728x90 AdSpace

Latest News
Tuesday, 21 July 2015

ඓතිහාසික සෝමාවතී පුද බිම




පොළොන්නරුවේ සිට කිලෝ මීටර් 40 ක්‌ පමණ ඊසාන දෙසින් පිහිටි සෝමාවතී දාගැබ සැදැහැවත් බොදු නුවන්ගේ ජනප්‍රිය වන්දනීය පුද බිමකි. මෙම දාගැබ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එය කාවන්තිස්‌ස රජතුමාගේ සහෝදරිය වූ සෝමා දෙවියගේ නමින් ඇගේ වල්ලභයා වූ ගිරිඅභය කුමාරයා විසින් බුදුන් වහන්සේගේ දකුණු දළදාව නිධන් කර ගොඩනගන ලදැයි පැරණි සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වීම නිසාය. එහෙත් මෙම සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විමසන විට පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ඇති වර්තමාන සෝමාවතී දාගැබ ගිරිඅභය කුමාරයා විසින් ඉදිකළ සෝමාවතී දාගැබ ලෙස කිසිසේත් සැලකිය නොහැකිය. මෙම කරුණ දැන දැනත් ඇතැම් පාර්ශ්ව දීර්ඝ කාලයක සිට එය සිතා මතා සැඟවීමේ උත්සාහයක යෙදී සිටි. පැරණි පොත්පත්වල සඳහන් ඓතිහාසික සෝමාවතී දාගැබ කොහි පිහිටියේද පොළොන්නරුවේ ඇති සෝමාවතී දාගැබ යනු පෙර කුමන පුද බිමක්‌ ද යන කරුණු ඓතිහාසික මූලාශ්‍ර ඇසුරෙන් සොයා බැලීම මෙම ලිපියේ අරමුණයි.
පුරාතන සෝමාවතී දාගැබ ඉදිකිරීම් පිළිබඳ විස්‌තර සපයන සාහිත්‍ය මූලාශ්‍ර තුනක්‌ ඇත. 13 වැනි සියවසේ දී පමණ රචනා කරන ලදැයි සලකනු ලබන පාලි භාෂාමය ලලාඨධාතුවංශය ඉන් පළමු වැන්නයි. බුදුන් වහන්සේගේ ලලාඨධාතුව පිළිබඳ ඉතිහාස කථාව ගෙනහැර දැක්‌වීම මෙහි මූලික තේමාව වුව ද එය ලලාඨධාතුවේ ඉතිහාසයට පමණක්‌ සීමා වී නැත. දෙවැනි මූලාශ්‍රය නම් පෙර සඳහන් ලලාඨධාතුවංශය සඳහා සිංහල භාෂාවෙන් සම්පාදනය කර ඇති ධාතුවංශය නමැති කෘතියයි. එය 14 වැනි සියවසේදී පමණ කරන ලද්දකැයි සැලකේ. තුන්වැන්න රතනපඤ්ඤ නම් තායිලන්තයේ විසූ සිංහල ගණයේ හිමි නමක්‌ විසින් බුද්ධ වර්ෂ 2060(ක්‍රි.ව. 1516) දී පමණ පාලි භාෂාවෙන් ලියන ලද ජීනකාලමාලනී නම් ශාසන ඉතිහාස ග්‍රන්ථයයි. මෙය තායි - ලංකා දෙරටේ සංක්‍ෂිප්ත ශාසන ඉතිහාසයක්‌ වන අතර ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය දීපවංශය හා මහාවංශය ඇසුරෙන්ද ලලාඨධාතුව පිළිබඳ විස්‌තර කථාව ලලාඨධාතුවංශය ඇසුරෙන් ද සංග්‍රහ කර ඇති බැව් පෙනේ. එබැවින් එය අපගේ විමසුමට අදාළ කරුණ පිළිබඳ එතරම් වැදගත් මූලාශ්‍රයක්‌ ලෙස මෙහිදී නොසැලකේ.
ඉහත සඳහන් සාහිත්‍ය මූල්‍යශ්‍රයන්ට අමතරව පොළොන්නරුවේ සෝමාවතී පුද බිම සමීපයෙන් සොයා ගෙන ඇති මහඨික මහානාග (ක්‍රි.ව. 9-21) පළමු වැනි ගජබාහු (ක්‍රි.ව. 112-134) සහ කණිට්‌ඨතිස්‌ස (ක්‍රි.ව. 164-192) යන රජවරුන් විසින් පිහිටු වන ලද සෙල්ලිපි ද මෙහිදී අපගේ විශේෂ අවධානයට යොමු වේ.
