728x90 AdSpace

Latest News
Sunday, 19 July 2015

රුහුණේ පුංචි සීගිරිය මුල්කිරිගල පුදබිම

රුහුණේ පුංචි සීගිරිය මුල්කිරිගල පුදබිම
දකුණු පළාතේ ඇති ඓතිහාසික පුදබිම් අතර මුල්කිරිගල නොහොත් මුල්ගිරිගල රජමහා විහාරස්ථානයට හිමිවන්නේ සුවිශේෂ වූ ස්ථානයකි. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඔබ්බෙන් මෙම විහාරස්ථානය පිහිටා ඇත. තංගල්ල වීරකැටිය මාර්ගයේ හෝ තංගල්ල බෙලිඅත්ත මාර්ගයේ ගමන් කිරීමෙන් පුද බිම වෙත ළඟාවිය හැකිය. ග්‍රාමීය පරිසරයක් සෝබමාන කළ මුහුදු මට්ටමින් අඩි 300 ක් පමණ උස් වූ කඳු මෙවුලක් ආශ්‍රයේ මෙම ලෙන් විහාරය ගොඩනංවා තිබීම නිසා, මෙය වන්දනාමාන කරන පින්වතකුට මෙන්ම සොඳුරු ඉසව්වෙත පියනගන සංචාරකයකුට ද කදිම පරිසරයක් නිර්මාණය කර දී තිබේ.
ස්වභාවධර්මය දායාද කළ ශෛලමය ලෙන්කුටි හතක් සහිත මහල් පහකින් සමන්විත කඳු ගැටය එදා රජ දරුවන් විසින් ජාතික ආගමික උරුමයක් බවට පරිවර්තනය කරමින්, එයට අපූරු නිර්මාණාත්මක හැඩතල ද එක්කර ඇත. අව්‍යාජ ස්වභාව සෞන්දර්යයේ ගිරිකුළ මුල්ගිරිගල නමින් හැඩ වැඩ කර ඇත්තේ පවතින ස්වාභාවික පරිසරය චමත්කාරයෙන් ඔදවත් කරලමිනි. මෙය බොදු ජනතාව උදෙසා තිළිණ කළ අපූර්වත්වයෙන් සුන්දරත්වයෙන් පිරිපුන් තවත් අභිමානවත් බෞද්ධ උරුමයකි. මුල්ගිරි ගල වෙත එන වන්දනා කරුවකුට එය ආගමානුකූල අපූරු අඩවියකි. සොඳුරු සිත් ඇති සංචාරකයකුට අසිරිමත් ඉසව්වකි.
පහතමළුව, බෝ මළුව, රජමහ විහාර මළුව උඩ බෝධි මළුව, චෛත්‍ය මළුව වශයෙන් නැගෙන ගිරග විසින් සාදා ඇති තෝතැනි විහාරාංගයන් වෙනුවෙන් උපයෝගී කරගෙන තිබේ. ලෙන් විහාරාරාම හතෙන් දෙකක් පහත මළුවේ ද හතරක් රජමහා විහාර මළුවේ ද ඉතිරිය බෝ මළුවේද දක්නට ලැබෙයි. එදා වනේ වන සතාත් විෂඝෝර සර්පයාත් වඩාත් රුචි කළ උණුසුමත් සමඟ අඳුරෙන් චකිතයෙන් පිරී ගිය ගල් ගුහා සැනසීම සමඟ බුද්ධාලම්භනාලෝකයෙන් මෙන්ම බැතිය ද ආකර්ශනය ද කැටි කර ගනිමින් විහාරාරාම බවට ස්වාභාවික සැකැස්ම සීරු මාරුවට පරිවර්තනය කිරීම අගනේ ය.
ලොව අටවැනි පුදුමය ලෙසින් විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ සීගිරිය ඓශ්චර්යවත් නිර්මාණයකි. එවන් සීගිරි ආලකමන්දාව මතකයට නංවමින් මුල්ගිරිගල හඳුන්වන්නේ රුහුණේ පුංචි සීගිරිය නමිනි. එයම මෙහි වන සුවිශේෂී ස්වභාවය, කලාත්මක භාවය හඳුනාගැනීමට හැකි පෙළඹුමක් ඇති කරවන සුළුය.
විහාරස්ථානය ආශි‍්‍රතව ඇති දොළොස්වන සියවසට අයත් ශිලා ලේඛනයට අනුව මෙහි පැරැණි නාමය ‘මුහුන්දගිරි’ විහාරය නමින් හඳුන්වා තිබේ. කාවන්තිස්ස රජතුමා සෑදූ හැට හතරක් විහාරස්ථාන අතරට මෙම විහාරස්ථානය අයත්වන බව සැළකේ. එසේ නම් මෙය ඉතා ඓතිහාසික තත්ත්වයක ලා, ගැනිය හැකි ක්‍රි.පූ. යුගය දක්වා දිවෙන සුවිශේෂී වූ පුදබිමෙකි.
මුල්ගිරිගල විහාරස්‌ථානයෙහි ඉතිහාසය ක්‍රි. පූ. 2 වන සියවස තෙක්‌ ඈතට දිවයන්නකි. වංශකතාගත තොරතුරු වලට අනුව කාවන්තිස්‌ස රජු විසින් කරවන ලද 'සමුද්‍රගිරි විහාරය' මෙය වන්නට ඇතැයි පිළිගත් විද්වත් මතයයි. අවස්‌ථා කිහිපයකදීම විවිධ රජවරුන් යටතේ සුවිශේෂී රාජානුග්‍රහ ලබමින් මෙම විහාරස්‌ථානය වැඩි දියුණු වී ඇත. වර්තමානයෙහි අපහට දක්‌නට ලැබෙන විහාරස්‌ථානයේ ආරම්භකයා ජෙට්‌ඨතිස්‌සෂ රජුය ක්‍රි. ව. 3 වන සියවස). කෙසේ වුවද මෙහි ඇති රමණීය බිතුසිතුවම් මහනුවර රජකම් කළ නරේන්ද්‍රසිංහ රජුගේ අවසාන කාලයේදී ක්‍රි. ව. 1730) කරවන්නට ඇතැයි සැලකේ. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන් මෙහි අධිපතීත්වය දැරීම හේතුවෙන් මහනුවර රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ වැනි උඩරට නරපතියන් ගේ අවධානය නිරතුරුව මේ කෙරෙහි යොමු විය. රජු විසින් මුලගිරි විහාර මහාසීමාවක්‌ බඳවා ඇත්දළ ස`ගලක්‌ හා සෙමෙර වාලධියක්‌ ද ස්‌වර්ණ ප්‍රතිමාවක්‌ සහ වෙනත් බොහෝ වස්‌තු ද විහාරස්‌ථානය වෙත පුදකළේය. මීට අමතරව විහාරයෙහි පරමල් ගෙන දැමීමල අතුගෑම හා විහාර තේවා කටයුතු සඳහා පුද්ගලයන් පත් කොට ඔවුන්ට ඒ වෙනුවෙන් ගම්වර ප්‍රර්නය කරන ලදි. රජතුමාගේ නියමය පරිදි විහාරවාසී භික්‌ෂූන්ට වැදගත් දවස්‌ හි මහාදාන දහසක්‌ දෙන ලදි. මෙම විහාරයේ උපසම්පදා විනය කර්මය සඳහා ද රජු සිය දායකත්වය සපයා ඇත (මහාවංශය) .නමුත් වංශකතා වලට අනුව මුල්කිරිගල විහාරය තනවා ඇත්තේ 1 වන ජෙට්ටතිස්ස රජතුමා (ක්‍රි.ව. 266 – 276 ) විසින් බව කියැවෙයි. පුදබිමෙහි රෝපණය වී ඇති බෝධීන් වහන්සේ දෙතිස්ඵල රුහ බෝධීන් වශයෙන් සැළකේ. එයද විහාර සංස්කෘතියකට විශේෂිත ය.
