රුක්ෂන් ජයවර්ධන කියූ පමණින් බොහෝ දෙනා හඳුනාගන්නේ පරිසරවේදියකු, පරිසරලෝලියකු වශයෙනි. එහෙත් ඔහු වෘත්තියෙන් පුරාවිද්‍යාඥයෙකි. ඒ ගමන ද ඔහු තෝරාගත්තේ ජීව විද්‍යාවෙන් උසස් පෙළ සමත් වූවාට ද පසුවය. ඇමෙරිකාවේ මේට්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් මානව විද්‍යාව හදාරා පසුව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යා පශ්චාත් උපාධියක් ලබා ගනිමින් මවු රටේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස ද වසර ගණනක් කටයුතු කළ ඔහු මෙරට ප්‍රෞඪ ඉතිහාසය හා වාරි කර්මාන්තය පිළිබඳ ඓතිහාසික පසුබිමත් සාමුද්‍රික පුරා විද්‍යාවත් ඇසුරින් විවිධ අධ්‍යයනයන් ඔස්සේ සිය වෘත්තිය වගකීම ඉටු කළේය.
ඒ සියල්ල කෙසේ වෙතත් නිසඟයෙන්ම ඔහු සතු වූ සොබා දහමට ඇති ළැදිකම නිසාම අද වන විට පරිසර සංරක්ෂකයකු ලෙස වනජීවී සංරක්ෂණ සංසදය හා වනපෙත් හා රක්ෂිත ප්‍රදේශ පදනමේ සභාපති ධූරයන් හා වනජීවී හා සොබා දහම් සුරැකීමේ සංවිධානයේ උප සභාපති ලෙසත් සීමාසහිත පාරිසරික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසත් නිහඬව ස්වේච්ඡා සේවයේ යෙදෙමින් සිටියි.
පරිසරය කෙරෙහි ඔහුගේ උනන්දුව කෙතරම් ද යත් පාසල් සමය නිමවන්නටත් පෙර සත්ත්ව උද්‍යානයේ කටයුතු හා සම්බන්ධ වී උසස් පෙළ නිම වූ වහාම එහි සහකාර අධ්‍යාපන නිලධාරියකු ලෙස කුඩා තනතුරකින් සේවය ඇරඹුවේය. තම පවුල් පසුබිම කිසිදිනෙක හෙළි කර එයින් වරප්‍රසාද හා වරදාන නොගත් නිසාම ඒ තනතුර සතුටින් හෙබවූ රුක්ෂන් ජයවර්ධන යනු මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ මුනුපුරා බව එදා මෙන්ම අදත් ඔහුගේ මුවින් පිටවූයේ නැත.
නිහතමානී නිහඬ පරිසරවේදියකු ලෙස තමන් කැමතිම ස්ථානය පිළිබඳ ඔහු අපට කීම ඇරැඹුවේ මෙසේය.
“අපේ අම්මා කියන්නේ මම කතාකරන්න පටන් ගත්තේම ‘කාක්කා’ කියලාලු. බෞද්ධයකු හැටියට මම විශ්වාස කරන්නේ පරිසරයට ආදරය කරන එක වුණත් පෙර භවයේ පුරුද්දක් හැටියට එනවා ඇති.”
කුඩා කාලයේ සිටම රුක්ෂන් ජයවර්ධන මහතාගේ ලොකුම ආශාව වී තිබුණේ තමන් යන එන ඕනෑම ගමනකදී ඒ අවට පරිසරය රසවිඳීමය. එයට කිසි විටකත් අකුල් නොහෙලා සිය කැමැත්තට ඉඩ දුන් පරිසර ලෝලීන් දෙදෙනකු වන සිය මවටත් පියාටත් ඔහු නිහඬව සිතින් ස්තුති කරන බව ඔහුගේ ඇතැම් වදන් පෙළගැස්වීමේ දී අපට දැනිණි. හයහතරට වඩා යමක් තේරෙන කාලයේ දී ඔහු තමන් දකින දේ කැමරා කාචයක සටහන් කර තබා ගන්නට ද පටන් ගත්තේ්ය. එසේම ලංකාව පුරාම ඇති ස්වභාවික සුන්දරත්වය හා ඓතිහාසික වටිනාකම අධ්‍යයනයටත් ඒවා සුරැකීමටත් හැකි සෑම අයුරින්ම දායක වූයේය. වෘත්තියෙන් පුරාවිද්‍යාඥයකු වූ ඔහුගේ විස්තර කිරීම් ද ඒ අධ්‍යයනයන් හා බැඳී තරමක විද්‍යාත්මක ස්වරූපයක් ගත්තේය.
