බෞද්ධයෝ දන් දෙන්න කොපමණ කැමති ද? එය එසේ වුවත් පූජා කරන දානය මහත්ඵල මහානිශංස කර ගන්නේ කොහොම ද? කියන කාරණාව පිළිබඳ අවබෝධයක් ඇති බෞද්ධයන් ඉතා අල්පය. ඒනිසාම පුද්ගලික දාන, සාංඝික දාන ගැනත්, ඒවායේ ආනිසංස ගැනත්, දායකයා හා ප්‍රතිග්‍රාහකයා පිළිබඳවත් මෙම ලිපියෙන් පැහැදිලි කරන්නෙමු. මජ්ජිම නිකායේ විභංගවග්ගයේ ‘දක්‍ෂිණාවිභංග’ සූත්‍රය ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරේ.
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්නුවර නිග්‍රෝධාරාමයේ වැඩඉන්න කාලයේ මහා ප්‍රජාපතී ගෝතමී මෑණියන් වෙනුවෙනුයි මෙම සූත්‍රය දේශනා කළේ. ගෝතමී මෑණියෝ තමන්ගේ අතින්ම පුළුන් නෙළාගෙන, ඒ පුළුන්වලින් නූල් වියලා,ඒ නූල්වලින් සළුවක් වියාගෙන එයින් සිවුරු පිණිස වස්ත්‍ර දෙකක් සකස්කරගෙන ඇවිත් ‘තං මේභන්තෙ භගවා ‘ පතිගණ්හාතු අනුකම්පං උපාදාය’ භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා කර මේ වස්ත්‍ර දෙක පිළිගන්න යැයි ඉල්ලා සිටියාය. ඒ වේලාවේදී බුදුහාමුදුරුවෝ ගෝතමි සංඝෙ දෙහි ගෞතමිය, ඔය පූජාව සංඝයාට දෙන්න. ‘සංඝෙ තෙ දින්නෙ අහංචෙව පූජිතො භවිස්සාමි සංඝොචාති ‘ සංඝයාට දුන්නොත් මටත් පූජා කළා වෙනවා. සංඝයාටත් පූජා කළා වෙනවා යැයි වදාළ සේක. ගෝතමි මෑණියෝ දෙවැනි වරටත් තුන්වෙනිවරටත් බුදුහාමුදුරුවන්ටම මෙය පූජා කරන්න හැදුවත් බුදුහාමුදුරුවෝ එය නො පිළිගත්සේක.
බුදුහාමුදුරුවෝ මෙම පූජාව පුද්ගලික ව භාර ගන්නේ නැතිව සංඝයාට දෙන්න යැයි වදාළේ කාරණා දෙකක් මුල්කරගෙනයි.ගෝතමී මෑණියෝ මේ පූජාව අරගෙන ආවේ පුත්‍ර ස්නේහයෙනි. පුත්‍ර ස්නේහයෙන් පූජා කළාම එයින් මහත්ඵල මහානිසංස නොලැබේ. සංඝයාට ලබා දී මෑණියන්ට මහත්ඵල මහානිසංස ලබා දීමටයි බුදුහාමුදුරුවෝ මේ පූජාව පළමුවෙන්ම ප්‍රතික්‍ෂේප කළේ,’පුද්ගලික ව දෙනවාට වඩා සාංඝිකව දෙන දෙය මහත්ඵල මහානිසංස වන බව ලෝකයාට පෙන්වා දීම දෙවැනිකාරණාවයි.
‘දක්‍ඛිණාවිභංග’ වචනයේ අර්ථය දානය බෙදා දැක්වීම යන්නයි. බුදුහාමුදුරුවෝ පළමුවෙන්ම මෙම සූත්‍රයේ දී චුද්දස ඛො පනිමානන්ද පාටිපුග්ගලිකා දක්‍ඛිණා, යනුවෙන් පුද්ගලික දාන දාහතරක් (14) අනුමතකොට ඇත. පළමුවැන්න ‘තථාගතෙ අරහන්තෙ සම්මාසම්බුද්ධෙ දානංදෙති’ තථාගත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට පූජාකරන දානයයි.
දෙවැන්න ‘පච්චෙකබුද්ධෙ දානංදෙති’ පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජාකරන දානයයි.
තුන්වැන්න තථාගතෙ සාවකෙ අරහන්තෙ දානං දෙති’ රහතන් වහන්සේ නමකට පූජාකරන දානයයි.
හතරවැන්න ‘අරහන්තඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති’අර්හත් මාර්ගය සාක්‍ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි.
