වල්පොලමුල්ල, ඇටන්වල, රඹුක්‌ඔළුව, දූවිලිඇල්ල, මානිගල සංචාරය කටුක හා දුෂ්කර වුවත්, අප්‍රමාණ අත්දැකීම් සහිත වින්දනීය ගමනක් වුවා මිස එහි දොසක් කියන්නට තැනක් ඉතිරි වූයේ නැත. මෙම සංචාර කිහිපයේදී වරින්වර අප සමඟ කණ්‌ඩායම් ලෙස එකතුවූ පිරිස්‌ද මේ අතිශය දුලබ අත්දැකීම් සමුදාය විඳගත්තේ "ඇවිද්ද පය දහස් වටී" තරම් ප්‍රීති ප්‍රමෝදයකිනි. එවන් එක් කණ්‌ඩායමක් වූ මාධව මහතාගේ දරු දැරි කණ්‌ඩායම ඉන්පසු දුම්බර වනපෙත අමතක නොවන සේ පුංචි සංගමයක්‌ද පිහිටුවා ගත්හ. ඒ "දුම්බර ගෙම්බෝ" නමිනි. මේ නමට හේතුවූ කරුණක්‌ද තිබිණි. එනම් මා සමඟ පිටවල පතනේ සංචාරයේ යෙදී සිටියදී ඔවුන්ට දුම්බර වනපෙතට පමණක් ආවේණික වූ "දුම්බර ගල්පර මැඬියා" දැක බලා ගැනීමේ දුලබ වාසනාව හිමිවීමය. එදා ලබාගත් මේ අපූරු වින්දනය නිසාම වන්නට අවසානයේ ඔවුහු තමන්ගේ කණ්‌ඩායමට දුම්බර ගෙම්බෝ නමින් නමක්‌ද තැබූහ.
කෙසේ හෝ රඹුක්‌ඔළුව ගම්මානයෙන් ඉහළ දූවිලිඇල්ල වනපෙතේ සංචාරයෙන් පසු ඊළඟ ගමන අප යොදාගත්තේ තවත් එවැනිම වු අපූරු වනපෙතක සංචාරය කිරීම සඳහාය. ඒ දුම්බර වනාන්තරයේ මාතලේ දිස්‌ත්‍රික්‌කයට අයත් නැගෙනහිර බෑවුමේ වනාන්තර තුළට ගමන් කරන අවසන් චාරිකාව ලෙසය.
රඹුක්‌ඔළුවෙන් යළිත් ලග්ගල ඉළුක්‌කුඹුර මාර්ගයට පිවිසි අපි ලග්ගල පල්ලේගම කඩමණ්‌ඩිය හරහා රණමුරේ, නාරංගමුව මාර්ගයට පිවිසුණේ ලග්ගල නොහොත් ලකේගල ලෙස ප්‍රසිද්ධ දුම්බර වනපෙතේ වැදගත්කම ප්‍රදේශයක් සොයාගෙන යාමේ බලාපොරොත්තුවෙනි. මෙම මාර්ගයෙන් ගමන්ගත් විට කිලෝමීටර් හයකදී පමණ රණමුරේ ගම්මානය මුණගැසේ. එතැනින් තවත් කිලෝමීටර දෙක තුනක් ගිය විට හමුවන්නේ නාරංගමුව හා ලකේගල ගම්මානයි.
මෙතැන් සිට තවත් කිලෝ මීටර් අටක් පමණ ගිරිහෙල්, ජල දුර්ග මැදින් ගලින්ගලට පාගමනින් ගියවිට මීමුරේ නම් අතිශය රමණීය මහනුවර දිස්‌ත්‍රික්‌කයේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් ගම්මානයට ළඟාවිය හැකිය. එහෙත් අපගේ මෙම ගමනේ බලාපොරොත්තුව මීමුරේ දක්‌වා පයින් යාමට වඩා තවත් වැදගත් ස්‌ථානයක් සොයා යැමය. ඒ සඳහා අපට මගපෙන්වන්නේ "දුම්බර මිතුරෝ" නම් දුම්බර වනපෙතට ආදරය කරන පරිසරවේදීන් පිරිසයි. ඔවුන්ගේ ආර්ථයෙන් ගත්කල මෙවන් සංචාර ප්‍රසිද්ධ කිරීම වනාන්තරය වැනසීමට උදව් කිරීමකි. එහෙත්, පරිසරය විඳීමට දන්නා, ගහට කොළට, සතා සිව්පාවාට ආදරය කරන කාට හෝ මෙහි පැමිණීමේ කිසිඳු බාධාවක්‌ද නැත. අවශ්‍ය වන්නේ කාබී විනෝද වී මත්පැන් බෝතලය කිහිල්ලේ ගසාගෙන විත් එයින් මත්වී මේ දුෂ්කර එහෙත් මනා සංස්‌කෘතියක් හිමි ගම්මාන පරිසර පද්ධති වනසන පිරිස් එහි කැඳවීමෙන් වැළකීමය. බොහෝ විට එවන් අමන පිරිස්‌ද අපගේ මෙම ලිපිමාලාව මගින් මෙවන් අද්විතීය වනාන්තරයකට කැඳවීම් ලබන්නට හේතුවනවා වන්නට පුළුවන. ඉදින් අපට ඉල්ලන්නට ඇත්තේ කරුණාකර එසේ පැමිණෙන පිරිස් දුම්බර වනාන්තරයට එහි ගැමියාට, සංස්‌කෘතියට නොගැලපෙන දේ මෙම ගම්මානවල නොකරන ලෙසටය.