ඇත්තෙන්ම මෙය විහාර සංකීර්ණයකි. ලෙන් විහාර 7 ක් දාගැබ් 3 ක් බෝධීන් 3 ක් සහ කටාරම් කොටන ලද ලෙන් 11 ක් හා ශිලා ලේඛන මෙන්ම පැරැණි ගල් කණු ශෛලමය ඔරු ශෙලමය මලසුන් මෙහි ඇති පෞරාණිකත්වයටත් ආගමික අභිමානවත් බව සුරැකීමට සබැඳිව අදත් නටබුන් වෙසින් පෙනී සිටියි.
එක් එක් මහල් වෙත පිය නැඟීමට තනා ඇති ශෛලමය පියගැට පෙළ ලෙන් කුටි මතු කරලමින් පැරැණි සම්ප්‍රදායික ආකෘතියේ සුන්දරත්වය මතු කරලමින් සාදා ඇති විහාර මැදුරු ද උඩමළුවේ ඇති ජල පොකුණ ද පුදබිමේ විසිතුරු බව ඔපවත් කිරීමට දායක වී තිබෙති. මෙහි ලෙන් විහාර මැදුරු පහක් තුළ ඔත් පිළිමවහන්සේලා හත් නමක් නිමවා තිබේ.
එසේම විහාර බිතු මත ඇඳි සිතුවම් පෙළ මහනුවර සම්ප්‍රදායේ රුහුණු ආභාෂයේ කලා කෘතීන්ය. ඒ අතර තේලපත්ත ජාතකය පෙරහර ජවනිකාව, බෙරකරුවන් ගේ සිතුවම් විශේෂ තැනක් ගන්නා බව කලා විචාරකයන්ගේ මතයයි. ඒ අතර වන බෙරයක් වයන කාන්තාරුව විශේෂ අවධානයක් දිනා ගන්නා ලද අපූරු සිතුවමක් වශයෙන් හඳුන්වයි. රුහුණට ආවේනික මකර තොරණ, දොරටුපාල රූපාදිය ද විහාර මැදුරු විචිත්‍රවත් කරවයි.
මුල්ගිරිගල පුදබිම පිහිටි පරිසරය ඉතාමත් දැකුම්කලුය. පහත තැනිතලාවේ සිට ඉහලට නැග සිටින පර්වතය මීටර් 100 කට වඩා වැඩිය. එබැවින්ම මෙම පර්වතය තංගල්ල අවට මුහුදු තීරයෙහි යාත්‍රාකරන්නවුන්ගේ නොමද අවධානයට නිරතුරුව පාත්‍ර විය. ලන්දේසි නාවිකයන් විසින් මෙම පර්වතය 'සමනළ කන්ද' (Adam's Peak) යෑයි වරදවා වටහාගෙන එයට 'ඇඩම්ස්‌ බර්ග් (Adam's Berg) යනුවෙන් ව්‍යවහාර කරන ලදි. ඔවුන් මේ කෙරෙහි කොතරම් තදින් විශ්වාසය තැබුවේද යත් මෙම විහාරයෙහි තිබෙන විශාල සැතපෙන බුදුරුව "ආදම්ගේ රුව" ලෙස සලකන ලදි.

මෙම විහාරස්‌ථානය පිළිබඳව සටහන් කොට ඇති විවිධ දේශාටන වාර්තා අතර ක්‍රි. ව. 1732 දී මෙහි පැමිණි ජර්මන් ජාතික දේශාටක ඉතිහාසඥයෙකු වූ වුල්ෆaගංග් හයිඩ්ට්‌ (Wolfgang Hydt) නමැත්තා ප්‍රධාන වේ. මුල්ගිරිගල බිතුසිතුවම් දැක වශීකෘතව ගිය හෙතෙම බිතුසිතුවම් පිළිබඳ වැදගත් වාර්තා සටහන් කොට විදේශීය සිත්තරෙකුලවා තෝරාගත් සිතුවම් කිහිපයක්‌ පිටපත් කරවා ගන්නා ලදි.
වාදීභසිංහයෙකු ලෙස ප්‍රකට කරතොට ධර්මාරාම හිමියන් මෙහි විහාරාධිපතිකම දරණ අවධියේ දී ලන්දේසි පාලනාධිකාරිය විසින් මෙම විහාරස්‌ථානය කෙරෙහි සුවිශේෂී අවධානයකින් කටයුතු කරන ලදි. මෙම කාල සීමාව තුළ විහාරස්‌ථානයෙහි වැඩි දියුණු කිරීම් උදෙසා ඔවුන්ගේ නොමඳ ආධාර උපකාර ලැබිණි. එහෙයින් මෙම සමය තුළ මුල්ගිරිගල විහාරය විශේෂ බෞද්ධ මධ්‍යස්‌ථානයක්‌ ලෙස වඩාත් හොඳින් ස්‌ථාපිත විය.
