ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කිරීමෙන් බිහිවුණ දෙවන අංකුර පෙළට අයත් බෝධීන් වහන්සේ නමක් කළුතර උඩමළුවේ වඩා හිඳුවන ලද බැව් පැවසේ.
මෙම පූජනීය ස්ථානය දැනට වසර 2320කටත් වඩා ඈත යුගයක සිට ආරක්ෂාරීව පැවත තිබේ. සුප්‍රසිද්ධ කළුතර පුරවරය අතීතයේදීද ලංකා රාජධානි වල අතිශය වැදගත් නගරයක් වූ බවට මහා වංශය සාක්‍ෂි දරයි. එනම් මෙම නගරය ගංගා මුවදොරක් අසළ පිහිටා තිබීම නිසා තොටුපොල නගරයක් සේ භාවිතයට අතිශය යෝග්‍යය වීමයි.සිංහල-පෘතුගීසි පාලනය යටතේ අතීතයෙදී වෙළඳ වරායක් ලෙස කළුතර පාලනය කළ පෘතුගීසිහු කි.ව.1597 දී කළුතර මුළුමනින්ම තම අණසක යටතට ගත්හ. "ජෙරනිමෝ ද අසවේදෝ" නම් පෘතුගීසි සෙනෙවියා කළු ගං තීරයට යාබඳ බිම් කොටසක් තම පාලන කේන්ද්‍රස්ථානය සේ තෝරාගත් බව පැවසේ. අසවේදෝ පසුව මෙම ස්ථානය ස්ථිර යුධ බල කොටුවක් බවට පත් කළේය. එහිදී මෙම කුඩා කඳු ගැටය මුදුනේ තිබූ "ගංගාතිලකය" නම් වූ විහාරය ඔවුන් විනාශකර එහි දේවස්ථානයක් තනවා ඇත. මෙම බල කොටුවේ බාහිර සීමාව අද පවා පැහැදිලි ව හඳුනාගත හැකිවේ.
කළුතර මුහුදුබඩ මහා මාර්ගය තැනවීමට අඩිතාලම දමන ලද්දේ ලංදෙසින් විසිනි. ඔවුන් 1656 දී කළුතර බල කොටුව අල්ලා ගත්හ.ඒ අනුව කළුතර සිට කොළඹට මහා මාර්ගය ඉදිවිය.ඊට හේතු පාදක වූයේ කළුතර තිබූ වාණිජ වටිනාකමයි. කළුතර 1796 දී ඉංග්‍රීසීන්ට අයත් විය.19 සියවස අගදී මෙහි පැරණි බල කොටුවේ කුඩා කඳු ගැටය මුදුනේ ඔවුන් දිසාපති නිල නිවස ඉදි කළේය. කළුතර බෝධියේ උඩ මළුවේ වැඩ සිටින්නේ අනුරාධපුර "ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ" ගෙන් පැන නැගුනු දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමක් බව මහා බෝධි වංශයේ සඳහන් වේ.එහි “මහා ජල්ලික”නම් ගමක් ගැන සඳහන් වන අතර එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. 16 වන සියවසේ විදේශ බල කොටුවක් බවට පත්වූ වර්තමාන උඩ මළුව තුල මෙම බෝධීන් වහන්සේ ශත වර්ෂ 5ක් පමණ කලක් විරාජමානව වැඩ වසයි.ගාලු කෙළඹ මහා මාර්ගයටත් දුම්රිය මාර්ගයටත් අතර රමණීය භූමි භාගයක් තුළ මනාසේ වැඩුනු තවත් බෝධීන් වහන්සේ නමක් සියවස් ගණනක සිට දක්නට ලැබුණු බවට ඓතිහාසික සාධක ඇත.එය ක්‍රි.ව. 1042 දී කළුතර පාලනය කළ ඉන්දීය සම්භවයක් ඇති “වික්‍රම පාණ්ඩ්‍ය රජ පහත මළුවේ රෝපණය කරන ලද්දක් බව සැලකේ. ඵ් වන විටද උඩ මළුවේ ගංගාතිලක විහාරය පැවතුනු බැව් විශ්වාස කෙරේ.