“විජය රජු ගොඩ බැස්ස තම්බපන්නිය ආසන්නයේ තැනක් තමයි කුදිරමලේ කියන්නේ. විල්පත්තු අභයභූමියේ වෙරළාසන්නයේ පිහිටන්නේ. ලංකාවේ වෙරළාසන්න ප්‍රෙද්ශවල කඳු තිබෙන තැන් අඩුයි. ගාල්ල, මාතර හා නැඟෙනහිර තැන් කීපයක් හැරුණාම සමස්ත වෙරළබඩ තීරයේ ගොඩබිම කන්දකින් කෙළවර වන්නේ ඉතා අහම්බෙන්. මෙතැන විශේෂත්වය වන්නේ ඒ කඳුයි.”
අනෙක කුදිරමලේ කියන්නේ ලිඛිත ඉතිහාසයේ මුල්ම ස්ථානයකට. ආසන්නව පිහිටි මේ රටේ වෙන කොහේවත් දක්නට නැති තඹ පැහැති වැල්ලක් සහිත වනෝද්‍යානයක් ඇතුළත පිහිටීම නිසා මිනිසුන්ගේ විනාශකාරී බලපෑම්වලින් හානි නොවූ තැනක්.”
“දකුණේ උස්සන්ගොඩ, යාල යාය 2, මිනිහාගල් කන්ද හා සමානව ප්‍රාග් ඓතිහාසික යුගයේ මානව ක්‍රියාකාරකම් ගැන අධ්‍යයනය කරන්නත් ඉතාම වැදගත් තැනක් වුවත් තවමත් හරියට ඒ දේවල් නොකෙරුණු තැනක් හැටියටයි කුදිරමලේ මට පේන්නේ.”
සිය පුරා විද්‍යා, මානව විද්‍යා, දැනුම මෙන්ම පාරිසරික විද්‍යාත්මක ඥානය එක්කොටගෙන ඔහු බොහෝ කරුණු පවසන්නේ ඉතාම අවධාරණයෙනි.
“භූ ෙභෟතික විද්‍යාත්මකව ගත්තොත් කුදිරමලේ කන්දේ කොටසක් හේදී ගිහින් කන්ද පාමුල හරියේ තඹ පාට වී තිබෙන්නේ”
කල්පිටියට උතුරින් තිබෙන දූපත්වලට සමාන්තරව තමයි මේ වෙරළ පිහිටන්නේ. පුත්තලම් කළපුවට උතුරින් තිබුණත් දූපත් නිසා ආවරණය වෙලා. මුහුදේ තිබෙන්නේ බොක්කක ලක්ෂණ. රැළි පොඩියි. හරිම සුන්දර දර්ශනයක්.”
දැන් මතුවන්නේ රුක්ෂන් ජයවර්ධන මහතා තුළ සිටින ඡායාරූප ශිල්පියාය. එවිට ඔහුගේ වදන් පෙළ ගැසෙන්නේ පුරාවිද්‍යාත්මක වහරකින් නොවේ.