විවිධ ග්‍රන්ථයන්ගෙන් පරිපූර්ණ වූ පොත්ගුලක්‌ මෙම විහාරස්‌ථානය සතු විය. ජෝර්- ටර්නර් වැනි පාළි භාෂාව පිළිබඳ හසළ දැනුමක්‌ ඇති වියතුන්ගේ ඇසුර ඊට නොමදව ලැබිණි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මෙහි තිබූ පාළි මහාවංශ ටීකා ග්‍රන්ථයෙහි පිටපතක්‌ද ඔහු විසින් ලබා ගන්නා ලදී. මීට අමතරව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලන සමය තුළ විවිධ තරාතිරමේ නිලධාරීන් මෙම විහාරස්‌ථානයෙහි සුවිශේෂීභාවය පිළිබඳව සටහන් තබා ඇත. ඒ අතුරින් ආණ්‌ඩුකාරවර රොබට්‌ බ්‍රවුන්රිග් (Robert Brownrig), ලඩොනල්ඩ් ෆර්ගසන් (Donald Fergusson) මේජර් ෆෝබ්ස්‌ (Major Forbes) තෝමස්‌ ස්‌ටීල් (Thomas Steele) වැන්නන් ප්‍රමුඛත්වයක්‌ දරයි. කෙසේ වුවද මුල්ගිරිගල විහාරය වර්තමානයෙහි පවා එහි වූ සුවිශේෂීභාවය හේතු කොට ගෙන අද්විතීය ස්‌ථානයක ලා පසුවෙයි.
අකාලයේ වල් බිහිව තිබූ මෙම වටිනා උරුමයට නැවත පුනර්ජීවය ප්‍රදානය කළේ 18 වන ශතවර්ෂයේ වටරන්ගොඩ ධම්මපාල හිමියන්ගේ මූලිකත්වයෙනි. පෞරාණික සිතුවම් ඇකී මැකී ගිය බැවින් නැවත ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට එවකට සිටි දක්‍ෂ නිර්මාණ ශිල්පියකු වූ දෙවරගම්පල සිල්වත් තැන සම්බන්ධ කර ගත් බව සැළකෙයි.
සිතුවම් නිර්මාණ තාක්‌ෂණය
ස්‌වාභාවිකව පිහිටි ලෙන් බාහිරින් ආවරණය වන පරිදි තනා අභ්‍යන්තරයෙන් අවශ්‍යය පරිදි බිත්ති බැඳ විහාර කුටි සකස්‌ කරගෙන ඇත. සාමාන්‍යයෙන් බිත්තියක්‌ සෙ. මී. 70 පමණ ඝනකමින් යුක්‌තය. බිතුසිතුවම් නිර්මාණය බිත්ති හා සීලිම් මත සිදුකොට ඇත. විහාර ලෙස ලෙන් නිර්මාණය කිරීමේ කාල වකවානු අනුව 01 හා 02 ලෙනෙහි බර්ම ස්‌තර යෙදීමේ වෙනසක්‌ දැකිය හැකිය. 01 වන ලෙන් විහාර බිත්තියේ පළමු බර්ම ස්‌තරය රළු වැලි සහිත මැටි බර්මයකි. බර්ම ස්‌තරයේ ඝනකම සෙ. මී. 02 පමණ වේ. වැලි මැටි මිශ්‍රණ අනුපාතය 2.1කි. නමුත් මෙහිදී යොර් ගන්නා ලද දෙවන බර්මය හුණු වැලි මිශ්‍ර ඝනකම මි. මී. 08 ක්‌ පමණ වන සියුම් මතුපිටක්‌ සහිත මනාව පිරි මදින ලද්දකි. මෙහිදී මි. මී. 01 පමණ ඝනකමැති වර්ණාලේප කිරීමට උචිත පරිදි හුණු මිශ්‍ර නොකොට පෘෂ්ටය සුමට කර ගැනීමට සුදු මකුළු මැටි බදාමයක්‌ භාවිතා කොට ඇත. නමුත් වර්තමානයෙහි අප හට දක්‌නට ලැබෙන්නේ බොහෝවිට මෙම සිතුවම් ස්‌තරය නොවේ. ඇතැම් බිත්තිවල මුල් සිතුවම් මත එම සිතුවම් ම නැවත ප්‍රතිනිර්මාණය කොට ඇත. අනෙකුත් බිත්ති සහ සීලිමේ පැරණි සිතුවම් මත මි. මී. 02 පමණ වන තුනී මැටි බදාම ස්‌තරයක්‌ ද ඒ මත සියුම් මකුළු මැටි ආලේපයක්‌ද යොදා මුල් සිතුවමට වඩා වෙනස්‌ සිතුවම් හා මෝස්‌තර නිර්මාණය කොට ඇත.
සීලිම් සිතුවම් සඳහා පාෂාණ පෘෂ්ටය සුමට කර ගැනීමට සියුම් අංශු ලෙස අඹරා සකසා ගත් මැටි බදාමය පාෂාණ පෘෂ්ටයේ ව්‍යුහය අනුව ඝනකම මි. මී. 02 සිට 05 අතර වෙනස්‌ වෙමින් පවතින ලෙස යොර් ඇත. මෙහිදී පිරවුම් කාරක ලෙස පුළුන් කෙඳි මිශ්‍ර කර තිබේ. පෘෂ්ටය විෂම වුවත් බදාම ස්‌තරය මතුපිට සුමට වන ලෙස සකස්‌ කොට ඇත. මෙහිදී ඇතැම් ස්‌ථාන වල වර්ණ ස්‌තර දෙකක්‌ දක්‌නට ලැබේ. එනම් මුල් සිතුවම් මෝස්‌තර වෙනස්‌ කොට නැවත ඇඳ ඇති අතර දෙවන ස්‌තරය නිර්මාණයේ දී පළමු සිතුවම් ස්‌තරය තුනී සුදු පැහැ බදාමයකින් ආවරණය කොට ඇත.
කෙසේ වුවද මෙම සිතුවම් නිර්මාණයේ දී සත්ත්ව, මිනිස්‌ රූ, වෘක්‌ෂලතා සහ ගෘහාභ්‍යන්තර දර්ශන ආදිය සිත්තරුන් සිය අභිමතය පරිදි නිදහස්‌ ව අතින් සිදු කොට ඇති බව පෙනී යයි. නමුත් සෘජු රේඛාමය නිර්මාණයන්හි දී එනම් සීලිම්වල ඇඳ ඇති නෙලුම් මල් හා ඇතැම් මල් මෝස්‌තර සඳහා ජ්‍යාමිතික උපකරණ යොදා ගෙන ඇති බවක්‌ පෙනේ. සමහර අවස්‌ථාවන්හි දී මානව රූප හා වෘක්‌ෂලතා නිර්මාණ බිත්ති මතට පිටපත් කොට තිබෙන බවට සලකුණු රජමහා විහාරයේ ඇතැම් සිතුවම් පරීක්‌ෂාවේ දී දක්‌නට ලැබේ.
