728x90 AdSpace

Latest News
Sunday 19 July 2015

මුත්‍රා අශ්මරි හෙවත් මුත්‍රා ගල්



මුත්‍රා අශ්මරි හෙවත් මුත්‍රා ගල්


ආයුර්වේද හැඳින්වීමට අනුව මුත්‍රා අශ්මරි හෙවත් ව්‍යවහාරයේ පවතින මුත්‍රා ගල් ලෙස හඳුන්වන රෝග අවස්‌ථාව මුත්‍ර මාර්ගය ආශ්‍රිත රෝග අතුරින් සුලබව දැකිය හැකි රෝග අවස්‌ථාවකි. මේවා මුත්‍ර මාර්ගය තුළ නිර්මාණය වන තද ඛනිජ සහ ඝන කැබැලි ස්‌වභාවයක්‌ ගන්නා පදාර්ථයන් වේ. වර්තමානයේ මෙය ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක්‌ බවට පත් වෙමින් පවතින අතර සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන්ම එක්‌ අයෙක්‌ටම ජීවිතයේ කුමන අවස්‌ථාවකදී හෝ මුත්‍රාශ්මරී සෑදීමේ හැකියාවක්‌ පවති. මුත්‍ර මාර්ගයේ ඕනෑම ස්‌ථානයක, එනම් වකුගඩු, මුත්‍රනාල, මුත්‍රාශය යනාදී ස්‌ථානවල අශ්මරි නිර්මාණය විය හැකිය. මෙය කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් අතර තුන් ගුණයකින් පමණ බහුලය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 30-40 පමණ වන විට මේ තත්වය හඳුනා ගන්නට ලැබෙනු දැක ගත හැකිය. නමුත් මෙය හැම විටෙකම නොවේ. කුඩා දරුවන් තුළ පවා මෙම තත්වය දැන් දැන් සුලබ වෙමින් පවතින බව පෙනේ.
ආයුර්වේදයේ විස්‌තර කරන අන්දමට මෙය ඉතා දරුණු රෝග අවස්‌ථාවකි. එයට හේතුව මෙය අධික වේදනා දායක මෙන්ම ප්‍රවේශමෙන් සුව කළ යුතු රෝග තත්ත්වයක්‌ ද වන බැවිනි.
මුත්‍රාගල් ඇතිවීම
මෙම තත්ත්වය සඳහා බලපාන ප්‍රධාන හේතු වශයෙන් ශරීරය විජලනයට පත් වීම, කිවුල් ජලය පානය, ගනු ලබන ආහාර-පාන-ඖෂධ මෙන්ම වෙනත් රෝග තත්ත්වයන්ද හේතු විය හැකිය. මුත්‍රාවල සාන්ද්‍රණයේ පවතින වෙනස්‌කම් මුත්‍රා ගල් ඇති වීම කෙරෙහි බලපානු ලබයි. ජලය පානය අඩු කම, අධික සුර්ය තාපයට නිරාවරණය වන අතරම අධිකව වෙහෙසීම ආදීය මගින් සිරුර විජලනයට පත්වීම සිදු වේ. මෙවිට පිටවන මුත්‍රා පරිමාව අඩු වන අතර එය මුත්‍රා සාන්ද්‍රණය කෙරෙහි බලපානු ලබයි. මෙවැනි අවස්‌ථාවලදී මුත්‍රා බොරතාවයෙන් හෙවත් තද පැහැයෙන් පිටවන අවස්‌ථා පිළිබඳ අත්දැකීමක්‌ ඔබටද තිබෙන්නට පුළුවන.
මුත්‍රා ගල් නිර්මාණයට දායක වන පදාර්ථ මුත්‍රාවල අඩංගු වීම මෙයට හේතු වේ. එනම් කැල්සියම් ලවණ, ඔක්‌සැලේට, යුරික්‌ අම්ල ආදීයයි. එසේම මුත්‍රා වල සිදුවන භෞතික වෙනස්‌කම් ද මේ සඳහා හේතු වේ. අප ගනු ලබන ආහාර පාන සහ ඖෂධ වර්ග අනුව මෙවැනි වෙනස්‌කම් සිදු වේ.