“එතනින් පේනවා පල්ලිය ගොඩැල්ල කියන ලංකාවට අයිති කුඩා දූපත්වලට අයිති දූපත් අතරින් විශාල දිගු පටු දූපත. තව පොඩි දූපත් දෙකකුත් ෙප්නවා. ඊට එහා පෝක් සමුද්‍ර තීරය. ඇතුළු පැත්තේ තඹපාට වැලිගලෙන් සැදුණු වැලි කඳු. එක එල්ලේම නොපෙනුණත් එතැනට පිවිසෙන්න මොහොතකට කලින් පේනවා. රතු පස් ගොඩැලි අතරින් ඇවිදගෙන යද්දි හරියට කන්ද තැනින් තැන පිළිස්සිලා වගේ පේන්නේ. ඒ රසායනික ප්‍රතික්‍රියා නිසා ඇති වූ දේවල්. ඉන්දියාවයි ලංකාවයි නිතරම සාකච්ඡා කරන කච්චතිවු දූපත තිබෙන්නේ පෝක් සමුද්‍ර සන්ධියේ හරි මැද. මට අවස්ථාව ලැබුණා මුහුදෙන් යන්න. ඒ වෙලාවේ දනුස්කොඩිය ඒ පැත්තෙන් නොපෙනී යන විටම පෝක් සමුද්‍ර සන්ධියට මේ පැත්තෙන් පෙනෙන ගොඩබිම තමයි කුදිරමලේ.”
“උදේට වඩා මෙතැන ලස්සන ඉර බැහැගෙන යන වෙලාවටයි. කඳුවල රතුපාට පසේ විවිධ වෙනස්වීම් ඉරේ රතුපාට වැඩි වෙනවාත් එක්ක දකින්න පුළුවන්. ඉර එළිය තද නැති උදේ වරුවට ඒවා එකම පාටකින් පේන්නේ.”
ගෝන්නු, මුවෝ, මොනරු, අලි, කොටි, වෙරළ තීරයකදී දකිද්දි ඒ අයගෙන් පෙනෙන්නේ අමුතු ලස්සනක්.
“කොටි?” මම විමසුවේ දිවියා හා කොටියා අතර අතරමං වී ඇති මගේ දැනුම තහවුරු කරගන්නා අදහසිනි.
“ඔව් කොටි. ඔය ප්‍රශ්නේ ගොඩක් අයට තිබෙනවා. එල්.ටී.ටී.ඊ.ය ද්‍රවිඩ ඊළාම් කොටි සංවිධානය කියලා හඳුන්වනවාත් සමඟ අපේ කොටියා දිවියා බවට පත්වුණා.”
එසේ කියමින් ඔහු සිය පුස්තකාලයෙන් පොත් රැසක් ගෙනැවිත් මගේ ඉදිරියේ තැබුවේය. මට මතක ආකාරයට සත්ත්වවේදී අශෝක යාපා විසින් සම්පාදිත ‘ද මැමල්ස් ඔෆ් ශ්‍රී ලංකා’ නම් පොතක් ද එහි විය. අපේ කැලෑවල දකින අපි දිවියා ලෙස හඳුන්වන සිව්පාවා එහි ජීව විද්‍යාත්මක නමින් දක්වා තිබුණේ ද පැන්තරා පාඩුස් කොටියා ලෙසිනි. රුක්ෂන් ජයවර්ධන මහතා එය විස්තර කළේ මෙසේය.
“අපිට ඉන්න පොඩි කොටි පෙනුම තිබෙන සතා හඳුන්දිවියා. ඊට පස්සේ ඉන්නේ ඊට තරමක් ලොකු එක්කෙනා දිවියා. ඉන්දියාවේ ඉරි තිබෙන එක්කෙනා කොටියා. එහෙම වුණාම ව්‍යාඝ්‍රයා කියන නමට සතෙක් හොයන්න වෙනවා. ඒ නම ඒ සතාට දීලා තිබෙන්නේ ඉරි තිබෙන නිසයි. අතීතයේ ඉඳන් වන භූමි අසල පදිංචිව ඉන්න අප වගේම සතුන් ගැන දන්න අය කොටියාව අඳුනනවා. ඒ අය අදටත් පුල්ලි තිබෙන ලොකු සතාට කියන්නේ කොටියා කියලා. කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියලත් කියනවනේ. ඒ කතා හැදෙන්නේ නිකම්ම නොවේ. ඉතින් අවුරුදු ගාණක් මේ කොටියාට දිවියා, දිවියා කීවාම තේරුමක් නැතිව ඒ සතා දිවියා කියන්න අපේ දරුවනුත් පුරුදු වෙනවා. ඒක අපේ වනජීවී සම්පත් කරන නිග්‍රහයක්. යාල දි, විල්පත්තුවෙදි වගේ අපේ වන භූමිවල අපි දකින්නේ කොටියා කියන එකයි මම දන්න නිවැරදි දෙය.”
