ආදරය ගොඩබිම නම් රාගය මහ මුහුදයි . ඉහත කවි දෙපදය පළමුවරට මා නෙත ගැටුණේ මෙයින් වසර 20කට පමණ පෙර එක්තරා ජාතික පුවත්පතකිනි. ඡායාරූපයක් සඳහා ලියැවුණු නිසඳැස් කාව්‍යයක අවසන් පද දෙක වූ එය මා සිතට තදින් ඇතුළු විය.
ඡායාරූපයේ වූයේ මුහුදු වෙරළක කුඩයකට මුවා වී සිපවැලඳගනිමින් සිටින පෙම්වතුන් යුවළකි. එහි පුළුල් අර්ථය වූයේ ගොඩබිම මත පහසුවෙන් රිසි ලෙස පියමං කළ හැකි නමුත් ප්‍රචණ්ඩ රැළි නඟන මහ මුහුද මත එලෙස ඇවිද යා නොහැකි බවත් ආදරය ගොඩබිම හා සමාන වන නමුත් රාගය මහ මුහුද මෙන් ප්‍රචණ්ඩ වන බවත් ය. සැබැවින් ම එය සත්‍යයක් නො වේ ද?
අද සමාජයේ තරුණතරුණියන් ආදරය සහ රාගය යනු දෙකක් නොව එකක් ලෙස දකිති. රාගයෙන් තොර ව ආදරයක් පවත්වාගෙන යා නොහැකි බවට උදාහරණ ද ගෙන හැර දක්වති. ‘ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යය යි’ යනුවෙන් ගී පද මිමිනුව ද එවැනි වටාපිටාවක් සමාජය තුළ නම් දැකගත හැකි නො වේ. වර්තමාන තරුණ හදවත් තුළ පවතින්නේ අවප්‍රමාණික ප්‍රේම හැඟුමන් යැ යි සැක සිතෙන තරමට ‘සමාජය තුළ කාමර’ සංස්කෘතියක් ගොඩනැඟී ඇත. පෞද්ගලික පන්ති යන මුවාවෙන් නිවෙස්වලින් බැහැර ව තම පෙම්වතා හෝ පෙම්වතිය සමඟ හෝටල් කාමර තුළ සිට හදිසි වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා බාලවයස්කාර තරුණතරුණියන්ගේ සංඛ්‍යාව සුළු පටු නො වේ. ඉඳුරන් පිනවීමෙන් සදාකාලික තෘප්තියක් සැනසීමක් ලද කිසිවකු ගැන ඔබ අසා තිබේ ද?
තාරුණ්‍යය යනු රටක සමාජ ප්‍රගමනයෙහි ලා ඉවහල් වන ප්‍රබල බලපෑම් සාධකයකි. නමුත් බහුතරයක් වත්මන් තරුණ පරපුර තුළ සමාජ දේශපාලනික ආර්ථික දැක්මක් හෝ එවැනි හරයන් ග්‍රහණය කරගන්නා බවක් හෝ දකින්නට නැත.
ආදරය සහ රාගය වෙන් කොට හඳුනාගැනීමට නම් ඒ දෙකෙහි අරුත වටහාගත යුතු ය. ආදරය යන වචනයේ අර්ථය සැලකීම තැකීම වැනි වූවක් බව ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් මහතාගේ අදහස යි. පාලි බසෙහි අනාදර යන්න යෙදෙන්නේ නොසැලකීමේ නොතැකීමේ අරුතින් බවත් එහි විරුද්ධාර්ථය ආදරය නැත හොත් සැලකීම, තැකීම බවත් එතුමා වැඩිදුරටත් පෙන්වා දේ.
ආදරය ඔබ අප කා හටත් අවශ්‍ය ය. ලොව පවතින්නේ ආදරය, සෙනෙහස, දයාව, අනුකම්පාව ආදි යහපත් මානුෂික හැඟීම් මත ය. ආදරය ලබන්නට, ආදරය විඳින්නට අකැමැති කිසිවකුත් ලොව ඇතැ යි සිතිය නොහැකි ය. ආදරයේ ප්‍රභේද රාශියක් ඇත. මවුපියන් විෂයයෙහි දූදරුවන් දක්වන ආදරය එකකි. බිරියට, සැමියාට දක්වන ආදරය, දූදරුවන්ට දක්වන ආදරය එකිනෙකට වෙනස් වූ හැඟීම් ය. බුදුන් වහන්සේ දේශනා කරන්නේ පළමුපව තමන් තමන්ට ආදරය කළ යුතු බව ය. එලෙස තමා තමන්ට ආදරය කරන්නේ නම් ඔහු යම් යම් සරල සිදුවීම්වලින් සසල ව සිය දිවි නසාගන්නට පෙලඹෙන්නේ නැත. තමන් තමන්ට ආදරය බව දන්නේ නම් ඔහුට සසර ජය ගත හැකි බව බුදු සමයේ ඉගැන්වීම යි. රාග, ද්වේෂ, මෝහ ආදි සිත කිලිටි කරන කෙලෙස් හේතුවෙන් සිත අපවිත්‍ර වන බවත් එවැනි කෙලෙස්වලින් තොර වූ සිත ඔපදැමූ මැණිකක් සේ බබළන බවත් බුදු දහමේ දැක්වේ.
