වලවේ නිම්නයේ චමත්කාරජනක පරිසරය සහ පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් ඉතිහාසය තුළ සැඟව ගිය රහස් ස්වල්පයක් හෙළි පෙහෙළි කරයි. ක්‍රි. පූර්වයෙන් දෙවැනි සියවසේ බෞද්ධ භික්ෂුන් කූරගල අතිරමණීය පර්වත ප්‍රාන්තයෙහි වූ ලෙන් විහාරයන්හි වැඩ විසූ බවට සාධක හමු වී ඇත. එහෙත් ජනශ්‍රැතිය හා පාරම්පරික මතිමතාන්තර අනුව කූරගල යනු රාවණ යුගයේ සිටම ජනාවාස වූ භූමි භාගයකි. එහෙත් අපට ‘රාවණ’ මතයේ සිට කූරගල ඉතිහාසය විමසීමට අවස්ථාව නොලැබේ.
එසේ වුවද මහාචාර්ය රාජ් සෝමදේවයන් විසින් හොලෝසීන දඩයක්කරුගේ පාරිසරික අනුවර්තනය පිළිබඳ 2010 වසරේ සිට ගවේෂණයේදී සිටී.
එම ගවේෂණයේදී දී හෝර්ටන් තැන්නේ සිට කල්තොට මෙහොර දක්වා දිවෙන මධ්‍ය කඳුවැටියේ දකුණු බෑවුම් කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබිණි. එම ගවේෂණයේදී ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස රැසක් හඳුනා ගැනිණි. හඳුනා ගත් ස්ථාන කැණීම මඟින් ක්‍රිස්තු පූර්වයෙන් තුන්වැනි (3) සහශ්‍ර වර්ෂයේ සිට ක්‍රිස්තු පූර්වයෙන් දෙවැනි (2) සහශ්‍ර වර්ෂ දක්වා ප්‍රාග් ඓතිහාසික ජන කණ්ඩායම් එම ප්‍රදේශයන්හි ජීවත්වූ බව තහවුරු කර ගැනිණ.
කල්තොට මෙහොර ප්‍රදේශය විමර්ශනයේදී එම ප්‍රදේශයට අනන්‍ය අන්තර් කලාපීය දේශගුණික ලක්ෂණ හඳුනා ගැනිණ.
කල්තොට මෙහොර ප්‍රදේශයේදී හඳුනා ගැනුණු ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අගයෙන් යුත් ස්ථාන අතරින් ප්‍රාග් ඓතිහාසික දඩයක්කාරයා කල්තොට මෙහොර ප්‍රදේශයේ විසු ස්ථාන 3 ක් අනාවරණය කර ගැනීමට පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ගවේෂණ කණ්ඩායම සමත්ව තිබේ.
බෙල්ලන් බැඳි පියස්ස, උඩු පියන් ගල, කූරගල, එම ස්ථාන 3 යි. උඩවලව රක්ෂිතයට අයත් බෙල්ලන්බැඳි පැලැස්සට මෑත කදිම හමුවූ කාබන් 14 දින නියමය වන්නේ අදින් වසර 7800 කි යන්නයි. එම ස්ථානයේ තිබී ප්‍රාග් මානව අස්ථි හමු වී ඇත. ගවේෂණ කණ්ඩායම විසින් සොයාගත් මානව අස්ථි පුද්ගලයන් 30 - 35 කට පමණ අයත් බව හඳුනා ගෙන ඇත.
මොලමුරේ කඳු වැටියේ දකුණු බෑවුමේ පිහිටා ඇති උඩුපියන් ගල්ගේ පිළිබඳ ආචාර්ය දැරණියගල විසින් කරන ලද කැණීමේදී ශිලා මෙවලම් වර්ණාලේපිත වළං කැබලි මෙන්ම ධාන්‍ය වර්ග අඩංගු මැටි මුට්ටියක් ද හමු වූ බව වාර්තා වේ.
මහාචාර්ය රාජ් සෝමදේවයන් විසින් සිදුකරන ලද කූරගල ගවේෂණයේදී මොලමුරේ කඳුවැටියේ දකුණු හැරවුමේ දියවින්න දක්වා සිදුකළ ක්ෂේත්‍ර ගවේෂණයේදී පුරාවිද්‍යාත්මක අගයෙන් යුත් ස්ථාන 51 ක් හඳුනාගෙන තිබේ. මෙම ස්ථාන 51 විවිධ කාල පරාසයන්ට අයත් බව වාර්තා වේ. එමඟින් එම මානව ජනාවාසයේ අඛණ්ඩතාව තහවුරු වී තිබේ.
