728x90 AdSpace

Latest News
Friday 17 July 2015

විජයබාහු රජු පුලතිසි පුර හැරයයි

දේශපාලනීකරණයේදී කාලයෙන් කාලයට ලක්දිවේ ඉරණම වෙනස්විය. දුර්වල පාලකයන් නිසා ලක්දිවේ පාලනය ආක‍්‍රමණිකයන් සතුවිය. පසුගිය ලිපියෙන් රුහුණු පළාත හැරුණු කොට චෝල පාලනය ලක්දිව පුරා ව්‍යාප්ත වී තිබූ ආකාරය පිළිබඳව කතා කළෙමු. පස්වන මිහිඳු රජුගෙන් පසුව රුහුණේ පාලනයට මෙරට මෙන්ම ඉන්දීය කුමරුවන්ද පත්වූ අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙක් ද චෝලයන් අතින් ජීවිතක්ෂයට පත් වූහ. එවැනි අවස්ථාවකදී දේශපාලන පසුබිමක් පැවති ලංකාවේ ඉතිහාසය අදට කියාදෙන පාඩම් පිළිබඳව සාකච්ඡා කිරීමට ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා සම්බන්ධ කරගනිමු.


rhgk
‘‘සොලී දෙමළුන් කළ මහත් විපත හේතුවෙන් අපගේ රාජධානිය අහිමිවීමෙන් අප කඳුකර වනයේ සැඟවී සිටි කාලයේ රුහුණු දණ්ඩනායක සිත්තරු බිම් බුදල්නා ඔහුගේ පිරිවරෙහි පිහිටෙන් අප පිය මහ රජු වූ මුගලන් රාජෝ්ත්තමයාණන් සහ මුළුමහත් රජ පවුලම ආරක්ෂා කරමින් අපගේ ලාබාල අවධියේ පටන් ආරක්ෂා කරමින් වනයෙහි අල හා පළා ආදියෙන් අපව පෝෂණය කළේය.’’

පනාකඩුව තඹ සන්නසෙහි කිත්ති කුමරුගේ බාල කාලය පිළිබඳව සඳහන් වී තිබුණේ එසේය. එනම් ඔහුගේ ළමා කාලය වනවිට ලක්දිව විශාල පෙදෙසක චෝල පාලනය ක‍්‍රියාත්මක විය. එකල ජීවිතයට තිබූ අනාරක්ෂිත බව නිසා රජපවුල වනගතව සැඟවී කැලේ අල, කොළ, ගෙඩි කමින් දුෂ්කර ජීවිතයක් ගතකර ඇත.

එසේම කිත්ති කුමරු කුඩා කාලයේදී පටන්ම බුද්ධරාජ සමග සබඳතා පවත්වා ඇත. එනම් අනාගත රජපවුලේ භාරකරුවා රැකගැනීම බුද්ධරාජට පැවරී ඇත. බුද්ධරාජ කිත්ති කුමරුට රජ කෙනෙකුට අවශ්‍ය ශිල්පඥානය දෙමින් කුඩාකල පටන්ම ඔහුගේ චෝල විරෝධි ව්‍යාපාරයට හවුල් කරගෙන ඇත.

