728x90 AdSpace

Latest News
Monday 27 July 2015

කොන්දේ වේදනාව නිවැරදිව හඳුනා ගන්න


අපගේ ශරීරය කෙළින් තබාගෙන ඇවිදීමට අපට උපකාරීවන ඉන්ද්‍රීය පද්ධතිය වනුයේ කොඳුඇට පෙළය. එය අස්‌ථි කොටස්‌ 32 ක එකතුවෙන් සෑදී ඇත.

මෙම කොඳුඇට පෙළ ඉහළ කොටස හෙවත් බෙල්ල ප්‍රදේශය ග්‍රයිවි කශේරුකා (Cervical Vertebrae) ලෙසත් පපු පෙදෙස උරස්‌ කශේරුකා (ThoracicVertebrae) ලෙසත් තුනටිය පෙදෙස කඨී කශේරුකා (Lumbar Vertebrae) ලෙසත් උකුල ප්‍රදේශය උකුළු ඇට කශේරුකා (Coccy geal Vertabreු) ලෙසත් කොටස්‌ හතරකට ස්‌වාභාවිකව වක්‍රව බෙදී ඇත.

කොඳුඇට පෙළ අපට වැදගත් වන්නේ ශරීරය කෙළින් තබා ගැනීමට පමණක්‌ නොව අපගේ මොළයේ සිට ශරීරයේ පහළට පණිවුඩ ගෙන යන සහ සිරුරේ පහළ කොටසේ සංවේදන මොළය කරා රැගෙන යන ස්‌නායු පද්ධතිය හෙවත් සුෂුම්නාව පිහිටා ඇත්තේද කොඳු ඇට පෙළ තුළය.
එනිසා කොඳුඇට පෙළට යම් හානියක්‌ සිදුවුවහොත් ඉන් සුෂුqම්නාවටද බලපෑමක්‌ සිදුවේ.
වර්තමානයේ අප බොහෝ දෙනා කොන්දේ වේදනාවෙන් පෙළෙන බව පවසති. ඇතැම් දෙනාට එම වේදනාව දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පවතින බව පවසති. මෙලෙස නිතර කොන්දේ වේදනාවෙන් පෙළෙන පුද්ගලයනට මතුව ඇත්තේ සැබෑවටම කොඳුඇට පෙළ තුළ මතුව ඇති ආබාධයක්‌ද එසේත් නැත්නම් මාංශ පේශී වේදනාවක්‌ දැයි කියා හඳුනාගත හැක්‌කේ නිසි වෛද්‍ය පරීක්‍ෂාවකින් පසුවය.
කොඳුඇට පෙළ ආබාධ
කොඳුඇට පෙළ තුළින් වේදනාව ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු හතරක්‌ ඇත. උත්පත්තියෙන් ඇතිවූ විකෘතිතා රෝග නිසා මතුවූ කොඳුඇට පෙළ අස්‌ථි විකෘතිතා හදිසි අනතුරකින් කොඳුඇට පෙළට හානි සිදුවූ විට සහ අප එදිනෙදා ජීවිතයේදී අනුගමනය කරන වැරදි ඉරියව් නිසා කොඳු ඇට පෙළට හානි සිදුවීමෙන් කොන්දේ වේදනාව නිසා නිතර පීඩා විඳීමට පිළිවන.
උත්පත්තියෙන්
උපතේදී යම් දරුවකුගේ කොඳුඇට පෙළෙහි ඇති අස්‌ථි හෝ කාඨිලේජවල ඇතිවන විකෘතිතා නිසා කොඳුඇට පෙළ නිසි ලෙස ස්‌වාභාවික වක්‍ර හතර සහිතව වර්ධනය නොවේ. මෙම ස්‌වාභාවික වක්‍ර හතර නොමැතිව වර්ධනය වීමෙන් කොඳු ඇට පෙළ ඉදිරියට පසු පසට හෝ දෙපසට ඇදී ගොස්‌ විකෘති අයුරින් පිහිටයි.
මෙලෙස කොඳුඇට පෙළ විකෘතිව පිහිටීම නිසා එය තුළින් ගමන් කරන සුෂුම්නාවටද බලපෑම් ඇතිවේ. මෙම බලපෑම් අතර සුෂුම්නාවට ගමන් කරන රුධිර ප්‍රමාණය අඩුවීමෙන් සුෂුම්නා දුර්වලවීම, කොඳුඇට පෙළෙහි අධික විකෘතිතාවය නිසා සුෂුම්නාව තෙරපුමට ලක්‌වීම සිදුවේ.
මෙවැනි අවස්‌ථාවේදී කොඳුඇට පෙළ ප්‍රදේශයේ සිට ශරීරයේ යම් ප්‍රදේශයක්‌ වෙත ගමන් කරන වේදනාවක්‌ හිරිවැටීමක්‌ වැනි අපහසුතාවලින් නිතර පීඩා විඳී.
හදිසි අනතුරු
වාහන අනතුරක්‌ හෝ ඉහළ ස්‌ථානයකින් ඇද වැටීමක්‌ නිසා පහරකෑමකට ලක්‌වීම නිසා කොඳුඇට පෙළට හානි සිදුවිය හැකිය. එවිට සිදුවන හානිය අනුව කොඳුඇට පෙළෙහි ක්‍රියාකාරීත්වය වෙනස්‌වේ.
වැරදි පුරුදු
වර්තමානයේ අප බොහෝ දෙනා කොඳුඇට පෙළට හානි වන අයුරින් වැරදි පුරුදුවල නිරතවේ. ඇවිදීමේදී වාඩිවී සිටීමේදි මෙන්ම පාසල් ළමුන් රැගෙන යන අධික බරක්‌ සහිත පාසල් බෑග නිසාද වර්තමානයේ බහුලව කොඳු ඇට පෙළ ආබාධ හටගනී.
කොඳු ඇට පෙළ අනතුරට ලක්‌වූ විට
අපගේ කොඳුඇට පෙළට කුමන හෝ අයුරකින් ඇතිවන අනතුරක්‌ නිසා එහි ක්‍රියාකාරීත්වයට බාධා මතුවූ විට බෙල්ලේ සිට තුනටිය ප්‍රදේශය දක්‌වා වේදනාවක්‌ මතුවේ ස්‌නායුවල ක්‍රියාකාරිත්වය අඩුවී වේදනාවක්‌ හෝ හිරිගතියක්‌ ඇතිවේ.
කොඳුඇට පෙළට සිදුවන හානිය නිසා ශරීරය නිසි ලෙස හැසිරවීමට නොහැකිවේ.
එනිසා කොඳුඇට පෙළ ප්‍රදේශයෙන් යම් වේදනාවක්‌ හිරි වැටීමක්‌ ඇති වේ නම් එය වහාම වෛද්‍ය පරීක්‍ෂාවට ලක්‌කර ගත යුතුය. එසේ නොමැතිව විවිධ ආලේප වර්ග ගල්වා තාවකාලික ප්‍රතිකාර ලබා ගැනීමෙන් සිදුවන්නේ මතුව ඇති කොඳු ඇට පෙළ ආබාධය තව තවත් වර්ධනය වී වේදනාව උග්‍රවීමය. එවිට එදිනෙදා සාමාන්‍ය කටයුතුවල නිරතවීමටද බාධා මතුවේ.
වෛද්‍ය පියල් එදිරිසිංහ
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කොන්දේ වේදනාව නිවැරදිව හඳුනා ගන්න Rating: 5 Reviewed By: Unknown