728x90 AdSpace

Latest News
Friday 21 August 2015

රාවණගෙන් පැවැත එන රස වෙදකමේ හාස්කම්


රාවණ රජු වෛද්‍ය ශාස්ත්‍රය මෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රයෙහිද කෙළ පැමිණියකු බව මතයකි. පුරාතන ග්‍රන්ථවලට අනුව වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ එතුමන්ගේ හසළ බුද්ධිය නිසා වෛද්‍ය ශිරෝමණී යනුවෙන් ඔහු හැඳින්වූ බවද පතපොතෙහි සඳහන් වේ. පුරාණ ග්‍රන්ථයන්හි තවදුරටත් දැක්වෙන පරිදි පුලස්ති සෘෂිවරයාගේ ඇවෑමෙන් ඔහුගේ සාහිත්‍ය මෙන්ම වෛද්‍ය පර්යේෂණ ග්‍රන්ථවල එකම හිමිකාරයා වූයේ ඔහුගේ මුනුබුරු වූ රාවණ රජතුමාය.
පුලස්ති සෘෂිවරයා එදා වෛද්‍ය විද්‍යාවෙහි කෙළ පැමිණියකු වූ බව පැවැසේ. ආයුර්වේදයේ ශේ‍ර්ෂ්ඨතම ග්‍රන්ථය ලෙස සැලකෙන චරක සංහිතාවේ ඍෂි සම්මේලනයක් ගැන සඳහන් වේ. ලොව එක්තරා කාලයක (මේ කාලය සත්‍ය (කෘත) යුගය පිළිබඳ අවසාන අවධිය ලෙස චරක සංහිතාවේ හැඳින්වේ) මනුෂ්‍යයා අතර බලවත් ලෙස විවිධ රෝග බහුල වශයෙන් පැතිරෙන්නට වූ බැවින් තෙද බලැති මහ සෘෂිවරුන්ගේ සහභාගිත්වයෙන් මහා ඍෂි සම්මේලනයක් පවත්වා ඇත. එහිදී ධර්ම - අර්ථ - කාම - මෝක්‍ෂ යන චතුර්විධ සම්පත්තියට ආරෝග්‍යය හෙවත් නිරෝගීභාවය ප්‍රධාන බව අවබෝධ කොටගෙන ලෙඩ රෝග සංසිඳවීම සඳහා උපායක් සෙවීමේ අටියෙන් සම්මේලනයට රැස්වූ මහා ඍෂිවරු ධ්‍යානයට සම වැදුණහ. ආයුර්වේදයේ උපත ඇති වූයේ ඒ ඍෂි සම්මේලනයෙන් බව පැවැසේ.
මේ මහ ඍෂි සම්මේලනයට මහ බලැති ඍෂිවරුන් රැසක් සහභාගි වී ඇත. ඒ අතර පුලස්ත්‍ය නම් ඍෂිවරයකුද වූ බව චරක සංහිතාවේ සඳහන් වේ. පුලත්ත්‍ය නොහොත් පුලතිසි නම් වූ මොහු රාවණ රජතුමාගේ මුත්තණුවන් විය හැකි බවට විස්තර දක්වා නැතත් ඒ බව අපට උපකල්පනය කළ හැකිය. ඒ රාවණ රජතුමන්ගේ මුත්තණුවන් වූ පුලතිසි ඍෂිවරයාද වෛද්‍ය ශාස්ත්‍රයෙහි නිපුණයකු බවට පුරාණ පතපොතෙහි දැක්වෙන බැවිනි.
කෙසේ වෙතත් තම මුත්තණුවන්ගෙන් දායාද වූ වෛද්‍ය ශාස්ත්‍රය නිපුණ කළ රාවණ ඒ පිළිබඳ තව තවත් පර්යේෂණ හා අත්හදා බැලීම් සිදුකොට රස වෛද්‍ය විද්‍යාව සොයාගත් බව පුරාණ පුස්කොළ ග්‍රන්ථයන්හි සඳහන් වේ. රාවණ කතා පුස්කොළ ග්‍රන්ථයට අනුව රස වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන්නේ රාවණ රජතුමන්ය. ඉතාම අසාධ්‍ය රෝගීන් පවා සුවපත් කිරීමට හැකි මෙම රස බෙහෙත් යුද බිමේ වෛද්‍ය අංශයට යවා බරපතළ තුවාල ලැබූ යුද භටයන් සුවපත් කළ බව පුරාණ රාවණ කතා ග්‍රන්ථවල දැක්වේ. මේ අනුව වෛද්‍ය විද්‍යාවේ කෙළ පැමිණි රාවණ රජතුමන් අක-- ප්‍රකාශ, අග්නි ප්‍රකාශ, කුමාර තන්ත්‍ර, උඩිස් තන්ත්‍ර නමින් ශේ‍ර්ෂ්ඨ ග්‍රන්ථ රැසක් එළිදක්වා තිබේ. ඒ අතර අක-- ප්‍රකාශ වෛද්‍ය ග්‍රන්ථය ශ්ලෝක 1000 කින් සමන්විත වන බවත් මද්‍යසාරය පෙරීමේ මූල ධර්මය ඇතුළත් ලෝකයේ පැරැණිම ග්‍රන්ථය එය බවත් අක-- ප්‍රකාශයට පෙර වදනක් සපයමින් රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියන් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජ්‍යයාගේ සංස්කෘතික උරුමය - ආචාර්ය - මිරැන්ඩෝ ඔබේසේකර)
ජේ‍යාතිර් විද්‍යාව පිළිබඳවද විශේෂඥතාවක් තිබුණු රාවණ රජතුමන් විසින් රස ඔෟෂධ ඇතුළු සියලුම ඔෟෂධ නිපදවනු ලැබ ඇත්තේ බලගතු සුබ හෝරාවකිනි. ඔෟෂධ වර්ග සෑදීමට පමණක් නොව සතුරන් විනාශ කිරීමටත්, ලෝහ වර්ග මැකීමටත්, නඩු හබවලට පිටත්ව යෑමටත් මෙම හෝරාව බලගතු බව නිල්ගල වලව්වේ මිල්ලව වන්නි බණ්ඩාර රාජගුරු මහ කප්පින වික්‍රමසිංහ අධිකාරම්තුමාගේ රාජ වෛද්‍ය ග්‍රන්ථයේ සඳහන්ව ඇත.