දීර්ඝ කාලීනව පවතිනු ලබන දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි හේතු ද මේ හා සම්බන්ධ වේ.සමහර රෝග සඳහා දීර්ඝ කාලීනව ලබා ගනු ලබන යම් යම් ඖෂධ වර්ගද මේ සඳහා බලපානු ලබයි.
දරුවන්ට ඇතිවීම
ආයුර්වේදයේ දැක්‌වෙන අන්දමට කුඩා දරුවන්ට මුත්‍රා ගල් ඇති වීමට බලපානු ලබන කාරණා කීපයකි. එනම් දහවල නින්ද, හිතකර වූත් අහිතකර වූත් භෝජන එකට ගැනීම, නිතර නිතර ආහාර ගැනීම, පැණි රස, බර, තෙල් සහිත ආහාර වැඩි වශයෙන් ගැනීම ආදීය වේ.
මුත්‍රා ගල් හටගන්නා අවස්‌ථා සැලකූ විට ඒ සඳහා දීර්ඝ කාලීන වශයෙන් පවතින මූත්‍රා ආසාදන තත්ත්ව හේතුවේ. එසේම පාරම්පරික හේතු ද මේ සඳහා බලපානු ලබයි. එමෙන්ම මුත්‍රා නොකර වැඩි වේලාවක්‌ රඳවාගෙන සිටීමද මෙයට තවත් හේතුවකි.
මුත්‍රාගල් ඇති වූවිට
කවර හේතුවක්‌ නිසා හෝ ඇතිවන මෙම මුත්‍රා ගල් එක හා සමාන නැත. රෝග ලක්‌ෂණ පෙන්වීම ගලේ ප්‍රමාණය, පිහිටන ස්‌ථානය ආදීය අනුව වෙනස්‌ වේ. බොහෝ විට කුඩා ප්‍රමාණයේ ගල් ඇති විට ලක්‌ෂණ නොපෙන්වයි. ඒවා මුත්‍රා වහනයත් සමඟ මූත්‍ර නාල හරහා පහළට ගමන් කර මුත්‍රාශයට පැමිණ එතැන් සිට මුත්‍රා මාර්ගය හරහා පිටවීම සිදු වේ. නමුත් මෙම ගල් විශාල ලෙස වර්ධනය වුව හොත් එනම් මිලිමීටර් 3 කට වඩා විශාල වුවහොත් මුත්‍රා නාලය අවහිර කිරිම සිදු විය හැකිය. මෙමගින් මුත්‍රා වහනයට බාධා ඇති වන අතර මුත්‍රා එක්‌රැස්‌ වීමක්‌ සිදු වේ. මෙම ගල් මුත්‍රා නාලය තුළට පැමිණි විට ඉතා දැඩි වේදනාවක්‌ හදීසියේ ඇති වන අතර යටි බඩ ප්‍රදේශයේ සිට ඉකිලි දක්‌වා පහළට පැතිර යයි. මෙම අවස්‌ථාවේදී රෝගියාට වමනය, ඔක්‌කාරය, උණ වැනි ලක්‌ෂණ ඇති වීමට පිළිවන. වේදනාව පැය කීපයකින් නැති වී ගියද වකුගඩු වලට හානි කිරිමේ හැකියාවක්‌ පවතී. එමෙන්ම මුත්‍රාශ්මරියක්‌ හේතුවෙන් මුත්‍රා පද්ධතියේ වෙනත් ස්‌ථානයක්‌ද අවහිර විය හැකි අතර එවිට මුත්‍රා පරිමාව අඩුවීම, මුත්‍රා කරන විට දැවිල්ල, වමනය, ඔක්‌කාරය, උණ වැනි ලක්‌ෂණ ඇති විය හැකිය. බඩ පුරවා දැමීම, කෑම අරුචිය, දුබල බව වැනි ලක්‌ෂණද මුත්‍රාවල සැරව, රුධිරය අන්තර් ගත වීමද දැකිය හැකිය. මුත්‍රා ගල මුත්‍රාශයට පැමිණි විට වේදනාව නැති වී ගියද මුත්‍රා පිට කිරීමේ ගැටලු ඇති විය හැකිය.
