728x90 AdSpace

Latest News
Tuesday 28 July 2015

පොතට පතට කොටුවන දරුවාගේ ආයුෂ කෙටිය


වර්තමානය වන විට ලංකාවේ ජනගහනයෙන් 20% ක්‌ පමණ එනම් මිලියන 40 ක පමණ පිරිසක්‌ පාසල් දරුවන්ය. ඔවුන් හෙට දවසේ මේ රටේ වැඩිහිටි පුරවැසියන්ය. එනිසා රටේ අනාගතය බාර ගන්නට සිටින ඔවුන් සමාජයට වැඩදායි පුද්ගලයන් වන්නේ උගත් බුද්ධිමත් පිරිසක්‌ වූ කල්හිය.
එහෙත් එසේ උගත් බුද්ධිමත් අනාගත පරපුරක්‌ බිහිකර ගැනීමට නම් ඔවුන් හොඳ සෞඛ්‍ය සම්පන්න පිරිසක්‌ විය යුතුය. දරුවන් සෞඛ්‍ය සම්පන්න නොවන්නේ නම් ඔවුනට තම අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වාගෙන යා නොහැක. ඔවුන් විවිධ රෝගාබාධ වලට ලක්‌වන්නේ නම් උසස්‌ අධ්‍යාපනයට පෙර අධ්‍යාපන කටයුතු අත්හැර දැමිය හැක. පාසල් ගියද එය පළදායි නොවිය හැකිය. තාක්‍ෂණයෙන් දවසින් දවස ඉදිරියට යමින් සිටියද අද අපේ දරුවන්ට හෙට ඒ උරුමය දරාගත හැකිවේද යන්න ගැටලුවක්‌ය.
මෙයට අපේ අධ්‍යාපන ක්‍රමය, දෙමවුපියන් මෙන්ම වෙනස්‌ වෙමින් යන ජන ජීවිතයද සෘජුවම බලපා ඇත. එදා පවුලේ පියා පමණක්‌ රැකියාවක්‌ කළද අද වන විට පියා මෙන්ම මවද රැකියාවක නිරතවෙති. ඒ නිසා පුංචිම පුංචි දරුවා රැකබලා ගැනීමේ මධ්‍යස්‌ථානයකත් අනතුරුව ළදරු පාසල, පාසල, සවස පන්ති, ඉරිදා සෙනසුරාදා පන්ති යනාදියට කොටුවී සිරවුණු ජීවිතයකට බලහත්කාරයෙන් තල්ලු කරමින් සිටී.
මේ නිසා කුඩාම කුඩා දරුවාගේ පටන් අපේ දරුවන්ට එදා අත්විඳි නිදහස සෙල්ලම් කාලය කිසිදා අත්නොවිඳිනා තරම් මනඃකල්පිත සිහිනයක්‌ වී ඇත. ඇත්තෙන්ම මෙය එතරම් දුරට නොසිතුවද විෂයට, කාලසටහනට සිරවූ දරුවෝ ගෙදර සිටින හැම මොහොතකම පරිගණකයට නැවතත් කොටු වෙති. එයට දෙමව්පියන්ද පෙළඹෙන්නේ දරුවන්ගේ දැනුම වැඩි කිරීමට වාගේම ඔවුන් සමාජ ගතවීම වළක්‌වා ගනිමින් තම සීමාවේ රඳවා තබා ගැනීමේ අදහසින්ය.
එහෙත් පුංචි කාලයේ සිට උසස්‌ අධ්‍යාපනයෙන් පිටව එනතෙක්‌ම වැඩි කාලයක්‌ අසුන් ගත අධ්‍යාපනය ලබන දරුවා අවසානයේ රෝගියෙකු වී අවුරුදු 40 කටත් අඩු කාලයකදී මවුපියන්ටත් පෙර මරණයට පත්වේ. එසේ වන්නේ බො නොවන රෝගයකට ගොදුරු වීමෙන් විය හැකිය.
පෙර පාසල් ගුරුවරුන්ගේ සිට ප්‍රාථමික ගුරුවරුන් මෙන්ම ඉන් ඔබ්බට යමින් 11 වසර ගුරුවරුන්ට පවා වැඩ සටහන් පවත්වමින් පාසල් ළමුන් අතර ශාරීරික ක්‍රියාකාරකම් වර්ධනය කිරීමේ වගකීම මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයද ඊට මැදිහත් වී සිටී.