ශල්‍ය වෛද්‍ය චිකිත්සාවලි ග්‍රන්ථයේ සඳහන් වන පරිදි සරලා නමැති දිව්‍ය කන්‍යාවකගේ කුස තුළ හට ගැනුණු පිළිකාවක් සැත්කමකින් පසු රාවණ රජු විසින් සුවපත් කරනු ලැබ ඇත. රාවණ මහ රජතුමාගේ ඇවෑමෙන් පසු එම යුගයේ පැවැති ගුවන් යානා නිර්මාණ ශිල්පය, අවි ආයුධ තැනීමේ ශිල්පය මෙන්ම විශ්මිත රස ඔෟෂධවේදයද කෙමෙන් කෙමෙන් අභාවයට ගියේය.
පසු කලෙක මහ භාරතයේ නාලන්දා විශ්වවිද්‍යාලයේ උපකුලපතිව සිටි නාගර්ජුන භික්‍ෂුන් වහන්සේ විසින් මහා රාවණගෙන් පසු කාලයාගේ ඇවෑමෙන් යටපත්ව තිබූ මහඟු රස ඔෟෂධවේදය යළි නංවාලනු ලැමීම ඉමහත් ධෛර්යයෙන් කටයුතු කරන ලදී. ඉන්පසු මෙම රස ඔෟෂධවේදය ඉන්දියාවේ ව්‍යාප්ත විණ. එසේ ව්‍යාප්ත වූ මෙම වටිනා වෙදකම දකුණු ඉන්දියාවේ ප්‍රචලිත වූයේ සින්දුරම් නමිනි. ඒ අනුව ඉතා අෑත අතීතයේලංකාවේ පැවැති රස වෛද්‍ය විද්‍යාව කෙමෙන් අභාවයට යෑමෙන් පසු යළි පැමිණියේ ඉන්දියාවෙන් යැයි පැවැසේ.
අභාවයට ගිය රස ඔෟෂධ වෙදකම ශ්‍රී ලංකාවේ යළි හිස ඔසවා ලූයේ 1898 තරම් අෑතදීය. ඒ අවුරුදු 117කට ඉහතදීය. වෙදකම ආරම්භ වූයේ මුහන්දිරම් එම්.ඒ.පී. වෛද්‍යසේන වෛද්‍යතුමන්ගේ පුරෝගාමිත්වයෙනි. ඒ ඉන්දියාවේ එවකට ප්‍රකටව සිටි රස වෛද්‍යවරුන් ගෙන්වා රස වෙදකම හැදෑරීමෙනි. එදා මෙරටට ගෙන්වූයේ භූදේව් මුඛර්ජි පරම්පරාවේ රස වෛද්‍යවරුන්ය. ඉන්දියාවෙන් පැමිණි විශේෂඥ රස වෛද්‍යවරුන් යටතේ රස ඔෟෂධ විද්‍යාව හැදෑරීමට ලංකාවේ පාරම්පරික වෛද්‍යවරු පස් දෙනෙක්ම එක්වූහ. ඔවුන් අතර වෛද්‍යාචාර්ය ආර්.ජේ. කුලරත්න මහතාද විය. කුලරත්න වෙද මහතා රස වෙදකම ඉතා දක්‍ෂ ලෙස හැදෑරීය. සුව කළ නොහැකි යැයි බටහිර වෛද්‍යවරුන් විසින් නිගමනය කරන ලද අංශභාග රෝගීන් කුලරත්න වෙද මහතා සුවපත් කළේය. එදා ආර්.ජේ. කුලරත්න වෙද මහතා රස වෙදකමෙන් පෙන්වූ හාස්කම් බොහෝය.
