728x90 AdSpace

Latest News
Saturday 11 July 2015

දස්කොන් මැරුණේ සූරියගොඩ හිමියන්ගෙ කුමන්ත්‍රණයකින්ද?

දස්කොන් මැරුණේ සූරියගොඩ හිමියන්ගෙ කුමන්ත්‍රණයකින්ද?

කුණ්ඩසාලේ අගනුවර කරගත් නරේන්ද්‍රසිංහ රජු (1707 - 1739) සංගීතය, නැටුම් හා කාන්තාවන් ඇසුර තදින් ප්‍රියකළ විනෝදකාමී රජෙකි. කුණ්ඩසාලේ අගනුවර කරගත් එකම රජු ඔහුය.

මේ රජුගේ කවිකාර මඩුවේ රම්මොළවක, ‍ෙදාඩම්වල කිවිඳු, වැලිගල්ලේ රාල, වික්‍රමසිංහ, දස්කොන් සිට ඇත.
රජු යුද වීරයකු නොවූවද ශ්‍රී නාමේ, ශෘංගාරය, ගෘංගාරාලංකාරය, නරේන්ද්‍රසිංහ රාජස්තුතිය. මෙකල ලියැවුණු ප්‍රශස්ති කවිපොත්ය. ප්‍රකට දස්කොන් වාසය කළේ නරේන්ද්‍රසිංහ රජු කලයි. ගොන්සාල්වේස් පියතුමා, ජෝසප්වාස් පියතුමා, දස්කොන් අධිකාරම්, ඩී. ලැනරෝල් මෙකල රාජසභාවේ රජු කිට්ටුවෙන් ආශ්‍රය කළ බලගතු අය වූහ. ආනොච්චි පරන්ගි උන්නැහේ රජුට සිංහල කවි පොතක් ලියා ඇත.
මීට පෙර දෙවැනි රාජසිංහ රජුකල මුහුදේදී අබලන් වුවද ලාහේ නමැති ප්‍රංශ නැව අලුත්වැඩියාව සඳහා ත්‍රිකුණාමලයට පැමිණ ඇත. නැව ගැන සැකකළ නාවිකයෝ සිර කළහ.
එම නැවේ සිටි නාවිකයෝ ලාංකික කතුන් පාවාගෙන ලංකාවේම පැලපැදියම් වූහ. එහි සිටි රොබට් නොක්ස්ගේ පියා ලංකාවේදී මළේය. රොබට් නොක්ස් අවුරුදු 17ක් සිරකරුවකුව සිට එංගලන්තයට පලා ගියේය. අදත් ලංකාවේ ප්‍රකට ලැනරෝල් පරපුර නැවතත් ලංකාවට ආවේ මෙම නැවේය. දස්කොන්ගේ පියාද මේ නැවේ සිටි ප්‍රංශ සිරකරුවෙකි.

ඔහු පෘතුගීසි කාන්තාවක් පාවාගෙන ලංකාවේ පදිංචි විය. මේ යුවළගේ පුතා ප්‍රංශ ජාතික පේඩෘෘ ගැස්කොන් විය. ඒ නම සිංහල කටට දස්කොන් ලෙස හුරුවිය. යුරෝපීය සම්භවයේ ඇති ප්‍රංශ පෘතුගීසි මිශ්‍ර ඔහුට රූමත් සිරුරක් හිමිවිය. සංගීත භාණ්ඩ වාදනයට හැකියාවක් විය.
හොඳින් සංගීත භාණ්ඩ සමඟ ප්‍රශස්ති ගී ගැයීමට මිහිරි කටහඬක් විය. නරේන්ද්‍රසිංහ රජුට අසුන් පිට යෑමට පුරුදු කළේ පේඩෘෘ ගැස්කොන්ය. රජු රජ වූ විගසම රජුට විරුද්ධව ඇති වූ කැරැල්ලේදී රජු හා රජුගේ ආරක්‍ෂාවට පලා යෑමෙන් ඔහු රජුගේ කිට්ටුම විශ්වාසයක් විය. රජවාසල අධිකාරම් ධුරයක් ඔහුට හිමිවිය.
නිදැල්ලේ රජවාසලට ගිය දස්කොන් ප්‍රමිලා රාජ බිසව සමඟ රහස් ආදර සම්බන්ධතාවකට මුල පුරා ඇත. ප්‍රමිලා යනු දකුණු ඉන්දියාවෙන් ආ නායක්කාර් රජ බිසවක්ද නැතිනම් දේශීය කුමාරියක්ද බව පැහැදිලි නැත. දස්කොන් හා ප්‍රමිලා අතර ඇතිවූ රහස් ආදරය ඔහුගේ සතුරන් අතින් පතුරුවා ඇත. ඔහු විසින් ප්‍රමිලාට ලිවූ යැවූ කවි සතුරන් ලවා නිර්මාණය වීමටද ඉඩ ඇත.