පස්වැන්න ‘අනාගාමිස්ස දානං දෙති’ අනාගාමි කෙනෙකුට පූජාකරන දානයයි.
හයවැන්න අනාගාමීඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති ‘ අනාගාමි මාර්ගය සාක්‍ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි.
හත්වැන්න සකදාගාමිස්ස දානං දෙති’ සකෘදාගාමී කෙනෙකුට පූජාකරන දානයයි.
අටවැන්න ‘සකලාගාමීඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති’ සකදාගාමී මාර්ගය සාක්‍ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි.
නවවැන්න සොතාපන්නෙ දානං දෙති ‘සෝවාන් කෙනෙකුට පූජාකරන දානයයි.
දහවැන්න සොතාපත්තිඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති.සෝවාන් මාර්ගය සාක්‍ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි.
එකොළොස් වැන්න බාහිරකෙ කාමෙසු වීතරාගෙ දානං දෙති’ බුදුසසුනෙන් පිටස්තර කාමයන්ගෙන් වෙන්වූවෙකුට දෙන දානයයි.
දොළොස්වැන්න ‘පූථුජ්ජන සීලවන්තෙ දානං දෙති’ පුහුදුන් සිල්වතෙකුට පූජාකරන දානයයි.
දහතුන්වැන්න ‘පුථුජ්ජන දුස්සීලෙ දානං දෙති’ පුහුදුන් දුසිල්වතෙකුට දෙන දානයයි.
දහහතරවැන්න ‘තිරච්ඡානගතෙ දානං දෙති’ තිරිසන් සතෙකුට පූජාකරන දානයයි.
මෙම පුද්ගලික දාන දහහතරෙන් අවම වශයෙන්ම ආනිසංස ලැබෙන්නේ තිරිසන් සතුන් වෙනුවෙන් දෙන දාන සඳහායි. එයින් තිරච්ඡානගතෙ දානං දත්වා සතගුණා දක්‍ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස සියයක් කැමැති විය යුතු බව දක්වා තිබේ. පුහුදුන් දුස්සීලයෙකුට දන් දුනහොත් පුථුජ්ජන දුස්සීලෙ දානං දත්වා සහස්සගණා දක්‍ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස දහසක් ලැබේ. පුහුදුන් සිල්වතෙකුට දෙන දානයෙන් පුථජ්ජන සීලවන්තෙ දානං දත්වා සතසහස්ස ගුණා දක්‍ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස ලක්‍ෂයක් ලැබේ. කාමයන්ගෙන් වෙන්වෙනු උත්තමයෙකුට දෙන දානයෙන් බාහිරෙක කාමෙසු වීතරොගෙ දානං දත්වා කොටිසතසහස්සගුණා දක්‍ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස කෝටි ප්‍රකෝටියක් ලැබේ.
සෝවාන්ඵලය සාක්‍ෂාත් කිරීම සඳහා පිළිපන්න උත්තමයෙකුට දෙන දානයෙන් සොතාපත්තිඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දත්වා අසංඛෙය්‍යා අප්පමෙය්‍යා දක්‍ඛිණා පාටිකංඛිතබ්බා ලැබෙන ආනිසංස ගණනින් දැක්විය නොහැකියි. එයින් සංඛ්‍යාවක් කර නො හැකි, ප්‍රමාණයක් කර නොහැකි ආනිසංස ලැබේ. එය එසේ නම් සෝවාන් උත්තමයයෙකුට දෙන දානයෙන් කොපමණ ආනිසංස ලැබේද? එය ‘කො පන වාදො සොතාපන්නෙ’ වචනයෙන් කීමට නො හැකි තරම්ය. එහෙනම් සකෘදාගාමී අනාගාමී,අර්හත් යන උත්තමයන්ට හා බුදුරජාණන් වහන්සේට පුද්ගලික ව දෙන දානයෙන් කොපමණ ආනිසංස ලැබේදැ යි අපට සිතීමටවත් නො හැකිය.එය අචින්ත්‍ය වූ දෙයකි.
සාංඝික දාන හතක්
අනතුරුව සත්ත ඛො පනිමානන්ද සංඝගතා දක්‍ඛිණා යනුවෙන් සාංඝික දාන හතක් ගැන කරුණු දක්වා ඇත.
පළමුවැන්න බුද්ධපමුඛෙ උභතො සංඝෙ දානං දෙති බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිසටම දෙන දානයයි.