වස්‌තු විෂය
අගනා බිතුසිතුවම් වලින් පිරිපුන් ලෙන් 08 කින් සුසැදි මෙහි පෙර බුදුවරුන්ගේ ජීවන චරිත මුල් ප්‍රතිමාගෘහ දෙක වන 'රජ මහා විහාරය' හා 'පදුම රහත් විහාරය' යන විහාරයන්ට වස්‌තු විෂය වී ඇත. ජාතක කථා නිරූපණය කෙරෙන දර්ශන වලදී දකුණේ සිත්තරුන්ගේ සුවිශේෂී අවධානය දිනාගත් බෝධිසත්ත්වයන් ගේ ධෛර්යය හා ප්‍රඥව ඉඳුරන් දමනය පිළිබඳව පූර්වාදර්ශ සපයන 'තේලපත්ත ජාතකය' මෙම ලෙන් දෙකෙහිම නිරූපණය කොට ඇත. වෙස්‌සන්තර ජාතකයෙන් විස්‌තර කෙරෙන අන්‍යයන් හට උපකාර කිරීමේ උත්තම ගුණය දැක්‌වෙන සිතුවම් වලට අමතරව සිවි ජාතකයද සමතැන්හි ලා ඉදිරිපත් කෙරේ. මීට අමතරව සෑම ලෙන් ප්‍රතිමා ගෘහයකම 'වන්දනාමානයෙහි යෙදෙන රහතන් වහන්සේලා' ප්‍රමුඛව බුදු පිළිම දක්‌වා ඇත.
කෙසේ වුවද මුල්ගිරිගල ආරක්‌ෂා වී ඇති සිතුවම් සමූහය දෙස බැලීමේදී පෙනී යන්නක්‌ නම් මේවා 18 වැනි සියවසෙන් ඔබ්බට නොයන බවයි. රජමහා විහාරයේ පිටත ඉදිරිපස බිත්තිවල ඇති තේලපත්ත ජාතකයේ සිතුවම් වලින් සහ දොරටුවෙහි සිතුවම් කර ඇති භෛරව රූපයෙන්ද මෙම සිතුවම් දහඅට වැනි සියවසේ අග භාගයට අයත් බව සිතිය හැකිය. නමුත් සිවි ජාතකය මෙන්ම එම කුටියෙහිම ද්වාර රාමුවෙහි ඇති සිතුවම් දෙස බැලීමේ දී පෙර සඳහන් කළ සිතුවම් වලට වඩා වෙනස්‌ ශෛලියක්‌ අනුගමනය කොට ඇති බව පෙනේවඩාත් මෑත භාගයට ලං වන එම සිතුවම් 19 වැනි සියවසේ මුල් කාලයට වඩාත් නෑකම් කියයි. ලෙන අංක 05 හි ප්‍රතිමා ගෘහ පිවිසුම් ද්වාර රාමුවෙහි ලක්‌ෂ්මී දෙව්දුව පියුමක්‌ මත වැඩ හිඳින අයුරින් සිතුවමට නගා ඇත. මෙහි රතු පැහැති පසුබිම පහත රට ශෛලියට අනුව ශෛලිගත පිච්චමල් රටාවන්ගෙන් අලංකාර කොට ඇත. දෙපසින් විජිනිපත් දරා සිටින ස්‌ත්‍රීන් දෙදෙනකුගෙන් සමන්විත පරිවාර ස්‌ත්‍රීන් සතර දෙනා අඳුරු පැහැ පසුබිමෙහි සිතුවම් කොට ඇත. මොවුනගේ අලංකාරවත් විචිත්‍ර වස්‌ත්‍ර සිවි ජාතකයේ සිතුවම් වල ආභාෂය සිහියට නංවයි. පිවිසුම් ද්වාරය පසෙකින් ශිව භෛරව රුව භයංකාර විලාශයකින් නිරූපිතය. පදුම රහත් විහාරයේ සිතුවම් කොට ඇති තේලපත්ත ජාතකය, වෙස්‌සන්තර ජාතකය බොහෝ විට දහනව වැනි සියවසේ මැද භාගයේදී නිර්මාණය කරන්නට ඇති බව පෙනී යයි. අතීත බුදුවරුන්ගේ සහ ලංකාරක්‌ෂක සතර වරම් දෙවිවරුන්ගේ රූ වලින් සමන්විත ලෙන් අංක 01 හි සිතුවම් වලින්දල මෙහිම ලෙන් අංක 06 හි ඇති අරහත් රූ ද 20 වැනි සියවසේ මුල් භාගයට අයත් ලක්‌ෂණ වඩාත් ප්‍රකට කරවයි. ප්‍රතිමා ගෘහ ආරක්‌ෂාවෙහි යෙදී සිටින දෙවිවරුන්ගේ රූ බොහෝ විට ජීවමාන ප්‍රමාණයට සිතුවම් කොට තිබීම මෙහිදී දක්‌නට ලැබෙන විශේෂ ලක්‌ෂණයකි. ලෙන අංක 01 ප්‍රතිමා ගෘහයෙහි සමන්, විභීෂණ, විෂ්ණු සහ කතරගම යන සිව්වරම් දෙවිවරුන්ගේ සිතුවම් අතර සමන් දෙවිඳුන් සුදුවන් ශරීර වර්ණයෙන් යුතුව සෘජුව නැගී සිටින අයුරින් නිරූපිතය. මහනුවර යුගයේ දේවරූපවලට ආවේණික වූ විචිත්‍ර වස්‌ත්‍රාභරණයෙන් සැරසී සිටියද හිස පැළඳි මකර කුණ්‌ඩලාකාර ඔටුන්න නවතාවයකින් යුතුව සිතුවම් කොට ඇත. මොහු අත දරණුයේ එක නටුවකින් යුත් රෝස මල් කිනිත්තකි. මෙය යුරෝපීය ආභාෂය ප්‍රකට කරවන්නකි. වඩාත් තාත්ත්විකත්වයට නැඹුරු වන පරිදි මෙය සිතුවම් කොට ඇති බව පෙනේ. මෙහි සිතුවම් කොට ඇති විෂ්ණු දෙවි රුවෙහිද වස්‌ත්‍රාභරණයන් සාම්ප්‍රදායික ලක්‌ෂණ ප්‍රකට කළ ද බොහෝ අලංකරණයන් යුරෝපීය ආභාෂය ලත් බව පෙනේ. ඉහලින් ඇති ආරුක්‌කුවෙහි තුන් පෙති හැඩයද එහි සිතුවම් කොට ඇති අන්නාසි මල් මෝස්‌තරයද යුරෝපීය ආභාෂය ලත්බවට කදිම නිදසුන්ය. විභීෂණ, කතරගම දෙව් රූ වළ ද වස්‌ත්‍ර සිතුවම් යුරෝපීය නැඹුරුව වඩාත් ප්‍රකට කරවයි. මීට අමතරව ලෙන අංක 03 හි නාථ දෙවියන්ගේ සිතුවමක්‌ද මේ අයුරින් දක්‌නට ලැබේ. බුද්ධ චරිතයෙහි විවිධ දර්ශන ඇතුලත් සිතුවම් ලෙන් අංක 03 හා 04 හි දක්‌නට ලැබේ. මෙම අවස්‌ථා නිරූපණය කොට ඇති ශෛලිය අනුව විසි වෙනි සියවසට නෑකම් කියයි. ඒ අනුව බුද්ධ චරිතයෙන් තෝරාගත් ප්‍රධාන සිද්ධීන්ට පමණක්‌ ප්‍රමුඛතාව දෙමින් සිතුවම් කොට ඇති බව පෙනේ.