ලලාඨධාතුව සම්බන්ධයෙන් ධාතුවංශයෙහි දීර්ඝ ලෙස විස්‌තර වන්නේ මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් විල කෙළවර වරාහ සොන්ඩ නම් ගල් කෙමිය අසල කාවන්තිස්‌ස රජතුමා විසින් බුදුන් වහන්සේ ගේ ලලාඨධාතුව නිධන් කර තිස්‌ මහ වෙහෙර ඉදිකිරීමේ ඓතිහාසික වෘත්තාන්තය ඉදිරිපත් කිරීමය. එසේ වුවද එකී සේරුවිල කෙළවර සෝම නම් නුවරක්‌ ඉදිකොට එහි බුදුන් වහන්සේගේ දකුණු දළදාව නිධන් කර සෝමාවතී විහාරය ඉදි කිරීමේ කථා පුවත ද ධාතුවංශයේ සඳහන් වේ.
ධාතුවංශය මූලික වශයෙන් ආගමික කෘතියකි. එහෙත් රුහුණේ කාවන්තිස්‌ස රාජ්‍ය සමය පිළිබඳ මහාවංසය ආදී වෙනත් සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් නොවන වැදගත් ඓතිහාසික තොරතුරු එහි ඇතුළත් වී ඇත. දුටුගැමුණු රජතුමාට ද්‍රවිඩයන් පරදවා ශ්‍රී ලංකාව එක්‌සත් කිරීමේ යුද ජයග්‍රහණ පහසු වූයේ කාවන්තිස්‌ස රජු විසින් සමස්‌ත රුහුණු ප්‍රදේශයම මාගම රාජධානිය යටතේ එක්‌සත්කර තිබුණු නිසාය. කාවන්තිස්‌ස විසින් එසේ රුහුණු රාජ්‍යය එක්‌සත් කිරීම පිළිබඳ ධාතුවංසයේ සඳහන් කරුණු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් සවිස්‌තරව සිත්ගන්නා ලෙස පෙළගස්‌වා ඇත. (ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය, 1 කාණ්‌ය 1 භාගය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සිංහල පරිවර්තනය 1964 පිටු 142-148)
සෝමාවතී විහාරය ඉදිකිරීම පිළිබඳ ධාතුවංශයෙහි සඳහන් කථාපුවත සැකෙවින් විමසා බලමු. කැලණියේ සිව නම් රජතුමා සිය සහෝදර අභය කුමරයාට කාවන්තිස්‌ස රජුගේ සහෝදරිය වූ සෝමදේවිය අවාහ කර දී ගිරි නුවර වාසයට යෑවිය. ගිරි නුවර පාලකයා වූ නිසා ඔහු ගිරි අභය නම් විය. නොබෝ දිනකින් කාවන්තිස්‌ස රජු විසින් සිය දෙටු පුත් ගැමුණු කුමාරයා දාවා නම් ඇමැතිවරයකු සමග ගිරිඅභය සමග විසීමට ගිරි නුවරට යවනු ලැබීය. වැඩිකල් නොගොස්‌ එහිදී ගැමුණු කුමාරයා තම රජ පෙළපත් පිළිබඳව ගිරිඅභය කුමාරයා සමග වාදයකට එළැඹුණු බවත් මෙය ගැටුමක්‌ දක්‌වා දුරදිග යනබව වටහා ගත් ගිරිඅභය කුමාරයාට සිදුවූයේ ගැමුණු කුමරුට ගිරිනුවර විසීමට ඉඩ දී තම මෙහෙසිය වූ සෝමදේවිය ද සමග එනුවර හැර දා සේරුනුවර සිට තම මිතුරු සිව රජු වෙත යැමටය.
ගිරිනුවර හැරදා තමන් වෙත පැමිණියේ කුමක්‌ නිසාදැයි දිනක්‌ සිව රජ ගිරිඅභය ගෙන් විමසීය. එවිට ගිරිඅභය සිදුවූ සියලු තතු නොසඟවා තම මිතුරාට පැවැසීය. තොප කළේ යහපතකැයි පැවසූ සිව රජ ඔවුන්ට විසීම පිණිස සේරුවිල අසල සුදුසු තැනක්‌ සොයන්නේ විල කෙලවර එක්‌තරා මනරම් භූමි භාගයක්‌ දැක එහි නුවරක්‌ ඉදි කොට දී ඊට ගිරිඅභයගේ බිසවගේ නමින් සෝමනුවර යයි නම් තැබීය.