දෙවැන්න තථාගතෙ පරිනිබ්බුතෙ උභතො සංඝෙ දානං දෙති. බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි භික්‍ෂු භික්‍ෂුණීන් දෙපිරිසටම දෙන දානයයි.
තුන්වැන්න භික්‍ඛු සංඝෙ දානං දෙති භික්‍ෂු සංඝයාට පමණක් දෙන දානයයි
හතරවැන්න භික්‍ඛුණී සංඝෙදානං දෙති භික්‍ෂුණී සංඝයාට පමණක් දෙන දානයයි.
පස්වැන්න එත්තකා මෙ භික්ඛු ච භික්‍ඛුණීයො ච සංඝතො උද්දිස්සථාති දානං දෙති’මෙපමණක් මට භික්‍ෂූන් හා භික්‍ෂුණීන් ලැබේවායි ආරාධනා කොට දෙනු ලබන දානයයි.
හයවැන්න එත්තකා මෙ භික්‍ෂු සංඝො උද්දිස්සථාති දානං දෙති මෙපමණක් මට භික්‍ෂු සංඝයා ලැබේවායි ආරාධනා කොට දෙනු ලබන දානයයි.
හත්වැන්න ‘එත්තිකා මේ භික්‍ඛුණියො සංඝතො උද්දීස්සථාති දානං දෙති’ මෙපමණක් භික්‍ෂූණීන් මට ලැබේවායි ආරාධනා කොටදෙනු ලබන දානයයි.
බුදුරජාණන් වහන්සේ ජීවමානව නොමැති නිසා මේ සාංඝික දාන හතෙන් පළමුවෙන් උගන්වපු දානය අද දෙන්න පුළුවන් කමන් නැත. භික්‍ෂුණි ශාසනය ගැන වර්තමානයෙහි ගැටලුවක් පැන නැගී තිබේ. ඒ භික්‍ෂුණී ශාසනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳවයි.භික්‍ෂුණී ශාසනය පිළිගන්නා හා නො පිළිගන්නා දෙපිරිසක් ඇති හෙයින් ඒ පිළිබඳ ව නිශ්චිත තීරණයක් දීමටම මම මෙහිදී ඉක්මන් නොවෙමි. මන්ද? මෙය ධර්ම විනයානුකූලව මැනවින් අධ්‍යයනයට කොට තීරණයක් දියයුතු කාරණයක් බැවිනි. භික්‍ෂුණී ශාසනය පිළිගන්න අයට මෙම දෙපිරිසම වඩමවා දෙවැනි දානය දීමේ හැකියාව ඇත. භික්‍ෂුණී ශාසනය නො පිළිගන්න අයට මෙම දෙවැනි දානය දීමට නො හැකිය.
භික්ෂූන් වහන්සේලා මෙපමණක් වැඩම කරන්න යනුවෙන් ආරාධනා කොට තුන්වෙනි දානය දීමට පුළුවන. එහෙත් මෙහි දී තමනට අවශ්‍ය භික්‍ෂූන් වහන්සේලා ගණන හෝ අසවල් අසවල් භික්‍ෂූන් වහන්සේලා වඩම්මවා ගත යුතු යැයි කීමට දායකයාට හැකියාවක් නැත. එය තීරණය කළ යුත්තේ ආරාධිත ප්‍රධාන භික්‍ෂුව විසිනි. ඒ ආකාරයටම භික්‍ෂුණීන් වහන්සේලාට ආරාධනා කොට හතරවෙනි දානය දීමට පුළුවනි. භික්‍ෂුණී ශාසනය නො පිළිගන්නා අයට මෙම දානයත් දීමට නො හැකිය. මාගේ නිවසට මෙපමණක් භික්‍ෂූන් වහන්සේලා හා භික්‍ෂුණීන් වහන්සේලා වඩින්න’ කියා ගණනක් නියම කොට ආරාධනා කරමින් පස්වෙනි දානය දීමට හැකිය. භික්‍ෂුණී ශාසනය නො පිළිගන්නා අයට මෙම දානයත් දීමට නො හැකිය. මාගේ නිවසට මෙපමණක් භික්‍ෂූන් වහන්සේලා වඩින්න’ කියා ගණනක් නියම කොට ආරාධනා කිරීමෙන් හයවෙනි දානය දීමට හැකියාව තිබේ. වර්තමානයෙහි කිසිදු සැකයකින් තොරව දිය හැක්කේ මෙම හයවෙනි දානය යි. මාගේ නිවසට පෙමණක් භික්‍ෂූනීන් වහන්සේලා වඩින්න ‘ කියා ගණනක් නියම කොට ආරාධනා කිරීමෙන් හත්වෙනි දානය දීමට හැකියාව තිබේ. භික්‍ෂුණී ශාසනය නො පිළිගන්නා අයට මෙම දානයත් දීමට නො හැකිය.