එදා සිට මේ දක්වා ලක්වැසි බොදුණුවෝ මෙන්ම සෙසු ආගමිකයෝද කළුතර බෝධීන් වහන්සේට හදබැතියෙන් යුතුව ගෞරව පුද සත්කාර කරති.
පසළොස්වක පොහෝය දිනවල බෝධි පරිශ්‍රයට රොක්වන උවසු උවැසියෝ දහසක් දෙනා අලුයම පහන්වනතුරු දහම් සිසිල ලබති. මෙම පූජනීය බිම අනුසස් ඇති දෙව්විමනක් බඳුය යන විශ්වාසය හුදී ජන හදවත් තුළ රැඳී පවතී. එදා සෙන්දනායක නමින් උපාසක පින්වතකු දිනපතා බෝධියේ වටාපිටාව සුද්ධ පවිත්‍ර කළ අතර, මල් පහන් පුදමින් පොදු ජනතාවට වැඳුම් පිදුම් සඳහා මඟ සැලසීය.
ඊට පෙරාතුව 1871 දී මොරටුව දක්වා තිබුණ දුම්රිය මාර්ගය කළුතර දක්වා දීර්ඝ කරන ලදී. 1877 සැප්තැම්බර් මස 22 වන දා කළුතර දුම්රිය ස්ථානය සහ පාලමද විවෘත කෙරිණ. එවකට කළුතර සිටි සුදු ඒජන්තවරයා බ්‍රෝඩ්හාස්ට් නම් විය. ඔහුගේ නිගමනය වූයේ පාලමට අවහිරයක් නිසා බෝධිය මෙම ස්ථානයෙන් ඉවත් කළ යුතුය යන්නය.
දිනක් බ්‍රෝඩ්හාස්ට් සුදු ඒජන්තවරයා සෙන්දනායක උපාසක මහතාට කතා කොට අසවල් දිනයේ දී බෝධිය කපා මෙතනින් ඉවත් කරන බව දන්වා සිටියේ ය. මෙම අණ නිසා උපාසක මහතා ගැඹුරට කල්පනාවේ නිමග්න විය. වැඩිදෙනෙකුගේ යහපත සඳහා ඉටුකළ යුතු යුක්ති ධර්මය ගැන ඔහු මෙනෙහි කළේ ය.
මේ සිතුවිලි සමඟ පොරබැඳි වයෝවෘද්ධ බොදුනුවා අයුක්තියට පිටුපා සුද්දට එරෙහිව නැඟී සිටිය යුතු යැයි සිතීය. මහජන මතයක් ගොඩනඟා ජනතා රැලියකින් සුද්දට විරෝධය පෑමට ඔහු කල්පනා කළේ ය.
මෙයට විරෝධය පාමින් සුදු ඒජන්තවරයා ප්‍රකාශ කළ වචන කිහිපයක්ද සහිතව හදවත් තුළට කාවදින ගැමි වහරින් දැන්වීම් ගණනාවක් බෝධිය කැපීමට විරුද්ධව ලියා ප්‍රසිද්ධ ස්ථානවල අලවන ලදී. නියමිත දිනටත් පෙරාතුව කළුතර සහ ඒ අවට ගම්වල මෙම ප්‍රවෘත්තිය රැව් පිළිරැව් දුන්නේ ය.
නියමිත දිනය එළඹෙත්ම හිමිදිරි අලුයම කැති, මුගුරු, මන්නා, පිහි, උදළු, මෝල්ගස්, කඩු, කෙටේරි අතැතිව විශාල පිරිසක් බෝධිය වටා රොක්වූහ. ඒජන්තවරයා නියමිත වේලාවට පාලම කෙලවරෙන් මතුවනු දුටු පිරිස අවිආයුධ සන්නද්ධව බෝධිය වටා සිටිනු ඔහු දුටුවේ ය. එකිනෙහි ඒජන්තවරයා සිය රථය නොනවතාම වේගයෙන් පදවමින් පොලිසියේ රැකවරණය සෙවීය.