මෙසේ ගිරිඅභය සහ සෝමදේවිය සෝම නුවර වෙසෙන විට වන්දනා මාන කිරීම සඳහා විහාරයක්‌ සහ දාගැබක අවශ්‍යතාවය දැනුණු සෝමදේවිය ඒබව සිය සැමියාට සැලකර සිටියාය. එම යෝජනාව සතුටින් පිළිගත් ගිරිඅභය කුමාරයා ඒ සඳහා සුqදුසු ස්‌ථානයක්‌ පිරික්‌සමින් සිටින විට සෝම නුවරට නුදුරු නොළං සල් වනයක භික්‌ෂුන් සැට නමකට ප්‍රධානව භාවනා වඩමින් සිටි මිහිඳු නම් තෙර නමක්‌ දැක පැහැදී උන්වහන්සේ විචාරා ලද අනුමැතිය පරදි එම ස්‌ථානයෙහි පංචාවාසයකින් යුත් විහාරයක්‌ද දාගැබක්‌ ද තෙරුන් සැට නම සඳහා විහාර සැටක්‌ ද ඉදි කොට දාගැබෙහි බුදුන් වහන්සේගේ දකුණු දළදාව නිධන් කොට එකී විහාර සංකීර්ණය ඇතුළු දාගැබ සෝමදේවියගේ නමින් සෝමවතී විහාරය යනුවෙන් නම් කොට මිහිඳු හිමියන් ප්‍රධාන මහ සඟන වෙත අත පැන් වත්කොට පූජා කළේය.
ධාතුවංශයේ සඳහන් විස්‌තර අනුව සේරුනුවර ප්‍රථමයෙන් ඉදි කරන ලද්දේ සෝමවතී දාගැබ සහිත විහාර සංකීර්ණයයි. කාවන්තිස්‌ස රජතුමා තිස්‌ මහ වෙහෙර ඉදිකරන ලද්දේ ගිරිඅභය සමග සෝමනුවර හිඳිමින් බවත් සෝම නුවරත් තිස්‌ මහ වෙහෙරත් අතර තිබී ඇත්තේ කෙටි කාලයකින් පයින් ගමන් කළ හැකි දුරක්‌ බවත් එහි සඳහන් නොයෙක්‌ ප්‍රවෘත්තිවලින් පෙනී යයි. වෙහෙර කර්මාන්තය නිම කෙට එය සඟ සතු කිරීමේ පුෙණ්‍යාත්සවය මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. එකී පුෙණ්‍යාත්සවය යෙදී තිබුණේ වප් පුර පසළොස්‌වක දින අස්‌විද තැනකිනි. නියමිත දින සන්ධ්‍යා භාගයෙහි සෝම නුවරින් පිටත් වුණු ලෝණ නුවර මහානාග රජතුමා ගේ පෙරහැර ද සේරු නුවර සිව රජතුමාගේ පෙරහැරද සෝම නුවර ගිරිඅභය කුමාරයාගේ පෙරහැර ද පිරිවරා ගත් කාවන්තිස්‌ස රජතුමාගේ පෙරහැර එදින අඳුර වැටීමට පෙර තිස්‌මහ වෙහෙර සම්ප්‍රාප්ත වූ බව සඳහන් වීමෙන් ඔප්පු වන්නේ සෝමනුවර සහ තිස්‌ මහ වෙහෙර අතර එතරම් දුරක්‌ නොතිබුණු බවය.
ධාතුවංශයට අනුව සේරුවිල පිහිටා ඇත්තේ මහවැලි ගඟ දකුණු තෙර සමීපයෙහිය. නිශ්චිත පරිමාණයකට අඳින ලද ලංකා සිතියමක්‌ පරීක්‌ෂා කරන විට සේරුවිල සහ මහවැලි ගඟ අතර සෘජු දුර කි.මී. 15 ක්‌ පමණ වේ. රෝහණ දේශයෙහි උතුරු සීමාව මහවැලි ගඟ බව අප අමතක නොකරන්නේ නම් මහවැලි ගඟ දකුණු තෙර සමීපයෙහි යනුවෙන් දක්‌වා ඇත්තේ එය පිහිටි දිසාව නිශ්චිතව දැක්‌වීමටය. එනම් රෝහණ ප්‍රදේශයෙහි සේරුනුවර පිහිටා ඇත්තේ මහවැලි ගඟට නැගෙනහිරින් බව නිශ්චිතව දැක්‌වීමටය. කාවන්තිස්‌ස රජතුමා ඉදිකළ තිස්‌ මහ වෙහෙර මෙන්ම ගිරිඅභය කුමාරයා ඉදි කළ සෝමනුවර සෝමවතී චෛත්‍යයද සේරුවිලට සමීපව පිහිටා ඇති බැවින් එම පුදබිම් දෙකම පිහිටා තිබුණේ මහවැලි ගඟට නැගෙනහිරිනි. එහෙත් වර්තමාන සෝමවතී දාගැබ පිහිටා ඇත්තේ සෘජුව බලන විට සේරුවිලට කිලෝ මීටර් 35 ක්‌ පමණ ද මහවැලි ගඟට කිලෝ මීටරයක්‌ පමණ ද බටහිර දෙසින් රජ රටට අයත් ප්‍රදේශයෙහිය.