ඒ පැහැදිලි කිරීමෙන් පසු ඔහු යළිත් කීවේ කුදිරමලේ වෙරෙළ් සතුන් එක්වන්නට හේතුවයි.
“මුහුදු වෙරළ මේ සතුන්ට සම්පතක්. මොකද ඒ අය එන්නේ ලුණු ලෙවකන්න. අනික ගෝන්නු මුවෝ රැල්ලට ළං වෙනවා එයාලගේ මැක්කෝ අයින් කර ගන්න වගේම කුෂ්ඨ සුව කරගන්න.”
ඒ විස්තරයෙන් පසු ඔහු යළිත් ඉතිහාසය වෙත ඇදීගියේ අපූරු දසුනක් මතක් වූ පසුවය.
“මම මෙතැන දැක්කා තවත් අපූරු දෙයක්. ඒ තමයි අඹපු අශ්වයකුගේ රූපයක නටබුන්. කුදිර කියන්නේ අශ්වයානේ. මලෛ කියන්නේ කන්ද. ඒ නිසා මේකට කියන්නේ අශ්ව කන්ද කියලා වෙන්න ඇති. නමුත් අමුතුම දේ තමයි මෙතැනට ග්‍රීක නමකුත් අශ්වයා සම්බන්ධ කර තිබිලා තිෙබනවා.”
“ඒ විතරක් නෙවෙයි ඉතිහාසයට සම්බන්ධ හැම යුගයක්ම නියෝජනය කරන ස්ථානයක් මෙතැන. මුතුබෙලි කර්මාන්තය තිබුණේ මෙතැනටයි මන්නාරමටයි අතර ස්ථානයක. ඒ නිසා පෘතුගීසින්ට වැදගත් වුණා ඒ වගේම වෙෙළන්දන් ආක්‍රමණිකයන් මෙතැනින් එන්න ඇති. විශාල ගොඩනැඟිලි නැතත් කඳවුරු දාගෙන වගේ ඉන්න ඇති කියලා සමහර සාධකවලින් පේනවා. මාන්තොට වුණත් නැංගුරම් ලන්න පුළුවන් කාලේ ග්‍රීක, රෝම, චීන, අතරමැදි අයට තාවකාලික නගරයක් හැටියට භාවිතා කරන්න ඇති. මුහුද ප්‍රචණ්ඩ කාලෙට අත් හරින අනෙක් කාලෙට විශාල සල්පිල් තිබුණු තැනක් හැටියටත් මෙතැන හඳුනගන්න හේතු තිබෙනවා.
“ඒ යුගවල විතරක් නෙවෙයි ප්‍රාග් ඓතිහාසික මානවයා මේ වෙරළ ප්‍රදේශයට වරින් වර ආ ගිය බවට සාධක තිබෙනවා. මුහුද පේන මානයට ගියාම රතුපස් ගොඩැලි සමඟ පාෂාණභූත වූ බෙල්ලන් හමුවෙනවා. ඒවා මුහුදු පතුලේ තිබී විවිධ භූචලන නිසා උඩට මතුවන්න ඇති. මෙතැන කාලීන ධීවර කඳවුරු වගේ තිබුණු බවට සාධක හමුවෙනවා.
“මෙසොලිතික හා ඊට පෙර පශ්චාත් පැලියෝලිතික හා මධ්‍ය පැලියෝලිතික යුගවලට අයත් ගල් ආයුධ ආදිය මෙතැනින් හමු වන බව වර්ගීකරණයට අනුව කිව හැකියි.”
මොහොතකට මට දැනුණේ රසවත් පුරාවිද්‍යා දේශනයකට සවන් දී සිටින්නාක් මෙනි. පසුව එය විද්‍යාගාරයක ප්‍රායෝගික පර්යේෂණයක් හා බැඳුණු භූ විද්‍යාත්මක කරුණු පිළිබඳ කරන සාකච්ඡාවකට පෙරළුනා වැනි විය.