ශෛලිය හා වර්ණ රටාව
පහත රට සම්ප්‍රදායයට පොදු නව ආරක කලා සම්ප්‍රදායයක්‌ මුල්ගිරිගල පැරණිතම සිතුවම් වලින් කළ එළි බසී. උඩරට කලා සම්ප්‍රදායයේ පිළිගත් සම්මතයන්ගෙන් බැහැර වූ සුවිශේෂී වර්ණ රටාවක්‌ මෙහිදී අනුගමනය කොට ඇති බව පෙනේ. මෙහි වර්ණ රටාව පිළිබඳව විමසීමේදී දෙවන ශෛලියේ වර්ණ රටාවට වඩා විවිධ මෙන්ම සාපේක්‌ෂ වශයෙන් බලන කළ වඩා උචිත ද වේ. එළිමහන් දර්ශණ සඳහා සාම්ප්‍රදායික රතු පැහැය වෙනුවට ලා පැහැයක්‌ භාවිතා කොට ඇත. වෘක්‌ෂ කඳන් කලු පැහැතිය.
පසුබිමෙහි සුදු පැහැය නිසා එය වඩාත් කැපී පෙනේ. වෘක්‌ෂලතාදියෙහිඅතු ඉති බෙදී ගිය අයුරින් ඉතාමත් තාත්ත්වික ලෙස බටහිර සැරසිලි මෝස්‌තර වලින් උකහා ගත් අයුරින් නව ආකාරයකින් ඉදිරිපත් කොට ඇත. පත්‍ර සහ මල් වැනි සෙසු ස්‌වාභාවික වස්‌තූන් වෙනුවෙන් විවිධත්වයෙන් යුත් තාත්ත්වික වර්ණ භාවිතා කොට ඇත. රතු දුඹුරු මිශ්‍ර කහ කොළ සහ තද නිල් පැහැති පත්‍ර වෛවර්ණ අතු ඉති ආදිය මේ අයුරින් ඉතාමත් සිත්ගන්නාසුලු අයුරින් ඉදිරිපත් කර ඇති බව පෙනේ. ගෘහාභ්‍යන්තර දර්ශණ සඳහා අඳුරු පැහැයන් ඇතැම් විට තද නිල් පැහැයත්, ගොඩනැගිලි සඳහා තරමක්‌ අඳුරු රන්වන් කහ පැහැයත්, ඒවායේ සැරසිලි අංග සඳහා ඉතා තද නිල සහ රතත් යොදාගෙන තිබේ. පරිසරය තුල පුෂ්පයන් පා නොවන අතර සුවිශේෂී වූ ආසනගත රූ දැක්‌වීමේ දී පසුබිම ශෛලිගත අයුරින් නිමැවුණු පිච්චමල් මෝස්‌තර වලින් අලංකාර කර ඇත. සිවි ජාතක කථා වස්‌තුවේ 'සිවි රජතුමා විසින් ඇස්‌ දන්දෙන සිතුවමෙහි' සිවි රජුට පසුබිමේ මෙවැනි ආකාරයේ ශෛලිගත පිච්චමල් මෝස්‌තර වලින් අලංකාරවත් ලෙස පුරවා තිබෙනු දැක ගත හැකිය. වස්‌ත්‍ර දැක්‌වීමේදී සුදු වර්ණයට ප්‍රමුඛතාවයක්‌ දී ඇත. වස්‌ත්‍රවල මල් මෝස්‌තර සඳහා ද සමාන්තරව දක්‌වන ලද රේඛාවන් සඳහා රතු සහ කොළ පැහැයද තද වර්ණ සංයුතීන්ද උපයෝගී කොට ගෙන ඇත. බොහෝ විට වස්‌ත්‍රවල වාටිය අරිම්බුවල ගල්බිංදුව හා ත්‍රිකෝණ වැනි චාම් මෝස්‌තර රටාවන්ගෙන් අලංකාරවත් වී ඇත. මිනිස්‌ රූ ඉතා තාත්ත්වික අයුරින් මන්දගාමී ස්‌වරූපයෙන් ගමන් ගන්නා පරිදි සිහින්ව උස්‌ව දක්‌වා තිබේ. ඕවලාකාර හැඩයෙන් යුතු පිරුණු මුහුණුලඇස්‌, නාසා, තොල්, නිකටලදිගැටි අත් පාල පුන් පියයුරුල සිහිනි`ග හා උකුළු යන මේ සියල්ල කාන්තා සුන්දරත්වය පිළිබඳ රීතින් සිහිගන්වයි. තේලපත්ත ජාතකයෙහි 'සංගීත කණ්‌ඩායම' දක්‌වන සිතුවමේදී ඉරියවු ඉතා තාත්ත්වික අයුරින් නිරූපිතය. දුඹුරුල කහ පැහැ ඡවි වර්ණය සහ ලා දුඹුරු වැනි වර්ණ මිනිස්‌ රූ සිතුවම් කිරීමේ දී යොර්ගෙන ඇත. බාහිර රේඛාව කලු පැහැයෙන් දක්‌වා ඇති අතර ඒ හා සම`ගම තද දුඹුරු පැහැයෙන් ත්‍රිමාණ ගති ලක්‌ෂණ මතු කොට පෙන්වීමට සිත්තරා වෑයම් කොට ඇත. කාන්තා නග්න උඩුකය ඉතා විසිතුරු ආභරණ, පළඳනා වලින් අලංකාරවත් ය. දිගු බාහුවල මුතුපොටවල් හා වළලු කිහිපයකින් යුතුබාහුපළඳනා, මැණික්‌ සහ මුතු වලින් යුත් මුදු සහිත වළලු, විශාල බිම්බාකාර කඩුක්‌කන්ලකොණ්‌ඩ කටුලබාහු දක්‌වා පැතිර ඇති පෙන්ඩන්ට්‌ සහිත ගෙල පළඳනා ඉතා මනරම් අයුරින් නිරූපිතය. සිවි ජාතක කථා වස්‌තුවේ 'රාජකීය පෙරහැර' දැක්‌වීමේදී ද සිත්තරා තේලපත්ත ජාතක කථා වස්‌තුවේ සංගීත කණ්‌ඩායමෙන් මෙහෙයවීමක්‌ ලබා ඇති බව පෙනේ. ප්‍රබල ïවමය ප්‍රකාශනයක්‌ ජනිත කරවන මෙම සිදුවීම් ඉතා තාත්ත්වික