728x90 AdSpace

Latest News
Friday 17 July 2015

විවාහයට බලපාන ග්‍රහ ගැටලු බුදු දහමින් මගහරවා ගන්නේ මෙහෙමයි‍

අද සමාජයේ විවාහ වී ඇති බොහෝ දෙනාගේ ජීවිත සාමකාමී බවින් අඩු වී ඇත. බොහෝ විට අඹු-සැමි දෙදෙනා අතර වාද විවාද,  අඬ දබර නිරන්තරයෙන්ම ඇති බව පෙනේ. අනෙකාගේ මතයට ගරු නොකරන සැමියා හෝ බිරිඳ සුළු කරුණක් මත අඬදබර ඇතිකර ගනී. සැමියාගේ හෝ බිරිඳගේ ආත්ම ගෞරවයට හානි වන අයුරින් මුහුණට කඩා පනින පිරිමින් මෙන්ම ස්ත්‍රීන්ද අද සමාජයේ අඩු නැත. කෙනකු විවාහ වන්නේ සතුටින් ජීවත් වීමටය. අසතුටින්, කඳුළෙන් ජීවත් වීමට නම් විවාහ වන්නේ කුමටද? සතුටින් ජීවත් වීමට ඇති වන බාධා හඳුනාගෙන ඒවායින් මිදී යහපත් ජීවිතයක් ගත කරන්නේ කෙසේදැයි බලමු.
පළමුවෙන්ම මේ සඳහා වැදගත් වනුයේ විවාහ ගැළපීම හරියට කිරීමයි. ගැළපීම සලකා බලන විට ඒ සඳහා කරුණු රාශියක් ඇත. මේ සියලුම කරුණු සොයා හොඳ අයකු හා විවාහ වීමට සිටියොත් විවාහයට ඇති අවස්ථාව ඉඩකඩ බොහෝ අඩුය.
ඒ නිසා වැදගත් ප්‍රධාන කරුණු කීපයක් මෙහිදී සලකා බැ‍ලේ. පළමුවෙන්ම හඳහනේ හත්වන කොටුවේ ගැළපීම අත්‍යවශ්‍ය වේ. ඒ විවාහය හා සම්බන්ධ ලිංගික කරුණු ගැන කියවෙන්නේ හත්වන කොටුවෙන් නිසාය. ලග්නයත් ගැළපේදැයි බැලිය යුතු වුවත් හත්වන කොටුව ගැළපෙන විට ලග්නය නොගැළපෙන අවස්ථා බොහෝය. ලග්නය ගැළපෙන විට හත්වන කොටුව නොගැළපෙන අවස්ථා බොහෝය. නොගැළපෙන විවාහ සිදුවීම විවාහ ගැටලු මතුවීමට ප්‍රධානතම හේතුවයි. ප්‍රශ්න ඇතිවීමට කලින් ප්‍රශ්න ඇතිවීම වළක්වා ගැනීම සෑම අතින්ම යහපත් වේ. මේ සඳහා උගත් ‍ජ්‍යොතිෂවේදියකුගෙන් විවාහ ගැළපීම සිදු කර ගෙන විවාහ වන්න. එවිට ගැටලු අවම වේ.
කුජ-ශනි යෝගය විවාහයට නරක විදියට බලපාන ප්‍රධාන යෝගයකි. විශේෂයෙන් නරක විදියට පිහිටා ඇති කුජ-ශනි යෝගය, එනම් එම ග්‍රහයන් දෙදෙනා දුර්වලව පිහිටා තිබිම ඉතා නරකය. විවාහය කඩාකප්පල් කරගත් කුජ-ශනි යෝගය ඇති බොහෝ දෙනා මට මෙන්ම වෙනත් ‍ජ්‍යොතිෂවේදීන්ටද හමුවී ඇත.
තම වරදින්ම සිදුකර ගන්නා මෙම විවාහ කඩාකප්පල් වීමේ වරද අනෙකා පිට පැටවීම සිරිතය. කුජ-ශනි යෝගය ඇති අය තද නීතිකාරයන්ය. පිළිවෙළට වැඩ කරන අයය. අනෙක් අය පිළිවෙළ කඩන විට එය නොඉවසයි. සැමියා හෝ බිරිඳ තම නීතිවලට යටත් කර තබා ගැනීමට ආශා කරයි. පිළිවෙළට වැඩ කිරීම හොඳ වුවත් සැමියාට හෝ බිරිඳට තද නීති පැනවීම සාමයට බාධාවකි.
