728x90 AdSpace

Latest News
Tuesday, 21 July 2015

බුදුරදුන්ට පිදුව මිණිපළඟ පිහිටි නාගදීපය



බුදුබව ලබා පස්‌වන අවුරුද්දෙහි බක්‌ මස අමාවක පොහොය දිනයෙහි බුදුරජාණන් වහන්සේ ලක්‌දිව නාගදීපයට වැඩම කළහ. එය උන්වහන්සේගේ දෙවන ලංකාගමනය යි. අතීතයෙහි නාග නමින් හැඳින්වුණ ජන කොටසක්‌ ලක්‌දිව ජීවත් වූහ. වඩුන්නාගල (කල්පිටිය), මණිනාග දීපය සහ කැලණිය යන ප්‍රදේශවල ඔවුන්ගේ ප්‍රධාන වාසභූමි පිහිටා තිබිණි. මණිනාගදීපයේ මහෝදර නා රජුගේ දියණිය සරණ පාවා දුන්නේ ඔහුගේ නැඟනියගේ පුත් වඩුන්නාගල සිටි චූලෝදර නා රජුට ය. ඔහුට දෑවැද්ද වශයෙන් ලැබුණේ වටිනා මිණිපළඟක්‌ හෙවත් මැණික්‌ පුටුවකි. නාග කුමරිය හදිසියේ මියගිය නිසා මහෝදර නාරජු සිය බෑණාගෙන් මිණිපළඟ ඉල්ලුවේය. එහෙත් චූලෝදර නා රජු එය ආපසු දෙන්නට අකමැති විය. ඒ හේතුවෙන් යුද්ධයක්‌ ඇතිවන තත්ත්වයට කරුණු යෙදුණි. මහෝදරගේ මාමා වූ කැලණිය පාලනය කළ මණිඅක්‌ත නාරජුගේ සහයෝගය ද ඔහුට ලැබිණි. බුදුරජාණන්වහන්සේ නාගදීපයට වැඩම කළේ මිණිපළඟ මුල්කරගෙන නාග ගෝත්‍රිකයන් අතර යුද්ධයක්‌ ඇති වූවොත් සිදුවන විනාශය වැළැක්‌වීමට යි.
දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුකෙහි සිටි සමිද්ධි සුමන දෙවියා පෙර භවයක මණිනාගදීපයේ විසූ කෙනෙකි. ඔහු යළිත් එම ප්‍රදේශයෙහි වාසය කරවුවොත්, ඔහුටත්, නාගයන්ටත් යහපතක්‌ සිදුවන බව බුදුරදුන්ට පෙනුණි. ඒ නිසා කිරිපලු රුකත් රැගෙන මණිනාග දීපයට යැමට එන ලෙස බුදුරජාණන් වහන්සේ දේවතාවට දැනුම් දුන්හ. සටන් පැවැති පෙදෙසට වැඩම කළ උන් වහන්සේ අහසෙහි වැඩ හිඳ බුදුරැස්‌ විහිදුවා පෙළහර පා නාගයන්ට දහම් දෙසූහ. එයින් සතුටට පත් නාගයෝ සමගි වී ගැටුමට මුල් වුණ මිණිපළඟ බුදුරජුන්ට පිදූහ. උන්වහන්සේ වැඩ සිටි නිසා පාරිභෝගික වස්‌තුවක්‌ බවට පත්වුණ මිණිපළඟ තැන්පත් කොට ඔවුහු නාගදීප දාගැබ තැනූහ. එය ප්‍රසිද්ධියට පත්වුණේ රාජායතන චෛත්‍යය නමිනි. ඒ අසල රෝපණය කෙරුණ කිරිපලු රුක මහිද්ධි සුමන දෙවියාගේ වාසස්‌ථානය බවට පත්වුණි. දේවානම් පියතිස්‌ස, මහල්ලක නාග, වෝහාරතිස්‌ස, දෙවන අග්බෝ ආදී රජවරුන් එම දාගැබ වරින් වර පිළිසකර කර වූ බව ඉතිහාසයෙහි සඳහන් වෙයි.