ආදරය යන්නට බෙහෙවින් දුරස් වූ රාගය යන වචනයේ අර්ථය ඇලීම යන්න යි. එය පාලි භාෂාවේ ‘රඤ්ජ’ යන ධාතුවෙන් උපන්නක් බව පෙන්වා දෙන අදිකාරම් මහතා රාගයෙහි ඇත්තේ ඇලීම බවත් ආදරයෙහි ඇත්තේ නොඇලීම බවත් පෙන්වා දෙයි. තමන්ගේ සැපත, සතුට, ආස්වාදය පිණිස තවෙකකු ළං කරගැනීම රාගය යි. ආදරය මලකින් සුවඳ විහිදී යෑමක් හා සමාන ය. එය මලට ඇදගැනීමක් නො වේ. තමන්ට ප්‍රයෝජනයක් සලසාගැනීමේ කුහක අදහසක් ආදරයට නැත.
ලෝකයේ දියුණු ම සත්ත්වයා මිනිසා යැ යි සිතා අපි මහත් ආඩම්බරයෙන් උඩඟු ව සිටින්නෙමු. සැබෑ ය. මිනිසා සියලු තිරිසන් සතුන්ට වඩා උසස් බුද්ධියකින් යුතු ය. සොබාදහම පවා යම් තරමකට පාලනය කිරීමේ හැකියාවක් මිනිසා සතු ය. එහෙත් ආශාවන් මුදුන් පමුණුවාගැනීමේදී ඔහු තිරිසන් සතුන්ටත් වඩා ප්‍රාථමික බව සමාජයේ සිදු වන ඇතැම් සිදුවීම්වලින් තහවුරු වේ. අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේදී කාමාතුරයකු අතින් අහිංසක දියණියක අමානුෂික ලෙස දූෂණයට ලක් වීමේ සිද්ධිය දියුණු යැ යි සම්මත මිනිසා තුළ සිටින තිරිසනා ඉස්මතු වූ අවස්ථාවකි. මේ එක් සිදුවීමක් පමණි. මාධ්‍යයට අනාවරණය නොවන මෙවැනි සිදුවීම් කොතෙක් නම් මේ දහම් දිවයිනේ සිදුවනවා ඇද්ද? තම පියා අතින් දූෂණයට ලක් වන දියණියන් ගුරුවරයා අතින් දූෂණයට ලක් වන සිසුවියන් මෙන් ම ආදරයේ මුසා බසින් රැවටී තම පෙම්වතා අතින් දූෂණයට ලක් වන පෙම්වතියන් පිළිබඳ ව ද කතා පුවත් දිනපතා අසන්නට ලැබේ.
තිරිසන් සතුන්ට ඇති වන රාගය සම්පූර්ණයෙන් ම ශාරීරික ය. එය සීමා සහිත ය; ස්වාභාවිකය. නමුත් මිනිසා සතු පරිකල්පන ශක්තිය හේතුවෙන් ඔහු රාගයෙන් සිත උමතු කරගනී. එබඳු රාගයට සීමාවක්, නිමාවක් නැත. සිත් රූප මවාගැනීමෙහි සමත් බව නිසා මානසික රාගය ඇවිළීම සිදු වේ.
කෙලෙස් අතර රාගය දරුණු ක්ලේශයක් බවයි බුදු දහමේ ඉගැන්වෙන්නේ. ‘නත්ථි රාග සමො අග්ගි’ යනුවෙන් රාගය හා සමාන ගින්නක් නැතැ යි බුදු දහමේ දැක්වේ.
අද සමාජයේ තරම් ම නොවූව ද බුදු පියාණන් වහන්සේ ජීවමාන සමයේ ද රාගයෙන් සිත ව්‍යාකුල කරගත් විෂම මමෝභාවයන්ගෙන් යුතු පුද්ගලයන් වූ බව උන් වහන්සේගේ ඇතැම් දේශනා සහ ජාතක කතා ඇසුරෙන් සනාථ වේ.
අඳන කඩක් හැඳ දිය නාමින් සිටි මහා කච්චායන මහ රහතන් වහන්සේ පිළිබඳ කාම සංකල්ප පහළ කරගැනීමේ පාපය නිසා පුරුෂයකු ව සිටියදී ම ස්ත්‍රියක බවට පත් වූ සෝරෙය්‍ය සිටුවරයා පිළිබඳ කතා පුවතක් ධම්මපදයේ දැක්වේ.
මිනිසා සතු අසාමාන්‍ය ලිංගික චර්යා පිළිබඳ කුණාල ජාතකයෙහි දැ්කවේ. අධික කාමාශාව, ලිංගික හැසිරීම් හොරෙන් බලා සිටීම, ලිංගිකත්වය ප්‍රදර්ශනය කිරීම, කණ්ඩායම් ලිංගික හැසිරීම ආදිය මේ අතර වේ.