රැස්වසිටි පිරිස පලවා හැරීමට පොලීසිය ගත් උත්සාහය නිශ්ඵල විය. පෙරමුණ ගත් ගැමි ජනයා පොලිසිය බලය මැඩගෙන ඉදිරියටම ගියහ. එම සිද්ධිය නිසා ගැමියන් කිහිපදෙනෙකුට දඬුවම් විඳීමට සිදු වුවත්, නිරුපද්‍රිතව බෝධිය සුරැකිණ.
එදා මෙම සිද්ධියෙන් එංගලන්තයේ වික්ටෝරියා මහරැජින දැනුවත්වීමෙන් පසු කොළඹ ආණ්ඩුකාරවරයා වෙත දන්වා ඇත්තේ “ශ්‍රී ලංකාවේ බෞද්ධයා සතු ආගමික කිසිම දෙයකට අත නොතබන ලෙසය.” එම ආරංචිය රටතුළ පැතිර යත්ම බෞද්ධ පොදු හදවත් සතුටින් ඉපිල ගිය බව පැවසේ.
ඉන්පසු ඇති වූ නිහැඬියාවත් සමඟ ගම්මන්පිල නමින් වෙනත් උපාසක මහතෙකු බෝධියේ සියලු කටයුතු සඳහා දායකත්වය සැපයීය. පූජා බිමට ලැබුණ පුදපඬුරු වලින් මල් අසුන් හා පූජා භාණ්ඩ තාවකාලිකව සකසා ඔහු පුදබිම දියුණු කළේ ය. ඒ අතර උසාවි සංකීර්ණයේ නඩුවලට පෙනීසිටි තරුණ නීතිඥවරයෙකු වැඩ නිමකර කළුතර බෝධිය අසලින් කළුගඟට බැස දියනෑමට පුරුදුව සිටියේ ය. ඔහු අන් කිසිවකු නොව ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගුණවතාණන්ය. ඔහු ස්නානය කර ආපසු යන ගමනේ දී දිනපතා බෝධි වන්දනා කළේ ය. සොයිසා මහතා ගම්මන්පිල උපාසකට පොල්තෙල්, හඳුන්කූරු මිලදී ගැනීම සඳහා මුදලක් පරිත්‍යාග කිරීමද සිරිතක් ලෙස ඉටු කළේ ය.
පසුකල මෙම නීතිඥවරයා බෝධි පරිශ්‍රය බොදුනුවන්ගේ තිර පූජා බිමක් කිරීමට නිගමනය කළේ ය. ඒ අනුව 1951 වර්ෂයේ දී ප්‍රථම බෝධි භාරකාර මණ්ඩලය පත්කරගනු ලැබීය.
නීතිඥ සිරිල් ද සොයිසා සභාපති (නිර්මාතෘ) අගවිනිසුරු හේමා බස්නායක, නීතිඥ වින්සන් ට්‍රෑඩන්ට්, වී.ටී ද සොයිසා, නීතිඥ වින්සන් ද සිල්වා, නීතිඥ ඒ.ගුණතිලක, නීතිඥ හෙන්රි ආනෝල්ඩ් ද ආබෲ, නීතිඥ වින්සන් වියනෝල්ඩ් විජේමාන්න සහ ඇල්බට් අර්නස්ට් ද සිල්වා යන මහත්වරු ප්‍රථම බෝධි භාරකාර මණ්ඩලය ලෙස පත්වූහ.
පසුදිනෙක කමිටුවේ තීරණයක් අනුව පානදුර විසූ ආතර්වීදියෙස් (කොස්මාමා) මැතිතුමාගේ වැඩිමහල් සහෝදරිය වූද වත්මන් හොරණ ශ්‍රීපාලි සරසවි බිම හිමිකරු වූ විල්මට් ඒ. පෙරේරා දානපතිවරයාගේ මෑණියන් වූ ජෙරමියෙස් දියෙස් මැතිණිය විසින් කරනු ලැබූ ධන පරිත්‍යාගයෙන් කළුතර බෝධියේ පහළ මලුවේ තාප්පය සහ මල් අසුන් සෑදූ බව සඳහන් වේ.