මෙම වෙනසට හේතු පැහැදිලි කරන පොළොන්නරුවේ සෝමාවතී විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසන්නේ කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදිය වෙනස්‌ වෙමින් ගලා බැසීම නිසා මෙය සිදුවී ඇති බවය. (පොළොන්නරුවේ බුදු රැස්‌ විහිදෙන සෝමාවතී චෛත්‍ය රාජයා දෙවැනි මුද්‍රණය බු.ව. 2546 පිටුව .6) එහෙත් ක්‍රිස්‌තු වර්ෂයෙන් දෙවන සියවස වන විටත් වර්තමාන සෝමවතී දාගැබ පිහිටා තිබුණේ මහවැලි ගඟට බටහිරින් බවට මෙම විහාරය අසල මින්විල ප්‍රදේශයෙන් හමුවූ කණිට්‌ඨ තිස්‌ස රජුට අයත් සෙල් ලිපියකින් පෙන්වා දිය හැකිය. එම රජු විසින් මෙම විහාරයෙහි නැවත පිහිටු වන ලද සංඝාරාමයක නඩත්තු කටයුතු සඳහා මහවැලි ගඟෙහි තොටුපළ තුනක්‌ පවරා දී ඇත. මින් එක තොටුපළක්‌ නම් අතර ගඟහි පිහිටි කෙහිගම තොටුපළයි. එම සෙල් ලිපියෙහි සඳහන් සුමනතගම තොටුපළ ද අතර ගඟෙහි පිහිටා තිබුණු බව සී.ඩබ්ලිව්. නිකලස්‌ සූරින් විසින් පෙන්වා දී ඇත. මෙහි අතර ගඟ යනු අන්තරාගංගා යන පාලි වචනය සිංහලට පෙරළා ගත් අයුරුය. අන්තරාගංගා යනුවෙන් පුරාණ කාලයේදී ව්‍යවහාර වී තිබුණේ මහවැලි ගඟ හා මාදුරු ඔය අතර ප්‍රදේශයට බව සෙනරත් පරණවිතාන සූරීන් විසින් සවිස්‌තරව පෙන්වා දී ඇත. සෝමවතී දාගැබ මහවැලි ගඟට නැගෙනහිරින් පිහිටා තිබුණේ නම් එය අන්තරා ගංගා ප්‍රදේශය තුළ පිහිටා තිබිය යුතු බැවින් අන්තරා ගංගා තොටුපළවල් ගැන සඳහන් කිරීමක්‌ අවශ්‍ය නොවීය. මක්‌ නිසාද කණිට්‌ඨ තිස්‌ස රජතුමාට අන්තරා ගංගා ප්‍රදේශය නොදන්නා ප්‍රදේශයක්‌ නොවන බැවිනි.
ධාතුවංශය සඳහන් කරන පරිදි ගිරිඅභය කුමරයා විසින් ඉදිකළ සෝමාවතී පුද බිම ද පිහිටා තිබුණේ සේරුවිල කෙළවරකය. එහෙත් වර්තමාන සෝමවතී දාගැබ පිහිටා ඇත්තේ අද මින්විල නමින් හැඳින්වෙන ප්‍රදේශය තුළය. මෙම මින්විල යන්න පුරාතනයෙහි ද හැඳින්වී ඇත්තේ භාවිතක වැව යනුවෙන් බවත් භාවිතක වැව පිහිටා ඇත්තේ රජ අලි පිටිය යන ගමේ බවත් මින්විල එරික්‌සෝන් පර්වතයෙහි කොටා ඇති මහාදාඨික මහානාග, පළමු වැනි ගජබාහු හා කණිට්‌ඨ තිස්‌ස යන රජවරුන්ට අයත් සෙල් ලිපිවලින් පැහැදිලි වේ. එබැවින් පොළොන්නරු දිස්‌ත්‍රික්‌කයේ මින්විල ප්‍රදේශයේ හවිතක වැව ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ සේරුවිල සමග කෙසේ ගැලපිය හැක්‌කේ දැයි බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. එබැවින් පාලි ලලාඨධාතුවංශය හා සිංහල ධාතුවංශය යන ප්‍රධාන මූලාශ්‍රවලට අනුව ගිරිඅභය කුමාරයා විසින් සේරුවිල සමීපයෙහි සෝමනුවර ඉදිකළ සෝමවතී පුද බිම කිසිම අන්දමකින් පොළොන්රුව දිස්‌ත්‍රික්‌කයේ පිහිටි වර්තමාන සෝමාවතී පුදබිම විය නොහැකි බව මෙතෙක්‌ ඉදිරි පත් කළ කරුණු අනුව පැහැදිලි විය යුතුය.