2012 - 13 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කළ කැණීමේදී කූරගල ප්‍රාග් ඓතිහාසික වාසස්ථානයක් වශයෙන් භාවිත කළ බවට සාධක හමු වී තිබිණි. එම කැණීම් වළේ පහළ ම මට්ටමේ කාල නිර්ණය වාර්තාව අදින් වසර 16000 කි. එම ස්ථානයෙන් හමු වූ මානව ඇටසැකිල්ල අදින් වසර 8000 කට කාල නිර්ණය වී තිබේ. එම කැණීම සිදුකරන ලද ගුහාවේ තිබී පූර්ව බ්‍රාහ්මීය අකුරින් ලියන ලද සෙල්ලිපි ද හමුවී තිබේ. ලංකාවේ බුදු දහම ව්‍යාප්තව පැවැති මුල් වකවානුවේ කූරගල බෞද්ධ සංඝාවාසයක්ව පැවැති බව පුරා විද්‍යාත්මක ගවේෂණ මඟින් තහවුරු වී ඇත. එහි වන බ්‍රාහ්මීය අක්ෂරවල මුල් ස්වරූපයෙන් යුත් කෙටි සෙල්ලිපි ද මෙම විහාර සංකීර්ණයේදී හමු වී තිබේ. එම ලිපිවල සඳහන් වනුයේ විවිධ පුද්ගලයන් විසින් බෞද්ධ භික්ෂුන් උදෙසා පිරිනැමුණු දීමනා පිළිබඳ තොරතුරුය.
මහාචාර්ය රාජ් සෝමදේවයන් විසින් සිදු කරනට යෙදුණු මතුපිට ගවේෂණයේදී තිරිවානා ගලින් කළ ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් සහ ඒවා සකස් කළා යැයි සිතිය හැකි ස්ථාන හඳුනාගෙන ඇත. ගවේෂණ කණ්ඩායමේ මතය වී ඇත්තේ කූරගල අවට සෑම කඳු බෑවුමකට හොලෝසීන යුගයේ දඩයක්කරු අහර සොයා නිරන්තරයෙන් සැරිසැරූ බවයි. කූරගල ප්‍රධාන ගල් ගුහාවෙහි තිබී බෙල්ලන්ගේ කවච හා අස්ථි කැබලි ද හමු වී ඇත. මේ ස්ථානයේ තිබී පුරාණ ගල් වළක් ලෙස භාවිත වූ භූමියක් හඳුනාගෙන ඇති අතර කටාරම් කෙටිමේදී භාවිත තාක්ෂණය දියුණු අවධියක පැවැති බව හඳුනාගෙන තිබේ.
මේ ප්‍රදේශයේ වැව් කිහිපයක නටබුන් හඳුනාගෙන ඇත. ඉද්දගල වැවට නුදුරේ හමු වූ විශාල ඝනත්වයකින් යුත් වළං කටු ගොඩැල්ල මතුපිට ගවේෂණයේදී කාල රක්ත මැටි වළං කැබලි හමු වී තිබේ. ඉද්දගල ජලාශය භාවිත කළ මානව ජනාවාසයේ පෞරාණික බව ඉන් හඳුනාගත හැකි බව රාජ් සෝමදේවයන්ගේ අදහසයි. එම ජලාශය ආසන්නයෙහි යබොර විසිරුණු ගොඩැල්ලක් ද, යකඩ උණු කළ උඳුන් කොටස් ද උඳුන් සඳහා වාතය ලබා ගැනීමට භාවිත කළ මැටි නළ කොටස් ද හමු වී ඇත. ඊට අමතරව බෝමළු කන්ද ප්‍රදේශයෙන් ද යබොර ගොඩැල්ලක් හමු වී ඇත.
කූරගල ඓතිහාසික ජනාවාස භූමියට අයත් ටැමිකැටිය ප්‍රදේශයේ තිබි මුල ඓතිහාසික යුගයේ භාවිතයට ගැනුණු කටාරම් කෙටූ ගුහා හඳුනාගත හැකි වී ඇති අතර එම ගුහාවන්හි සෙල්ලිපි සටහන් හමු වී තිබේ. උතුරු ඉන්දියානු කාල වර්ණ උද්දීප්ත වළං කැබලි 3 ක් ද හමු වී ඇත. මීට පෙර අනුරාධපුර ඇතුළු නුවර කැණීම කන්තරෝඩෛ කැණීම ආදි අවස්ථාවන් හිදී මෙවන් වළං කැබලි හමු වූ බව පුරාවිද්‍යා වාර්තාවන්හි සඳහන් වේ. එම ප්‍රදේශයේ ස්වභාවික ගල් පෘෂ්ඨයක ඇඳි මානව රූප දෙකක් ද ජනාවාස ගොඩැල්ලක ද ලක්ෂණ හඳුනාගෙන ඇත. එම ජනාවාස ගොඩැල්ල විශාල ජනාවාසයක් පිහිටි බව තහවුරු කරයි. එම ජනාවාසය ද මුල ඓතිහාසික යුගයට අයත් බව තහවුරු කෙරෙන කාල රක්ත වළං කැබලි හමු වී ඇත.
