728x90 AdSpace

Latest News
Monday 6 July 2015

පිළිකාවෙන් මිදෙන්න ආහාර ගත යුත්තේ මෙහෙමයි


අපගේ සමහර ආහාර රටා මගින් ඇතැම් පිළිකා සෑදීමේ අවදානම වැඩි කරන බවත්, සමහර ආහාර රටා ඇතැම් පිළිකා වැළැක්වීමට ආධාර වන බවත් හඳුනාගෙන ඇත. සත්ව ආහාරවලට වඩා ශාකමය ආහාර වැඩිපුර භාවිතා කරන ජන කොටස් අතර පිළිකා සෑදීමට ඇත්තේ අඩු ප්‍රවණතාවකි. ඒ අතරින් ද එළවළු හා පලතුරු වැඩිපුර ආහාරයට ගන්නා පුද්ගලයන් අතර මහාඅන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළඳීමේ සම්භාවිතාව අඩු බව තහවුරු වි ඇත.
දිනකට අවම වශයෙන් පලා වර්ග ග්‍රෑම් 20ක්වත් ආහාරයට එක් කර ගැනීම මහාඅන්ත්‍ර පිළිකා වැළැක්වීමට උපකාර වේ. මීට අමතරව මුඛයේ, ගලනාලයේ සහ ආමාශයේ පිළිකා වැළැක්වීම සඳහාද එළවළු හා පලතුරු වැදගත්ය. එබැවින් දිනපතා එළවළු සහ පලතුරු වැඩිපුර ආහාරයට එක්කර ගැනීමට නිර්දේශ කෙරේ. මෙමගින් පිළිකා පමණක් නොව, අධිරුධිර පීඩනය, දියවැඩියාව, තරබාරුකම වැනි රෝගාබාධවලින් වැළකී සිටීමට උපකාර වන බව සඳහන් කළ යුතුය. මේද සහිත ආහාර සහ පියයුරු, පුරස්ථි ග්‍රන්ථි, ගර්භාෂ, ඩිම්බ කෝෂ, මහාඅන්ත්‍ර පිළිකා අතර සබඳතාවක් ඇති බවද සොයාගෙන ඇත. දිනකට අප ලබාගන්නා ශක්ති ප්‍රමාණයෙන් 30කට වඩා අඩුවන ලෙස මේදය මගින් ලැබෙන ශක්ති ප්‍රමාණය සීමා කිරීමට උනන්දු විය යුතුය.
හරක් මස් සහ ඌරුමස් වැනි රතු මාංස , සොසේජස්, හැම් බේකන් වැනි කලින් පිසින ලද ආහාර , පුළුස්සන ලද ආහාර  මෙන්ම අධික උෂ්ණත්වවලදී පිසින ලද මාංස භාවිතය සහ ආහාර මාර්ගයේ පිළිකා අතර සබඳතාවක් හඳුනාගෙන ඇත. එබැවින් එවැනි ආහාර අධික ලෙස භාවිත කිරීම යෝග්‍ය නොවේ.
එසේම සමහර ආහාර කල් තබා ගැනීම සඳහා ලුණු දැමීම, අච්චාරු දැමීම, දුම් ගැසීම වැනි ක්‍රම භාවිත කරති. මෙවැනි ආහාර මගින්ද ආහාර මාර්ගයේ පිළිකා අවදානම වැඩි කෙරේ. එබැවින් ආහාර කල් තබා ගැනීම සඳහා මෙවැනි ක්‍රම වෙනුවට ශීත කරණ භාවිත කිරීම වඩා යෝග්‍ය වේ.
සමහර ආහාරවල ස්වාභාවිකව පවතින ද්‍රව්‍ය නිසාත්, සමහර ආහාර නිෂ්පාදනයේදී හටගන්නා ද්‍රව්‍ය නිසාත් තවත් සමහර ආහාරවලට බාහිරින් එක්වන ද්‍රව්‍ය නිසාත්, මෙවැනි ආහාර විටෙක පිළිකා කාරක ලෙස ක්‍රියා කිරීමට ඉඩ තිබේ. සමහර ආහාර මත වැඩෙන දිලීර වර්ග මගින් නිපදවෙන Aflatoxin නමැති විෂ ද්‍රව්‍ය අක්මාවේ පිළිකා ඇති කිරීමට හේතුවන බව සොයාගෙන ඇත. එනිසා එම රසායනික ඇතැයි සැක කෙරෙන ආහාරවලින් හැකි පමණ වැළකී සිටීමට අප උනන්දු විය යුතුය.
එසේම ආහාර කල් තබා ගැනීමට, රසකාරක ලෙස හා වර්ණ ලෙස යොදා ගන්නා සමහර රසායනික ද්‍රව්‍ය පිළිකා කාරක ලෙස ක්‍රියා කළ හැකිය. මෙලෙස හඳුනාගත් සමහර රසායනික ද්‍රව්‍ය භාවිතය තහනම් කර ඇත. ආහාර සඳහා යොදාගන්නා රසකාරක, වර්ණ ආදියේත් ආහාරවල අඩංගු විය හැකි පළිබෝධනාශක, කෘමිනාශක ආදියෙත් උපරිම සීමා පනවා එම නීතිරීති දැඩිව ක්‍රියාත්මක කළ යුතුය. එනිසා අප ආහාර වර්ග තෝරා ගැනීමේදී නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිපදවෙන ආහාර වර්ග තෝරා ගැනීමට හැකි සෑම විටම උනන්දු විය යුතුය.

අධික උණුසුම්ව ආහාර වර්ග සහ බිම වර්ග භාවිතා කිරීමද සමහර පිළිකා සෑදීමට ආධාර වන බව විශ්වාස කෙරේ.
උදා: ගලනාලයේ පිළිකා
යම් යම් ක්ෂුද්‍ර ‍පෝෂක කොටස් සහ විටමින් වර්ගවල ඌනතාවද පිළිකා හට ගැනීමට හේතුවන නිසා එවැනි ‍පෝෂණ ද්‍රව්‍ය අඩංගු ‍පෝෂ්‍යදායී ආහාර තෝරා ගැනීමටද අප උනන්දු විය යුතුය.
ඉහත කරුණු සම්පිණ්ඩනය කළ විට පිළිකා වැළැක්වීම සඳහා හිතකර ආහාර රටාවකට හුරුවීමේදී ශාකමය ආහාරවලට සහ ‍පෝෂණයෙන් වැඩි ආහාරවලට මුල්තැන දෙමින් හැකි සැම විටම නැවුම් ස්වාභාවික ආහාර විවිධත්වයෙන් යුතුව ගැනීමට අප සැලකිලිමත් විය යුතුය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පිළිකාවෙන් මිදෙන්න ආහාර ගත යුත්තේ මෙහෙමයි Rating: 5 Reviewed By: Unknown