ඉන්පසු 1972 සිට 1982 දක්වා පුරා දශකයක් තුළ පොලිස් විද්‍යාලයේ හිටපු පොලිස් අධ්‍යක්‍ෂක (පසුව අමිතගවේශී නමින් පැවිදිව සිට අපවත්වූ) සිරිල් ඒකනායක, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් අධිනීතිඥ එල්.එල්. ප්‍රේමවර්ධන අල්විස් සහ පුවත්පත් කලාවේදී දිවාකර මොහොට්ටි යන මහත්වරු විසින් මෙම පුණ්‍ය භූමියේ ප්‍රගතිය වෙනුවෙන් ධර්මාදර්ශ සංගමය මඟින් ධර්ම ගවේෂී පින්කම් මාලාවක් ඉරිදා දිනවල මෙන්ම, පොහෝ දිනවල සුවිශේෂ මහඟු සේවාවක් ඉටු කරනු ලැබුණි.
කළුතර බෝ සම්ඳු පිලිබඳව ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගුණවතාණන් මෙසේ සිහිපත් කරන ලදී. “මීට අඩ සියවසකට පමණ පෙර මා කළුතරට පැමිණියේ නීතිඥ වෘත්තියේ යෙදීමටය. දුම්රිය පාරත්, මහපාරත් මැදිකොට ගෙන බෝධිය වැඩ විසීය. බෝධිය ආසන්නයටම කළුගඟ පැතිර තිබිණ. ඒ සමීපයේ පිහිටි ගල්පරය මත බැතිමතුන් පහන් දැල්වූවා. කළුගඟින් දියනෑමට යනඑන අය මෙන්ම මාද මෙම ගලමතින් නැග දිය නෑමට පුරුදුව සිටියා. එතනින් එහාමෙහා ගමනේ යෙදුන මමද බොදු බැතින් පිරිපුන් අයෙක් වූයෙමි. ඒ අනුව මගේ මැදිහත්වීමෙන් කළුතර බෝධිය පූර්ණ ලෙස සංවර්ධනය වන වැඩ පිළිවෙලක් දියත් කැරිණ.”
“බෝධිමලුව වටා පවුරක් ඉදි කිරීම සහ මලසුන් ඉදිකරනු ලැබිණ. විහාර කර්මාන්තය හා චෛත්‍යය ගොඩනැඟීමේ දැවැන්ත වැඩ පිළිවෙල දියත් කර නිමාව දැකීම මාගේ අදහස විය.”
කලක් ගතවිය. 1970 පමණ මෙහි සභාපතිවරයා ලෙස පත්ව ආවේ ලීල් ගුණසේකර මහතාය. බෞද්ධයෙකු හැටියට එතුමාගෙන් ලැබුණ සහය මත චෛත්‍ය බිමේ තිබුණ දිසාපති මැදුර ඇතුළු පහත මාලයේ පැවති කච්චේරි ගොඩනැඟිල්ලද බෝධියට පවරා ගැනීමට කටයුතු සැලසීය.
මේ සත් ක්‍රියාදාමයේ අවසානය දකින්ට පෙරාතුව ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා ජාතියෙන් සමුගත්තේ ය. ඒ 1978 ජනවාරි දෙවනිදාය. පසුව පාලන ක්ෂේත්‍රය සොයිසා මහතාගේ ඥාතියෙකු වන නීතිඥ කිංස්ලි වික්‍රමසිංහ මහතා යටතට පත්විය. ඔහුගෙන් සුපුරුදු පරිදි බෝධි වැඩ කොටස සිදු කෙරිණ.
අනතුරුව වත්මන් බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති ලෙස අජිත ද සොයිසා මහතා පත්විය. තිලක් ද සොයිසා (ලේකම්) වරුණ බස්නායක, ඉන්දාදාස හෙට්ටිආරච්චි, අශාන්ද සොයිසා, විවේන්ද්‍ර ලින්තොටවෙල, සහ විත්‍රාද අබෲ මැන්ඩිස් යන සාමාජික මහත්ම මහත්මීහුගේ දිරිය තුළින් සහ කාර්ය මණ්ඩලයේ අන්‍යෝන්‍ය සහාය නිසා බෝධිය තුළ නව මුහුණුවරක් ගෙන ඇත. බෝධීන් වහන්සේට පිදෙන පඬුරෙන් මේ වන විට දීප ව්‍යාප්ත සුබසාධන කාර්යයන් රැසකට විශාල පරිත්‍යාගයන් රාශියක් සිදු කෙරෙයි.
