728x90 AdSpace

Latest News
Sunday 12 July 2015

ජාතික උරුමය අනාගත පරපුරට ආරක්ෂා කර තැබීම අපේ වගකීමයි

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වසර 125ක් සපුරයි.අපගේ අතීත උරුමය ආරක්ෂණය, සංරක්ෂණය, ගවේෂණය කිරීමේ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතී. මේ වත්කම් සම්භාරයකට හිමිකම් කියන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි.
* ශ්‍රී ලාංකිකයන් වන අපට පුරාවිද්‍යා විෂයෙහි ඇති වැදගත්කම කුමක් ද?
සෑම කෙනකුටම, තම ජාතියේ තම මාතෘ භූමියේ ඉතිහාසය පිළිබඳ දැනගැනීමට උනන්දුයි. එබැවින් පුරාවිද්‍යා ක්ෂේත්‍රය මිනිසාට වැදගත් විෂයක් වෙනවා.
දෙවනුව රටක ආදායම උත්පාදනය සඳහා වන ප්‍රධාන මාර්ගයක් ලෙස යම් රටක උරුමය හඳුනාගෙන තිබෙනවා. මිසරය කාම්බෝජය වැනි රටවල් ජනයා ජීවත්වන්නේ තම ඓතිහාසික උරුමය සංචාරකයින් වෙත ප්‍රදර්ශනය කිරීමෙන් ලබන ආදායමෙන්, අප තවමත් එවන් තත්ත්වයකට පෙලඹී නොසිටිය ද අපට ඒ ඉලක්කය කරා යාමේ හැකියාව පවතිනවා.
සියවස් ගණනාවක් තිස්සේ අපි ජීවත්වන්නේ වියළි කලාපය පුරා ව්‍යාප්තව පවත්නා 34000 ක් වූ වාරි පද්ධතිය ආධාරයෙන්. අපට බත සපයා ගැනීමට සාපිපාසාවට ද පිහිට වූයේ එම වාරි පද්ධතිය. ඒ සියල්ල පුරාවිද්‍යාත්මක උරුමයන්. ඒ හේතු මුල්කොට ගෙන ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක උරුමය අපට වැදගත් වෙනවා.
* ඔබ ආයතනයේ ප්‍රබල සේවක හිඟයක් පවතිනවා.
ඔව්. ක්‍රි. පූ. 900 - 1000 කාලයේ ඉදිවූ වැව් 34,000 ක් ඇතුළුව අප ආයතනය සතුව පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක 250,000 ක් පමණ තිබෙනවා. අප ආයතනය ස්මාරක හා ස්ථාන ආරක්ෂා කරන්නේ ප්‍රමුඛතා පදනම යටතේයි. කොපමණ බඳවා ගැනීම් කළත් ආයතනයේ සේවක සංඛ්‍යාව සපුරා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒත් අපි වගකීම් පැහැර හැර නැහැ.
* 1998 සිට ආයතනයේ පරිපාලනයට අවශ්‍ය සේවක සංඛ්‍යාව හා අධ්‍යක්ෂවරුන් නැති තත්ත්වයක ඔබ වගකීම් පැහැර හැරියේ නැහැ ‍කියනවා. ආපසු හැරී බලන්න තරම් දෙයක් ඔබේ සේවා කාලය තුළ කළා ද?
ඔව්. කළා.
මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාර ගනිද්දී ගැසට් කර තිබුණේ පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක 230ක් පමණයි. දැන් 3000ක් වෙනතුරු එය ඉහළ ගිහින්. ගවේෂණ හා වාර්තා කිරීම් 1700 සිට 20000 දක්වා ඉහළ දැමුවා. මම ආයතනය බාර ගනිද්දී ආයතනයේ සිටියේ උපාධිධාරීන් 8 දෙනෙකු පමණයි. එය 450 තෙක් වර්ධනය කළා. සංරක්ෂණ ස්ථාන සංඛ්‍යාව 8 ගුණයකින් වැඩි කළා කාර්ය මණ්ඩලය 700% කින් වැඩි කළා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා විශ්ව විද්‍යාල පද්ධතිය ගවේෂණ මඟින් සොයා ගන්නා ලංකා ඉතිහාසය පිළිබඳ දැනුම ශ්‍රී ලාංකේය ජනයා වෙත ලබාදීමේ ක්‍රමවේදයක් සැකැසී නැහැ.