මණිනාගදීපයේ දී බුදුරදුන්ට පිදූ මිණිපළඟ කැලණි දාගැබෙහි තැන්පත් කොට ඇතැයි ඇතැමුන් කියන්නේ කරුණු වරදවා තේරුම් ගැනීම හේතුවෙනි. මණිපල්ලංක (මිණිපළඟ) සහ මණිමණ්‌ඩප (මැණික්‌ මණ්‌ඩපය) යන වචන දෙක පැහැදිලි කරගත් විට මෙම ගැටලුව නිරවුල් වෙයි. මණිපල්ලවම් නමැති දෙමළ පොතේ සඳහන් වන පරිදි මිණිපළඟ යනු මැණික්‌ ඔබ්බවා තැනූ අඩි තුනහමාරක්‌ උසැති, අඩි නවයක්‌ දිගැති ආසනයකි. එය කවිච්චියකට සමාන බව පෙනේ. දීපවංසයේ සඳහන් වන හැටියට මිණිපළඟ වයිරෝඩි ඔබ්බවා තැනූවකි.
බුදුරදුන් ලක්‌දිවට තෙවන වර වැඩම කළේ මණිඅක්‌ත නාරජුගේ ඇරයුම පරිදිය. උන්වහන්සේ ගෞරවයෙන් පිළිගැනීම සඳහා කැලණියේ පනවා තිබුනේ මැණික්‌වලින් සරසා සෙවිලි කළ මණ්‌ඩපයකි. එය බුදුරදුන්ට සහ පන්සියයක්‌ මහරහතුන්ට වැඩ සිටින්නට හැකි තරමේ විශාල වේදිකාවකි. විස්‌තර කර ඇති අන්දමට එය අලංකාර පිරිත් මණ්‌ඩපයක්‌ වැනිය. කැලණි දාගැබ ඉදිකළේ එම මණ්‌ඩපය තිබූ ස්‌ථානයේ ය. මේ අනුව නාගදීප දාගැබේ මිනි පළඟ තැන්පත් කෙරුණි. බුදුරදුන්ට වැඩසිටින්නට මණිමණ්‌ඩපය ඉදිකළ බිමේ කැලණි දාගැබ ඉදිකෙරුණි.
නාගදීප දාගැබ වඳින ගාථාවේ සඳහන් වන්නේ මාමා සහ බෑණා විසින් දෙන ලද මණිපල්ලංකයෙහි වැඩ හිඳ බුදුරදුන් දහම් දෙසූ බවයි. එය දෑතින් එසවිය හැකි වස්‌තුවක්‌ බව සිතිය හැක.
භගිනි සුත මාතුලේහි දින්නේ
මණිපල්ලංකවරේ යහිං නිසින්නෝ

මුනි ධම්ම මදේසයි මුනීනං
සිරසා තං පණමාමි නාගදීපං
මණිඅක්‌ත නාරජු තැන වූ මිණිමඩුවේ බුදුරදුන් වැඩහුන් බවත්, ඒ මත දාගැබ තැනූ බවත් කැලණි දාගැබට වඳින ගාථාවේ සඳහන් වෙයි.
ආයාචනාය මණි අක්‌මහෝරගස්‌ස
යස්‌මිං නිසීදි භගවා මණිමණ්‌ඩපස්‌මිං
තස්‌සෝපතිට්‌ඨිත මූපට්‌ඨිත විතරාගං
කළ්‍යාණි ෙච්තිය මහං සිරසා නමාමි
මණි අක්‌ නයිඳු කළ - මිණිමඩුව තුළ වැඩ හිඳ
මුනිදා දිව බොජුන් වැළ» සැනෙහි නඳ
මුනිදා පිහිටුවා කළ දාගැබට වැඳ (හංස සංදේශය)
බෞද්ධ සාහිත්‍යයේ දැක්‌වෙන අන්දමට නාගදීප රාජායතන චෛත්‍යය යනු ශාසන ඉතිහාසයේ අවසානය දක්‌වා ම පවතින ඉතා වැදගත් පූජනීය ස්‌ථානයකි. සම්බුද්ධ ශාසනය අතුරුදන් වන විට විවිධ වෙහෙර විහාරවල තිබෙන සර්වඥ ධාතු නාගදීප චෛත්‍ය ස්‌ථානයට එක්‌රැස්‌වෙයි. එතැනින් දඹදිව සිරිමහ බෝමැඬට වැඩම කිරීමෙන් පසු අතුරුදන් වෙයි. එය මිලින්ද ප්‍රශ්නයෙහි දැක්‌වෙන්නේ මෙසේ ය.