පහළ මළුවේ බෝධිය
උතුරින් කළු ගගට යාබද බුදු මැදුරෙන් ද, නැගෙනහිරින් ගාලු-කොළඹ මහා මාර්ගයෙන් ද,දකුණු පසින් කුඩා චෛත්‍ය වහන්සේටත් බටහිරින් ගාලු-කොළඹ දුම්රිය මාර්ගයටත් මැදි වූ කුඩා වපසරියක වැඩ සිටින මේ මහා බෝධි වෘක්‍ෂය ක්‍රි.ව.1042ක් පමණ ඉතිහාසයකට හිමිකම් කියයි. ඉන්දීය සම්භවයක් ඇති “වික්‍රම පාණ්ඩ්‍යය” නම් කුමාරයා සොළීන් ගෙන් මිදීමට දකුණට පලා යන ගමනේදී මෙම බෝධි අංකුරය රෝපණය කල බව සැලකේ. ඵ් වන විටද උඩ මළුවේ ගංගාතිලක විහාරය පැවතුනු බැව් විශ්වාස කෙරේ.ක්‍රි.ව. 1377දී කළුතර තෙක් දුම්රිය මාර්ගය දිගුවීමත් සමග ඉංග්‍රිසි ජාතිකයින් මෙය කපා දැමීමට උත්සාහ කළද එය ව්‍යාර්ථ වී ඇත.වර්තමාන පහළ මළුවේ අභිවෘධියට කටයුතු කර ඇත්තේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා නීතීඥ මහතායි. ගම්මන්පිල උපාසක මහතාද ඔහු හා වන්දනා මාන කළ බව සදහන් වේ. පානදුර දානපතියෙකු වූ ජෙරමියස් ඩයස් මැතිණියගෙන් ලද රු.1000/= මුදල වැය කරමින් මෙම බෝධිය වටා කුඩා ප්‍රාකාරයක් හා වර්තමාන පිංකැටය ඇති ස්ථානයේ මල් අසුනක් ද තනවා තිබේ. එතැන් සිට හුදකලාව සිටි මේ බෝධිය කෙරෙහි කෙමෙන් බැතිමතුන්ගේ අවධානය යොමු විය.1931 වර්ෂයේ ජුනි මස ශ්‍රීමත් සිරිල් ද සොයිසා හා උක්වත්තේ ජයසුන්දර මැතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් “කළුතර බෞද්ධ සංගමය” පිහිට වූ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ ද මෙම පරිශ්‍රය දියුණු කිරීමයි. පසු කලෙකදී බෝධි භාරකාර මණ්ඩලය විසින් අලංකාර ප්‍රාකාරයක් සිව් කොනට හා නැගෙනහිරට විහිදුනු බුදු කුටි පහක් හා 1991 වසරේ ඉදිකරන ලද රන් වැටකින් බෝධීන් වහන්සේ ගේ ආරක්‍ෂාවත්, අලංකාරයත්, බැතිමතුන්ගේ පහසුවත් සලසා තිබේ.
පහළ මළුවේ උතුරු පස බුදු මැදුර
ක්‍රි.ව. 1939 වන විට “සවුත්ලන්ඩ්” නමින් ප්‍රසිද්ධියට පත්වූ සිරිල් ද සොයිසා මහතාගේ බස් රථ සේවයෙන් ලද ආදායමත්, බැතිමතුන්ගෙන් ලද ආධාරත් එකතුකර මෙම බුදු මැදුර සාදන ලද බව කියවේ. පහළ බෝධියට උතුරු පසින් මෙම බුදු මැදුර පිහිටා ඇත.කළු ඟඟට යාව බැම්මක් බැඳ එහි පස් පුරවා සාමාන්‍ය මේසන් බාස් වරු ලවා මෙහි නිම කිරීම් කලද, මේ තාක් කිසිම උපද්‍රවයකට ලක්ව නොතිබීම විශේෂත්වයකි. ශාන්ත ඉරියව්වකින් වැඩ හිඳිනා සැරියුත් මුගලන් අගසව් දෙනමගේ පිළිමයන් මෙම බුදු මැදුර තුළ නෙලා ඇත.සිදුහත් උපත, කිරිපිඬු පූජාව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කිරීම වැනි ඓතිහාසික කතාවන් හා නෙළුම් මල් රටාවන් මනාව තෙලි තුඩින් සිත්තම් කිරීම තුළින් බෞද්ධ විහාරයක අංග ලක්ෂණයන් මෙම බුදුමැදුර තුල විදහා පා ඇත.