සෝමවතී පුද බිමෙහි පිහිටීම පිළිබඳ ඉහත විග්‍රහයෙන් මූලික ප්‍රශ්න දෙකක්‌ පැන නගී. ගිරිඅභය රජතුමා බුqදුන් වහන්සේ ගේ දකුණු දළදාව නිධන් කරමින් ගොඩනැගූ ඉපැරණි සෝමවතී පුද බිම කොහි පිහිටියේද යන්න එක්‌ ප්‍රශ්නයකි. පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ඇති වර්තමාන සෝමවතී පුද බිම කුමක්‌ දැයි හඳුනා ගැනීම අනිත් ප්‍රශ්නයයි.
ධාතුංශය හා ලලාඨධාතුවංශය අනුව පුරාතන සෝමවතී විහාරය පිහිටා තිබිය යුත්තේ සේරුවිල අසල ප්‍රදේශයක වූව ද අද එහි ඇත්තේ තිස්‌ මහ අරම හෙවත් මංගල මහා ස්‌තූපය මිස පුරාතන සෝමවතී චෛත්‍යය නොවේ. ත්‍රිකුණාමලය- මඩකලපුව මාර්ගයේ සේරුවිල හෙවත් වර්තමාන අල්ලායි වැව අවට ප්‍රදේශය පුරා විසිරී ඇති පුරාණ බෞද්ධ විහාරාමවල නටඹුන් විශාල වශයෙන් දක්‌නට ලැබේ. එසේම අල්ලායි වැවෙහි උතුරු කෙළවර පිහිටි තෝප්පූර් ප්‍රදේශයේ අක්‌කර ගණනාවක විසිරී ඇති එවැනි නටඹුන් දක්‌නට ඇත. මේ ප්‍රදේශයෙහි වෙසෙන බහුතර ජනතාව දෙමළ බස කතාකරන මුස්‌ලිම් ජාතිකයෝ වෙති. දිගු කලක්‌ තිස්‌සේ ඇතිවූ උච්චාරණ විපර්යාසයන් නිසා සෝමපුර සෝම්පූර් වී තෝප්පූර් වූවාට නිසැකය. එබැවින් තෝප්පූර් ප්‍රදේශය කෙරෙහි විශේෂ අවධානයකින් යුතුව අල්ලායි වැවෙහි දකුණු බටහිර සහ වයඹ ප්‍රදේශයන්හි විධිමත් පුරාවිද්‍යා ගවේෂණයක්‌ කරන්නේ නම් සෝමාවතී පුද බිම ගැන නිශ්චිත හෝඩුවාවක්‌ ලබාගත හැකි වනු ඇත.
පොළොන්නරුවේ සෝමාවතී දාගැබ ලෙස අද සාවද්‍ය ලෙස හඳුන්වනු ලබන්නේ අතීතයෙහි කුමන පුද බිමක්‌ ද යන පැනයට පැහැදිලි පිළිතුරක්‌ මෙම පුද බිමෙහි සෑ මළුවෙන් ලැබී ඇති සහ එය පිහිටි මින්විල නමැති ප්‍රදේශයෙහි පිහිටා ඇති එරික්‌සෝන් නමින් හැඳින්වෙන ගල් පර්වතයෙහි කොටා ඇති සෙල්ලිපි වලින් ලැබේ. මහානාග හෙවත් මහාදාඨික මහානාග රජතුමා විසින් සෑ මළුවෙහි පිහිටුවනු ලැබූ සෙල් ලිපියකින් තම පුත් නකල කුමාරයා (අය නකල) විසින් ප්‍රාචීන නාගාරමය (පජිනි නක අරබ) කරවූ බවත් එම විහාරයේ කඩත්තුව සඳහා විහාරය ඉදිරිපිට ඇති රජළි නමැති කුඹුරෙන් කරිස හතක්‌ සඟ සතු කොට දෙන ලද බවත් ප්‍රකාශ කර ඇත. මින්විල පර්වතයේ කොටා ඇති එම රජුගේ තවත් ලිපියකින් ද තම පුත් නකල කුමාරයා විසින් ඉදිකරන ලද ප්‍රාචීන නාගාරාමයට රජ අඩි පිටි නම් ගම ප්‍රදානය කළ බව තවදුරටත් පවසති.