“රටේම රතු පස් ගොඩැලි තිබෙන්නේ කීප තැනකයි. ඉරණමඩු පස් සැකැස්ම කියලා කිලිනොච්චියට ආසන්න ඉරණමඩු වැව අසල තමයි මුලින්ම රතු පස් දකින්න ලැබුණේ. ලංකාවේ අදට වඩා කාන්තාරගතිය ඇති වියළි කාලයක හුළඟින් ආ දූවිලි වැලි තැන්පත් වී තමයි ඉරණමඩු සැකැස්ම හැදුණේ. කාලයාගේ ඇවෑමෙන් එය වැස්සට සේදිලා ගියා. නමුත් උස් ස්ථාන කීපයක ඉතුරු වුණා. එය ගලකට හා පස්වලට අතරමැදි අවස්ථාවක්. රතුවැල්ල වැඩියි.
ඒ පස රතුවෙලා තිබෙන්නේ පස් තට්ටුව හරහා ජලය ගමන් කරද්දි යකඩ හා ඔක්සිජන් මිශ්‍ර රසායන ද්‍රව්‍යවලින් ඔක්සිජන් ජලයේ දියවෙලා යකඩ ඉතුරු වුණ නිසයි. කුදිරමලේ රතුපාට වෙන්නෙත් අන්න ඒ වගේ හේතු නිසයි.”
රුක්ෂන් මහතා ඉන්පසු දැක්වූයේ මහා බැරෑරුම් මුහුණකි. එය ඔහු ඊළඟට ඉතා පරෙස්සමින් වචන ගලපමින් කියන්නට උත්සාහ දරන දේහි හැඳින්වීමක් වැනි විය.
“ඇත්තෙන්ම අද අපට මේ කුදිරමලේ කොටසයි බලන්න පුළුවන්. නමුත් පොදු ජනතාවට ඒ මුළු භූමියම දැක බලා ගන්න අවස්ථාව දෙන්න කියලයි මම යෝජනා කරන්නේ.
එසේ යෝජනා කරන ගමන්ම ඔහු සියලු දෙනාගේ අවධානයට ද කරුණක් යොමු කළේය.
“අද ලෝකේ විවිධ කාලගුණික, දේශගුණික විපර්යාස සිදුවෙනවා. ඒ ගෝලීය උණුසුම වැඩි වන නිසා. ඒකට අනිවාර්යයෙන් අපේ දායකත්වයක් තිබෙනවා. මැද වයසේ ඉන්න අයට සමහර විට මෙහි අහිතකර ප්‍රතිඵල දකින්න ලැබෙන එකක් නෑ. ඒත් අෙප් බාල පරපුරට ඒවා අත්විඳින්න වෙනවා. අපි රට ලෝකය රැකිය යුත්තේඅපට විතරක් ජීවත් වෙන්න නෙවෙයි. අනාගත පරපුරටත් එක්කයි.”
“රටක වැදගත් වටිනා දේ තමයි ඒ රටේ ස්වභාවික සුන්දරත්වය. පිටරටවල ඒ දේවල් රකින්න අකුරටම වැඩ කරනවා. ඒත් අපෙන් ඉතිහාසය වගේ විෂයන් ඈත් වෙලා. පාසල් අවධියේ සිටම ඒවායේ වටිනාකම් කියා දිය යුතුයි. දරුවන්ට පුංචි කාලේ ඉඳන්ම සරලව මේවා හිතට දැම්මේ නැත්නම් වැඩිහිටි කාෙල් හදන්න බෑ. කවදා හෝ රටක සුන්දරත්වය රකින්නේත්, විනාශ කරන්නෙත් අපිමයි. ඒ නිසා කුඩා කාලේ ඉඳන්ම මේ වටිනා දේවල් රස විඳින්න, රැක ගන්න, අගය කරන්න පුරුදු කරන්න.
සටහන - අරුණි මුතුමලී
0 comments:
Post a Comment