි. පිලිම හා ස්ථූප සංරක්ෂණයේ දි මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරේ. ඒ මක් නිසා ද යත් පසු ගිය ශත වර්ෂ 14 ක කාලය පුරා ම එවන් අගනා ඉදිකිරීමක් හෝ නිර්මාණයක් බිහිවී නොමැති බැවිනි. අතීත නිර්මාණකරුවා අතින් ඉදිවූ නිර්මාණයක් බිඳී ගොස් තිබිය දී නැවත වර්තමාන තාක්ෂණ ශිල්පීය ක්‍රම භාවිතයට ගනිමින් නැවත සකස කිරීම කෙතරම් සාර්ථක ද යන්න විමසිය යුතුය. පුරාවිදයා උරුම කළමණාකණයේ අරමුණ උරුමය සොයා යාමය. හඳුනා ගැනීමය. සංරක්ෂණය කිරිමය. ආරක්ෂා කිරිමය.
හඳුනා ගත් උරුමය විනාශවී යාමට නොදී සීමිත සම්පත් උපරිම ලෙස භාවිත කරමින් ආරක්ෂා කළ යුතුවේ. කෙසේවූවද අභය ගිරි චෛත්‍යයේ හුණු පිළියම් කරන්නේ නම් එහි මතුපිට සැකැසිය යුතුය. ඒ සඳහා ගන්නා උත්සාහයේ දි යෙදීමට සිදුවන බදාමයේ බර චෛත්‍යයේ පැරැණි පේසා වළලු වළට දරාගත නොහැකිය යන්න සංරක්ෂකයන්ගේ මතයයි. කෙසේ වූවද ස්තූප යනු අපගේ උරුමයයි. එහි ඇති අස්පෘෂ අගනා කම මෙන්ම ස්පෘශ අගනා කම කෙරෙහිද අප අවධානය යොමු කළ යුතුවේ. අස්පෘශ වටිනා කම පිළිබඳ වැඩි අවධානයක් යොමු කර බෞද්ධයා‍ගේ බැති සිත පුබුදුවාලන්නට යාමෙන් අප අභයගිරිය විනාශ කරගත යුතු නැත. එබැවින් අභයගිරිය පුරාවිද්‍යාත්මක අගයෙන් යුත් ලෝක උරුමයක් ලෙස තවත් චිරාත් කාලයක් පවත්වා ගැනිමට අප සූදානම්විය යුතුය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බොදුබැතිය වඩවන අභයගිරිය Rating: 5 Reviewed By: Unknown