මහාදාඨීක මහානාග රජතුමාගේ රාජ්‍ය කාලය ක්‍රිස්‌තු වර්ෂ 9-21 අතර වේ. එබැවින් නූතන සෝමාවතී දාගැබ යනු මහානාග රජතුමාගේ රාජ්‍ය කාලයේදී ඔහුගේ පුත්‍රයකු විසින් පිහිටු වන ලද ප්‍රාචීන නාගාරාමය නම් විහාරය බව හඳුනා ගැනීමට අටුවා ටිකා අවශ්‍ය නැත.
එහෙත් පසු කලෙක එනම් පළමු වන ගජබාහු (ක්‍රි.ව. 112-134) සහ කණිට්‌ඨතිස්‌ස (ක්‍රි.ව. 164-192) යන රජවරුන්ගේ සෙල්ලිපි වලින් මෙම පුද බිම හැඳින් වී ඇත්තේ මණි අගිය විහාරය නමිනි. රජ අඩිය ගමෙහි ආදායම මණි අගිය විහාරයට ප්‍රදානය කළ බව එරික්‌සෝන් පර්වතයෙහි කොටා ඇති පළමුවන ගජබාහුගේ ලිපියක දැක්‌වේ. මෙම පර්වතයෙහි කණිට්‌ඨ තිස්‌ස රජතුමාගේ සෙල්ලිපි දෙකක්‌ දක්‌නට ලැබේ. මෙයින් එක්‌ ලිපියකින් දැක්‌වෙන්නේ අලිවිටියෙහි භවිතක වැව සමීපයෙහි සංඝාරාමය ප්‍රතිසංස්‌කරණය කර එය අභයගිරි නිකායික භික්‌ෂූන්ට පිදූ බවය. අනිත් ලිපිය තරමක දිග එකකි. එහි පිටපතක්‌ ස්‌ථාන නාමයත් පිළිබඳ සුළු වෙනස්‌කම් සහිතව පුවරු ලිපියක්‌ ලෙස දාගැබ සමීපයෙන් හමු වී ඇත. මේ ලිපි දෙකින්ම කියවෙන්නේ එකම පණිවිඩයකි. එනම් තිස්‌ස නමැති මහ රජ අලිවිටියෙහි හවිතක වැව සමීපයෙහි මණි අගිය රජ මහ විහාරයෙහි සංඝාරාමයක්‌ නැවත පිහිට වූ බවත් ආදායම සම්බන්ධයෙන් කලින් පනවන ලද නියෝග ක්‍රියාත්මක නොවීම නිසා විහාරයට ලැබිය යුතු ආදායම නොලැබී ඇති බවත් එබැවින් විහාරයට ලැබිය යුතු ආදායම ලබාගෙන එම මුදල දාගැබෙහි ද පොහෝය ගෙයෙහිද නඩත්තු කටයුතු සඳහා යොදා ගත යුතු බවත් නඩත්තු කටයුතු අවශ්‍ය නොවන අවස්‌ථාවන්හි එම ආදායම භික්‌ෂූන්ගේ දාන මාන සැපයීම සඳහා යෙදිය යුතු බවත් මෙකී නියෝග කඩකිරීමේ වරදට කහවනු පන්සීයක දඩයක්‌ ගෙවිය යුතු බවත්ය. තවද විහාරයෙහි නඩත්තු කටයුතු සඳහා මහවැලි ගඟෙහි තොටුපළවල් තුනක්‌ ද පවරා දී ඇති අතර විහාරය සතු ඉඩ කඩම්වල පදිංචිකරුවන් වැව් බැම්මේ කටයුතුවලින් මුදා හැර සංඝාරාමය බලා කියා ගැනීමේ කටයුතුවල යෙදිය යුතු යෑයිද එම ලිපියෙහි වැඩිදුරටත් නියෝග පනවා ඇත.