"එකල සත්ත්වයන්ගේ ශ්‍රද්ධා බුද්ධි මඳ වීමෙන් පූජා සත්කාර නොලබන්නා වූ ධාතුන් වහන්සේ බුදුන්ගේ අධිෂ්ඨාන බලයෙන් පූජා සත්කාර ලැබෙන තැනට අහසින් වඩිති. කල්යැමෙන් හැමතැනම පූජා සත්කාර නොලැබෙයි. එකල බුදුන් ධර්මාන කාලයෙහි ලෝවැඩ පිණිස විසිර පවත්නට අධිෂ්ඨාන කර වදාළ හැම ධාතුන් වහන්සේ අධිෂ්ඨාන බලයෙන් ලක්‌දිව රුවන්වැලි මහ සෑයට වඩිති. එතැනින් නාග දිවයින රාජායතනය නම් චෛත්‍යයට රැස්‌වෙති. එයින් මහබෝමැඩ කරා වඩිති". (ශාසනායුෂ ප්‍රශ්නය) සාහිත්‍ය ග්‍රන්ථ කීපයකම මේ පුවත දැක්‌වේ. පුදපූජා නොපවත්වන තැන්වලින් සර්වඥ ධාතු වැඩමවීම සිදුවන බවට විශ්වාසයක්‌ දැනටත් බෞද්ධයන් අතර පවතියි.
මණිනාගදීපයේ රාජායතන චෛත්‍යය වැඳීමට වැඩමකළ භික්‍ෂුන් සැටනමකට නාගා නමැති දාසියක්‌ වෙහෙස මහන්සි වී උපයා ගත් ධනයෙන් දානය දුන්නාය. ඇයගේ ශ්‍රද්ධාව ගැන සැලකූ එම භික්‍ෂුන් වීර්යයෙන් යුතුව රහත් බව ලැබ එම දානය වැළ»හ. ඒ පුවත අසා පැහැදුණු රජතුමා නාගා දාස බවින් මුදවා මණිනාග දිවයින ඇයට තෑගි කළ බව සද්ධර්මාලංකාරයේ නාගා වස්‌තුවෙහි සඳහන් වෙයි. මණිනාගදීපයට නාගදීපය යන නම ලැබුණේ ඉන්පසුවය. සැමගේ සිත් දිනාගෙන ඔවුන්ට උදව් කරමින් ජීවත් වූ නාගා මැරුණ පසු දේවත්වයට පත්වූවාය. හින්දු බැතිමතුන් නාගම්මා හෙවත් නාග පූෂානි අම්මන් කෝවිල නමින් හඳුන්වන්නේ ඇය වෙනුවෙන් තැනුන දෙවොල යි. එය පිහිටා තිබෙන්නේ වර්තමාන නාගදීප විහාරය ආසන්නයේ ය. එම භූමියෙහි නටබුන් සහ සෙල්ලිපි තිබෙන බවත්, ඒවා මත ගොඩනැඟිලි ඉදිකර ඇති බවත් කියති. මහ පැරකුම් රජු ඉන්දියානු වෙළෙඳුන් දැනුවත් කිරීම සඳහා ඌරාතොට වරායේ පිහිටුවා තිබූ සුප්‍රකට දෙමළ සෙල්ලිපියේ කොටසක්‌ මෙම කෝවිලේ බිත්තියකට සවිකර ඇත. ඉතිරි කොටස ආයුධ මුවහත් කිරීමට භාවිතා කළ බව දැනගන්නට ඇත. වල්ලිපුරම් විෂ්ණු දේවාල භූමියෙන් 1906 වසරේ ලැබුණ සෙල් බුදුපිළිමයක්‌ සර් හෙන්රි බ්ලේක්‌ ආණ්‌ඩුකාරවරයා සියම් රටේ සිව්වන රාම රජුට පරිත්‍යාග කර තිබේ. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා එම බුදුපිළිමය නැවත ලක්‌දිවට ලබා ගැනීමට වෑයම් කළේය.