පහළ මළුවේ චෛත්‍යය
පහළ මළුවේ බෝධීන් වහන්සේට දකුණු පසට වන්නට පිහිටා ඇති මෙය ප්‍රමාණයෙන් කුඩාය. වර්ෂ 1939 දී පමණ මෙහි ආරම්භය සිදුවූ බව සඳහන් වේ. මෙම චෛත්‍යයත්,ගංගාව අසල බුදු මැදුරත් ඵකම කාලයක ඇරඹුනු බව දැක්වේ. මෙම චෛත්‍යය වන්දනා කිරීමට සතර අතට විහිදුනු කුඩා බුදු කුටි 4ක් හා මල් ආසන 4ක් නිමවා ඇත. ක්‍රි.ව. 1942 වසරේ වැඩ අවසන් වූ පසු ඵම වසරේම මැයි මස වෙසක් පුර පසලොස්වක පොහෝ දින ඊට කොත් පලඳවා තිබේ.
පහළ මළුවේ දකුණු පස බුදු මැදුර
පහළ මළුවේ චෛත්‍යට දකුණු පසට වන්නටත් ආනන්ද බෝධීන් වහන්සේට උතුරු පසට වන්නටත් මෙම බුදු මැදුර පිහිටා තිබේ.අතීතයේ මේ ගොඩනැගිල්ල නගර සභා කාර්යාල ගොඩනැගිල්ලට අයත්ව පැවතුනු අතර 1960-70 වර්ෂ තුල කච්චේරියට අයත් ගොඩනැගිල්ල බෝධි භාරකාර මණ්ඩළයට පවරා ගැනීම මත මේ ගොඩනැගිල්ලද පවරා ගන්නා ලදී.පසුව ධර්ම ශාලාවකට ඔබින අයුරින් සකසන ලද එහි විශාල හිඳි පිළිමයක් අඹා පුද පූජා හා ධර්ම ශ්‍රවණයට උචිත වන අයුරින් සකසා තිබේ.
ආනන්ද බෝධීන් වහන්සේ
1960 වසරේ ඉන්දියාවේ මහා බෝධි සමාගමේ සාමාජිකයෙක්ව සිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා ජේතවනාරාමයේ සංචාරයක නිරතව සිටියදී එහි වැඩ සිටින ආනන්ද බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩමවාගෙනවිත් මෙම ස්ථානයේ රෝපණය කර ඇත.පහළ මළුවේ දකුණු පස බෝධි පරිශ්‍ර සීමාවේ අන්තිමට වන්නට මෙය රෝපණය කර ඇත.
නැගෙනහිර කුඩා බුදු මැදුරකින්ද, බටහිර දිශාව මල් ආසනයෙන්ද මෙහි මළුව නිර්මාණය වී ඇත.දශක 4ක් ඉක්මවා වැඩ සිටිනා බෝධීන් වහන්සේ සමස්ථයක් ලෙස ඉතාමත් නිරෝගීසුවයෙන් වැඩ සිටි නමුත් වරින් වර රෝගාතුර වූ පසු බටහිර දිශාවට විහිදුනු ශාඛාවන් කපා ඉවත් කර ඇති බව පෙනේ.