ඉහත සඳහන් සියලුම සෙල්ලිපි වලින් ප්‍රකාශ වන්නේ මෙම විහාර සංකීර්ණය පිහිටා තිබුණේ රජ ලී රජ අඩි පිටි, රජ අඩිය ගම, අලිවිටි, රජ අලිවිටිය, ආදී විවිධාකාරයෙන් සඳහන් වී ඇති එකම ප්‍රදේශය තුළය. මෙහි දී මතු වන වැදගත්ම ප්‍රශ්නය නම් මුලින් ප්‍රාචීන නාගාරාමය පසුව මණි අගිය රජ මහ වෙහෙර යනුවෙන් හැඳින් වූයේ කෙසේද යන්නයි. මණි අගිය යන වචනයෙහි තේරුම සොයන විට එය මණිඅක්‌ත යන්නෙන් තනා ගත් වචනයක්‌ යයි සිතීම අසාධාරණ නොවේ. මහා වංශයෙහි සඳහන් පරිදි මණි අක්‌ත යනු බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනේදී කැලණියේ විසූ නා රජුය. මුල දී ප්‍රාචීන නාගාරාමය යනුවෙන් ද පසු කලෙක මණි අගිය යනුවෙන් ද හැඳින් වූ මේ පුද බිමෙහි රාජකීය අනුග්‍රහකයන්ගේ නම් නාග යන්නෙන් කෙළවර වේ. මහාදාඨීක මහානාග සහ ඔහු පුත් නාග කුමාරයා (අය නකල) නිදසුන්ය. එසේම මෙම විහාරය ප්‍රතිසංස්‌කරණය කරවූ කණිට්‌ඨ තිස්‌ස රජතුමාගේ සියලුම සෙල් ලිපිවල තමා නක (මහල්ලක නාග) මහ රජුගේ පුතා යයි සඳහන්කර ඇත. මණිඅක්‌ත පුරාවෘත්තය අනුව යමින් මේ නාග වරුන් ප්‍රාචීන නාගාරාමය මණිඅක්‌ත රජ මහවෙහෙර යනුවෙන්ද ව්‍යවහාර කළ බව නිසැකය. නැතහොත් සිය වසක්‌ පමණ යනවිට කණිට්‌ඨ තිස්‌ස රජුගේ සෙල් ලිපියෙන් ගම්‍ය වන අයුරු. විහාරයට ලැබිය යුතු ආදායම නොලැබීමෙන්ද විහාරය බලා කියා ගැනීම අතපසු කිරීමෙන්ද මෙම විහාරය නොසලකා හැර ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබුණු අවධියක නැවත සම්පූර්ණයෙන් ප්‍රතිසංස්‌කරණය කිරීමේ දී ප්‍රාචීන නාගාරාමය යන නාමය අහෝසි වී මණි අගිය යන නම ව්‍යවහාර වූ බවද සිතීම අතාර්කික නොවේ.
ඇතැම් රජවරුන් වෙහෙර විහාර ප්‍රතිසංස්‌කරණය කොට වැඩි දියුණු කිරීමේදී එහි මුල් නම ඉවත් කර වෙනත් නම් තැබූ අවස්‌ථා බොහෝය. මේ සඳහා එක්‌ හොඳම නිදසුනක්‌ නම් කලින් එළාර සොහොන නමින් බොහෝ දෙනා සාවාද්‍ය ලෙස තේරුම්ගත් අනුරාධපුරයේ දක්‌ණ ස්‌තූපයයි. මෙය වළගම්බා රජතුමාගේ උත්තිය නම් අමාත්‍යවරයා විසින් ඉදිකරන ලදැයි මහාවංසයේ සඳහන් වේ. ආචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් විසින් මෙහි කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී ඔප්පු වූයේ මෙම දක්‌ණ විහාරය හෙවත් දකිණි වෙහෙර යනු පෙර තිබුණු දාගැබක්‌ පිළිසකර මගින් නැවත විශාල කොට ඉදිකරන ලද්දක්‌ බවයි. මෙහි මුලින් පැවති දාගැබ නම් දුටුගැමුණු මහ රජතුමා ආදාහන කළ තැන සද්ධාතිස්‌ස රජතුමා විසින් ඉදිකරන ලද තිස්‌ස මහ චේතියයි.
සතලිස්‌ එක්‌ වසරක්‌ තුළ තිස්‌ස මහ චේතිය දකිණි වෙහෙර හෙවත් දක්‌ණ ස්‌තූපය ලෙස ව්‍යවහාරයට පත්වූ සේ පසුකාලීන ප්‍රතිසංස්‌කරණයවලදී ප්‍රාචීන නාගාරාමයද මණි අගිය රජමහ වෙහෙර ලෙස ව්‍යවහාරයට පත්වූ බව සිතීම දුෂ්කර නොවේ.