කිත්ති කුමරුගේ ජීවිතය එසේ වූ අතර ලෝක හා බුද්ධරාජගේ සේනා කිරම අසල පිහිටි බෝවල, හුණුවල ප‍්‍රදේශයේ ස්ථානගත වී ඇත. ඊට පසු රුහුණු සීමාවේ කඳුකර ප‍්‍රදේශ රැසක් යටත්කර ගැනීමට බුද්ධරාජට හැකිවිය. බුද්ධරාජ සමග අධිපතීහූ රැසක් එක්සත්ව කටයුතු කර රත්මලය ප‍්‍රදේශයේ රෙමුණ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කඳවුරු බැඳගත්හ. ලෝක සෙන්පතියා මෙම බලකොටුවට පහරදුන් නමුත් එය අසාර්ථක උත්සාහයක් විය. එම ප‍්‍රහාරයෙන් ටික දිනකට පසු ලෝක මියගිය අතර ඔහුගෙන් පසු හත්වන කස්සප, ලෝකගේ තැන ගත්තේය.
97787
රුහුණේ පාලනය තුළ මෙවැනි අවුල් සහගත තත්ත්වයක් හටගත් අතර චෝල අධිරාජයා කාලයක්ම ඒ දෙස නිහඬව බලා සිටියේය. ඊට පසු රෝහණයේ නව පාලකයා වූ කස්සප රජුට ප‍්‍රහාර එල්ලකොට රුහුණ ආක‍්‍රමණය කිරීමට කටයුතු කළේය. ඒත් චෝල අධිරාජයාගේ එම අභිප‍්‍රාය නිශ්ඵල විය. චෝල හමුදාව පරාජය කළ කස්සප කුමරු දේශ සීමාවල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළේය. ඊට පසු ඔහු කතරගම දක්වා ගමන් ගත්තේය. එහිදී බුද්ධරාජගේ හා කිත්ති කුමරුගේ සේනාවෝ ජයග‍්‍රාහී කස්සපට පහර දුන්හ. චෝලයන් සමග සටන්කළ කස්සප ට නොසිතූ ලෙස එල්ල කළ එම ප‍්‍රහාරය බුද්ධරාජගේ පිලට වාසි සහගත විය.

එම නිසා කස්සප කුමරු බටහිර බලා ගමන්ගත් අතර ඔහුට මහජනතාවගෙන් ද හොඳ සහයක් නොලැබුණේය. ඒ නිසා ඔහු කදිරංගනී බළකොටුව දක්වා පසුබැස්සේය. එහිදී කස්සප කුමරු මරා දැම්මේය.

ඉන් රෝහණයේ පාලනය පිළිබඳව අලූත් බලාපොරොත්තුවක් ඇතිවිය. එනම් රාජ්‍යත්වයට හිමිකම් කියන කිත්ති කුමරු රටේ බලාපොරොත්තුව විය. ඒ අනුව දෙවසරක් ජනහිත දිනාගනිමින් කටයුතු කළ බුද්ධරාජ හා කිත්ති කුමරු රෝහණයේ ජනතාවගේ අපේක්ෂාව බවට පත්වූවේය.

එනම් 18 වන වියට පත් වූ කිත්ති කුමරු ක‍්‍රි.ව. 1056 දී I වන විජයබාහු නමින් රෝහණයේ රජවිය. ඔහුගේ රාජ්‍ය ස්ථානය වූයේ කතරගමය. එහෙත් කුඩා කල සිටම වනගතව ඇති දැඩි වූ ඔහු මාළිගයක් හෝ රාජ සභාවක් පිළිබඳ තතු දැන නොසිටියේය. එනම් ඔහුගේ ළමා කාලය චෝලයන්ට බියේ තැනින් තැනට ගමන් කරමින්, වනගතව හැංගෙමින් හුදෙකලාව ගෙවා දැමූ අතර ගැටවර විය යුද්ධයේ අත්දැකීම් ලබමින් ගෙවා දමා ඇත. එහෙත් ඔහුට ජනතාවගේ අධාරයත් සහයත් ලබාගැනීමට හැකිවීම අවි ආයුධ අතින් බල සම්පන්න චෝලයන් සමග සටන් කිරීමට ශක්තියක් විය. රෝහණයේ වැසියා විජයබාහු රජුගේ පාලනයත් සමග ප‍්‍රීති ප‍්‍රමෝදයට පත්විය. එහෙත් එය අවස්ථාවක් කොටගත් චෝලයෝ රෝහණයට පහරදීමට බළ ඇණියක් පිටත්කර හැරියෝය. යුද්ධ ශක්තියත් සවිමත් චෝලයන් සමග සටන් කිරීමට තවමත් විජයබා රජුට හැකියාවක් නොමැති බව දත් නිසා ඔහු යළිත් කතරගම අතැර කඳුකර ප‍්‍රදේශයට පසුබැස සැඟවූණේය.

