අපරටේ හමුවන වනාන්තර උඩවැඩියා අතර ඉතා වැදගත්,සුවිශේෂිතම උඩවැඩියාව වන්නේ වෙසක් මලයි.මැයි මාසය පුරාවට මල් දරන බැවින් අතීත ගැමියන් මෙය ''වෙසක් මල්'' වශයෙන් හඳුන්වා ඇත.උඩවැඩියා ලොවේ ඉතා සුවිශේෂී උඩවැඩියා ගණයක් වන,Dendrobium ගණයට අයත් වෙසක් මල උද්භිද විද්‍යාත්මකව හඳුවන්නේ,''Dendrobium maccarthiae''යනුවෙනි.'මැකාර්ති'යනු මෙරට කලක් පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර වරයෙකි.'ශ්‍රීමත් මැකාර්ති'නාමයට ගෞරවයක් වශයෙන් මෙම මලට Dendrobium maccarthiae යන නම යෙදෙයි.
වසර කිහිපයක සිට වෙසක් මල ගැන සොයන්නට යන ගමන් වාර වලදී අපට හමුවන සමහර පැරණි ගැමියන් මෙම මල පිළිබඳව කියූ රසවත් කතා බොහෝය.එකල වෙසක් සමය වනවිට මෙම මල් සුලබ වශයෙන් දැකගැනීමේ හැකියාව තිබී ඇත.සමහරවිට එකවර මල් පනහ හැට පිපීඇති විශාල පඳුරු ගැමියන් දැක ඇති අතර එකල රබර් වතුවලද වෙසක් ශාකය බහුල වශයෙන් ව්‍යාප්තව තිබී ඇත.ගැමියන් අතර මෙම මල මෙතරම් ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව වෙසක් සමයයි.එකල වෙසක් පොහොය දිනට වෙසක් මල් වට්ටි ගනන් රත්නපුර අවට විහාර දේවාලවල බුදුන් හා සමන් දෙවියන් වෙනුවෙන් පූජා වී ඇත.වර්තමානයේද අවට විහාරවල මෙන්ම කැලණි විහාරයේද දුලබව වෙසක් මල් පූජාකොට ඇති අයුරු කිහිපවිටක් දැක ඇත්තෙමි.
වෙසක් මලෙහි ඇති සුවිශේෂී ගුණාංගයක් වන්නේ මල් පිපී මසකට ආසන්න කාලයක් පරනොවී පැවතීමට ඇති හැකියාවයි.මල් හටගැනීම අප්‍රේල් මාසයේ ආරම්භ වුවත් වැඩිවශයෙන් මල් දැකියහැක්කේ වෙසක් මාසයේදීය.තවද පරිසර තත්වය අනුව පෙබරවාරි,මාර්තු,ජුනි,අගෝස්තු,සැප්තැම්බර් යන මාසවලද මෙහි මල් හටගැනීම සිදුවෙයි.මල් පිපුන ප්‍රථම දිනයේ නාසයට යන්තමින් දැනෙන සියුම් සුවඳකින් යුතුවන අතර දින ගෙවෙත්ම සුවඳ පහවයයි.එනමුදු පුෂ්පයේ ඇති විශාලත්වය,හැඩය හා වර්ණ සංයෝජනය ශ්‍රීලංකාවේ හමුවන Dendrobium ගණයේ වෙනත් මලකට සමානකළ නොහැක.පෙති හයකින් සමන්විතවන මලේ වඩාත් විශාල සහ විචිත්‍රවන්නේ මලේ අධරයයි.මලක ප්‍රමාණය සෙ.මී 8 - 8.5 (අඟල් 3 - 3.5) තරම් වන අතර ඒහා සමාන පළලකින්ද යුක්තවෙයි.සුදුපැහැ පුෂ්ප දරන වෙසක් මල් දුර්ලබව හමුවන අතර මෑතකදී එවැනි හමුවීමක් අසන්නට නොලැබිනි.වෙසක් මල් කෘමීන් මගින් පරාගණය සිදුවන අතර,කනවේ මැස්සන් වැනි කුඩා කෘමීන් විසින් ඇතැම් අවස්ථාවල මල් පෙති කා දමයි.මෙහි කරල් හටගැනීම තරමක් දුර්වල වන නිසා ව්‍යාප්තිය අඩුවෙයි.එමෙන්ම වෙසක් ශාකය වැඩෙන ආධාරක ශාක සීමාසහිතය.හොර,වනඉදල,බටදොඹ,රබර්,පුවක් යනාදී තවත් සීමිත ශාක ප්‍රමාණයක පමණක් මෙය ව්‍යාප්ත වන අතර,තවත් විශේෂ කරුණක්වන්නේ ආධාරක ශාකයේ පැවතීමෙන් තොරව වෙසක් ශාකයට පැවතීමේ හැකියාවක් නොමැතිකමයි.