මෙම ලක්‌ෂණ ඇති විට රෝග ඉතිහාසය, රෝගියා පරීක්‌ෂා කිරීම මගින් හා මුත්‍රා පරීක්‌ෂණයක්‌ මගින් හඳුනා ගත හැකිය. එසේම නවීනව සිදු කරනු ලබන කිරණ පරීක්‌ෂණ මගින් රෝග තත්වය තව දුරටත් විනිශ්චය කර ගත හැකිය.
මෙම රෝග තත්ත්වය වලක්‌වා ගැනීම සඳහා අපගේ දෛනික ජීවන රටාවේ යම් වෙනස්‌කමක්‌ ඇති කර ගැනීම වැදගත් වේ. ජලය ප්‍රමාණවත් පරිදි පානය කිරීම මෙන්ම දියර ආහාර වර්ග සහ වෙනත් සුදුසු පාන වර්ග සුදුසු පරිදී ගැනීමත් යෝග්‍ය වේ. සාමාන්‍යයෙන් අපේ දේශීය ව්‍යවහාරයේ භාවිතා වන රණවරා, ඉරමුසු, පොල්පලා, නීරමුල්ලිය, වැල් රඹුටන් වැනි ඖෂධීය ශාක යොදා ගනිමින් සාදා ගනු ලබන පාන වර්ගයක්‌ දෛනිකව එකතු කරගැනීම තුළින් මෙවැනි තත්ත්ව වලට පත්වීමට ඇති හැකියාව අවම වේ. එසේම වයඹ පළාතේ ඇතැම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත් වල වැඩි වශයෙන් මෙම තත්ත්වය ඇති වීමට ස්‌වභාවිකවම ජලයේ පවතින ලවණ (කිවුල්) ස්‌වභාවය හේතු වේ. එබැවින් එම ජලය පරිභෝජනයේදී නටන තෙක්‌ උණු කර නිවා පෙරා ගත් ජලය පානය කිරීම යෝග්‍ය වේ. පැරණි අය ජල භාජන වලට ඉඟිනි ඇට යොදා එමගින් කිරණ පදාර්ථ හා ජලය ස්‌ථර වශයෙන් වෙන් කර ගෙන පානය කර ඇත. ආයුර්වේදයේ අම්බූ ප්‍රසාදන නමින් ඉඟිනි ඇට හඳුන්වා ඇත්තේ මෙසේ ජලය පිරිසිදු කරන ගුණය හේතුවෙනි.
මුත්‍රා ගල් ඇතිවීමට බලපාන ආහාර
එසේම සත්ත්ව ප්‍රොaටීන අධික ආහාර, සෝඩියම්, ඔක්‌සැලේට ආදීය අඩංගු ආහාර අධිකව ගැනීමෙන් වැලකිය යුතුය. එමෙන්ම කැල්සියම් අධික ආහාර අධික වශයෙන් ගැනීමද හිතකර නැත. කැල්සියම් යනු අපගේ ශරීරයේ නිසි පැවැත්මට අත්‍යවශ්‍ය සංඝටකයක්‌ වුවත් අධික වශයෙන් හෝ අඩු වශයෙන් පැවතීම නම් යෝග්‍ය නොවේ. පිරිමියෙකුට දිනක කැල්සියම් අවශ්‍යතාව මිලිග්රෑම් 800 ක්‌ පමණ වන අතර කාන්තාවකට නම් මිලිග්රෑම් 1000 කි. එබැවින් අප ගනු ලබන ආහාර වලින් සහ ඖෂධ මගින් රුධිරයට අවශෝෂණය කර ගන්නා වැඩිමනක්‌ කැල්සියම් බහිස්‍රාවී ද්‍රව්‍ය ලෙස මුත්‍රණ ව්‍යqහාව හරහා පිටවීමේදී එහි පවතින තත්ත්ව අනුව මුත්‍රාශ්මරි නිර්මාණයට දායක විය හැකිය. ඔක්‌සැලේට හා සෝඩියම් බහුල ආහාර ගැනීම සම්බන්ධයෙන්ද තත්ත්වය ඉහත පරිරිමය. දෛනික ඔක්‌සැලේට අවශ්‍යතාව මිලිග්රෑම් 50 කි. එසේම