එම අවස්ථාවේදී චෝලයෝ කතරගම කොල්ලකෑහ. එම කාලයේද පළමු වන විජයබාහු රජු හම්බන්තොට අසල සිප්පන්තලක කඳවුරු බැඳ මහා පාලනයකට අවශ්‍ය දැනුමක් ලබාගනිමින් යුද කටයුතු අතින් ශක්තිමක් වීම සිදුකළේය. ඉන් විජයබාහු මහා යුද ඥාණයක් තිබූ බව පැහැදිලිය. එනම් බලයට පත්වීමත් සමග යුද්ධ ශක්තිය අඩු ඔහු චෝලයන් සමග සටනට නොගොස් පසුබැසීම චෝලයන්ගෙන් රට නිදහස් කරගැනීමට ගත් පළමු පියවර ලෙස පෙන්වාදිය හැකිය.

එම සිදුවීමෙන් පසු ඔහු යුද ශක්තිය තර කරගනිමින් බුරුමය සමග දකුණු වෙරළ ඔස්සේ වෙළෙඳ බඩු ආනයන අපනයන ක‍්‍රියාවලියකටද මුල පිරුවේය. ඉන් බුරුමය සමග සමීප සබඳතාවක් ගොඩනගාගත්තේය. එනම් ලංකාව මෙන්ම බෞද්ධ රටක් වූ බුරුමය සමග එසේ සමීපවීම වැදගත් විදේශ ප‍්‍රතිපත්තියක් ලෙස පෙන්වාදිය හැකිය.

මීළඟට පස්වන මිහිඳු රජුගේ දූ කුමරියක සරණපාවා ගැනීම හේතුවෙන් මලය දේශය සමග මිත‍්‍ර සබඳතා තරකර ගත්තේය. ඉන් විදේශ නාවික වෙළෙඳ ප‍්‍රතිපත්තිය තව තවත් දියුණු විය.

මෙහිදී ලංකාවේ වයඹ, උතුර වැනි ස්ථානවල පිහිටි වරායවල් චෝලයන් යටතේ පැවතියද ඔවුන් විජයබාහු රජු වර්ජනය කළ වරායවල් ආක‍්‍රමණය කිරීමට කටයුතු නොකළේය. මේ වනවිට ශ්‍රී විජය රජුද නාවික අධිරාජයක් ගොඩනගාගෙන තිබුණේය. එම නිසා I වන විජයබාහු රජු ශ්‍රී විජය රජු සමග මිත‍්‍ර සබඳතා ඇතිකර ගත්තේය. එම නිසා රෝහණයේ තිබූ නාවික හමුදා ගමන්වලට ශ්‍රී විජය අධිරාජ්‍යයේ ආශිර්වාදයන් ලැබුණි.

මෙවැනි දේ නිසා යළිත් විජයබාහු රජු තලාව අසල පිහිටි තඹලගමුව ප‍්‍රදේශයට ගියේය. ඒ අතරතුර එනම් ක‍්‍රි.ව. 1065 දී රජරට පාලනයේ විවිධ අවුල් වියවුල් හටගත්තේය. ඊට හේතුවූයේ සාගතය, අඟහිඟය වැනි හේතුන්ද යන්න පැහැදිලිතාවක් නොමැත. ඇතැම් විටක එය රෝහණයේ සිටි සිංහල පාලකයාගේ තීරණයද විය හැකිය. මෙවැනි හේතුන් නිසා චෝලයන් එකට එක කිරීමට පටන්ගත්තේය. එනම් චෝල හමුදා විටින් විට රෝහණයට ප‍්‍රහාර එල්ල කළෝය. ඒ වගේම චෝලයෝ සිරකරුවන් ලෙස තබාගෙන සිටි සිංහල වැසියන්ට කුරිරු ලෙස වද දෙන්නට පටන් ගත්හ.

මෙය කොටි සංවිධානය සිංහල වැසියන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටි කාලයට සමාන වන්නකි. මෙවැනි හේතුන්ගෙන් කොටි සංවිධානය පැරණි යුද උපක‍්‍රම භාවිත කර ඇති බව පැහැදිලි වේ.

මෙවැනි වාතාවරණයකදී විජයබාහු රජුගේ ප‍්‍රබල යුද සෙන්පතීන් දෙදෙනකු ඔහුගේ සගයන් සමග චෝල රජුගේ පිරිසට එකවූහ. මෙය විජයබාහු රජුගේ යුද උපක‍්‍රමයක් විය හැකිය. තිස් වසරකට පෙර යෙදූ උපාය මාර්ග විජයබාහු රජු යළිත් ක‍්‍රියාත්මක කළේය. ඒ අනුව පළටුපාන ආශ‍්‍රිතව මඟුල් මඩුව ප‍්‍රදේශයේදී චෝල ප‍්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සංවිධානය වී බලා සිටියේය.

