728x90 AdSpace

Latest News
Saturday 22 August 2015

විසිතුරු පති‍්‍රක පිලෝ ඩෙන්ඩ‍්‍රන්




නිවෙසක සිරියාව වඩාත් ඔප් නැංවෙන්න නම් සුන්දර ගෙ උයනකුත් තියෙන්නම ඕනෙ. මනාව පාලනය කරන ගෙ උයනක් මැද පෙනෙන නිවෙසක කලඑළිය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. දැන් දැන් ගෙ උයන් නිර්මාණය කිරීම අතිශයින් ජනප‍්‍රිය වෙමින් පවතිනවා.ගෙ උයනක් සඳහා අත්‍යවශ්‍ය ම සාධකයක් තමයි විසිතුරු පති‍්‍රකා ශාක සහ මල් පිපෙන ශාක. නිර්මාණශීලී හැකියාව තිබෙන අයකුට ගෙ උයනක් නිර්මාණය කර ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවෙයි. ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීමක් නිවෙසක අසිරිය විශේෂාංගයෙනුත් ලැබෙනවා. එමෙන් ම තුරුලතා පිළිබඳ දැනුමක් මෙම විශේෂාංගයෙන් ලබා ගන්න පුළුවන්.මෙවර ඔබට ඉදිරිපත් කරන්නේ ගෙ උයන අසිරිමත් එකක් කර ගැනීමට ඉතාම සුදුසු විසිතුරු පති‍්‍රක ශාකයක් වන පිලෝ ඩෙන්ඩ‍්‍රන් විශේෂ කිහිපයක්.පිලෝ ඩෙන්ඩ‍්‍රන් පඳුරක් ලෙසින් සහ වැලක් ආකාරයටත් පවත්වා ගෙන යා හැකි විශේෂ ගණනාවකින් යුතු දර්ශනීය විසිතුරු පති‍්‍රක ශාකයක්. අග‍්‍රස්ථ, කඳ කැබැලි මෙන් ම මුලෙන් හට ගන්නා අංකුර මගින් ද ප‍්‍රචාරණය සිදු කරන්නට පුළුවන්. මෙය ස්ථිර භූමියේ මෙන් ම බඳුන් ගත කිරීම සඳහා ද යොදා ගන්නට පුළුවන්.මේ අතරින් වැල් වශයෙන් සීඝ‍්‍ර වර්ධනයක් ඇති විශේෂ ස්ථිර භූමියට වඩාත් සුදුසුයි. එවැනි විශේෂ දෙකක් ඡායාරූප වල දැක්වෙනවා. මෙම පිලෝ ඩෙන්ඩ‍්‍රන් විශේෂ දෙක බඳුන් ගත කිරීම සඳහාත් හොඳින් ගැළපෙනවා.ඒ සඳහා රූප සටහන්වල දැක්වෙන පරිදි ආධාරක සහිතව බඳුන් සකසා ගත යුතුයි.
එක් රූප සටහනක දැක් වෙන්නේ කුකුල් කොටු සඳහා භාවිතා කරන දැල් වලින් ආධාරකය සෑදූ බඳුනක්. එහි මැදට දිරා ගිය කොළ රොඩු, වැලි කුඩාවට කැපූ පොල් ලෙලි කැබැලි ආදිය මිශ‍්‍ර කර පුරවන්න. අඟල් 2*2 ප‍්‍රමාණයේ රීප්පයක් හෝ ගස් අරටු කොටසක් වටා මැද ඉඩ සිටින සේ දැල එලිය යුතුයි. බඳුනට සවි කරන අන්තයේ දැල නොමැති අඩියක පමණ කොටසක් වගා මාධ්‍යයට යට කර, ඉන් පසු ඉහත මිශ‍්‍රණය පුරවා පැළය රෝපනය කරන්න. දැල එතූ ආධාරකයක් ඡායාරූපයක ද දකින්නට ලැබෙනවා.අනෙක් ආධාරකය සාදා ගෙන ඇත්තේ ලීයක් වටා කොහු ලණු එතීමෙන්. දෙවැනි රූප සටහනෙන් එම ආධාරකය සවි කර ඇති බඳුන නිරීක්ෂණය කරන්න.වගා මාධ්‍යය සැකසීම සඳහා රළු වැලි කොම්පෝස්ට් සම ප‍්‍රමාණයන් ගෙන් යොදන්න. එයට ස්වල්ප වශයෙන් දිරා ගිය කොළ රොඩු සහ පොල් ලෙලි කැබැලි යොදන්නත් පුළුවන්. බඳුනේ අඩියට ගඩොල් කැට තට්ටුවක් දැමීමටත් අමතක කරන්න එපා. වගා මාධ්‍යයේ මනා ජල වහනයක් තිබීම ඉතා වැදගත්.පිලෝ ඩෙන්ඩ‍්‍රන් සාමාන්‍ය සෙවණ ප‍්‍රිය කරන ශාක විශේෂයක්. ඒ සඳහා සොබාවික සෙවණ මෙන් ම සෙවණ දැල් ද භාවිතා කරන්න පුළුවන්. අධික හිරු එළියට නිරාවරණය වීමෙන් පත‍්‍ර දුර්වර්ණ වීම, තැනින් තැන පිලිස්සී ගිය ස්වභාවය මෙන් ම, වර්ධනයේ ද පැහැදිලි අඩුවක් දකින්නට ලැබෙනවා.වගා මාධ්‍යයේ තෙතමනය නැති විටෙක පමණක් ජලය යොදන්න. වගා මාධ්‍යයට යොදන පොහොර මෙන් ම දියර පොහොර ද පිලෝ ඩෙන්ඩ‍්‍රන් සඳහා යෙදිය හැකියි.
සටහන: අජන්ත ජයසේකර
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: විසිතුරු පති‍්‍රක පිලෝ ඩෙන්ඩ‍්‍රන් Rating: 5 Reviewed By: Unknown