728x90 AdSpace

Latest News
Thursday, 30 July 2015

අපේ කම ගැන ලොවට කියන්න නගරයක් මැද ඉදිකළ අපේ ගම ගැනයි මේ...







උසට උසේ නැගුණු කොන්ක්‍රීට් වනාන්තරයට වෙලා හැල්මේ දුවමින් යෙදෙන ජීවන තරගයෙන් හෙම්බත් වෙලා හිටපු මොහොතක පුංචි අස්වැසිල්ලක් ලබන්න කදිම අවස්ථාවක් පසුගියදා අපිට උදා වුණා. බත්තරමුල්‍ලේ පාර්ලිමේන්තු පාරේ ජනකලා කේන්ද්‍රයේ ඉදිකළ “අපේ ගම” ට ගොඩ වැදුණු Gama1මොහොත අතීතයේ අපේ කම අපට දැනුනු සුන්දර මොහොතක්. ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකත්ව සමුළුව උදෙසා නිර්මාණය වූ “අපේ ගම” විවෘත කෙරුණේ පසුගිය 13 වැනිදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසිනුයි. “මහින්ද චින්තන” සංකල්පයට අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නිර්මාණයන් ලෙස දින 60 කින් නිම කරන ලද මෙම අපූරු “අපේ ගම” නරඹන්න අප යන විටත් බාල මහලු සෙනග පිරී ඉතිරී සිටියා. මමයි අපේ ඡායාරූප ශිල්පියයි දෙන්නත් මේ අය අතරට එකතු වෙලා කාලයේ වැලි තලාව මතින් පුනර්ජීවය ලැබූ අපේ පැරණි ශ්‍රී විභූතියේ අසිරිය වින්දා.
අපේ රට ඉංග්‍රීසි අධිරාජ්‍යයට නතුවීමට පෙර පැවැති ශ්‍රී ලාංකීය ගම තමයි මෙහි නිර්මාණය වී තියෙන්නේ. ජනකලා කේන්ද්‍රයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුණාම දකුණු පසින් මෙම “අපේ ගම” ඉදිවී තිබෙනවා. ඉන් එහායින් පුංචි සත්තු වත්තේ , ශිල්ප ගම්මානයක් , වගේම රන්වල චලනය ඉදිරිපත් කරන අපේ සම්ප්‍රදායික නැටුම් හා සංගීතයනුත් පැවැත්වෙනවා.
එදා හෙළදිව පැවතුණ වැඩවසම් ක්‍රමය යටතේ කර්මාන්තයන් පවතින්නේ පාරම්පරිකව. ඒ අනුව වෙද ගෙදර , කුඹල් ගෙදර (වලං කර්මාන්තය කරන නිවස) කම්මල් ගෙදර, ගුරුන්නාන්සෙගෙ ගෙදර, රෙදි අපුල්ලන්නන්ගෙ ගෙදර ආදි හැම එකක්ම මේ ගම පුරා විහිදිලා තියෙනවා. මේ හැම තැනකම අතීතයේ මෙම නිවාසයන්හි විසූ අයගෙ අනුරූ අඹලා තියෙනවා. ගමට ඇතුළු වන තැනම තියෙන්නේ කඩපල. මේ සැම සියලු නිවාසයන් අතර මතුවී පෙනෙන්නේ මහ ගමරාලගේ නිවස. සුද්දන් අපේ රටට ආවට පස්සේ ආරච්චිල ගමේ පාලකයා වුණාට ඊට පෙර අපේ සමාජයේ ගම පාලනය කළේ මහ ගමරාල විසිනුයි.
සහලින් ස්වයං‍පෝෂිත වූ එදා සමාජයේ කුඹුරු හා ගමක ජන ජීවිතයේ සුවිශේෂම වටිනාම ස්ථාන දෙකක්. ඒ කුඹුරයි කමතයි අපේ ගම තුළත් දැකගන්න පුළුවන්. මේ සෑම සියලු ස්ථානවලම ඊට අදාළ මිනිසුන් වගේම ගවයින් පවා අනූරූ විදියට නැගී සිටි බව අපව මුලින් සඳහන් කළා. ඊට අමතරව ඊට සමානව ඇඳ පැළඳ ගත් ගැමියෝ හා ගෙවිලියෝ මේ නිවාස තුළ සරණ ආකාරය