වර්ෂ 1947 තරම මොළයේ ගෙඩියක් හටගත් රෝගී කාන්තාවක් සුව කිරීම ආර්.ජේ. කුලරත්න මහතා විසින් සිදු කරනු ලැබීම රස වෙදකමේ විශේෂ ප්‍රාතිහාර්යයක් විය. බටහිර වෛද්‍යවරුන් එම කාන්තාවගේ මොළයේ හටගෙන තිබූ ගෙඩිය ඉවත් කිරීමට සැත්කමක් සිදු කළ යුතු යැයි නිගමනය කර තිබිණි. එදා එවන් ශල්‍ය කර්මයක් කිරීම රෝගියාගේ ජීවිතය පරදුවට තබා කළ යුතු එකක් විය. එහෙත් වෛද්‍යාචාර්ය ආර්.ජේ. කුලරත්න මහතා එම කාන්තාව සුවපත් කළේ කිසිදු ශල්‍යකර්මයකින් තොරවය.
මේ අතර ඉන්දියාවේ භූදේව් මුඛර්ජි පරම්පරාවේ වෛද්‍යවරුන්ගෙන් රස වෙදකම හැදෑරූ මෙරට වෛද්‍යවරු එක්ව වර්ෂ 1900දී රස ඔෟෂධ නිෂ්පාදනාගාරයක් මාතර බෙලිදෙණියේ පිහිටුවා ගත්හ. ශ්‍රී මංගල රසායනාගාරය නමින් පිහිටුවන ලද එය ශ්‍රී ලංකාවේ පළමු රස ඔෟෂධ නිෂ්පාදනාගාරය ලෙස සැලකේ. රජයේ ආයුර්වේද විද්‍යාලය ඇරඹුණේ 1929 වසරේදීය.
ලංකාවේ රස වෙදකම විධිමත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නොපැවැතිණි. පාරම්පරික වෛද්‍යවරුන් රස වෙදකම පිළිබඳ දැන සිටියේ එහෙන් මෙහෙන් යැයි කිවහොත් එය නිවැරැදිය. රස වෙදකමේ හාස්කම් අසා තිබුණද රස වෛද්‍ය විද්‍යාවේ නිරත වන්නට තරම් දැනුමක් ඔවුනට නොතිබිණ. අභාවයට ගොස් තිබූ එම රස වෛද්‍ය විද්‍යාව මෙරට විධිමත්ව ඇරැඹුණේ එම්.ඒ.පී. වෛද්‍යසේන වෙද මහතාණන් ප්‍රමුඛ පාරම්පරික රස වෛද්‍යවරුන්ගෙනි.
මෙරට ජනතාවගේ භාග්‍යයට මෙන් මේ අගනා වෙදකම වර්තමානයේ ඉදිරියට ගෙන යන්නේ ඒ රස වෙද පරම්පරාවේම කෙනෙකි. වර්ෂ 1898දී මෙරට විධිමත්ව ඇරැඹුණු රස වෙදකම අද ඉදිරියට ගෙන යන්නේ පාරම්පරික වෛද්‍ය ලලිත් කුලරත්න මහතාය. ඔහු රස වෙදකමෙහි දස්කම් පෑ ආර්.ජේ. කුලරත්න මහතාගේ පුත්‍රයාය. තම පියා මෙන්ම දැඩි කැපවීමෙන් යුතුව ඔහු මෙම අගනා වෛද්‍ය කර්මයෙහි නියැළෙයි. මේ සඳහා ඔහුට අනගි සහායක් ඔහුගේ බිරිය වූ වෛද්‍යචාරිනී චන්ද්‍රිකා අල්ගම කුලරත්න මහත්මියගෙන් ලැබේ. ඔවුන් දෙදෙනා එක්වී සුව කළ රෝගීන් බොහෝය. තම ධනයත් කාලයත් වැය කරමින් ඔවුන් කරනා සේවාව සුළුකොට තැකිය නොහේ. මේ මහඟු වෙදකම නොනැසී යා නොදී රැක ගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රාය වී ඇත.
තම පියා වූ වෛද්‍යචාර්ය ආර්.ජේ. කුලරත්න මහතාගෙන් උරුම වූ රස වෙදකම තවදුරටත් අත්හදා බලමින් පර්යේෂණවලට ලක් කරමින් ලලිත් කුලරත්න මහතා දැනටමත් විවිධ හාස්කම් පෙන්වා ඇත. අංශභාග රෝගීන්, දියවැඩියාවෙන් පෙළෙන්නවුන් ඉතා බරපතළ තත්ත්වයේ පසුවූ වකුගඩු රෝගීන් කුලරත්න වෙද මහතාගේ ප්‍රතිකාරවලින් මුළුමනින්ම සුවපත් වී ඇත. ඉතා බරපතළ තත්ත්වයේ පසුවූ පිළිකා රෝගීන්ද කුලරත්න වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා මුළුමනින්ම සුවපත් වී ඇත. එපමණක් නොව අන්ධ දරුවන් දෙදෙනකුට පෙනීම ලබාදීම සඳහාද මෙම රස වෙදකමෙන් වෛද්‍යාචාර්ය කුලරත්න මහතා සමත් වී ඇත.
නන්දන තෙන්නකෝන්


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රාවණගෙන් පැවැත එන රස වෙදකමේ හාස්කම් Rating: 5 Reviewed By: Unknown