728x90 AdSpace

Latest News
Sunday, 12 July 2015

අඩ සියවසකට පෙර අප ‍පොත් කියැවූ හැටි


සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසය කියැවීමේ මාසය වශයෙන් සැලකීම මීට වර්ෂ කීපයකට පෙර අප අතරට පිවිසි අදහසක් විය. එක් දහස් නවසිය හැට එකේ වර්ෂයේ ප්‍රථම වරට මා රාජ්‍ය සේවයට පිවිසි සමයේ සිංහල ‍පොත පත මෙන්ම මාසික වාර සඟරාද කියැවීම පිළිබඳ විශාල උනන්දුවක් මධ්‍යම පාංතික රජයේ සේවකයින්, ගුරුවරුන් සහ  සෙසු සිංහල උගතුන් අතර පවතින බව මට ප්‍රත්‍යක්ෂ වූ කාරණයකි.
1956 අංක: 33 දරණ රාජ්‍ය භාෂා පනත පාර්ලිමේන්තුවේ සම්මත වී ක්‍රියාවට නැංවීමත් රාජ්‍ය සේවයට නිලධාරීන් බඳවා ගන්නා විභාග සිංහල මාධ්‍යයෙන් පැවැත්වීමත් සමගම මව් බසට හිතැති රාජ්‍ය සේවකයන් අති බහුතරයක් රජයේ කාර්යාලවලට පැමිණීමත් සිංහල ‍පොත් පත් වැඩි වැඩියෙන් අලෙවි වීමට බලපෑ සාධකයක් විය. ඒ අවදියේ බොහොමයක් රාජ්‍ය දෙපාර්තමේන්තුවල ‘සිංහල සාහිත්‍ය සංගම්’ ඉතා දියුණු අඩියකට පත්වී තිබුණි. මට මතක හැටියට රත්මලානේ වාරිමාර්ග, කොළඹ දේශීය ආදායම් , මැකලම් පාරේ බේරේ වැව අසබඩ පිහිටි රජයේ විදුලි දෙපාර්තමේන්තුව කොළඹ මහ  නගර සභාව වැනි ආයතනවල සිංහල සාහිත්‍ය සංගම් ඉතා දියුණු තත්ත්වයක පැවතුනි. මෙම සාහිත්‍ය සංගම් මගින් රාජ්‍ය සේවකයින්ගේ කියැවීමේ පුරුද්ද දියුණු කිරීම පිණිස කුඩා පුස්තකාල පිහිටුවා තිබූ අතර සාහිත්‍ය දේශන සම්මන්ත්‍රණ මෙන්ම දීප ව්‍යාප්ත කවි, කෙටි කතා තරගද සංවිධානය කෙරුණි.
මාසික වැටුප ලබා ගැනීමෙන් පසුව සිරිතක් වශයෙන් ‍පොතක් මිලයට ගැනීමට පුරුදුව සිටි රාජ්‍ය සේවකයෝ බොහෝ දෙනෙක් එදා රජයේ කාර්යාලවල සිටියහ. එකිනෙකා අතර ‍පොත් හුවමාරු කර ගනිමින් කියැවීමද එදා සුලභව දක්නට ලැබුණ දෙයකි. එකල මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, සාහිත්‍ය කීර්ති ඩබ්ලියු.ඒ. සිල්වා, හේමපාල මුනිදාස, ජී.බි. සේනානායක, ගුණදාස අමරසේකර, ආචාර්ය සිරි ගුණසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය අධිනීතිඥ කේ.ඩී.පී. වික්‍රමසිංහ, ලීල් ගුණසේකර, කේ. ජයතිලක, ටී.බි. ඉලංගරත්න, මඩවල එස්. රත්නායක ආදීහු ප්‍රකට නවකතාකරුවෝ වූහ. පුවත්පත් කලාවේදියෙකු මෙන්ම සිනමා විචාරකයෙකු වශයෙන් ද නමක් දිනාගෙන සිටි කරුණාසේන ජයලත් යොවුන් හදවත් ආලෝලනය කරමින් නවතම පාඨක පරපුරක් ඒකරාශී කරගත්  ජනප්‍රිය ‍ලේඛකයෙකු බවට පත්ව සිටියේය. කුමාර කරුණාරත්න ද තරුණ හදවත් දිනාගෙන සිටි ‍ලේඛකයෙකි. ලෙටීෂියා බොතේජු, ලීලා අනුරුද්ධිකා කුලතිලක, අයිලීන් සිරිවර්ධන ‍ලේඛිකාවන් අතර පෙරමුණේ සිටි අතර, කළුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාසේකර, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, ආචාර්ය වල්‍පොල රාහුල, බඹරැන්දේ සිරි සීවලී කොටහේනේ පඤ්ඤාකිත්ති, උඩකැන්දවල සිරි සරණංකර යන යතිවරුන් ‍ලේඛකයන් වශයෙන් ද ප්‍රසිද්ධියට පත්ව සිටියහ. කළුබෝවිල සිරිල් සී. පෙරේරා, ඉංගිරියේ මුනිදාස සෙනරත් යාපා, අක්මීමන කේ.ජී. කරුණාතිලක, ඌරා‍පොල හේමාලෝක හිමි, හේමපාල විජයවර්ධන, ඩේවිඩ් කරුණාරත්න, ආර්.ඇන්.එච්. පෙරේරා, ඒ.පී. ගුණරත්න පරිවර්තකයින්  වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියහ.