නාගදීපය යනු අතීතයේ දී යාපන අර්ධද්වීපයම ඇතුළත් විශාල ප්‍රදේශයකි. වෙළෙඳ භාණ්‌ඩ හුවමාරු කළ තොටුපොළ කීපයක්‌ එහි තිබිණි. ප්‍රසිද්ධ වරායක්‌ වූ ඌරාතොට දැන් කයිට්‌ස්‌ දූපතයි. සංඝමිත්තා තෙරණිය වැඩම කළ දඹකොල පටුන ද පැරැණි නාගදීපයට අයත් වූවකි. සිරිමහබෝධිය වැඩමවන විට සමුද්‍ර නාගයන් බාධා කළ නමුත් පසුව ඔවුහු එයට පුද සත්කාර දැක්‌වූහ.
වර්තමානයේ නාගදීපය යනුවෙන් හැඳින්වෙන්නේ නයිනාතිව් යෑයි දෙමළ බසට නම මාරු කර ඇති දිවයිනයි. එලෙස නම් වෙනස්‌ කළ තැන් බොහෝය. කර දිවයින කාරතිව්ය. දාගැබ් රැසක්‌ ඇති බොදු පුදබිමක්‌ වන කදුරුගොඩ කන්දරෝඩෙයි නමි. දුටුගැමුණු රජදවස මහරහතුන් වැඩහුන් පුවඟු දිවයින පුංකුඩුතිව් ය. දෙමළ නාමකරණය නිසා බෞද්ධ උරුමය අහිමි වී ඇත. 1936 දී විෂ්ණු දේවාලය අසලින් ලැබුණ වල්ලිපුරම් රන් සන්නසින් පැහැදිලි වන්නේ රාජ්‍ය වර්ෂ 126 - 127 වසභ රජ සමයේ දි ඉසිගිරි නම් ඇමැතිවරයකු නාගදීපය පාලනය කළ බවයි. ලක්‌දිව ඒකීය රාජ්‍යයක්‌ පැවැති බවට එය සාධකයකි. යාපනය යන නාමය ද භාවිතයට පැමිණ සියවස්‌ පහකට වැඩ නොවේ. යාපා යනු පදවි නාමයකි. එහෙත් යාල්පානම් යනු වීනා කාරයාගේ දේශය බව කියන ප්‍රවාදයක්‌ ගොඩනඟාගෙන තිබේ. පොළොන්නරු යුගයේ දී කෙටි කාල සීමාවකට විදේශීය ආක්‍රමණිකයන්ගේ පාලනයට යටත්ව පැවැති යාපා පටුන සවෙනි පැරකුම්බා රජ සමයේ සපුමල් කුමරු (රාජ්‍ය වර්ෂ 1450 - 1467) විසින් කෝට්‌ටේ පාලනයට යටත් කරගන්නා ලදී. නල්ලුර් කෝවිල පිළිසකර කළේ ඔහු විසිනි. කෝවිලේ පූජා පවත්වන යාතිකාවල සංඝබෝධි භුවනෙකබාහු යනුවෙන් ඔහුගේ නම කියෑවෙයි.
බුදුරදුන් වැඩම කළ ස්‌ථානය වර්තමාන නාගදීපයට අයත් වන බවට නම් සැකයක්‌ නොමැත. පෘතුගිසීන් දාගැබ් බුදුපිළිම ආදිය වනසා වටිනා දේවල් කොල්ල කෑ බවට වාර්තා තිබේ. පුත්තර් කෝවිල්, බුද්ධ වලව්, පුත්තර් පල්ලම්, පුත්තර් තීඩල් යනාදී නම්වලින් හැඳින්වෙන්නෙ බුදුරදුන්ට සම්බන්ධ ස්‌ථානයන්ය. පුත්තර් තෝට්‌ටම් (බුදුන්ගේ වත්ත) නමින් හැඳින්වෙන ඉඩම මෑතක්‌ වනතුරු අයිති කරගෙන සිටියේ දෙමළ කරණවෑමියෙකි. පූජ්‍ය බ්‍රාහ්මණාවත්තේ ධම්මකිත්ති තිස්‌ස නාහිමියන් එම භූමිය මිලදී ගෙන විහාරයක්‌ ඉදිකරද්දී පොළොවෙන් නටබුන් රැසක්‌ මතු වී ඇත. 1985 දී ත්‍රස්‌තවාදීහු එම විහාරය පුපුරුවා හැරියහ. හානි වුණ සෙල් බුදුපිළිමයක්‌ එහි තිබේ.