සෝඩියම් වල දෛනික අවශ්‍යතාව මිලිග්රෑම් 2300-3500 ක්‌ පමණ වේ. එබැවින් සිරුරේ අවශ්‍යතාවට සරිලන පරිදී මෙවැනි පෝෂ්‍ය පදාර්ථ ගැනීමට සැලකිලිමත් වීම තුළින් මෙවැනි තත්ත්වවලින් වැළකිය හැකි වේ. ශාරිරික අවශ්‍යතාවන්ට වඩා අධික වශයෙන් සත්ත්ව ප්‍රොaටීන බහුල ආහාර ගැනීම නිසා මුත්‍රාවල ආම්ලිකතාව වැඩි වේ. මුත්‍රාවල පවතින ආම්ලිකතාව මුත්‍රා ගල් ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතු වේ. මුකුනුවැන්න, නිවිති, තක්‌කාලි වැනි ආහාරද මුත්‍රාවල ආම්ලිකතාව කෙරෙහි බලපාන බැවින් අධික වශයෙන් ගැනීම යෝග්‍ය නොවේ.
මෙහිද විශේෂයෙන් කිවයුතු දෙය වන්නේ සිරුරට හිතකර දෙයක්‌ වුවද අවශ්‍ය පමණට වඩා ගැනීම හිතකර නොවන බවයි. බොහොමයක්‌ රෝග ඇති වීමට හේතුව අප ගනු ලබන ආහාර පාන හා විහරණවල අතියෝගය (වැඩි වශයෙන්), හීනයෝගය (අඩු වශයෙන්) සහ මිථ්‍යා යෝගයයි (වැරදි අයුරින්).
එසේම අන්නාසි, අච්චාරු, උෂ්ණ මාලූ වර්ග වැනි ආහාර ද මත්පැන් හා කෝලා වර්ග පානය ද අහිතකරය. ලබු,පුහුල්, කැකිරි, තියඹරා, කොමඩු, රාබු, මුරුංගා, කටු අනෝදා වැනි ආහාර ඉතාමත් යෝග්‍ය වේ. එසේම පෙනෙල කොළ, කරල්හැබ, රසකිඳ කොළ ආදියට කැකුළු හාල්, රතුළුණු, පොල් දමා කැඳ සාදා බීමෙන් මූත්‍ර වල ඇසිඩ් ගතිය අඩු වීම සිදු වේ.
ප්‍රතිකාර
මෙවැනි රෝගයක්‌ සඳහා ප්‍රතිකාර ගැනීමේදී රෝගීන් තම රෝග තත්ත්වය පිළිබඳව මනා වැටහීමක්‌ ලබා ගත යුතුය. බටහිර වෙදකමේ මෙන්ම ආයුර්වේද වෙදකමේ ද මෙය ශලය සාද්‍ය (ශල්‍ය කර්මයකින් සුව කළ හැකි) රෝග තත්ත්වයක්‌ ලෙස දක්‌වයි. නමුත් දේශීය වෙදකමේ පවතින ප්‍රතිකාර මගින් ඖෂධ සාධ්‍ය තත්වයට පත් කළ හැකිය. නමුත් ඒ පිළිබඳව තීරණය කරනු ලබන්නේ වෛද්‍යවරයා විසිනි. එනම් එහි ප්‍රමාණය, පිහිටීම ආදීය සලකා බැලීමෙනි. රෝගීන් ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමේදී ඇතැම් විට වේදනාව නොමැති නම් ප්‍රතිකාර ගැනීම අතරමග නතර කරන අවස්ථා පිළිබඳ අත්දැකීම් අපට තිබේ. නමුත් එය නොකළ යුත්තකි. මන්ද වේදනාව අඩු වූ පමණින් අශ්මරිය ඉවත් වූ බවක්‌ සිතිය නොහැකි අතර එමගින් මුත්‍රණ ව්‍යqහාවට හානි සිදු විය හැකිය. එබැවින් එය සම්පූර්ණයෙන් ඉවත් වූ බව නිශ්චය කරන තෙක්‌ ප්‍රතිකාර නොකඩවා ලබා ගැනීමට සැලකිලිමත් වීම වැදගත් වේ. මෙහිදී රෝගියාට තම රෝග තත්ත්වය කෙරෙහි මනා ඉවසීමකින් සහ ඕනෑකමකින් යුතුව ප්‍රතිකාර ලබා ගත යුතුය. එසේම විවිධ අද්භූත බලයන්ගෙන් මේවා ඉවත්කර ගැනීමට යාමෙන් රෝගී තත්ත්වය උග්‍ර වීමට හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