අපට දැකගන්න ලැබුණා. මේ වගේ අවස්ථාවල මේ විදියට ගැමියන් හා ගෙවිලියන් විදියට ඇඳ පැළඳ ගෙන රංගනයේ යෙදෙන අය සිටිනවා. ඒත් අපේ ගමේ සිටින ගැමියෝ හා ගෙවිලියෝ ඒ වගේ රංගනයේ යෙදෙන පිරිසක් නමෛයි. ඔවුන් සැබෑම සැබෑ ගැමියෝ හා ගෙවිලියෝ. නවිකරණය වන සමාජ පෙරැලිවලට නතු නොවුණු ඈත පිටිසර ගැමියන් හා ගෙවිලියන් තමයි මෙතැන ඉන්නේ. පිරිමි 15 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙකු මේ අතර වනවා. “අපේ ගමේ” අසිරිය විඳිමින් යන අතර අපි ගම කෙළවර වූ කඩමංඩියට ගොඩවැදුණා. බෙලිමල් වතුර ‍පොල් කටුවයි හකුරු කෑල්ලකිනුයි සප්පායම් වෙලා ආයෙම අපි ගමපුරා ඇවිද්දා.
පසුගිය දවස් කිහිපය පුරාවටම අපේ ගම නරඹන්න ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පැමිණි බව, අපට දැනගන්න ලැබුණා. ඒ අවස්ථාව වැඩිහිටි පිරිසට වගේම පාසල් සිසු සිසුවියන්ටත් කදිම අවස්ථාවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එදා නිවාස වල අතිරේක වී තැන්පත් කළ අටුව, වෙදගෙදර තෙල් හිඳපු ක්‍රම හා උපකරණ මේ දරු දැරියන්ගේ දැනුම ‍පෝෂණය කරන්න ඇති. අද වැඩිහිටියන්වත් දැකල නැති ඔලිඳ බංකුව නරඹන්න , හේනේ කුඹුරේ ඉඳන් ගැමියෝ ගෙවිලියෝ ගයන විරල ගණයේ ජනකවි අහන්න , ඒ විතරක් නමෛයි කඩපිලට ගොඩවැදිලා මීට කලින් අහල නැති “කොමල වටා” වැනි අපේ කැවිලි පෙවිලිවල රස විඳින්න මේ අය භාග්‍යමත් වුණා. ඒත් මේ අවස්ථාව ලබාගන්න බැරි වූ පාසල් සිසු සිසුවියන් වගේම වැඩිහිටියනුත් ඇති.
මේ ලිපිය කියවන එවැනි අයට හිතේවි “අනේ අපිටත් අපේ ගම බලන්න ඇත්නම්” කියලා ඒ අයටයි මේ සුභාරංචිය.
‍පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුව වෙනුවෙන් ඉදි වූ “අපේ ගම” අපේ රටපුරා විහිදී විසිරී සිටින අයට වගේම විදේශීය සංචාරකයන්ටත් දැකබලා ගන්නට දිගටම පවතිනවා. පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා මෙය නරඹන්න පුළුවනි. ඒ වගේම තවත් දෙයක්. අපේ ගමට යාබදව ජනකලා කේන්ද්‍රයේ ඉදිකෙරුණු උත්සව ශාලාවේ මංගල උත්සව ඇතුළු විවිධ උත්සව පවත්වන්නත් පුළුවනි. ඒ උත්සව සඳහා සහභාගි වන අයට සියවසක් පැරණි ගමක් මැදට වෙලා තමංගෙ ජීවිතයේ වැදගත් උත්සවයක් පැවැත්වීම අපූරු අත්දැකීමක් වේවි. ඒ ගැන වැඩිදුර දැනගන්න කැමති අයට 0714521887 ට හෝ 071-4521925 ට අමතලා ඒ ගැන වැඩිදුර දැනගන්න පුළුවනි.



ආරියවංශ කුලතිලක
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අපේ කම ගැන ලොවට කියන්න නගරයක් මැද ඉදිකළ අපේ ගම ගැනයි මේ... Rating: 5 Reviewed By: Unknown