පසුකාලීන සංවර්ධන කටයුතු තුළින් බෝධි භාරකාර මණ්ඩළය විසින් 1997-06-20 පොසොන් පොහෝදා ඝණ්ඨාර කුළුණක් සාදා මේ මළුවේ නිරාවරණය කර තිබේ.මෙම මළුවේ අළුතින්ම ඉදිකිරීමට නියමිතව ඇත්තේ බෝධි ඝරයක් හා අලංකාර රන් වැටකි.බාහිර පරිසරයෙන් බෝධීන් වහන්සේට වන උපද්‍රව අවම කිරීම බෝධි ඝරයේ ප්‍රධාන අරමුණයි.
බෝධීන් වහන්සේලා දෙනම හා චෛත්‍යය රාජයාණන් දෙනම වන්දනා කරන ගාථාව
සම්බුද්ධ චේතියං සුගංච දුමින්දද්වන්දං
සම්බුද්ධ බිම්බපති මණ්ඩි මන්දිරංඛ
නන්වාන ලද්ධ කුසලේන භවේ සුඛංච
සංසාර මුඤ්චන සුඛංච සීවංලභාමි.
උඩ මළුවේ චෛත්‍යය (වටදාගෙය)
වර්ෂ 1953 දී උඩ හා පහල මළුවේ අධිකාරීත්වය බෝධි භාරකාර මණ්ඩලයට පවරා ගැනීමෙන් පසුව උඩ,කඳුගැටය පිහිටි ප්‍රදේශය සංවර්ධනය කර ඵහිද පූජනීය බිමක් කිරීමට සිරිල් ද සොයිසා මහතා පියවර ගත්තේය. ඵහි ප්‍රතිපලයක් වශයෙන් 1964 දී විශාල වටදාගෙයක් තැනීමට මුල්ගල තබන ලදී.
වටදාගෙය පිහිටි මෙම භූමියේ වර්ගඵලය වර්ග අඩි 7150කි. චෛත්‍යයේ විෂ්කම්භය අඩි 95.4කි.මෙහි උස අඩි 185 කි. වට ප්‍රමාණය අඩි 335කි. අගල් 5ක ඝනකමින් යුත් කොන්ක්‍රීට් තට්ටුවකින් චෛත්‍යය රාජයා නිමවා ඇත. මෙහි තීන්ත ආලේපයට ගතවන්නේ සතියක කාලයකි. අති දැවැන්ත ප්‍රාකාරයක් මේ වටා සාදන ලද අතර, වටදාගෙයි අනුරූ 4 කින් සිව්කොන සරසා තිබේ. වටදාගේ ඇතුලත බිත්තියේ පන්සිය පනස් ජාතක කථාවේ සම්බුද්ධ චරිතයේ විවිධ තැන් නිරූපනය කරන්නා වූ විචිත්‍රවත් චිත්‍ර 75කින් යුක්ත වේ. මෙය චෛත්‍ය කුහරයට ගමන් කල හැකි ලොව ඇති ඵකම චෛත්‍ය ද වෙයි. මේ මහා විශ්වකර්ම නිර්මාණය 1974 ජනවාරි 24 දින උත්සවාකාරයෙන් කොත් පැළද, පූජනීයත්වයට පත්කර තිබේ. ඉංජිනේරු ශිල්පයේ අද්විතීය තැනක් හිමි කරගෙන සිටි ඒ. එන්. එස්. කුලසිංහ මහතා මෙම වටදාගෙයි නිර්මාපකයායි. මෙහි චිත්‍ර 75, මහනුවර චිත්‍ර ශිල්පියෙකු විසින් සිත්තම් කර තිබේ.