ලග්ගල පල්ලේගම සිට ඉමාඩුව රණමුරේ හරහා නාරංගමුවට කිලෝමීටර් හතඅටක්‌වත් තිබේ. මේ ඉමාඩුව එකල රාවණ රජුගේ බලසේනාවේ ඊ මඩුව තිබු තැන ලෙස ගම්මුන්ගේ පිළිගැනීමය. රණමුරේ යනු රාම - රාවණ යුද්ධයේ රණකාමීත්වය ප්‍රකාශ වුණු තවත් එක් වැදගත් ගම්මානයකි. ඒ ගම්මුන් කියන කතාය. ජනප්‍රවාදවල එන්නේ ලක්‌ගල නොහොත් ලග්ගල රාවණ රජුගේ රාජධානිය පිහිටා තිබූ බලකොටුව මේ බවය. ඒ ගැන අප හරියට කරුණු කාරණා නොදන්නා නමුත් අප මේ ගමන් අරඹා ඇත්තේ එවන් වැදගත් ග්‍රාම නාම හා ස්‌ථානවලට රාවණයින් සම්බන්ධකර ඇති අපූරු පරිසර නිකේතනයක් දැක බලා ගැනීම සඳහාය.
මේ මාර්ගයේ දැන්නම් නාරංගමුව දක්‌වාම වාහනයක් ගමන් කළ හැකිය. නමුත් මීට දශයකට පමණ ඉහතදී යන්තම් වාහනයක් ගෙන යා හැකිව තිබුණේ රණමුරේ දක්‌වා පමණි. එතැන් සිට අඩිපාරේ ලකේගල, නාරංගමුව දක්‌වා පා ගමනින්ම යාමට ගම්මුන්ට සිදුවූහ. එපමණක් නොව, මේ මාර්ගයෙන්ම කිලෝමීටර් අටක් දහයක් පමණ ගෙවා මීමුරේ දක්‌වා යන අයද අදටත් නිරන්තරයෙන් හමුවේ. ඊට හේතුව දිස්‌ත්‍රික්‌ක දෙකක පිහිටා තිබුණද, මීමුරේ හා රණමුරේ, නාරංගමුව ප්‍රදේශවල ජනයා එකිනෙකා හා ආවාහ විවාහ වී නැදැයින් බවට පත්ව සිටිනා නිසාය. එනිසාම රනමුරේ මීමුරේ මාර්ගය දුම්බර වනපෙතේ ඇති පාරම්පරික අයිතියක් ඇති අඩිපාරක් ලෙස පිළිගැනේ.
අප මේ ගමන් කරන්නේද එම මාර්ගය දිගේය. නාරංගමුවට පැමිණි අප එහි වාහන නවතා දමා අඩිපාර දිගේ ගලින් ගලට පැන වනවදුල තුළට වැදුණේ දුම්බර වනාත්තරය තුළදී හමුවන වැදගත් පරිසර නිකේතනයකට ගොඩවදිනු පිණිසය. ඒ නම් ලකේගල හා උයන්ගොමුවයි. දුම්බර ගැමියා කියන පරිදි ලකේගල රාවණ රජුගේ බලකොටුවයි. උයන්ගොමුව රාවණායන්ගේ වනඋයන පිහිටි ස්‌ථානයයි. ඒ වනඋයනේ අතිශය රමණීය රුක්‌ගොමුවක් මෙන්ම චමත්කාරව ගලාබසින දියදහරාද වේ.
නෙක විසිතුරු සියොතුන් මෙන්ම සමනළ සලබ ආදී පියාසැරියන්ගෙන්ද අඩුවක් නැත. කඳු මුදුනක පිහිටි තැනිතලාවක් බව කියන මෙහි කියා නිමකළ නොහැකි ගුප්ත එහෙත් නිහඬතාවකින්ද සමන්විත වේ. පසෙකින් ලකේගලත්, එහි පාමුල ලකේගල, උල්පත්, ඊට බටහිර දෙසින් පිහිටි වමාරපුගලේ ඇති කපුඅම නම් දැවැන්ත ගල්ගුහාවත් සීතාදේවිය සමඟ රාවණ රාම සබඳතාව ගැන කියන කතාන්දරයේම කොටස් බවත් ගැමියෝ කියති. ඉදින් මෙවන් ස්‌ථානයක් දැකබලා ගැනීම දුම්බර වනපෙතට ගිය ගමනේදී අපට ලැබෙන දුලබ අවස්‌ථාවක් වෙයි. ඒ හේතුව නිසාම රාවණයන්ගේ ලකේගල, උයන්ගොමුව. කපුඅටුව ගල්ලෙන සොයාගෙන අපි නාරංගමුවෙන් ඉහළට ඇදුනෙමු.
ජගත් කණහැරආරච්චි
0 comments:
Post a Comment