ගල් පර්වත සහිත එම කඳු පෙදෙසට පිවිසීමට තිබුණේ එකම මගක් පමණි. ඒ අවට ප‍්‍රදේශය විවිධ ප‍්‍රමාණයේ ගල්කඳු හා ගල්ගුහා වලින් සැදී තිබුණේය. එය යුද්ධයකට සුදුසු භූ විද්‍යාත්මක පසුබිමක් විය. එහිදී විජයබාහු රජු හිතූ පරිදි චෝලයන් සමග සටන ඇරඹිනි. ඉන් චෝලයන් අන්ත පරාජයට පත්විය. එම සටනින් සතුරන් සතු විශාල වස්තු සම්භාරයක් විජයබාහු රජු සතුවිය. මෙම ජයග‍්‍රහණයෙන් උද්දාමයට පත් විජයබාහු රජුගේ සෙන්පතියෝ චෝලයන්ගේ අගනුවර වූ පොළොන්නරුව බලා ගමන්කිරීමට සූදානම් වූහ. බාධාවකින් තොරව ඉදිරියට ගිය එකී හමුදාව පොළොන්නරුවද අල්ලා ගත්හ. මෙය ආරංචි වූ චෝල අධිරාජයා ඔහුගේ සේනාවත් සමග නැව්නැග ලංකාවට පැමිණියහ. ඔවුහු මන්තායි වරායෙන් ගොඩබැස අනුරාධපුරය බලා ගමන් ගත්හ.

එහිදී අගනුවර ආසන්න ප‍්‍රදේශයක යළිත් සටන් ආරම්භ විය. ඉන් සිංහලයන් පරාජය වූ අතර බොහෝ පිරිසක් සිරබාරයට පත්වූහ.

යළිත් වරක් විජයබාහු රජුට පොළොන්නරුව අතහැරයාමට සිදුවිය. වරෙක ජය ගනිමින්, වරෙක පසුබසිමින් විජයබාහු රජු චෝල විරෝධී සටන් ව්‍යාපාරය දිගටම කරගෙන ගියේය. මෙහිදී චෝලයන් යළිත් විජයබාහු රජු හඹා එන බව දැනගෙන ඔහුු කෑගල්ල ප‍්‍රදේශයේ වාකිරිගල කඳවුරු බැඳගත්තේය.

අනුරාධපුර ප‍්‍රදේශයේදී විජයබාහු රජු පරාජය වීමත් ඔහු කෑගල්ල ප‍්‍රදේශයේ වාකිරිගලට පසුබැසීමත් පිළිබඳව ක‍්‍රි.ව. 1867 වීර රාජේන්ද්‍ර රජු විසින් ලියන ලද සෙල්ලිපියක සඳහන්ව ඇත. එම සෙල්ලිපියේ විජයබාහු රජුගේ බිසව චෝලයන් අල්ලාගැනීම පිළිබඳවත් සඳහන්ව ඇත.

මෙවැනි වාතාවරණයකදී යළිත් රෝහණයේ කැරලි ඇති විය. එනම් එම කැරැලිවලට ඊට දාහතර වසරකට පෙර විජයබා රජු අතින් මරුම් කෑ කස්සප රජුගේ ඥාති සොහොයුරෙකු වූ බුත්තල දිසාවේ මුල්වී කටයුතු කර ඇත. එම නිසා විජයබාහු රජුට චෝලයන් සේම සිංහල ජනතාව අතර ඇතිවූ කැරලිත් මැඩපැවැත්වීමට සිදුවිය. එනම් අද මෙන්ම එදත් යහපාලනයක් ගෙනයාමට කටයුතු කරන නායකයන්ගේ කකුලෙන් අදිනා පිරිසක් සිටි බව එම කරුණුවලින් මොනවට පැහැදිලි වේ.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: විජයබාහු රජු පුලතිසි පුර හැරයයි Rating: 5 Reviewed By: Unknown