විදේශිකයන් රජවාසල බලවත්වීම ගැන සිංහල බෞද්ධ භික්‍ෂුහු හා රදලවරු විරුද්ධ වූහ. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ රජු හා විදේශිකයන් අතර සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ දස්කොන් අධිකාරම්ය. දස්කොන් හා ප්‍රමිලා අතර ආදරය ඔහුට විරුද්ධව තිබූ සතුරන් ප්‍රචාරය තියුණු කළ ප්‍රධාන යෝජනාව විය. දස්කොන්ට විරුද්ධව ඇති වූ කුමන්ත්‍රණයේ ප්‍රධාන මූලිකයා වැලිවිට සරණංකර හිමිගේ ගුරුවරයා වූ සූරියගොඩ හිමිය.
සූරියගොඩ හිමි සිටි පන්සල පේරාදෙණිය මුරුතලාව කිට්ටුව පිහිටි එකකි. 1721 කුමන්ත්‍රණය සාර්ථක වී ලෙව්කේ රාල විසින් රාජ නියෝගයෙන් දස්කොන්ගේ හිස ගසා මරා දමන ලදී. මේ කුමන්ත්‍රණයේ සුලමුල රජුට දැන ගැනීමට හැකි වූයේ පසුවයි.
ඒ අනුව කුමන්ත්‍රණයේ මූලිකයා වූ සූරියගොඩ හිමි මරවා නෑයන් සිරකරවා සූරියගොඩ විහාරයේ දේපළ උඩපොළ අප්පුට පවරා දී ඇත. වැලිවිට හිමි පසුකල ලියූ අත් ලිපියක තම ගුරුවරයා වූ සූරියගොඩ හිමි මැරුම් කෑ බව සඳහන් කරයි. දස්කොන්ගේ හිස ගසා දැමූ ලෙව්කේ බණ්ඩාර මැණික්දිවෙල අලගල්ල කන්දේ දමුණුමෑය දඹගල්ල ගල්ලෙන්වල සිරකරුවකු ලෙස යවා ඇත. හියු නෙවිල්ගේ වාර්තාවලින් ඒ බව සනාථ වෙයි.
දස්කොන් හිස් ගැසුම් කෑයේ තරුණ වියේදීමය. ඔහුගේ සමහර ප්‍රශස්ති කවි මෙකල ලියවුණු රාජසභා ප්‍රශස්ති කවි එකතුවක් වූ ශ්‍රී නාමේ කවි පොතේ තිබිය හැකිය. "පවන" මෙකලම ලියැවුණු ප්‍රශස්ති කාව්‍යවල කවි එකතුවකි. දස්කොන් ඔහුගේම කාව්‍ය නිර්මාණ තුනක් ලියා ඇත. ඉන් පළමුවැන්න නරේන්ද්‍රසිංහ රාජස්තුතියයි.
මෙය බෙර, දවුල්, තම්මැට්ටම් ආදී වාද්‍ය භාණ්ඩ සමඟ ගායනා කළ හැකි කර්ණ රසායන ප්‍රශස්ති කවි ඇතුළත් ප්‍රශස්ති කාව්‍ය ග්‍රන්ථයකි. මෙහි එන කවි ඔහු රාජසභාවේදී රජු ඉදිරිපිට ගායනා කළා විය හැකිය.

ඔහුගේ දෙවැනි කාව්‍ය නිර්මාණය කවි අන්ද්‍රය හෙවත් කඹේ නැටීමයි. මෙය විනෝද කාව්‍යයකි. එදා රජු හා පොදු ජන විනෝදය සඳහා සමබරතාව රකිමින් කඹයක ගමන් කිරීම තිබූ බව මේ කාව්‍ය නාමය අනුව පෙනීයයි.
විවිධ වෘත්ත අනුව ප්‍රබන්ධ කළ ශබ්ද රසය ඇති කාව්‍ය එකතුවක් මේ ග්‍රන්ථයේ එයි. ඔහු මරණයට පෙර සිරකර සිටියදී තම නිවැරැදි බව රජුට පහදාදීමට සිරකුටියේ සිට ලිවූ තුන්වැනි ග්‍රන්ථය නෝක්කඩු මාලයයි. මෙය මාල කාව්‍ය ගණයට වැටෙයි. එහෙත් මේ කවිපොත රජු වෙත යෑම සතුරෝ වැළැක්වූහ. ක්‍රි.ව. 1721 ලෙව්කේ රාල විසින් ඔහුගේ හිස ගසා දමන ලදී. ඔහු හා ප්‍රමිලා අතර හුවමාරු වූ කවි ඔවුන්ගේම නම් දස්කොන් මෙන්ම ප්‍රමිලාද හොඳ කවි කාව්‍යකාරයෝ වූහ.
දස්කොන්ගේ හිස ගසා දැමීමට හේතුව සතුරන්ගේ කුමන්ත්‍රණ - ව්‍යාජ ප්‍රචාරයි. ඒ හැර ඔහු රජුගේ සතුරන් වූ ඕලන්දයන් සමඟ රජුට රහසින් ලිපි ගනුදෙනු කිරීම ඔහුට විරුද්ව නැඟුණු ප්‍රබලම චෝදනාවයි. විදේශිකයකු වූ ගැස්කොන් මඟින් උඩරට රහස් තොරතුරු ඕලන්දයන් ලබාගත් බව අනුමාන කළ හැකිය. දස්කොන්ගේ මරණින් පසු ජනප්‍රවාද අනුව ප්‍රමිලා දිවි නසාගෙන ඇත.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්.කේ. ජයවර්ධන
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දස්කොන් මැරුණේ සූරියගොඩ හිමියන්ගෙ කුමන්ත්‍රණයකින්ද? Rating: 5 Reviewed By: Unknown