728x90 AdSpace

Latest News
Friday 24 July 2015

සැබෑ මිතුදම සොයා ගනු


ලෝකෙ දිහා ඉස් ඉස්සල්ලාම ඇහැක් ඇරල බලන්න පටන් ගත්ත දවසෙ ඉඳන් සදහටම මේ ඇස් දෙක වහගන්න වෙන දවස වෙනකන් ගෙවිලයන මේ පුංචි කාලෙට අපිට කොච්චරනම් කෙනෙක් ඇසුරු කරන්න ලැබෙනවද? ඒ හැම කෙනෙක්ම එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස්, කවදාවත් එක වගේ දෙන්නෙක් හොයා ගන්න පුලුවන් කියන එක මේ ලෝකෙ වෙන්නැති දෙයක්. ඔය කොච්චර නානාප්‍රකාර අය හම්බුනත් තවත් කෙනෙක්ගෙ මිත්‍රයෙක්, යාලුවෙක්,හිතවතෙක් වෙන්න හම්බෙන්නෙ හරිම සීමිත පිරිසකට.ඒ වගේම තමයි ඒ සීමිත පිරිසෙනුත් හොඳ යාලුවෙක් එහෙම නැත්තම් කල්‍යාන මිත්‍රයෙක් කියන ගොන්නට කෙනෙක් වැටෙන්නෙ ඉතාම කලාතුරකින්.
ඉතින් මේ යාලුවොන්ටත් අරය හොඳයි, මෙය හොඳයි වගෙ ප්‍රතිරූප ආරූඪ කරපු පමනින් ඇත්තටම එයා හොඳ හෝ නරක වෙනවා කියන එක වෙන්නැති දෙයක්.ඒක අපි හැමෝම අත්දැකල ඇතිනෙ.කිරි පැණි වගෙ ඉන්න අය හෙට වෙනකොට නයයි පොළඟයි වගේ.සමහරුන්ගෙ යාලුකම් ඉවර වෙන්නෙ මිනී මරාගෙන, එහෙම දේවල් මේ ලෝකෙ විරල දේවල්නම් නෙවේ.
ඇත්තටම අපි කොහොමද ජීවිතේට හොඳම යාලුවො, එහෙමත් නැත්තම් කල්‍යාන මිත්‍රයෙක් හොයා ගන්නෙ.කාමයන් හොය හොය ඉන්න අපේ පුංචි මොල ගෙඩි වලටනම් ඒක තනියම හිතල කවදාවත් විසඳුමක් ගන්න බැරි දෙයක්.ඉතින් යාලුවනේ මේ දේ ගැන පරිපූර්න, විශිෂ්ඨ උත්තරයක් අපි හොයා ගෙන ගියොත් අපිට හොයන්න තියෙන්නෙ එකම එක දෙයක් තුල තමයි.ඒ දේ තමයි ලෝකෙ රහස් සියල්ල පරිපූර්ණ ලෙස, විද්‍යා විමුක්ති වශයෙන් අවබෝධ කල ඒ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය.
ඒ ශ්‍රී සද්ධර්මය කියන පැන් පොකුනෙ පිපිච්ච දීඝ නිකාය නම් පද්මයක ඇති සිඟාලෝවාද සුතුරනම් පියුම් පතේ ඇති කරුනු ටිකක මේ යාලුවො ගැන ලස්සන විස්තරයක් අඩංගු වෙනව.ඉතින් එතනදි සිඟාල කියන ඒ තරුණ කෙනාට අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරනව,පින්වත් ගෘහපති පුත්‍රය මේ මිතුරු නොවූ මිතුරු වෙසින් හැසිරෙන හතර දෙනෙක් සිටිනව.
පළවෙනි කෙනා තමයි:
1. යමක් ගැනීමට පමනක් යාලු මිත්‍රකම් පවත්වන තැනැත්තා :- බුදු රජාණන් වහන්සෙ දේශනා කරනව පින්වත් ගෘහපති පුත්‍රය මේ කෙන මෙන්න මෙහෙම දැන ගන්න කියල.
- හිස් අතින් ඇවිත් මිතුරාගෙන් යමක් ගෙන යන්නට උත්සහා කරයි
– සුලු දෙයක් දී ලොකු දෙයක් බලාපොරොත්තු වෙය
– තමන්ට බියක් ඇති කල ඔහුගේ කටයුතු කරයි
– තමන්ගේ ප්‍රයෝජනය පිනිස කටයුතු කරයි
තමන්ට දෙයක් ලබන්න ඕන උනාම ජීවිතය පුදන්න වගේ කතාකරන අය දැකල ඇති නේද ඔයාල. හැබැයි උදව්වක් කරගත්තට පස්සෙ යාලුකමුත් මතක නැති උදවිය ඉන්නව.ඔන්න ඉතින් කාලයක් ගිහින් හිනා මූන දාගෙන ආයිත් එනව උදව්වක් ඕන උනාම. මහජනතාව හා දේශපාලකයන්ගෙ හිතවත්කම් බොහෝ විට අයිති වෙන්නෙත් මේ ගණයටම තමයි.තවත් පිරිස් ඉන්නව තව කෙනෙක්ගෙන් ධර්මය ඉගෙන ගෙන ඉගෙන ගත්තු තැනටත් ගරහ ගරහ යන උදවිය. මෙයාල හරිම සුලබයි අද කාලෙනම්.
දෙවෙනි කෙනා තමයි