මුල් යුගයේ තිබුණු සෝමාරාම නමින් හැඳින් වූ වෙනත් විහාර ගැනද මෙහිදී අවධානය යොමු කිරීම වැදගත්ය. මහා වංශයේ සඳහන් පරිදි වළගම්බා රජතුමා විසින් ඉදිකරන ලද් සෝමාරාමය ද හතර වැනි දප්පුල රජතුමාගේ වෙස්‌සගිරි පුවරු ලිපියේ සඳහන් මුලසෝම විහාරය ද පිහිටා තිබුණේ අනුරාධපුරයෙහිය. තවද මහාවංශයෙහි සඳහන් පරිදි කණිට්‌ඨ තිස්‌ස රජතුමා විසින් මනිසෝම විහාරයට ඉදිකළ පිරිවෙන ද පිහිටා තිබුණේ අනුරාධපුරෙයහි අභයගිරි ප්‍රදේශයේය.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ගවේෂණ අනුව අප්‍රකට පුරාණ පුද බිම් හඳුනා ගෙන ඇත්තේ ද සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් පුදබිම්වල අනන්‍යතාව තහවුරු කර ඇත්තේ ද එකී ස්‌ථාන වලින් හමුවී ඇති සෙල් ලිපි අනුසාරයෙනි. මේ අනුව පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පිහිටි සෝමාවතී නමින් තිබුණු පුද බිමක්‌ පිළිබඳව කිසිදු සාහිත්‍ය මූලාශ්‍රයක හෝ සෙල් ලිපියක සඳහන් නොවන බවත් පොළොන්නරු දිස්‌ත්‍රික්‌කයේ පිහිටි වර්තමාන සෝමාවතී පුදබිම යනු එම ස්‌ථානයෙන් ලැබී ඇති සෙල්ලිපි අනුව පසු කලෙක මණි අගිය රජ මහ වෙහෙර යනුවෙන් ප්‍රචලිත වූ මහාදාඨීක මහානාග රාජ්‍ය සමයේ දී ඔහුගේ පුත්‍ර නාග කුමාරයා (අය නකල) විසින් ක්‍රිස්‌තු වර්ෂ පළමු සියවසේ මුල් කාලයේදී ගොඩනගන ලද ප්‍රාචීන නාගාරාමය ලෙස නිගමනය කළ හැකි වේ.
පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ඇති වර්තමාන සෝමාවතී දාගැබ එම පුදබිමින් හමුවී ඇති සෙල්ලිපි අනුව පූර්ණ සෝමාවතී දාගැබ ලෙස විශ්වාස කළ නොහැකි බැව් මුලින්ම පෙන්වා දෙන ලද්දේ මෙරට පුරාවිද්‍යා අධිකාරියයි.(පුරාවිද්‍යා අධිකාරියේ වාර්ෂික වාර්තාව 1954 (ඉංග්‍රීසි) සී.ඩබ්ලිව්. නිකලස්‌ සූරීන් විසින්ද ආජකීය ආසියාතික සමිතියේ (ලංකා ශාඛාව) සඟරාව මගින් 1959 දී ප්‍රකාශයට පත්කළ Historical Topography of Ancient and Mediaeval Ceylon නම් කෘතියෙහි මෙම සැකය මතුකර ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන විමල් විජේරත්න මහතා ධාතුවංසයෙහි විස්‌තර විග්‍රහ කරමින් සෝමනුවර හා සෝමාවතී දාගැබ වර්තමාන අල්ලායි වැව සමීපයේ ඇති තෝප්පූර් පෙදෙසෙහි පිහිටා තිබිය යුතු බව පෙන්වා දී ඇත. කැලණිය විශ්වවිද්‍යාලය රජතජයන්ති සමරු කාලපය (1986 පිටු 199-පිටු 199-206)
මේ විද්වත් මත මෙතෙක්‌ කිසිවකුගේ අභියෝගයට ලක්‌වී නැත. එබැවින් පොළොන්නරුවේ සෝමාවතීය යනු සෙල් ලිපිවලින් හෙළිවී ඇති පරිදි මහාදාඨික මහානාග රජතුමාගේ පුත්‍ර අය නකල හෙවත් නාග කුමාරයා විසින් ඉදිකළ ප්‍රාචීන නාගාරාමය යන ඓතිහාසික සත්‍යය තවදුරටත් සැඟවිය නොහැකිය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඓතිහාසික සෝමාවතී පුද බිම Rating: 5 Reviewed By: Unknown