පුරාවිද්‍යා ආඥා පනතේ සිට මූලාශ්‍ර දෙමළෙන් නැහැ. ඒ සඳහා අවශ්‍ය පෙළ පොත් සිංහලයෙන් සකසා දෙමළ බසට පරිවර්තනය කිරීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.
පසුගිය වසර 30ක කාලයක් උතුරු නැ‍ඟෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිසි ලෙස නඩත්තු කර නැහැ. ඒ හේතුවෙන්ම ඒ පළාත්වල ජනයා දැනුවත් කිරීමේ අවස්ථාව ගිලිහී ගියා. ඒ පළාත්වල ජනයා රටේ උරුමය පිළිබඳ දැනුවත් කිරීමේ ක්‍රමවේදය සකස් කරමින් පවතිනවා.
* උතුරු පළාතේ භූමිය පුරාවිද්‍යා උරුමය ලෙස වෙන්කර ගැනීම කෙතරම් සාධාරණ ද?
ඉතිහාසයේ කිසි දිනෙක ජනාවාස සඳහා ඉඩම් බෙදා දීමේ දී පුරාවිද්‍යා ස්මාරක හෝ ස්ථාන සහිත ඉඩම් බෙදා දී නැහැ. නමුත් පුරාවස්තු සහිත ඉඩම් භුක්ති විඳීමේ බාධාවක් ජනතාවට නැහැ. යුද්ධය අවසාන වීමෙන් අනතුරුව ජනයා නැවත පදිංචි කිරීමට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නැවත ගවේෂණය කරමින් ජනාවාසවලට අවම හානි වන සේ උතුර හා නැ‍ඟෙනහිර දෙපළාතේ ඓතිහාසික උරුමයන් හඳුනා ගනිමින් සලකුණු කළා. එපමණක් නොවේ ගැසට් කළා. එය 100%ක් ජනතාවගේ පැත්තෙන් සාධාරණ ක්‍රියාවක් නොවුණත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අයත් ඉඩම් අත්පත් කරගෙන නැහැ.
* ඔබ දෙපාර්තමේන්තුවේ අරමුණු අපේ උරුමය මුදල් කිරීම පමණ ද?
එය එක් අරමුණක්. ප්‍රධාන අරමුණු අනාගත පරපුර වෙත උරුමය ආරක්ෂා කර දීමයි.
* ඔබ උරුමය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ඒත් ඇතුළුකෝට්ටේ කොටු බැම්ම බිඳ දැමීමට ඔබ අවසර දී තිබෙනවා.
නැහැ. එය බිඳ දැම්මේ නැහැ. එය වැරැදි වැටහීමක්. පුරාවස්තුවක් හෝ උරුම භූමියක සිට ජනාවාසයට මීටර් 400 ක සීමාවක් නීත්‍යනුකූලව වෙන් කර දිය යුතුයි. එහෙත් කෝට්ටේ අධික ජනගහනයකින් යුතු භූමියක්. එහෙම කරන්න ගියොත් කෝට්ටේ මහා නගර සීමාව ජන ශුන්‍ය ප්‍රදේශයක් කරන්න වෙනවා. කෝට්ටේ උරුම ස්ථාන හා ස්මාරකවල සිට ජනාවාසය වෙන්කළ සීමාව මීටර් 10 - 15 අතර ප්‍රමාණයක් පමණයි. එසේ නැතිව උරුමය විනාශ කිරීමට අප කටයුතු කර නැහැ.
* ජාතික උරුමය හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් රාවණ යුගය පිළිබඳ ගවේෂණයක යෙදෙනවා. පුරාවිද්‍යාඥයකු ලෙස ඔබ ඒ පිළිබඳ දරන අදහස කුමක් ද?
