728x90 AdSpace

Latest News
Tuesday 7 July 2015

බුදු දහමට අනුව දරුවන්ට අකුරු කියවිය යුත්තේ මෙහෙමයි

බොහෝ දෙමව්පියෝ දරුවන්ට අකුරු කියවීමේදී සරස්වතී පූජාව හෝ ගණ දෙවි පූජාව කිරීමෙන් යහපත් ප්‍රතිඵල බලා‍පොරොත්තු වෙති. සරස්වතී දේවිය හා ගණ දේවිය හා ගණ දෙවියෝ හින්දු ආගමට අයත් සිතින් මවාගත් දෙවිවරු වෙති. හින්දු ආගමේ දෙවිවරුන්ගෙන් පිහිට පැතීම අද බොහෝ බෞද්ධයින්ගේ සිරිත වී තිබේ. ඒ අනුව අකුරු කියවීමේදී ඉහත සඳහන් දෙවිවරුන්ගෙන් දැනුම හා නුවණ ලබා දෙන ලෙස ඉල්ලීම පුරුද්දක් වී තිබේ. එම කටයුත්ත හින්දු බැතිමතුන්ට කිරීමට ඉඩදී, අපි බෞද්ධ සිරිත් අනුව කටයුතු කරමු.
බුදුරාජාණන් වහන්සේ මුල් තැන දුන්නේ දැනුමට හා නුවණට නොව ප්‍රඥාවටය. මේ නිසා අප බලා‍පොරොත්තු විය යුත්තේ ප්‍රඥාවය. ප්‍රඥාව ජීවිතය සාර්ථක කරයි. මෙලොව, එලොව, දෙකම දියුණු කරයි. බුදු සසුනේ ප්‍රඥාවන්තයින් අතර ප්‍රධාන තැන ගන්නේ සැරියුත් මහ තෙරුන්ය. ඒ නිසා දරුවාට සැරියුත් මහ රහතන් වහන්සේට මෙන් ප්‍රඥාව ලැබේවායි ප්‍රාර්ථනා කිරීම අර්ථවත්ය.
අකුරු කියවීමට පෙර දිනයේ දරුවා සමග පන්සල් ගොස්, මල් පහන් පූජා කර, බුදුන් වැඳ, සංඝයා වහන්සේගේ ආශිර්වාදය ද දරුවාට ලබා දී, පසුදා ශුභ මොහොතින් අකුරු කියවීමට කලින් දරුවාට සැරියුත් හාමුදුරුවන්ට මෙන් ප්‍රඥාව ලැබේවායි ප්‍රාර්ථනා කරන්න. තෙරුවන් සරණින් හොඳට ඉගෙන ගැනීමට හැකිවේවායි පතන්න. දරුවා නියමිත දිශාවට හැරවීමට අමතක නොකරන්න.
දරුවාට අකුරු කියවන අය උගතකු විය යුතුය. උගතකු වූ තරමට ඔහු මේ සඳහා සුදුසු නොවේ. ඔහු සිල්වත් විය යුතුය. හදවතින්ම යහපත් විය යුතුය. සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් හොඳය. මෙම ගතිගුණ ඇති ගිහියෝ ද සුදුසු වෙති. නිතර බුදුන් වඳින, මත්පැන් පානයෙන් තොර, මත්ස්‍ය මාංසයෙන් තොර කෙනෙකු වීම ඉතා මැනැවි. එවැනි කෙනෙකු සොයාගත නොහැකි නම් දින තුනක් වත් අයහපත් දේවලින් වැළකී ඒ සඳහා පේවී සිටිය යුතුය. යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ එවිටය.
දරුවාට කියවන පළමු අක්ෂරය දිව්‍ය අක්ෂරයක්ම විය යුතුය. (දිව්‍ය අක්ෂර :- ත, ද, ල, ව, ස, ඉ, ඊ, ඔ, ඕ, ට, ඩ) මේවා කියවිය යුත්තේ “ස” යන්න “ත” යන්න යනුවෙන් නොවේ. ස, ත, ද, ආදී වශයෙනි. දරුවාට පළමුවෙන් “අ” යන්න හෝ අම්මා යන වචනය නොකියවිය යුතුය. “අ” යන්න දිව්‍ය අක්ෂරයක් නොව අපායක්ෂරයකි. පසුව ඒවා කියවන්න. පින්තූර හෝඩි ‍පොතේ ඇති ඉර, තරුව, සමනලයා, සරුංගලය, ඔරුව, ඕලු වැනි පින්තූර පෙන්වා එම වචන කියවීම හොඳය. අකුරු කියවීමට වඩා වචනයම කියවීම හොඳය. දරුවා ඒවා නොකියවුවත් ඒ ළඟින් ඇඟිල්ල තැබිම සෑහේ. අකුරු නොකියවන්නේ නම් දරුවාට කිසි ලෙසකත් තරවටු නොකළ යුතුය. පළමු දවසේත්, පසුවත් අකුරු කියවීම ඉතා සුහද ලීලාවෙන්, සතුටින්ම කළ යුතුය.
අකුරු කියවන අවස්ථාවේ දී දරුවා බඩගින්නේ නොතැබිය යුතුය. ඊට ටික වේලාවකට කලින් ආහාර දිය යුතුය. එම ආහාරයට මත්ස්‍ය මංස එක් නොවීම වැදගත්ය. තද රතු, කළු පාට ඇඳුම් දරුවාට නොඅන්දවන්න. චාම් ඇඳුමක් අන්දවන්න. අවසානයේ “මගේ පුතාට තෙරුවන් සරණයි” කියා හිස අත ගා ආශිර්වාද කරන්න.
‍ජ්‍යොතිර්වේදී එඩී කරුණාතිලක
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බුදු දහමට අනුව දරුවන්ට අකුරු කියවිය යුත්තේ මෙහෙමයි Rating: 5 Reviewed By: Unknown