මෙම තත්ත්වය තේරුම් ගත් පසු එම ගතිවලින් මිදී සිටීමට බුද්ධිමත් කෙනකුට හැකිවනු ඇත. බුද්ධිමත්ව කටයුතු කිරීමට මෙම යෝගය ඇති කෙනකුට අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුය. නම්‍යශීලී බවද තිබිය යුතුමය. අනෙකා පාගා ගෙන සිටීමට උත්සාහ නොගත යුතුය.
උදාහරණයක් වශයෙන් තම ‍පොත් මේසයෙන් ‍පොතක් ගෙන කියවා එය තිබුණු තැන නොතබා වෙනත් තැනක තැබුවොත් එයට තරහා ගෙන අනෙකාට බැණ වැදුණොත් එතැන සාමය නැතිවී යයි. මේ අයුරින් සුළු සුළු කරුණු මත ප්‍රශ්න ඇති කරගෙන විවාහ ජීවිතය අතරතුර “මහ ගෙදරට” යන ස්ත්‍රීහු බොහෝ සිටිති.
ප්‍රශ්න ඇතිකර ගෙන බිරිඳගෙන් ඈත්වන පිරිමිද සිටිති. බිරිඳට හෝ සැමියාට තද නීති නොදැමීමටත්, සුහද ලීලාවෙන්, ආදරයෙන් සිටීමටත්                 පෙළඹුණොත් සාමකාමී ජීවිතයක් ගත කළ හැකි වේ. කෙසේ වෙතත් කුජ-ශනි යෝගය ඇති අයකු විවාහ විය යුත්තේ කුජ-ශනි යෝගය ඇති අයකු සමගමය.
විවාහයේදී සැලකිය යුතු තවත් එක් යෝගයක් වන්නේ කුජ-සිකුරු යෝගයයි. මෙම යෝගය හොඳට හා නරකට පිහිටන අවස්ථා ඇත. මෙම යෝගය අති ධාවන කාම යෝගයක් ලෙස හැඳින්වේ. අඹු-සැමි දෙදෙනාගේම හඳහන්වල හොඳට යෙදුණු කුජ-සිකුරු යෝගය තිබේ නම් හොඳය. එහෙත් එක් අයකුට පමණක් මෙම යෝගය යෙදී තිබිම විවාහයට අහිතකර තත්ත්වයකි. ගැටුම් ඇතිවීමට හේතු වේ. මෙවැනි අවස්ථා ඇති නොවීමට හඳහන් බලා විවාහ වීම මැනැවි. කෙසේ හෝ එක් අයකුට පමණක් මෙම යෝගය පිහිටා ඇති අවස්ථාවක් වුණොත් දෙදෙනාම ඉවසීමෙන් හා සංයමයෙන් කටයුතු කළ යුතුය. මේ අවස්ථාව තේරුම් ගෙන, එකිනෙකාගේ අදහස්, සිතුම් පැතුම් හා ආශාවන් තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් වේ.
රාහු දුර්වලව හතේ සිටිම විවාහයට හොඳ මදිය. දෙදෙනා අතර ගැටුම් ඇතිවේ. එපමණක් නොව තාවකාලිකව හෝ වෙන්වීම් ඇති වේ. විශේෂයෙන් මෙම පිහිටීම නිසා විකෘති කාමාශාවන්ගෙන් පෙළීමට ඉඩ ඇත. සහකරුගෙන් හෝ සහකාරියගෙන් නොවිමසා කටයුතු කිරීමට පෙළඹේ. හතේ රාහු සිටින කෙනෙකුට හතේ රාහු සිටින අයකුම ගැළපිය යුතුය.
හතේ රවි හෝ කුජ සිටින අයද ගැළපෙතැයි සමහරු කීවත් මම එය අනමත නොකරමි. ඒ හතේ රාහු විවාහය අවුල් කරන බැවිනි. හතේ රාහු සිටින අය ඉවසීම, නම්‍යශීලී බව, සැමියා හෝ බිරිඳ සමග ගුප්තව නොසිටීම වැනි ගුණාංග පුහුණු කර ගත යුතුය. දෙදෙනාගේම හඳහන්වල හතේ රාහු සිටීම ගැටුම් අඩු වීමට හේතු වේ.