අයුරින් නිරූපිතය. නළා පිඹින්නන්ල බෙරකරුවන් ඉතාමත් තාත්ත්විකව මෙහිදී ඉදිරිපත් කෙරේ. එය එතෙක්‌ පැවති උඩරට කලා සම්ප්‍රදායය අභිබවා යාමකි. කෙසේ වුවද පහතරට ශෛලිය ඉදිරියට ගෙන යාමක්‌ පිළිබිඹු කරමින් ගෘහාභ්‍යන්තරය නිතරම තද කලු හෝ නිල් වර්ණයෙන් යුතුව චිත්‍රණය කොට තිබෙනු දැක ගත හැකිය. වෘක්‌ෂල පත්‍රල වාස්‌තුවිද්‍යාත්මක අංග සහ මිනිස්‌ රූ වල වස්‌ත්‍ර ආදියෙන් දක්‌නට ලැබෙනුයේ පහතරට සම්ප්‍රදායයට පොදු ලක්‌ෂණය වූ බහු වර්ණ රටාවන් භාවිතයයි.
දෙවැනි ශෛලියේ වර්ණ රටාව අතිශයින් විවිධ ද දීප්තිමත් ද වේ. පදුම රහත් විහාරයෙහි තේලපත්ත ජාතක කොටසෙහි නැවතත් උඩරට කළා සම්ප්‍රදායයට අවතීර්ණ වන ලක්‌ෂණ පෙන්නුම් කරයි. අහසෙහි පාවෙන මල් නැවතත් කරලියට පැමිණෙයි. මෙහිදී ගතානුගතික ක්‍රමයේ මල් වෙනුවට යොදා ඇති මල් සහිත කොළවලින් සැදි රටා යුරෝපීය බැරොක්‌ (Baroque) සහ රොකොකො (Rococo) ශෛලීන් සිහිගන්වයි. දර්ශන වල පසුබිම සඳහා තද රතු පැහැය නිරතුරුව භාවිතා කර ඇති අතර වෘක්‌ෂ කඳන්, අතු ද සුදු පැහැයෙන් පෙන්නුම් කර ඇත. වෘක්‌ෂලතාදිය දැක්‌වීමේ දී ස්‌වභාවිකත්වයට වැඩි නැඹුරුවක්‌ දක්‌වා ඇත ද විවිධ වර්ණයෙන් යුත් පත්‍රිකාවලින් සමලංකෘතය. එහෙත් පත්‍ර සඳහා කොළ පැහැයට අමතරව නිල් කොළ පැහැයද යොදාගෙන තිබේ. මල්ල ඵල හා ඒවා භුක්‌ති විඳින සත්ත්වයන් පවා සවිස්‌තරව සිතුවම් කොට ඇත. ඇඳුම් සහ වෙනත් වස්‌ත්‍ර වල මල් මෝස්‌තර සඳහා මේ වර්ණය සම`ග ඉතා තද කොළ පැහැයක්‌ ද යොදාගෙන ඇත. ගොඩනැගිලි කහ සහ රන් පැහැයෙන් දල ඒවායේ අලංකරණ අංග රතු සහ කොළ පැහැයෙන්ද වර්ණවත් කර ඇත. ඒ තුළ බෙහෙවින්ම යුරෝපීය ලක්‌ෂණ ගැබ් වී ඇත. ගොඩනැඟිලි දැක්‌වීමේ දී සහ ගෘහභාණ්‌ඩ දැක්‌වීමේදී දැඩි යුරෝපීය ආභාසයක්‌ පෙන්නුම් කෙරේ. දීප්තිමත් වර්ණ භාවිතය මෙහිදී කැපී පෙනේ. කොළ පැහැය, නිල් කොළ පැහැය මෙහිදී සිත්ගන්නා සුලු අයුරින් ඉදිරිපත් කෙරේ. මිනිස්‌ රූපවලබාහිර රේඛාව දීප්තිමත් රතු පැහැතිය. සමේ වර්ණ වශයෙන් කහ, අළු සහ තද දුඹුරු වැනි වර්ණයන් යොදාගනු ලබන අතර ප්‍රභූන් හා දෙවිවරුන් සඳහා රන්වන් කහ පැහැය නිරතුරුව යොදාගෙන ඇත. වස්‌ත්‍ර වල පසුතලය සඳහා සම්මත කරගෙන ඇත්තේ සුදු පැහැයයි. එහෙත් මෝස්‌තර වල එන රතු, කහ සහ නිල් වර්ණ නිසා සුදු පැහැයට විචිත්‍රත්වයක්‌ එක්‌ කොට ඇත. කාන්තාවන් බොහෝ විට නග්න උඩුකය සාටකයකින් වසා ගත් අයුරින් නිරූපිතය. සාටක හා ශීර්ෂාවරණ වැනි ඇඳුම් කොටස්‌ සඳහාත් මේ ආකාරයේම ඇඳුම් හා වස්‌ත්‍ර විවිධාකාර වූ සැරසිලි මෝස්‌තර වලින් පුරවා ඇත. නා නා විධ හැඩයෙන් හා වර්ණයෙන් යුත් ස්‌වාභාවික අන්දමේ මල් මේ මෝස්‌තර වල දක්‌නට ලැබේ. දහනව වැනි සියවසේ මුල්භාගයේ සහ මැද භාගයේ සිතුවම් කලාවේ වස්‌ත්‍රවල වාටිය සඳහා යෙදුණු ඉතාමත් විසිතුරු වූ ත්‍රිකෝණ හා ලියවැල් මෝස්‌තර රටාවන්ගෙන් අලංකාරවත් වී ඇත. මල් රටා සහිත ජටා ලේන්සු ආදිය විවිධ වූ මෝස්‌තර රටාවන්ගෙන් යුක්‌තව මනබන්දනීය අයුරින් ඉදිරිපත් කොට තිබේ. විසිතුරු වස්‌ත්‍ර සැරසිලි හා සසඳන විට ආභරණල පළඳනා ආදිය ඉතා චාම් මට්‌ටමක පවතී. ආභරණ අතර මුතු පොටක්‌ හෝ පොටවල් කිහිපයක්‌ ඉතා මනරම් අයුරින් නිරූපිතය. බිම්බාකාර කඩුක්‌කන් කුණ්‌ඩලාභරණ වශයෙන් දක්‌නට ලැබේ. ග්‍රීවාභරණ ලෙස මුතු පොටක්‌ පමණක්‌ බොහෝ විට දක්‌නට ලැබේ.