මේ සඳහා නිසි ප්‍රතිකාරයක්‌ ලබා නොගත හොත් වකුගඩු වලට හානි සිදු විය හැකිය. එමගින් වකුගඩු අකර්මණ්‍යතාවට පත් විය හැකි බැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර මුල් අවස්‌ථාවේම ලබා ගැනීමෙන් එවැනි තත්ත්වවලට පත්වීමෙන් වැළකීමේ හැකියාවක්‌ පවතී.
වැරදි ප්‍රතිකාර
එසේම තමාට මුත්‍රා ගලක්‌ ඇති බවට දැනගත් පසු බොහෝ දෙනෙකු ශාකමය ප්‍රතිකාර සඳහා යොමු වන බව පෙනේ. ඇතැම් විට වෛද්‍ය උපදේශයකින් තොරව ශාකමය ඖෂධ භාවිතා කරන අතර එහිදී ප්‍රවේශම් විය යුතු කරුණු කීපයකි. මේ අවස්‌ථාවට යොදනු ලබන ඖෂධ වල ගුණ සැලකු විට මූත්‍රකාරක, භේදන (කුඩා කොටස්‌ වලට කඩන) සහ පාතන (පිට කරවන) ගුණ පවතින අතර ඒවායේ උපයෝගීතාවය සෑම විටම එක හා සමාන නොවේ. ඉතා කුඩා ප්‍රමාණයේ එනම් ආයුර්වේද හැඳින්වීමට අනුව ශර්කරා හා සිකතා අවස්‌ථාවේ දී මුත්‍රකාරක ඖෂධ යෙදීම සුදුසු වුවත් ගල ප්‍රමාණයෙන් විශාල වන විට සුදුසු නැත. එසේම ගල විශාල වන විට පාතන ගුණ යුත් ඖෂධ පමණක්‌ යෙදීම ද සුදුසු නොවේ. එමගින් වකුගඩුවලට හානි සිදු වීම මෙන්ම මුත්‍ර මාර්ගයේ අවරෝධතා ඇති වීමෙන් තිබූ තත්ත්වයටත් වඩා බරපතල විය හැකිය. එබැවින් ස්‌වභාවික ඖෂධයක්‌ වුවද යෙදීම ආවාට ගියාට කළ හැකි දෙයක්‌ නොවන අතර ඒ පිළිබඳ මනා දැනීමෙකින් කළ යුතු බැවින් වෛද්‍ය උපදේශයකින් තොරව ඖෂධ භාවිතා කරන්නේ නම් දෙවරක්‌ සිතා බැලිය යුතුය. එබැවින් නිසි වෛද්‍යවරයකු කරා යොමු වීමෙන් එවැනි අවදානම් තත්ත්වයන්ගෙන් අත්මිදීය හැකි වන අතර නිවැරදී ප්‍රතිකාර ක්‍රම අනුගමනයෙන් මෙම රෝග තත්ත්වය සුව කර ගැනීමේ හැකියාවක්‌ ලැබේ.
වෛද්‍ය ඊ.එම්.කරුණාතිලක - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයූර්වේද විද්‍යායතනය
උපුටා ගැනීම_ දිවයින
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මුත්‍රා අශ්මරි හෙවත් මුත්‍රා ගල් Rating: 5 Reviewed By: Unknown