රාජ් සෝමදේවයන් ඇතුළු පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ ගවේෂණ කණ්ඩායම විසින් සොයා ගන්නා ලද සෙල්ලිපි අතර සමකාලීන බ්‍රාහ්මීය අක්ෂරවල දක්නට නොලැබෙන ‘රෝ’ අක්ෂරය හඳුනා ගත් බව රාජ් සෝමදේව මහාචාර්යවරයා පවසයි. පරුමකවරියකගේ නමක් වන රොනී යන්න ලිවීම සඳහා එම අක්ෂරය භාවිත කොට ඇත. මෙම අක්ෂරය සහිත සෙල්ලිපිය වැලිපෙත් යාය සුදර්ශනාරාමයෙන් හමු වී ඇත.
එම සෙල්ලිපියේ පරුමක ශුදේවගේ ඇඹෙනිය වුත් පරුමුක රොනගේ දියණිය වුත් ‘රොනී...’ යන්න සඳහන් වේ.
ටැමි කැටියේ තිබි හමු වූ එක් සෙල්ලිපියක “යගශ” යන්න සටහන් වන බව පවසන මහාචාර්ය රාජ් සෝමදේව එම අක්ෂර සහිත සෙල්ලිපියේ අක්ෂරයක උස සෙ. මි. 25 ක් බව ද සෙල්ලිපි පාඨයට යටින් කුඩා අකුරින් “යගශ” සඳහන් ව ඇති බව ද පවසයි.
“යග” යන වචනය ‘යක’ ලෙස අර්ථ (පර්යාය වන බවට) දක්වන රාජ් සෝමදේව සම්බන්ධ විභක්තිය පසු එන සර්ගයක් වන “ශ” අක්ෂරය මඟින් අයිතිය (ගේ) තහවුරු කරන බවත් පවසයි. ඒ අනුව කුඩා අක්ෂරයෙන් සටහන් වන්නේ මුද්‍රාවක් බවත් ඉන් “යක්ෂයන්ට අයත්” හෝ “යක්ෂයන් විසින්” යන්න කියැවෙන බවත් ප්‍රකාශ කර සිටී.
එම සෙල්ලිපියෙහි පෙළ මෙසේය.
උපශෝන අය තිෂපත අය” කෙරශෝ පුත ශො අය මහ තිශ ලෙනෙ සූපදිනෙ චතු දිශ ශගශ යගශ” යන්නයි.
මෙම පබ්බත විහාර සංකීර්ණයේ තිබී දකුණේ සිට වමට ලියන ලද ලෙන් පූජාවක් පිළිබඳ සෙල්ලිපියක් ද හමුවී තිබේ.
කූරගල ලෙන් සංකීර්ණයේ තිබී අරාබි බසින් ලියැවී ඇති සෙල්ලිපියක් ද හමුවී තිබේ. එම සෙල්ලිපිය කියූෆික් අරාබි අකුරින් කොටා ඇති අතර අර්ථය දුරවබෝධ බව මුස්ලිම් සංස්කෘතිය පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වූ ආචාර්ය එම්.ඒ.එම්. ශුක්රි ප්‍රකාශ කරයි. මෙම ලිපිය ක්‍රි.ව. 10 - 16 අතර කාලයට අයත් විය හැකි යැයි පවසන ආචාර්ය ශුක්රි මෙම ලිපිය මෙම ස්ථානයේ දැනට සිදුවෙමින් පවත්නා අරාබි ආගමික කටයුතු හා කිසිදු සබඳකමක් නැති බව පවසයි. මෙය උතුරු ඉන්දියානු හෝ පර්සියානු මුනිවරයකු ගේ සටහනක් විය හැකියැයි අනුමාන කෙරේ. මෙහි ඇත්තේ අර්ථ රහිත ගුප්ත අක්ෂර 3 ක් පමණි.
එහෙත් අප අවධාරණය කළ යුතු කාරණයවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ දඩයක් කාරයාගේ ක්ෂේම භූමියක් වූ කල්තොට මොහොර ප්‍රදේශයේ ජනාවාසය මුල ඓතිහාසික යුගයේ දි දියුණුව පැවැති බවයි. බෞද්ධාගම ලක්දිව පුරා ප්‍රචලිත වෙද්දී සංඝාරාම සංකිර්ණයක් වූ මෙම භූමිය, ක්‍රි.ව. 10 වැනි සියවස තෙක් ම ජනාවාසව පැවැති බවයි. 10 වැනි සියවසේදී ලංකාවේ දියුණු ජනාවාසයක් වූ කූරගලට යුරෝපීයන් පෙරදිගට පැමිණීමට පෙර උතුරු ඉන්දියානුවන් හෝ පර්සියානුවන් පැමිණි බවට මෙම සෙල්ලිපිය සාක්ෂි දරයි.