විසිවන සියවසේ මැද භාගයට අයත් සිතුවම් හි බෙහෙවින් සංකීර්ණ වර්ණාවලියක්‌ දක්‌නට ලැබේ. වර්ෂ 1944 ආසන්නයේ දී නිම කරනු ලැබූ මෙම සිතුවම් වඩාත් යුරෝපීය නව ආරක සිතුවම් ශෛලියක්‌ කෙරෙහි ගමන් කොට ඇති බව පෙනේරන්වන් පැහැය බහුල ලෙස යොදා ගැනීම තුලින් සුරංගනා ආරක්‌ ගත් ලෙස දිස්‌වේ. ද්වීමාන ස්‌වරූපය ගත් සිතුවම් සම්ප්‍රදායය වෙනුවට වඩාත් තාත්ත්වික භූමි දර්ශන, මිනිස්‌ රූප තාත්ත්වික අයුරින් ඉදිරිපත් කිරීම, අඳුර එළිය පිළිබඳ සැලකිලිමත්වීම හරහා ත්‍රිමාණ ගති ලක්‌ෂණ මතු කිරීම තුළින් පර්යාවලෝකනය කෙරෙහි සුවිශේෂී වූ සැලකිල්ලක්‌ ශිල්පියා දක්‌වා ඇති බව පෙනේ. මෙතෙක්‌ පැවති 'චිත්‍රාවලී' ක්‍රමය අභාවයට ගොස්‌ ඒ වෙනුවට තෝරාගත් ප්‍රධාන සිදුවීම් බුද්ධ චරිතය) පමණක්‌ ඉදිරිපත් කොට තිබේ. ඒ අතුරින් බුදුන්ගේ ආදාහනය සහ සර්වඥ ධාතු බෙදීම යන සිතුවම් දෙස බැලීමේ දී ත්‍රිමාණ ස්‌වරූපයෙන් ඉදිරිපත් කොට ඇති අතර එම්. සාර්ලිස්‌ ගේ සිතුවම් කලාව සිහිගන්වයි.
කෙසේ වුවද මුල්ගිරිගල රජ මහා විහාරයේ ඇති සිතුවම් පිළිබඳව විමසීමේදී රජ මහා විහාරයේ තේලපත්ත ජාතක කථා වස්‌තුවේ පසුබිම සඳහා මෘදු වර්ණ භාවිතය පහත රට අන් තැනෙක දක්‌නට නොලැබෙන ලක්‌ෂණයකි. එය මුල්ගිරිගල සිත්තරුන්ගේ අනන්‍යතාවය විදහා දක්‌වයි. එහෙත් මොවුන්ගේ මෙම තාත්ත්විකත්වයට නැඹුරු වූ සිතුවම් රටාව පසු කාලයේදී අන්‍යයන්ගේ සිත්ගත් බවක්‌ නොපෙනේ. පැරණි උඩරට සම්ප්‍රදායය විසින් එතෙක්‌ උරුම කොට දී තිබූ පාරම්පරික සම්මතයන්ගෙන් බැහැර වීමට පසුකාලීන සිත්තරුන්ට නොහැකි වූයේ ඔවුන් දැඩිව එම මතිමතාන්තර වල එල්බ සිටි බැවිනි. මෙහිදී විවිධත්වයට වඩාත් නැඹුරු වූ වර්ණ රටාවක්‌ අනුගමනය කළ ද පහත රට සිතුවම් කලාව දක්‌නට ලැබෙන අන්‍යය ස්‌ථානවල ඇති සිතුවම්වලට වඩා මෘදු ගුණයෙන් යුත් සිතුවම් කලාවක්‌ මුල්ගිරිගල සිතුවම් තුළින් ප්‍රකට කරවයි. දහනව වැනි සියවසේ පහත රට ශෛලිය දක්‌නට ලැබෙන වළල්ගොඩ, කැලණිය, කෝට්‌ටේ රජ මහා විහාරය හා කරගම්පිටියේ සුබෝධාරාමය ආදී විහාරස්‌ථානවල දක්‌නට ලැබෙන පුද්ගල රූප ශෛලියට නෑකම් කියූවද මුල්ගිරිගල පුද්ගල රූ ඒවාටම ආවේණික වස්‌ත්‍ර සැරසිලි මෝස්‌තර අතින් සුවිශේෂීභාවයක්‌ ගනී. මුල්ගිරිගල පසුකාලීන තේලපත්තල වෙස්‌සන්තර ජාතක කථාවන්ට අනුගත වන සිතුවම් ශෛලිය හා සැරසිලිවල ලක්‌ෂණය වළල්ගොඩල කතළුව සහ අම්බලන්ගොඩ සුනන්දාරාමයෙහි ද දක්‌නට ලැබේ.
