728x90 AdSpace

Latest News
Monday 20 July 2015

බෝ නොවන රෝගවලින් වැළකීමට දේශීය ආහාරවලට හුරුවන්න

බෝ නොවන රෝගවලින් වැළකීමට දේශීය ආහාරවලට හුරුවන්න
අද අපට තර්ජනයක්‌ වී තිබෙන්නේ බෝ නොවන රෝගයි. වයස්‌ භේදයකින් තොරව මේ බෝ නොවෙන රෝග සමාජයට ප්‍රශ්න ඇති කොට තිබෙනවා. විශේෂයෙන්ම දියවැඩියාව, රුධිරයේ කොලෙස්‌ටරෝල් මට්‌ටම වැඩිවීම, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, විශාල ප්‍රශ්නයක්‌. ඒවගේම කුඩා ළමයින්ටත් දියවැඩියාව වැළඳීම, ඒ වගේම තරුණ අයටත් අධික රුධිර පීඩනය සහ හෘදයාබාධ ඇතිවීම, ශරීරයේ කොලෙස්‌ටරෝල් මට්‌ටම වැඩිවීම නිසා අක්‌මාවටත් එය බලපෑමෙන් සිරෝසිස්‌ තත්ත්වය ඇතිවෙන්නත් පුළුවන්. මත්පැන් නොගත්තත් මේ තත්ත්වය ඇති වෙනවා.
අපි මේකට හේතු සොයාගෙන යනවිට හුඟක්‌ දුරට අපි දුටුවා මිනිසුන්ගේ ආහාර රටාවල් මෙයට ලොකු බලපෑමක්‌ කරන බව. ශ්‍රී ලංකාව කෘෂි කාර්මික රටක්‌. අපේ ජනතාව තුන්වේලටම බත්, දේශීය එළවළු, පලතුරු වර්ග ආහාරයට ගෙන හැදුණු ජාතියක්‌. මේ ආහාරමය රටාව නිසා ශක්‌තියත්, නිරෝගිභාවයත් ඔවුන්ට ලැබුණා. ඒත් දැන් අපි ඒ රටාවෙන් මිදිලා. දැන් බොහෝ දෙනෙක්‌ කෙටි කෑම වර්ගවලට යොමුවී තිබෙනවා. ගෙදරදී කාන්තාව තම දරුවන්ටත් ස්‌වාමිපුරුෂයාටත් පෝෂ්‍යදායක ආහාරපාන සකස්‌ කොට දෙනවා. ඒක ඇයගේ වගකීමක්‌. ඒත් අද පාසල් යන සමහර ළමයි ගෙදරින් කෑම ගෙනියන්නේ නැතිව කඩේකින් බනිස්‌ එකක්‌ හෝ වෙනත් කෙටි කෑමක්‌ අරගෙන තමයි යන්නේ.
එසේම අද බොහෝ දෙනා කෘත්‍රිම රසකාරක යෙදූ ආහාරවලට පුරුදු වෙලා තියෙනවා. ඒ රසකාරක නිසා පොඩි දරුවන් ඒ ආහාර වර්ගවලට ඇබ්බැහි වෙලා. තවත් සමහරු ඉහළ සමාජ තත්ත්වයක්‌ පෙන්වීම සඳහාත් එවැනි රසකාරක සහිත ආහාර තිබෙන ආපනශාලා වෙත යනවා. මේ ආහාර කොයිතරම් අගුණ වුණත් ඒවායේ මිලත් අධිකයි. සමහරු හිතනවා අධික මිලක්‌ ගෙවා ලබාගන්නා මේ ආහාරවලින් හොඳ පෝෂණයක්‌ ලැබෙනවා කියලා. ඒකෙන් කෙරෙන්නේ ලොකු ලෙඩ ගොඩකට අත වැනීමක්‌. ක්‍ෂණික නූඩ්ල්ස්‌ වර්ග තිබෙනවා. ඒවා සකස්‌කොට තිබෙන්නේ ද විවිධ රසකාරක යොදාගෙන. පොඩි ළමයි ඒ රසයට කැමැතියි. ඒ නිසා පුංචි කාලේ සිටම ඔවුන්ට විවිධ රෝග ඇති වෙනවා. පිළිකා වැනි රෝග ආදිය වැළඳීමටත් මේවා බලපාල තියෙනවා.
අද තිබෙන සමාජ රටාව අනුව ගෙදර මව සහ පියා දෙදෙනාම රැකියාවලට යනවා. ඒ අයගේ තිබෙන කාර්යබහුලත්වය නිසා රාත්‍රි ආහාරය පිටින් ගේනවා. පවුල් 10 ක්‌ ගත්තොත් 7 ක්‌ම රාත්‍රී ආහාර පිටින් ගේනවා. එසේ ගේන ආහාරවලට ගෙදර හදන ආහාරවලට වගේ සහතිකයක්‌ දෙන්න බෑ. ඒවා පෝෂ්‍යදායී හොඳ තත්ත්වයේ ආහාර වේලක්‌ කියලා.
වෙළෙඳසල් හිමියන් පාරිභෝගිකයන් තමන් වෙත ගෙන්වා ගැනීම සඳහා විවිධ රස කාරක, වර්ණ ආදිය යොදා ආහාර වර්ග සකස්‌ කරනවා. ඒවායේ පෝෂ්‍ය ගුණය ගැන ඔවුන් බලන්නේ නැහැ.