දැනට පවත්නා සාක්ෂි අනුව එවන් පුද්ගලයෙක් ‘සිටියා’ යන්නට වඩා ‘නොසිටියා’ යන්න තහවුරු කෙරෙන සාක්ෂි වැඩියි. ඒත් අපිට කිසිවක් එකවර ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැහැ. ඒ විෂය පිළිබඳ ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් එක්ව ගවේෂණයක් කොට ඉන් ලැබෙන ප්‍රතිඵලය බාරගත යුතුයි.
* මහාචාර්ය රාජ් සෝමදේවයන් සෙල් ලිපියක වන “යගශ” මුද්‍රාවෙන් යක්ෂ ගෝත්‍රික ජනයාට අයත් යන්න කියැවෙන බව කූරගල ගවේෂණයේදී ප්‍රකාශ කර තිබෙනවා.
මහාචාර්යවරයකු ලෙස ඔහු ඔහුගේ නිගමනය ප්‍රකාශ කළා. විද්වතුන්ට පුරාවස්තු සඳහා නිර්වචන ලබා දීමේ අයිතිය තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැහැදිලි තොරතුරු අනාවරණය කරගත යුතුයි.
* ශ්‍රී ලංකාවේ නීතිය සැමට සාධාරණයි?
නැහැ. නිදන් හොරුන්ට එය සාධාරණ නැහැ. පුරාවස්තු ස්ථාන හා ස්මාරක විනාශ කරන්නන්ට දැඩි දඬුවම් ලබා දෙනවා.
* කෞතුකාගාරයෙන් පුරාවස්තු පැහැරගත් සොරාට එය පොදු නැහැ නේද?
ඒකට නම් අංජනමක් බලන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.
කෞතුකාගාරය වෙනම දෙපාර්තමේන්තුවක්. ඒකට ඇඟිලි ගහන්න අපට බැහැ. නමුත් එම ආයතනයේ ඇති උරුමය පුරාවිද්‍යා ආඥා පනතින් ආරක්ෂා වන බැවින් අපි උපරීම සහයෝගය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දුන්නා. සොරුන් අත්අඩංගුවට ගැනීම දඬුවම් කිරීම නීතිය ක්‍රියාත්මක කරවන ආයතනයන්හි වගකීමයි.
* පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයේ සංවර්ධනයට හා අභිවෘද්ධියට ගෙන ඇති පියවර මොනවා ද?
ගවේෂණ පර්යේෂණ හා නිරීක්ෂණ සඳහා නව තාක්ෂණය හඳුන්වා දී තිබෙනවා. කාර්ය මණ්ඩලයේ අධ්‍යාපනය හා දැනුම ඉහළ නැංවීම සඳහා දේශීය මෙන්ම විදේශීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීම සිදු කරනවා. ලෝකයේ නව දැනුම හා තාක්ෂණය සමඟ කටයුතු කිරීමට නිලධාරීන්ට අවස්ථාව සලසා දීමට කටයුතු කෙරෙනවා.
* ශ්‍රී ලාංකේය උරුමයන් අතුරින් චිත්‍ර සියුම් අංගයක් ඒවා ආරක්ෂා කරගැනීමට ගෙන ඇති පියවර කුමක් ද?
චිත්‍ර විතරක් නොවේ සියලු පුරාවස්තු විනාශයට පත්වෙනවා. එය සම්පූර්ණයෙන්ම නතර කිරීමට දෙපාර්තමේන්තුවට හැකියාව නැහැ. කළ හැක්කේ විනාශය අවම කර ගනිමින් දිගු කාලයක් පවත්වා ගැනීමයි. ලෝකයේ දැනට පවත්නා කිසිම තාක්ෂණයකට අනුව සුරක්ෂිත කළත් දිගු කලක් පවත්වා ගැනීම අපහසුයි. සිතුවම් හා චිත්‍ර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අනාගත පරපුරට බලන්න හැකි වන සේ සංරක්ෂණය කිරීමට අප කටයුතු කර තිබෙනවා.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ජාතික උරුමය අනාගත පරපුරට ආරක්ෂා කර තැබීම අපේ වගකීමයි Rating: 5 Reviewed By: Unknown