එක් දහස් නවසිය හැටේ දශකයේ තුන්වැනි පන්තියේ රජයේ ලිපිකරු නිලධාරියෙකුගේ මාසික මූලික වැටුප රුපියල් 80/⋆ ක් විය. ඊට රුපියල් 101.50 ක ජීවන වියදම් දීමනාවක්ද විවාහක නම් විවාහක දීමනාවක්ද එකතු කෙරිණ. මෙවැනි සුළු වේතනයක් ලබාගත් රාජ්‍ය සේවකයින් එදා ‍පොතක් මිල දී  ගැනීමට පෙළැඹුණේ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ මෙන්ම ‍පොත් මිලද පහළ මට්ටමක පැවති හෙයිනි.
එදා ‍පොත් මිල ගැන අවබෝධයක් ලබා ගැනීමට උදාහරණ කීපයක් පමණක් දැක්වීම සෑහේ. මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ගේ ගම්පෙරළිය රු. 4.50 ක්ද , කලියුගය රු. 3.75 ක්ද, යුගාන්තය රු. 3.75 ක්ද විය. නවකථාංග සහ විරාගය රු. 6.00 ට මිල නියම කර තිබූ අතර, ඔප කඩදාසියේ මුද්‍රිත සෝවියට් දේශයේ නැගීම රු. 6.00 විය. නවකතා චක්‍රවර්ති , සාහිත්‍ය කීර්ති ඩබ්ලියු.ඒ. සිල්වාගේ සුනේත්‍රා (හතරවැනි මුද්‍රණය 1966) පිටපතක් මා ලබාගෙන තිබෙන්නේ රු. 5.50 ටය. ප්‍රස්තාවනාව සඳහා ආරම්භයේ දී පිටු 9 ද, ගැටපද විවරණය සඳහා අවසානයේ දී පිටු 19 ද වෙන්කර ඇති මෙම ග්‍රන්ථයේ පිටු සංඛ්‍යාව 305 කි. ඩබ්ලියු. ඒ. සිල්වාගේ තවත් ජනප්‍රිය නවකතා කීපයක එදා පැවති මිල මෙසේය.
ලක්ෂ්මී රු. 6.00 , හිඟන කොල්ලා රු. 4.50 , විජයබා කොල්ලය රු. 4.00, කැලෑ හඳ   රු. 4.00, ෙදෙවයෝගය රු. 4. 00 යි. ජපන් ජාතික චිත්‍ර ශිල්පී අයුකවා මං ගේ සිතුවමින් අලංකාර වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ප්‍රථම නවකතාව මළගිය ඇත්තෝ  (1959) මිල රු. 4.50 වූ අතර, එහි දෙවැනි කොටස වූ ‘ප්‍රේමයේ දුඃඛ පක්ෂය අනාවරණය කරණ මළවුන්ගේ අවුරුදු දා රු. 4.00 ට මිල දී ගත හැකි විය. 1957   බක් මස ජපානයේ තෝකියෝ නුවර දී ලියන්නට ආරම්භ කර , 1962 ජුනි මස බණ්ඩාරවෙල වන සරණ හිදී අවසන් කර ඇති පිටු 367 ක් සහිත වල්මත් වී හසරක් නුදුටිම් රු 6.00 කි. ලොකු පුතා හෙවත් බන්දුල ගේ පරාවර්තය (පිටු 311) රු. 5.00 කි. ප්‍රවීණ ගත්කතුවර ගුණදාස අමරසේකර සූරීන් තිස් හැවිරිදි වියේ දී ලියූ ඔහුගේ ප්‍රථම නවකතාව වූ 1955 වර්ෂයේ දොන් පේද්‍රික් සාහිත්‍ය සම්මානයද දිනාගත් කරුමක්කාරයෝ එදා අලෙවි කළේ රු. 2.50 ටය. සුදු ආණ්ඩුකාරවරුන් යටතේ හම්බන්තොට උප දිසාපති ලෙස සේවය කළ ලෙනාර්ඩ් වුල්ෆ් ලියූ බැද්දේගම නවකතාවට පසු සිවිල් නිලධාරියෙකු ලියූ ප්‍රථම නවකතාව හැටියට විචාරකයින් හැඳින් වූ ලීල් ගුණසේකර මහතාගේ “පෙත්සම” (1961 රාජ්‍ය සාහිත්‍ය සම්මාන) රු. 2.25 ක් විය. එදා අප කියැවූ රසවත් ‍පොත් කීපයක මිල මෙසේය. අප්‍රසන්න කතාවක් රු. 4.00, පිතාමහ රු. 2.25 (කේ. ජයතිලක), පාර දිගේ රු. 3.50 (ලෙටීෂියා බොතේජු) මේධා  රු. 4.00, වරදත්ත රු. 6.00 (ජී.බි. සේනානායක) ගොළු හදවත රු. 5.00 (1962 රාජ්‍ය සාහිත්‍ය සම්මාන), පිරුණු හඳක් රු. 5.00 (කරුණාසේන ජයලත්), අඹුදරුවෝ රු . 5.00 (ජයසේන ජයකොඩි), සසර රු. 2.25 (ටී.බි. ඉලංගරත්න) හඳපායා කන්ද කපා රු. 3.00 ,            අම්බලම් පාළුවෝ රු. 3.25 (මඩවල එස්. රත්නායක)
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අඩ සියවසකට පෙර අප ‍පොත් කියැවූ හැටි Rating: 5 Reviewed By: Unknown