වටදාගෙය මධ්‍යයේ ඇති කුඩා චෛත්‍යය
මෙම විශ්මිත වටදාගෙය මධ්‍යයේ උස අඩි 6ක චෛත්‍යයක්(කුඩා ප්‍රමාණයේ) පිහිටා තිබේ. සාම්ප්‍රදායික චෛත්‍යක සියළු කලා නිර්මාණයන් නිරූපණය කොට මෙම චෛත්‍යය නිමවා ඇති අතර සතර අතට මුහුණ ලා සමාධි සුවයෙන් වැඩ සිටින බුදුරදුන් නිරූපිත හිඳි පිළිම 4 කින් හා මල් ආසන 4 කින් මෙය අංග සම්පූර්ණ චෛත්‍යයක ලක්‍ෂණ විද්‍යාමාන කරයි. මෙහි ධාතු නිධානය හා කොත් පැළඳවීම 1980-02-28 දින සිදුවිය.වටදාගෙයට පිවිසෙන මග දොරටු 2 කින් සමන්විතයි. ඵ් උතුරු පසින් හා දකුණු පසින්ය. මකර රූ දෙකකින් හා සඳකඩ පහනකින් මේ දොරටු දෙපස අලංකාරව සරසා ඇත.ශ්‍රී ලාංකේය ඉදිකිරීම් කලාව ලෝක තලයට ගෙනගිය මේ විශ්මිත වටදාගෙය, ඇතුලත චෛත්‍යය හා ඵහි නිර්මාණ සිරිල් ද සොයිසා මහතාගේ සිතේ සනිටුහන් වූ පරිදිම ජීවමාන කිරීමට දායක වූයේ නිර්මාණ ශිල්පී ජස්ටින් සමරසේකර ඇසෝෂියේට් හා ඉංජිනේරු දේශබන්දු විද්‍යාජෝති ආචාර්ය A.N.S. කුලසිංහයන් ඇතුළු පිරිසේ දායකත්වයෙනි.අදටත් මෙහි භූමි නිර්මාණය, සැලසුම්කරණය හා තාක්‍ෂණය දෙස් විදෙස් ඉංජිනේරුවන් පවා මවිත කරන්නට සමත්ය. මෙම පූජා භූමිය පුරාවටම ඉහලම තාක්‍ෂණයක් උපයෝගී කරගත් ජල රටා පද්ධතියක් ද ඇති බැව් කියවේ.
ධර්ම ශාලාව
ඉපැරණි කච්චේරිය පැවති ස්ථානය ලෙස සැලකෙන මෙම භූමි භාගයේ මෙම සුවිසල් ධර්ම ශාලාව ඉදිකර ඇත. කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ හා බෞද්ධ ජනතාවගේ ආධාරයෙන් මෙහි නිමැවුම සිදුවී ඇති අතර 1994-05-13 වෙසක් පොහෝ දින එවකට ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා අතින් විවෘත කරන ලද බව සඳහන් වේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේ ද විශාලතම ධර්ම ශාලාව වන මෙහි ඇති ප්‍රයෝජනය පසක් වන්නේ පුර පසලොස්වක පොහෝ දිනයන්ට පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් දහස් ගණනකට ඉඩ හසර ලබා දෙන සෙවනක් බැවිනි.
සක්මන් මළුව
කළු ගං ඉවුරට යාබඳව කොන්ක්‍රීට් වැටකින් සීමාකර ගං ඉවුර දිගේ පටු තීරුවකින් සමන්විත මෙම වැලි මළුව පහන් සිතින් භාවනානුයෝගීව සක්මන් කිරීමටත් සිත සංසුන් කරගැනීමටත් හැකි ස්වභාවික පරිසර පද්ධතියකින් හෙබි බිමකි. මෑත කාලයේ වර්ෂ 2000-05-17 වෙසක් දින බෝධි භාරකාර මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙය නිර්මාණය කර විවෘත කරන ලදී.
යටි බිම් හරස් මග (උමං මාර්ගය)
මෙම පූජා භූමියට පැමිණෙන දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පහසුවසඳහා නව පාලම ඉදිකිරීම යටකතේ එවකට ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ නියමය පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නිමවූ මෙම පාලමට සම්බන්ධ උමං මාර්ගය 1990- 01-27 දින එවකට අගමැති D.B. විජේතුංග මහතා විසින් විවෘත කරන ලදී. පොහෝ දින වලට වන්දනා කටයුතු පිණිස පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව හා ආරක්‍ෂාව පිණිසත්, ගාලු-කොළඹ මහා මාර්ගයේ ඒ හෙතුවෙන් ඇතිවන රථ වාහන තදබදය අවම කිරීම පිණිසත් මෙම උමං මාර්ගය බෙහෙවින් ඉවහල් වේ.
0 comments:
Post a Comment