කූරගල, දියවින්න සහ විල්ආර ආදි ප්‍රදේශවල පිහිටා ඇති ස්වභාවික ගුහා සහ ගල් පියැසි හොලෝසීන යුගයේ දඩයක්කරුවාගේ වාසස්ථානයක් වූ බව ද ක්‍රි.පූ. 250 හෝ ඊට ආසන්න කාලයකට අයත් බෞද්ධ භික්ෂූන් උදෙසා ආරාම පූජා සඳහන් සෙල්ලිපි මෙහිදී හඳුනා ගතහැකි බව ද පවසන මහාචාර්ය රාජ්සෝම දේව බුදුගල නටඹුන් මඟින් 7 - 8 සියවස් හි එම ප්‍රදේශයේ බෞද්ධ පුනර්ජීවනයක් පැවැති බව පුරා විද්‍යාත්මක සාධක අනුව තහවුරු කරයි.
එහෙත් මේ වනවිට මෙම ප්‍රදේශය මුස්ලිම් භක්තිකයන් ගේ ආගමික සිද්ධස්ථානයක් බවට පත්ව තිබේ. 1932 වර්ෂයේදී සී.එච්. කොලින් විසින් රාජකීය ආසියාතික සඟරාවට සපයන ලද The Archaelogy of the sabargamuwa.Bintenna ලිපියෙහි එවක ද ලෙන් ආශ්‍රය කොට මුස්ලිම් ජාතිකයන් සිටි බව ද එම ස්ථානය ඔවුන්ගේ ශුද්ධ ස්ථානයක් ලෙස සැලැකීමට විශ්මය ජනක සිදුවීමක් පාදක වී ඇති බව ද සඳහන් වේ.
ඓතිහාසික බෞද්ධ උරුමයට හිමිකම් කී කූරගල පරිශ්‍රය බෞද්ධාගමික පාලනයෙන් වෙන්වූ පසු මුස්ලිම් භක්තිකයන් තමන්ගේ සිද්ධස්ථානයක් ලෙස එම ස්ථානය පවත්වාගෙන ගොස් ඇත. ලෙන් ආරාමයන්හි අනන්‍යතාව විකෘති නොකොට තැබීමට ඔවුන් සමත් නොවීම කනගාටුදායකය.
ආගම යන්න පිළිබඳව සමාජ විද්‍යාත්මක අධ්‍යනයක යෙදුණු එමිල් ඩූර්ක්හයිම් ආගම යනු ශුද්ධ වස්තූන් හා සම්බන්ධ වූ විශ්වාසයන් හා භාවිතයන්ගේ ඒකාබද්ධ පද්ධතියක් (The Elementary Forms of Religions) බව පවසයි.
ඊ.බී. ටයිලර්ට අනුව ආගම යනු අධි භෞතික සත්වයන් පිළිබඳ විශ්වාසය (Primitive Culture) යි. ආගම අධි මානුෂීය බලයන් හා මිනිසා යා කරන හුයකි. ආගමක පැවැත්ම සඳහා මෙන් ම ආගමික ස්ථානයක පැවැත්ම සඳහා ප්‍රජා සහභාගීත්වය අවශ්‍ය වේ. බළන්ගොඩ කල්තොට වෙසෙන ජනයාගෙන් බහුතරය මුස්ලිම් ජාතිකයෝ වෙති. ඔවුහු තම ආගමික සිද්ධස්ථානයේ පැවැත්ම තහවුරු කර ගැනීමට උත්සුක වෙති. එය සාමාන්‍ය මානව ක්‍රියාකාරිත්වයයි.
ඒ සඳහා ආගමික ගැටුම් ඇතිවීම වැළැක්වීම අත්‍යවශ්‍ය වේ. මහාචාර්ය රාජ් සෝමදේවයන් කූරගල ගවේෂණය පිළිබඳ පුරාවිද්‍යා වාර්තාව ඉදිරිපත් කරමින් අවධාරණය කරනු ලබන්නේ හඳුනාගත් පුරාවිද්‍යාත්මක අගයන් ඇති ස්ථාන සතු ඓතිහාසිකත්වය සහ ඒවාට ආරෝපිත අගනාකම් පුරාවිද්‍යා ආඥා පනතේ විධි විධානයන්ට යටත්ව සියලු ලාංකිකයන් වෙත අපක්ෂපාතීව භුක්ති විඳීමට ඉඩකඩ ලබා දිය යුතු බවයි.
0 comments:
Post a Comment