වඳවීමේ තර්ජනයට මුහුණපාසිටින වෙසක් ශාකය තවතවත් දුර්ලභ වෙමින් පවතියි.මෙය ව්‍යාප්තව පවතින්නේ තෙත් කලාපයේ සීමා සහිත ප්‍රදේශ කිහිපයක පමණි.කළුතර,රත්නපුර,කෑගල්ල සහ ගාල්ල දිස්තික්ක වලට පමණක් සීමාවුනු වනාන්තරවල විශේෂයෙන් දොලපහරවල් අසබඩ සෙවන සහිත ඉහත සඳහන්කළ ගස් කඳන් හෝ අතු මත තරමක ව්‍යාප්තියක් දක්වයි.වැඩුනු ශාකයක දිග දළවශයෙන් අඩි දෙකක් තුනක් තරම්වෙයි.දිගටි කඳන් පහළට එල්ලි හටගන්නා අතර සිහින් මුල් විශාල ගනනකින් ආධාරක ශාකය වෙලා සිටී.ශාක කඳේ අඟලක් හෝ අඟල් එකහමාරක තරම් පුරුක් දෙපස පත්‍ර පිහිටයි.බොහෝ විට පැරණි කඳන් තද දම් පැහැයට හුරු දුඹුරු පැහැයක් ගන්නා අතර තරමක zig zag හැඩයෙන් යුතු වෙයි.පැරණි කඳන් පත්‍ර හැලීමෙන් පසු ආහාර සහ ජලය ගබඩා කර තබන ව්‍යාජ බල්බ ලෙස ක්‍රියාකරයි.පත්‍ර තද කොළ පැහැති අඟල් 2 හො 2.5ක් තරම් දිගින් යුතුය.ශාකය බොහොදුරට පොසොන් මල් හෙවත් කපුටු වෙසක්මල් Dendrobium macrostachyum ශාකයට සමානවෙයි.මල් සමය වනවිට පත්‍ර හැලීයන නිසා මල් නොමැති සමයේ ශාකය සොයා ගැනීම ඉතා දුශ්කරවෙයි.මල් හටගන්නේ මෙවැනි හැලීගිය පත්‍ර සහිත කඳන්වල හෝ වර්ධනය අවසන් වීඇති පැරණි කඳන් වලය. බොහෝ දෙනා වෙසක් මල් යනුවෙන් පටලවා ගන්නා මෙරට නොවන ගෙවතු උඩ්වැඩියා කිහිපයක් වෙයි.
Dendrobium anosmum Dendrobium aphyllum
Dendrobium moschatum යන උඩවැඩියා කීපය බොහෝ දෙනා වෙසක් මල් යනුවෙන් වරදවා අර්ථදක්වන අවස්ථා ඇතැම්විට දැක ඇත.මීට හේතුව මෙම උඩවැඩියාවන් හි පුෂ්පද වෙසක් සමයේ හටගන්නා බැවිනි.මෙම උඩවැඩියා කිහිපය බොහෝ ගෙවතු ආශ්‍රිතවද ගම්මාන ආශ්‍රිතවද දැකගත හැකි නිසා නූතනයේ සමහර ගැමියන් පවා වෙසක් මල් යනුවෙන් පටලවා ගෙන සිටින්නේ මෙම වර්ග කීපයයි.වෙසක් ශාකයේ පැවැත්මට එක් අතකින් මෙය හිතකර තත්වයකි.එහෙත් කැලයෙන් ගෙනා නියම වෙසක් පැල ගම්මාන ආශ්‍රිත ගෙවතුවලද බොහෝ අවස්ථාවල මා දැක ඇත.වෙසක් මල් හෝ වෙනත් ආරක්ශිත ශාකයක් ලඟ තබාගැනීම නීතියෙන් තහනම් නැතත් වෙසක් වැනි දුර්ලබ ඒකදේශීය ශාකයක් පිළිබඳව මෙය එතරම් හිතකර තත්වයක් නොවේ.ඒ මන්ද යත් වනාන්තරයේ පරිසර තත්වය ගෙවත්තකදී ලබා දීමට අපොහොසත් කමින් බොහෝ විට ශාකය කුණු වී හෝ වියලී යාමයි.වෙසක් ශාකය සැමවිටම සෙවන සහ ආර්ද්‍රතාවය ප්‍රියකරයි.එහෙයින් ස්ව්භාවික පරිසරයෙන් පිටත වගා කිරීම ඉතා දුශ්කර වෙයි.මෙසේ ස්වාභාවික පරිසරයෙන් ඉවත් කොට ගෙන එන වෙසක් ශාක විනාශයට පත්වීමෙන් මෙහි ගහනය තතවත් අඩුවෙයි.සාමන්‍යයෙන් වෙසක් ශාකය පඳුරක් ලෙස සකස්වීමට අවුරුදු ගනනාවක් ගතවෙයි.බීජ මගින් ව්‍යාප්තියට වඩා පඳුරෙන් හෝ ඇතැම්විට පැරණි කඳන් අගින් මොරෙයියන් ලෙස පැල වර්ධනය සිදුවෙයි.