ලංකාවේ සිතුවම් කලාවේ විසි වැනි සියවසේ ඇති වූ ලක්‌ෂණයක්‌ වන තාත්ත්වික ප්‍රවණතාව සව-ඥ ධාතු බෙදීම හා බුදු රජාණන් වහන්සේගේ ආර්හනය පිළිබඳව බුද්ධ චරිතය පාදක කොටගත් සිතුවම්වල දක්‌නට ලැබේ. පර්යාවලෝකනය කෙරෙහි සැලකිල්ලක්‌ දක්‌වා තිබීම යුරෝපීය ආභාසය ලද බවට නිදසුනකි. ගෘහනිර්මාණ ශිල්පයෙහි හා ඇඳුම් පැළඳුම්වල ද දක්‌නට ලැබෙනුයේ යුරෝපීය හා දේශීය ශෛලීන්හි මිශ්‍රණයකි. මෙය එකල මේ රටේ සැබවින් පැවති තත්ත්වයට සමාන වෙයි. දහනව වැනි සියවසේ අවසාන කාලයේදී හා විසි වැනි සියවසේ මුල් කාලයේ ලංකාවේ පැවති පරිසරයට සමාන පරිසරයක සිද්ධීන් නිරූපණය කර ඇති නමුත් රන්වන් පැහැය බහුලව යොර් ගැනීම තුළින් සුරංගනා කථාවල එන අන්දමේ අද්භූත හා සුන්දර ලක්‌ෂණ ද ඇතැම් විට දක්‌නට ලැබේ. මෙහිදී දක්‌නට ලැබෙන ලියවැල් මෝස්‌තර පිළිබඳව විමසීමේදී සාම්ප්‍රර්යික ආකාරයකින් ඉදිරිපත් කළ ද රේඛා කර්ම සහ වර්ණ රටාවන් යොර් ගෙන ඇති ආකාරය යුරෝපීය බලපෑම වඩාත් ප්‍රකට කරවයි. සුදු පැහැයෙන් යුත් සාම්ප්‍රර්යික 'සීනමල' සිතුවම් කොට ඇත්තේ රතු පැහැයෙනි. මීට අමතරව ලියවැල් වල දැකිය හැකි කහ සහ දුඹුරු පැහැයෙන් යුත් බොකුටු ගැසුණු විශාල පත්‍රිකාල යුරෝපීය කලා සම්ප්‍රර්යයේ දැඩි බලපෑමක්‌ පෙන්නුම් කරයි.
බිතුසිතුවම් සංරක්‌ෂණය
මුල්ගිරිගල බිතුසිතුවම් සංරක්‌ෂණ කටයුතු 1972 දී ඉතාලි ජාතික ලුසියානෝ මරාන්සි (Luciano Maranzi) විසින් සිදුකරනු ලැබ ඇත. අනතුරුව විවිධ අවස්‌ථාවන්හි දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි සංරක්‌ෂණ කටයුතු කරන ලද අතර 2007 සිට 2009 වර්ෂය දක්‌වා මධ්‍යම සංස්‌කෘතික අරමුදල විසින් මෙහි සංරක්‌ෂණ කටයුතු සිදු කිරීමට යෙදුණි. මෙහිදී බදාම ස්‌තර බොල්වීම, වර්ණ ස්‌තර පෙති ගැලවීම, ආගන්තුක ද්‍රව්‍ය තැන්පත්වීම, වේයන්ගේ ක්‍රියාකාරීත්වය, මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා විනාශ වූ සිතුවම් සංරක්‌ෂණ කටයුතු සිදු කිරීම සහ පැරණි චෛත්‍යයේ මහනුවර යුගයට අයත් සිතුවම් කෙරෙහි මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ බිතුසිතුවම් සංරක්‌ෂණ කණ්‌ඩායම සිය අවධානය යොමු කරන ලදී. එහි ප්‍රතිඵලයක්‌ ලෙස උඩරට සිතුවම් කලාව පහතරට මුල්ගිරිගල දක්‌වා ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳව වැදගත් සාධක රැසක්‌ මෙහිදී මතුකොට ගැනීමට හැකිවිණි. නිදන් සොරුන් විසින් ඒ වන විට ද විනාශ කොට තිබූ පදුම රහත් විහාරය ඇතුළත පැරණි චෛත්‍යයේ සංරක්‌ෂණ කටයුතු වලදී මහනුවර යුගයේ පැරණිතම වර්ණ ස්‌තරය මතුකර ගන්නා ලදී. මෙහි සුදු මකුළු මැටි ආලේපය මත සාදිලිංගම් වලින් පලාපෙති, ගල් බිංදුව, අරිම්බුව, බෝ පෙති, ලියවැල් හා නෙළුම් මල් මෝස්‌තර වලින් අලංකාර කොට ඇත. අනෙක්‌ කරුණ වනුයේ සිතුවම්කරණයේ දී ඉතා සියුම් අයුරින් තෙලි කූර භාවිතා කොට ඇති ආකාරය අනුව එම සිතුවම් දෙගල්රේරුව සිතුවම් හි රේඛාකර්ම සහ වර්ණ භාවිතයට ඇති සමානත්වයයි. දෙවරගම්පොළ සිල්වත් තැන කන්ද උඩරට සිට කටුවනට පැමිණ කටුවන සිල්වත් තැන සමග එක්‌ව මුල්ගිරිගල විහාරයේ සිතුවම් කළ බවට ඇති මතය මින් වඩාත් සනාථ වේ. මීට අමතරව සිතුවම් සංරක්‌ෂණයේදී මතුකර ගත් මහානාග ලෙන් විහාරයේ සැතපෙන පිළිමයේ පාදය අසල පැරණි සිතුවම් ස්‌තරයේ වළාකුළු මත වැඩ සිටින දේව මණ්‌ඩලයක්‌ සහිත සිතුවම් පොළොන්නරුව තිවංක පිළිමගේ සිතුවම් සිහියට නංවයි. මෙහි පසුබිම කළු පැහැතිය. හිස්‌ අවකාශය පිරවීම සඳහා ගතානුගතික නෙළුම් යොදා තිබෙනු දැක ගත හැකිය.
රුහුණෙන් පැණ නැගුණු ජාතික බෞද්ධ උරුමයේ සාඩම්බරය මේ යැයි කියාපාමින් අදත් නොසැලී පවතින මුල්ගිරිගල සමස්ත ජාතික උරුමයේ තවත් අභිමානවත් ස්මාරකයකි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රුහුණේ පුංචි සීගිරිය මුල්කිරිගල පුදබිම Rating: 5 Reviewed By: Unknown