2.වචනයෙන් පමනක් සැලකීම් කරන තැනැත්තා :- මෙයා ගැනත් මෙන්න මේ කරුනු හතරින් දැන ගන්න කියල බුදු රජාණන් වහන්සේ දේශනා කරනව
- ඉකුත් වූ දෙයින් සංග්‍රහ කරයි
– මතු ඇතිවන දෙයින් සංග්‍රහ කරයි ( බොරු පොරොන්දු )
– කටයුත්තක් පැමිනි විට තමන්ට වූ විපත්තිය දක්වයි
මේ යාලුවත් හැම කෙනෙක්ටම ඇති.ඔන්න හම්බුනාම ” හරි හරි බයවෙන්න එපා මම ඕක කරල දෙන්නම් සුලුදෙයක්නෙ කියනව.හැබැයි උපකාරයක් ඉල්ලන් ගියාම මග හරිනව. එක්කො පස්සෙ ඇවිත් කියනව “අනේ මට එදා ලොකූ වැඩකට යන්න උනානෙ, නැත්තම් මම අනිවාර්යෙන් ඔයාගෙ වැඩේ කරල දෙනව කියල.තව කෙනෙක් මෙහෙම කියනව. ඔයා ඕන උදව්වක් ඕන වෙලාවක හිත හිත ඉන්න එපා මට කෝල් එකක් දෙන්න කියල.උදව්වක් ඉල්ලුවම එක්කො නිශ්ශබ්දයි එහෙමත් නැත්තම් කියනව ඔයා පරක්කුයිනෙ ඕක කලින් කියන්න තිබ්බනෙ කියල.
දැන් ඔන්න තුන් වැනිය
3. තමන් ඉදිරිපිටදී ස්තූති බස් රැවටිලි බස් කියන තැනැත්තා. :- මෙයත් හරි භයානක චරිතයක්.බුදුරජාණන් වහන්සේ දේශනා කරනව
-මිතුරාට පව් කිරීමද අනුමත කරයි, කුසල් කිරීමද අනුමත කරයි
– ඔහුගේ ඉදිරියෙහි ගුණ කියයි, නැති තැන අගුණ කියයි.
සමහර කට්ටිය ඉන්නවනෙ මූනට මූන හම්බුනාම අහ්.. කොහොමද දැන් හොඳයි නේ කියල අහල චුට්ටක් පහුවෙනකන් ඉඳල ඕකුන් ඔහොම හිටියට වැඩක් නැහැ උන්ගෙ ඒව දන්නෙ අපිනෙ කියල යන.අන්න ඒ වගෙ පිරිස් වැටෙන්නෙ මෙන්න මේ කොටසට තමයි.
අවසාන එක්කෙනා තමයි
4. පව් කම් සඳහා යාලුකම් කරන තැනැත්තා :- මෙන්න මේ කෙනානම අතිශයින්ම භයානකයි. භාග්‍යවතුන් වහන්සේ මෙයාව හඳුන්වල දෙනව,
- මත් පැන් පානය කිරීමෙහි නැවත නැවත යෙදීමෙහි යාලු වෙයි
– නොකල්හි වීදි සංචාරය සඳහා නැවත නැවත් යෙදීමෙහි යාලු වෙයි
– නැටුම් ඇති තැන් වල හැසිරීමෙහි යාලුවෙයි
-සූදු කෙලියෙහි නැවත නැවත යෙදීමෙහි යාලු වෙයි
මෙයා ගැනනම් ඉතින් දන්නෝ දනිති.මෙයා වැඩිපුර කැමති කල්ලි ගැහෙන්න, ඩී ජේ වලට, පාටි වලට ඔන්න ඔය වගේ ලාමක දේවල් වලට තමයි. ඒවගෙ යෙදෙන අයවත් බොහොම ඉහලින් වර්ණනා කරනව. ඒ වගේම තමයි එවැනි දේවල් අනිත අයට කියන්න රස කර කර. ඒවගෙන් ඈත් වෙල ඉන්න අයව මේ පාප මිත්‍රයන්ට එච්චර ප්‍රිය නැහැ.
බලන්න යාලුවනේ අපගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගෙ සම්බුදු නුවණ. අපිට කවදාවත් මේ වගේ දෙයක් තනියෙන් හිතලනම් ගන්න බැහැ. ඒකට තමයි අපි ඒ ධර්මය කියන මිත්‍රයන් ඇසුරු කලයුත්තේ. කල්‍යාන මිත්‍රයන් ගැනත් උන් වහන්සේ නිතර දේශනා කලා. දීර්ඝව විස්තර කරා.වරක් උන් වහන්සේ පැවසුවේ ” පින්වත් ආනන්ද මේ මුලු බුද්ධ සාසනේම පවතින්නෙ කල්‍යාන මිත්‍ර ඇසුර මතයි කියල.මේ ධර්ම කරුනු වලට පාදක වුනේ මාලබේ අමාවතුර මහමෙව්නා අසපුවෙහි වැඩ සිටින පින්වත් ස්වාමින්වහන්සේ නමකගේ දේශනාවක්. ඉතින් ඔබටත් මටත් කවදාවත් නම් පාප මිතුරු ඇසුරක් අසුරු සැනක මොහොතක්වත් ලැබෙන්න එපා!! නිතර කලන මිතුරු ඇසුරම ලැබේවා!..
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සැබෑ මිතුදම සොයා ගනු Rating: 5 Reviewed By: Unknown