වෙසක් ශාකය විනාශවීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ දිනෙන් දින සිදුවන වන විනාශයයි.තෙත් කලාපීය වනාන්තර බොහොමයක් එළිපෙහෙලි වීම සහ අධික දිලීර නාශක භාවිතය නිසා මීට සහජීවී දිලීර වඳ වීමද,පරාග කෙරෙන කෘමි සතුන්ගේ වඳ වීමද මෙහි ව්‍යාප්තියට දැඩි තර්ජනයක් වී ඇත.සෙවන සහ ආර්ද්‍ර තාවය ප්‍රියකරන සංවේදී ශාකයක් නිසා දිනෙන් දින සිදුවන උශ්ණත්වය ඉහල යෑමද,වැඩෙන ආධාරක ශාක කපා දැමීම හෝ ආධාරක ශාකයේ ඉහළ අතු කපාදැමීම හා ඒ අවට ඇති ගස් කපාදැමීමෙන් දැඩි සූර්‍යාලෝකයට නිරාවරණය වීම නිසා ආර්ද්‍රතාවය අඩු තත්වයකදී ඉක්මනින් වියලීයයි.කලකට පෙර ස්වාභාවික පරිසරයෙන් මෙම ශාක ගලවා ප්‍රධාන මාර්ග අසල අලෙවි කිරීම සිදුකොට තිබේ.1980 දශකයේ මුල් වකවානුව තුල පැවති මෙම ක්‍රියාවද වෙසක් ශාකයේ ගහණය අඩු වීමට විශාල් හේතුවක් විය.
1937 අනුමතවූ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක අඥාපනත යටතේ ආරක්ෂිත ශාක විශේෂ අතර වෙසක් ශාකයද තිබීම විශේෂත්වයකි.මෙයින් පැහැදිළිවන්නේ යටත්විජිත පාලකයින් පවා මෙය ආරක්ෂා කලයුතු ශාකයක් ලෙස දැක තිබීමයි.2009 අංක 22 දරණ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක අඥාපනතේ නව සංශෝධනයේ 42වන වගන්තියට අනුව වෙසක් ශාකය ඇතුළු ශ්‍රීලංකාවේ හමුවන සියළු ආවේණික හා ආවේණික නොවන ස්වදේශීය උඩවැඩියා විශේෂ ආරක්ෂිත ශාක ලෙස නම්කොට ඇත.මේ අනුව වෙසක්මල් ශාකය විනාශකිරීම,එයට හානි කිරීම,විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන් තහනම් වෙයි.මේ හැර වෙසක්මල් ශාකවැඩෙන ආධාරක ගසක් ආරක්ෂිත විශේෂයක් නොවුනද,වෙසක්මල් ශාකයට ආධාරකත්වය සපයනතාක් එයද ආරක්ෂිත ශාකයක් වෙයි.මෙය ඉතා වැදගත් කරුණක් වන්නේ වෙසක් ශාකය වැඩීමට අවශ්‍ය සහාය සපයන ආධාරක ශාක සීමාසහිතවීමත්,ආධාරක ශාකයේ සහාය නොමැතිව වෙසක් ශාකයට පැවතිය නොහැකි නිසාත්ය.
වෙසක් මල මේවනවිට මුද්දර දෙකක් වශයෙන්ද පළකොට ඇත.ඒ ප්‍රථමවරට 1960 දී ශත පනහක වටිනාකමින් සහ,දෙවනවරට 1995 වසරේ ශ්‍රීලංකා උඩවැඩියා කවයේ ශත සංවත්සරය වෙනුවෙන් නිකුත්කළ රුපියලක වටිනාකමින් යුතු මුද්දරයද වශයෙන් වේ.මීට අමතරව 1979 වසරේ නිකුත්කළ මෙරට ශාක හා සතුන් නිරූපණය වූ මුදල් නෝට්ටු මාලාවේ රුපියල් පනහක වටිනාකමින් යුතු නෝට්ටුවේද වෙසක් මල නිරූපණය වෙයි.පසුව දේශීය උඩවැඩියා සංරක්ෂණය සඳහා ක්‍රියාත්මකවන ආයතන හා පුගලයින් හට අනුග්‍රහයක් ලෙස 'ජෛව විවිධත්ව හා පර්යේෂණ අධ්‍යාපන ම්ධ්‍යස්ථානය'මගින් නිකුත්කල පෝස්ටරයේ ද වෙසක් මල රැකගැනීම පිළිබඳ වැඩිවිස්තරයක් අඩංගු වී ඇති අතර පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ඒකකය මගින් සිදුකෙරුණු පළාත් පුෂ්පයන් නම් කිරීමේදී සබරගමුව පළාතට නියමිත පුෂ්පය වශයෙන් වෙසක් මල නම්කොට ඇත.2005 වර්ෂය සඳහා ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය මගින් ශ්‍රීලංකාවේ ආවේණික උඩවැඩියා යනුවෙන් නිකුත් කළ කැලැන්ඩරයෙහිද වෙසක් මල් නිරූපණය කොට ඇත.