සිකුරු දුර්වල වීම විවාහයට හොඳ නැත. කන්‍යා රාශියේ සිටින සිකුරු නීච හෙවත් බලයේ අඩුම තත්ත්වයට පත්වේ. මෙවැනි අයගේ විවාහයට ඇති ආශාව අඩුය. නොගැළපෙන විවාහයක් ඇති කර ගත හොත් ජීවිතයම අඳුරු වීමට මෙය හේතු වේ. මට ලැබුණු එක්තරා අත්දැකීමක් මෙහිදී සඳහන් කරමි.
වෛද්‍ය විද්‍යාලයෙන් පිටවුණු හැටියේ විවාහ වීමට සූදානම්ව සිටි තරුණයෙක් හා තරුණියක් ඔවුන්ගේ හඳහන් බලා ගැනීමට මා ළඟට පැමිණියහ. බැලූ බැල්මට මේ දෙදෙනා හොඳට ගැළපේ යැයි කෙනකුට සිතීමට ඉඩ ඇත. තරුණියගේ හඳහනේ සිකුරු උච්චය. තරුණයාගේ හඳහනේ සිකුරු නීචය. සිකුරුගේ අන්ත දෙකෙහි දෙදෙනා සිටියහ. දෙදෙනා වෙන්විය නොහැකි පරිදි බැඳී ඇත. මම ඔවුන්ට ඉවසීම, ආගමික පරිසරයක ජීවත් වීම හා එකිනෙකාගේ මතවලට ගරු කිරීම ආදී කරුණු රාශියක් කරුණාවෙන් කියා දුනිමි. වෙනත් කළ යුතු දෙයක් නොවීය.
කේන්ද්‍රයේ විවාහය ගැන කියවෙන හත්වැන්නේ නීච ග්‍රහයකු සිටීම හෝ හත්වැන්නාධිපතියා නීච වීම විවාහය අවුල් වීමට හේතුයි. තවද ගුරුට නොපෙනී කේන්ද්‍රයේ 1, 2, 4, 8, 12 යන ස්ථානවල කුජ සිටීම භෞම දෝෂ නමින් විවාහයේ කඩතොළු ඇති කිරීමට හේතුයි. ශනි සමග සිකුරු සිටීම, ශනිට සිකුරු පෙනීම හෝ සිකුරුට යාව ශනි සිටීම විවාහය කල් යාමට හා සිකුරුගේ බලය අඩු වී විවාහයේ දෝෂ ඇතිවීමට හේතුයි. දුර්වල ග්‍රහයින් හතේ සිටීමෙන් අසුබ ඵල උදා කරයි. විශේෂයෙන් පාපී ග්‍රහයන් දුර්වලව හතේ සිටීම හොඳ නැත. මෙහි සඳහන් නොවූ විවාහයට බලපාන තවත් ග්‍රහ බලපෑම් බොහෝ ඇතත් ඒවා මෙහිදී සාකච්ඡා නොකෙරේ. කෙසේ වෙතත් ඒ සියලුම ගැටලුවලට විසඳුම පහත සඳහන් වන කරුණුමය. විවාහයේ ගැටලු ඇති කෙරෙන මෙම සියලුම ග්‍රහ අපල අඩු කර ගැනීමට දාන, සීල, භාවනා අනුගමනය කරමින් ආගමික පරිසරයක ජීවත් වීම ඉතා හොඳය. පන්සිල් රැකීම ඉතා හොඳය. සෑම පුණ්‍යකර්මයක් අවසානයේම පෙර ආත්මයකදී හෝ සිදුවුණු අකුසල කර්ම නිසා ඇතිවුණු මෙම තත්ත්වයන් අඩු වීමට මෙම කුසල කර්මය හේතු වේවායි ප්‍රාර්ථනා කරන්න. සමාජයේ බොහෝ දෙනා පුරුදු වී ඇත්තේ මෙම සියලුම අපල දෙවියන් ලවා ඉවත් කරවා ගැනීමටය. එය කිසිදා සිදු නොවන දෙයකි. ඕනෑම අසුබ තත්ත්වයක්, අපල උපද්‍රවයක් ඇති වීමට හේතුව පෙර භවයන්හිදී කරන ලද අකුසලයන්ය. මෙය තේරුම් ගෙන කුසලයෙහි යෙදීම එම අපල උපද්‍රව අඩු වීමටත්, ඉදිරියේදී සුබවාදී ප්‍රතිඵල ඇතිවීමටත් හේතු වේ.............ජ්‍යොතිෂවේදී,  එඩී කරුණාතිලක
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: විවාහයට බලපාන ග්‍රහ ගැටලු බුදු දහමින් මගහරවා ගන්නේ මෙහෙමයි‍ Rating: 5 Reviewed By: Unknown