දැනට දක්‌නට තිබෙන නාගදීප දාගැබ සහ පන්සල 1939 වසරේ දී රන්දොඹේ සෝමසිරි නාහිමියන් විසින් ඉදිකරන ලද්දකි. දාගැබ අභියස අලංකාර බුදුකුටියක්‌ සහිත මල්ඝරය වෛද්‍ය ඉෂාන්ත ගුණතිලක නමැති නාවිකා හමුදා නිලධාරියාගේ පෞද්ගලික ධනයෙන් 2006 වසරේ දී ඉදිකෙරුණේ මැදගම ධම්මානන්ද හිමි අනුශාසකත්වයෙනි. නාගදීපයේ ජීවත්වන දෙමළ හින්දු බැතිමත්තු විහාරස්‌ථානයට පැමිණ වන්දනා මාන කරති. නාගදීපයේ වැඩ සිටින පූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්‌ස හිමියන් සමඟ ඔවුහු සුහදව කටයුතු කරති. දෙමළ ළමුන් දිනපතාම පාසල් ඇරී නිවෙස්‌වලට යන්නේ පන්සලට පැමිණීමෙන් පසුවයි.
1962 නොවැම්බර් 11 වන දින නාගදීපයේ පැවැති උත්සවයකට පැමිණි අධ්‍යාපන ඇමැති එන්. ඩී. එච්. කරුණාරත්න, සහ නිශ්ශංක විඡේරත්න යන මහත්වරුන් පන්සලේ සමරු පොතේ තැබූ සටහනක දෙමළ හින්දු ආගමිකයන් 300 ක්‌ එදින බුදුදහම වැළඳගත් බව සඳහන් වෙයි. දෙමළ අන්තවාදීන් නාගදීපයට හානි සිදුකළ අවස්‌ථා ගැනද අසන්නට ලැබේ. ටාසි විට්‌ටච්චි මහතාගේ ඉමර්ජන්සි 58 - පොතෙහි ඒ පිළිබඳ විස්‌තරයක්‌ ඇත.
1958 වසරේ දී නාගදීප දාගැබට ඩයිනමයිට්‌ දමා පුපුරුවා කොත්කැරැල්ල බිම හෙළන ලදී. පන්සලේ ගොඩනැගිලිවලට ගිනි තබා ඇත. දෙමළ අන්තවාදියෝ 2500 බුද්ධ ජයන්තිය සඳහා බුරුම රටෙන් තෑගි කළ බුදුපිළිමයේ සිරස හා අත් කඩා මුහුදට දැමූහ. මෙම සිද්ධිය දකුණේ සිංහලයන්ට දැන ගැනීමට රජය ඉඩ හැරියේ නැත. ගමනාගමන අමාත්‍ය මෛත්‍රිපාල සේනානායක මහතා රහසිගතව නාගදීපයට ගොස්‌ විහාරස්‌ථානය පරීක්‍ෂා කළේය. රටේ කලබල ඇතිවන නිසා එම විනාශය හෙළි නොකරන්නැයි පොරොන්දු කරවාගෙන නාගදීප විහාරාධිපති හිමි කොළඹට වැඩම කරවීය. සිරස සිඳින ලද බුදුපිළිමය මුහුදු පතුලේ තිබී නාවික හමුදාව විසින් සොයා ගැනුණි. එය පිළිසකර කිරීම අපහසු විය. සති අටක්‌ ඇතුළත විහාරස්‌ථානය නැවත ඉදිකෙරුණි. බුරුම රටින් වෙනත් බුදුපිළිමයක්‌ තෑගි ලැබිණි.
නාග විහාරය රැකගෙන වැඩ සිටින පූජ්‍ය පදුමකිත්ති තිස්‌ස හිමියනට ත්‍රස්‌තවාදය උත්සන්නව පැවැති සමයේ ආරක්‍ෂාව හා දානය පිරිනමමින් කටයුතු කළ නාවික හමුදා නිලධාරීන්ට බෞද්ධ ජනතාවගේ කෘතඥතාව හිමිවෙයි.
මැදගම ධම්මානන්ද හිමි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බුදුරදුන්ට පිදුව මිණිපළඟ පිහිටි නාගදීපය Rating: 5 Reviewed By: Unknown