2009 යුධ ජයග්‍රහණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව රණවිරු මලක් නම් කිරීමේ අවශ්‍යතාවයක් මත ඒ වෙනුවෙන් විවිධ මල් යෝජනාවී තිබින.යෝජනා වූ සියළු මල් සුදු පැහැ වූ අතර,මේ අදහස උද්‍යානභාර අධ්‍යක්ෂකව සිටි ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා හට දැන්වූ පසු එතුමා,වටිනාකමක් දිය යුතු දුර්ලභ මලක් නිසාත්,මැයි මාසය නිසාත් වෙසක් මල ඒසඳහා සුදුසු යැයි යෝජනා කොට තිබිනි.පසුව ජනපතිවරයාහට වෙසක් මල දැකගැනීමේ අවශ්‍යතාව මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහායෙන් 2009 මැයි 25 වනදින මල් විසි තිස්ගනනක ප්‍රමාණයක් සොයා ජනපතිවරයා වෙත ඉදිරිපත් කොට පෙන්වා එම මල් සියල්ල ශ්‍රීමාබෝධිය වෙත ජනපතිවරයා අතින් පූජාකොට ඇත.නමුත් එම වැඩපිළිවෙල එතකින් නිමා වී ඇතිඅතර ඊට අනුමැතියක් හෝ ඒ සම්බන්ධව කිසිදු පුවතක් ඉන් පසු අසන්නට නොලැබින.
වඳ වීමේ තර්ජනයට මුහුණදෙමින් තවතවත් දුර්ලභ වීමේ අවධානමට ලක්ව ඇති වෙසක් ශාකය රැකගැනීම වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් මේ වෙනතෙක් ක්‍රියාත්මකවී නොතිබීම කණගාටුදායකය.මෙය ශ්‍රීලංකාවෙන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාකයක් වශයෙන් 2007 වසරේ ප්‍රකාශිත රතු දත්ත ලේඛනයෙහිද ඇතුලත් කොට තිබේ.එහි වර්ධනයේ සහ ව්‍යාප්තියේ කිසිදු ප්‍රගතියක් නොදක්වන හෙයින් 2012 ප්‍රකාශිත රතු දත්ත ලේඛනයෙහිද වෙසක් ශාකය දක්වා තිබේ.මෙතෙක් වෙසක් ශාකය රැකගැනීම පිළිබඳ කිසිදු ජාතික වැඩපිළිවෙලක් හෝ එවැන්නක් සාකච්ඡා කොට හෝ නොමැති අතර පුද්ගලිකව උත්සාහ ගත් කිහිප දෙනෙකු දැනුවත්ව සිටියද එය කෙසේ ,කුමන අරමුණුමත ක්‍රියාත්මක වුනිද යන්න අනාවරණය නොවුනි.දැනට පහතරට ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී තිබෙන වෙසක් ශාකය හමුවන වනාන්තර ගහනය විවිධ අවශ්‍යතාවයන් මත දිනෙන් දින අඩුවෙමින් පවතින අතර මීට වසර කිහිපයකට ඉහත වෙසක් ශාක තරමක් බහුලව දුටු තැන්වලද අදවනවිට බොහෝ දුර්ලභ තත්වයක පවතී.එමෙන්ම ඒ ස්ථානවලින් සිදුවූ ව්‍යාප්තියද අන් උඩවැඩියා ව්‍යාප්තිය සමග සසඳනවිට ඉතාම දුර්වල තත්වයක පවතින බව අපහට අනාවරණය වූ සත්‍යයකි.එබැවින් මෙම දුර්ලභ උඩවැඩියාව රැකගනීම පිණිස බලධාරීන්ගේ නිසි අවධානය කඩිනමින් යොමුවිය යුතු අතර එසේ නොවුවහොත් වෙසක් මල මිහිතලයෙන්ම සමුගන්නා දවස දිනෙන් දින ලංවනු ඇත..
ගයාන් ප්‍රසංග පීරිස්.
විශේෂ ස්තූතිය පරිසරවේදී,නීතිඥ ජගත් ගුණවර්ධන මහතාට සහ ආචාර්ය සිරිල් විජේසුන්දර මතාට.
0 comments:
Post a Comment