මීළඟට දානය මහත්ඵල මහානිසංස වෙන ආකාරය දක්වා තිබේ. ‘චතස්සො ඛො ආනන්ද දක්‍ඛිණා විසුද්ධියො ‘ ඉගැන්වීම අනුව දානය සතරාකාරයකින් පිරිසුදු වී මහත්ඵල මහානිසංස වේ. පළමුවැන්න ‘දක්‍ඛිණං දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො’ ප්‍රතිග්‍රාහකයාගෙන් නොව දායකයා නිසා පිරිසුදු වේ. එයට හේතුව දායකයා සිල්වත් ව ප්‍රතිපත්තීන්හි පිහිටා දානය පූජා කිරීමයි. එහෙත් එම දානය පිළිගන්නා දුසිල්වත්ය. වෙස්සන්තර රජු දරුවන් දන් දුන්නේ දුෂ්ඨ දුර්ජන ජූජක බමුණෙකුටයි. ඒත් දායකයා සිල්වත් නිසා එම දානය මහත්ඵල මහානිසංස වුණි.දෙවැනි දානය ‘දක්‍ඛිණං පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො ‘ දායකයාගෙන් නොව ප්‍රතිග්‍රාහකයා නිසා පිරිසුදු වේ. තුන්වෙනි දානය ‘දක්‍ඛිණා නෙව දයකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො දායකයා නිසාවත් ප්‍රතිග්‍රාහකයා නිසාවත් පිරිසුදු නොවේ. හතරවෙනි දානය ‘දක්‍ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච දායකයා නිසාත් ප්‍රතිග්‍රාහකයා නිසාත් පිරිසුදු වේ.
බුදුරජාණන් වහන්සේ එය මෙසේ තවත් පැහැදිලි කර තිබේ.
යො සීලවා දුස්සීලෙසු දදාති දානං
ධම්මේන ලද්ධං සුපසසන්නචිත්තො
අභිසද්දහං කම්මඵලං උළාරං
සා දක්‍ඛිණා දායකතො විසුජ්ඣති
යමෙක් සිල්වත් ව, දැහැමි ව ලද දෙයක් පැහැදුණූ සිතින් කර්මවිපාක අදහමින් දුස්සීලයෙකුට දෙනව ද, එම දානය දායකයා නිසා පිරිසුදු වේ.
‘යෙ දුස්සීලයො සීලවන්තෙසු දදාති දානං අධම්මෙන ලද්ධා අප්පසන්නචිත්තො
අනභිසද්දහං කම්මඵලං උළාරං සා දක්‍ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති’
යමෙක් දුසිල්වත්ව නොදැහැමි ව ලද දෙයක් නො පැහැදුණූ සිතින් කර්මවිපාක නො අදහමින් සිල්වතෙකුට දෙනව ද, එම දානය ප්‍රතිග්‍රාහකයා නිසා පිරිසුදු වේ.
යො දුස්සීලො දුස්සීලෙසු දදාති දානං
අධම්මෙන ලද්ධං අප්පසන්නචිත්තො
අනභිසද්දහං කම්මඵලං උළාරං
න තං දානං විපුලඵලන්ති බ්‍රෑමි
යමෙක් දුසිල්වත්ව,නො දැහැමිව ලද දෙයක් නො පැහැදුණූ සිතින් කර්මවිපාක නො අදහමින් දුස්සීලයෙකුට දෙනවද, එම දානය මහත්ඵල මහානිසංස නොවේ යැයි කියමි.
‘යො සීලවා සීලවන්තෙසු දදාති දානං ධම්මේන ලද්ධං සුපසන්නචිත්තො
අභිසද්දහං කම්මඵලං උළාරං න තං වෙ දානං විපුලඵලන්ති බ්‍රෑමි
යමෙක් සිල්වත් ව දැහැමි ව ලද දෙයක් පැහැදුණූ සිතින් කර්මවිපාක අදහමින් සිල්වතෙකුට දෙනවද, එම දානය මහත්ඵල මහානිසංස යැයි කියමි.
රාජකීය පණ්ඩිත, දර්ශනපති බලපිටියේ සිරිසීවලී හිමි
0 comments:
Post a Comment