අපි නිවසේදී ආහාර පිළියෙල කරන විට විවිධ කුළුබඩු වර්ග යොදා ගන්නවා. ඒ මගින් ආහාරයට රසයක්‌ වගේම ගුණයක්‌ද ලබා දෙනවා. ඒ වගේම විවිධ රෝගාබාධවලින් අපිව බේරා ගැනීමේ හැකියාවක්‌ ද ඒ කුළුබඩු වර්ගවලට තිබෙනවා. උදාහරණයක්‌ විදියට සුදුලූනු ගනිමු. සුදුලූනුවල තිබෙන ගුණය අපට විනාඩි කිහිපයකින් කියල නිම කරන්න බැහැ. ඒවායේ විශේෂ ඖෂධීය ගුණයක්‌ තිබෙනවා. අපි ආහාරයට සුදුලූනු එකතු කර ගැනීමෙන් රස පමණක්‌ නොවෙයි හෘදයාබාධ, කොලෙස්‌ටරෝල්, ශරීරයේ ඇතිවෙන විවිධ වේදනාවන් නැති කිරීමට සුදුලූනුවලින් මහත් පිටිවහලක්‌ ලැබෙනවා.
සූදුරු, කොත්තමල්ලි, ගොරකා, කහ, කුරුඳු, ඉඟුරු ආදී ශාකමය දේවල් ගනිමු. මේවායේ තිබෙනවා ශාකවලටම ආවේනික වූ විවිධ රසායනයන්. ඒ රසායනික ද්‍රව්‍ය ආහාර සමග ශරීරගත වීමෙන් ශරීරය තුළ ප්‍රතිඔක්‌සිකාරක ගුණය වර්ධනය නෙවා. මේ ප්‍රතිඔක්‌සිකාරක ශරීරය තුළ අඩු වෙන්න අඩු වෙන්න තමයි අපට පිළිකා වැළඳෙන්නේ. හෘදයාබාධ ඇතිවෙන්නේ. අපේ රුධිරයේ කොලෙස්‌ටරෝල් මට්‌ටම වැඩි වෙන්නේ. ස්‌වාභාවික කුළුබඩුවල මේ ප්‍රතිඔක්‌සිකාරක ගුණය හොඳට තිබෙනවා. කුළුබඩු යෙදූ ආහාර ගැනීමෙන් අපි ඒ රෝග තත්ත්වයකින් ඉබේම ඈත් වෙනවා.
කුරුඳු ගනිමු. අපි කුරුඳුවලින් බලාපොරොත්තු වන්නේ රසය සහ සුවඳක්‌. නමුත් එයට වඩා කුරුඳුවලින් අපේ ආහාර ජීර්ණ රටා හොඳින් ක්‍රියා කරනවා. වෙනත් ආහාර වර්ග ගත්විට ශරීරය තරබාරු වෙනවා. නමුත් මේ කුරුඳු ගොරක වගේ දේවල් නිසා ශරීරයේ අනවශ්‍ය මේද තැන්පත් වීම වළකිනවා. ඒ නිසා කුරුඳු, ගොරක ආදිය මගින් ශරීරයේ තරබාරුවීමක්‌ සිදු වෙන්නේ නැහැ.
සහල් ගනිමු. හුඟ දෙනෙක්‌ හිතනවා සම්බා වැනි මිල වැඩි සහල් ගන්න එක හොඳයි කියලා. නමුත් අපි කැකුළු වැනි නිවුඩ්ඩ තියෙන සහල් වර්ග තමයි පාවිච්චි කරන්න ඕන. එයිනුත් දේශීය සහල් වර්ග එදිනෙදා ආහාරයට යොදා ගන්නවා නම් ඒවායින් ලැබෙන ගුණය කියා නිම කරන්න බැහැ. අපේ රටේ හීනටි, පච්චපෙරුමාල් ආදී විවිධ දේශීය සහල් වර්ග තියෙනවා. ඒවා ආහාරයට ගැනීම බෝ නොවන රෝගවලින් වැළකීමට ඉතා හොඳයි. අපි දියවැඩියා රෝගීන්ට කියනවා බත් කෑම අඩු කරන්න කියලා. නමුත් අපේ දේශිය සහල් ගත්තාම ඒ දේශීය සහල්වලින් අපිට අවශ්‍ය ප්‍රමාණයට පෝෂ්‍ය ගුණය ලැබෙනවා. එයින් බත් ගොඩක්‌ කන්න අවශ්‍ය වන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක්‌ ගත්තාම ඇති එයින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය ගුණය ලැබෙනවා. නමුත් වෙන සහල් වර්ගයක්‌ ගත් විට කුස පිරෙන්නට බත් විශාල ප්‍රමාණයක්‌ කෑමට සිදු වෙනවා.
ඒ වගේම දේශීය එළවළු වර්ග ගත්තාම අපි දකිනවා බොහෝ අය ඒවාට එතරම් කැමැත්තක්‌ දක්‌වන්නේ නැහැ. මැල්ලුම් ජාති තුඹ, කරවිල, තිබ්බටු ආදිය වෙනුවට අපි බොහෝ විට ගන්නේ අර්තාපල්, කැරට්‌, බෝංචි ආදියයි. ඒවායේ ගුණයක්‌ නැත්තේ නැහැ. නමුත් අපේ ගමේ ගොඩේ හැදෙන එළවළුවල ගුණය අපට ඊට වඩා වැදගත්. මේ අන්දමින් අපි දේශීය ආහාර වර්ග හා කුළු බඩු, තුනපහ ආදිය නියම විදියට ආහාරවලට යොදා ගන්නවා නම්, අපට ඇතිවී තිබෙන සෞඛ්‍ය ගැටලුවලට විසඳුමක්‌ ලබා ගන්නට පුළුවන්.
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
එස්‌. කේ. එම්. කේ. හැරපන්දෙණිය
දිවයින
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බෝ නොවන රෝගවලින් වැළකීමට දේශීය ආහාරවලට හුරුවන්න Rating: 5 Reviewed By: Unknown