ඒ අනුව පාසල් ළමුන් අතර ශාරීරික සුවතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වගකීම විදුහල්පතිවරුන්ට පවරා ඇත, සෑම පාසලකම උදැසන පොදුවේ සුවතා වැඩ සටහනක්‌ ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා දරුවන්ගේ සිත් ගන්නා අන්දමින් සකස්‌ කළ සංගීතයෙන් යුත් වැඩ සටහනක සී.ඩී. තැටි දැන් සෑම පාසලකටම බෙදා දී ඇත. මේ තුළින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබී ඇතැයි විදුහල්පතිවරු කියයි.
එමෙන්ම පාසල්වල පන්ති කාමරවලට දරුවන් රඳවා නොතබා අධ්‍යාපන කටයුතු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ගුරුවරුන්ගේ මති මතාන්තර වෙනස්‌ කිරීමද අත්‍යාවශ්‍ය කරුණක්‌ව පවතී. ඒ නිසා ඔවුන් ගේ ආකල්ප වෙනස්‌ කිරීමද අත්‍යවශ්‍ය කරුණක්‌.
එදා පාසල් සවස්‌ වරුවේද ක්‍රීඩාවන් නිසා කලඑළි විය. එහෙත් අද සවස 1.30 න් පසුව පාළු වී යයි. ඒ ඔවුන්ට අමතර පන්තිවලට යා යුතු නිසාය. එදා පාපන්දු, වොලිබෝල්, නෙට්‌බෝල්, එල්ලේ වැනි ක්‍රීඩාවන් හි සිසුන් නියෑලුනේ පාසලෙන් පසුව සවස්‌ කාලයේය. ඒ සඳහා ගුරුවරුද විශේෂ ලැදියාවක්‌ දැක්‌ වූහ.
නැවතත් ක්‍රීඩා පාසල් ක්‍රමය ආරම්භ වී ඇත. දිස්‌ත්‍රික්‌ක 25 කටම එක පාසලක්‌ බැගින් ක්‍රීඩා පාසල් ක්‍රමය පණගන්වා ඇත. ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩා භාණ්‌ඩ මෙන්ම ගුරුවරුන්ද ලබාදී ඇත.
මේ සඳහා දෙමව්පියන්ද උනන්දු විය යුතුය. උගත් අනාගත පරපුරක්‌ අධ්‍යාපනයෙන්ම ලබාගත නොහැකිය. ඒ සඳහා ක්‍රියාශීලී දරු පරපුරක්‌ සිටිය යුතුය. අද දහදිය දුර්ගන්දයක්‌ ලෙස සැලකීමට සමාජය පුරුදු වී සිටී. එය වැරදි මතයකි. ඒ වෙනුවට දහදිය දමා කය වෙහෙසීමෙන් පසු අධ්‍යාපනය පමණක්‌ නොව වෙනත් ඕනෑම කටයුත්තක්‌ කරන පුද්ගලයා එය සාර්ථක කරගනී. අධ්‍යාපනයද එසේමය. නැතිනම් ශරීර සෞඛ්‍ය මෙන්ම ක්‍රියාශීලීත්වය අතහැර අධ්‍යාපනයට පමණක්‌ යොමුවුවහොත් එම අධ්‍යාපනයෙන් ප්‍රතිඵල ලබාගන්න නොහැකි පුද්ගලයකු බිහිවනු ඇත.
එනිසා හොඳ මානසික සෞඛ්‍යයෙන් යුතු කායික සෞඛ්‍යයෙන් යුතු දරුවකු ගොඩනැගීම සුබදායක අනාගතයකට හේතුවෙයි.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැති පාසල් ළමුන් අතර ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය පිළිබඳ මාධ්‍ය හමුවේදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකු බාලසූරිය පවුල් සෞඛ්‍ය කාර්යාංශය, අධ්‍යක්‍ෂ බී. ඒ. අබේරත්න මහතා අධ්‍යක්‍ෂ සෞඛ්‍ය, ශාරීරික ක්‍රියාකාරකම් හා ක්‍රීඩා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් පැවැත්වූ දේශන ඇසුරින් මෙම ලිපිය සකසා ඇත.
සකස්‌ කළේ - සැම්සන් විඡේරත්න
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පොතට පතට කොටුවන දරුවාගේ ආයුෂ කෙටිය Rating: 5 Reviewed By: Unknown