ප්‍රාතිමෝක්‍ෂ විනය ශික්‍ෂා පද අතර ද මෙබඳු කරුණු නිසා සිදු වන ඇවැත්වලින් මිදී සංවර ව කටයුතු කිරීම පිණිස පැනවූ ශික්‍ෂා පද දැකිය හැකි ය.
බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන්ගේ රූප සම්පත්තිය දැක රාගයෙන් අන්ධ ව සිටි ‘ප්‍රකෘති’ නම් සැඬොල් තරුණියත්, ජනපද කල්‍යාණියගේ රූප ශ්‍රීයෙන් මන්මත් ව සිටි නන්ද කුමාරයාත් යන දෙදෙනාට බුදුන් වහන්සේ උපක්‍රමශීලි ව කරුණු පහදා දී රාගාදි කෙලෙස් හැඟීම්වලින් මුදාගත් පුවත් අප අසා ඇත.
හොඳින් සෙවිලි නොකළ නිවෙස වර්ෂාවෙන් තෙමී විනාශ වී යන්නාක් මෙන් භාවනාවෙන් නොදැමුණු සිත රාගය විසින් වනසාදමන බව බෞද්ධ ඉගැන්වීම යි.
ඉතා මෑතක් වන තුරු ම බටහිර සමාජයේ පිළිගත් මතය වූයේ මානසික සැපයට හේතු වන්නේ කායික සැපය උපරිම ලෙස භුක්ති විඳීම බව යි. එහෙත් බෞද්ධ ඉගැන්වීම එයට සපුරා වෙනස් වූවකි. එනම් මානසික සතුට කායික නීරෝගිභාවයට ඍජු ව ම හේතු වන බව යි.
මිනිසාගේ මානසික සෞඛ්‍යය ක්‍ෂණික ව අඩපණ කරන මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය ද මිනිසා සතු තිරිසන් ගති ඉස්මතු වීමට බලපාන ප්‍රබල සාධකයකි. ඉන් සිදු වන කායික හා මානසික හානි පිළිබඳ පුනපුනා පැවසිය යුතු නොවූවත්, සිඟාලෝවාද සූත්‍රයෙහිදී භෝග විනාශ මුඛයක් ලෙස පෙන්වා දී ඇති මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙහි ආදීනව නැවත සිහිපත් කිරීම වටී. තම ධනය විනාශ වීම, කලකෝලාහලවලට ගොදුරු වීම, නොයෙක් රෝග පීඩාදිය වැලඳීම, අනුන්ගේ නින්දා අපහාසවලට ලක්වීම, ලජ්ජා භය නැති ව යෑම, ඥාන ශක්තිය දුර්වල වීම යන ආදීනව මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නවුනට අත් වන බව යි, සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වෙන්නේ.
ඉහත ද පෙන්වා දුන් පරිදි නිරතුරු මානසික රාගයෙන් යුක්ත පුද්ගලයාගේ මත්පැන් භාවිතයත් සමග ඔහු සිත තුළ සැඟව සිටින රාගය නමැති යක්‍ෂයා අවදි වේ. ඥාන ශක්තියෙන් ද පිරිහී ගිය, ලජ්ජා භය දෙක ද නැති පුද්ගලයා හට නොකළ හැකි පාපයක් නැත. ඔහුගේ කාමුක ආශාවන් සංසිඳවාගැනීමට තමන්ගේ ම දියණිය, සොහොයුරිය, පාසල් සිසුවිය පමණක් නොව, වයස්ගත මහලු කාන්තාවක වුව ද ගොදුරු කරගත හැකි ය. අප ජීවත් වන සමාජය එබඳු ය. දසත සිටින්නේ විකෘති කාම ආශාවන්ගෙන් පෙළෙන මිනිස්සු ය. බස් රියේ ඔබ අසල එක ම අසුනේ අසුන්ගෙන සිටින්නේ එවැන්නකු විය හැකි ය. පාසල් වෑන් රථයේ රියැදුරා, විශ්වාසවන්ත අසල්වැසියා, අවංක මෙහෙකරුවා එවැනි මානසික ව්‍යාධියෙන් තොර පුද්ගලයකු යැ යි සහතික දිය හැකි නො වේ. එබැවින් සියල්ලන් කෙරෙහි සැකයෙන් නොව, අවධානයෙන් සිටීම වැදගත් ය. එවිට එවැනි සිදුවීම් අවම කරගැනීමට හෝ හැකි වනු ඇත.
ලෝකය යනු තමා ය. ‘බඹයක් පමණ වූ මේ ශරීරය තුළ ලෝකයත්, එහි හට ගැනීමත්, පැවැත්මත්, නිරෝධයත් පනවමි’ යැ යි බුදුන් වහන්සේ දේශනා කළ සේක්, එහෙයිනි. පුද්ගල සදාචාරයේ දියුණුව හෝ පරිහානිය සමාජය නමැති කැඩපතින් පිළිබිඹු වන්නේ යැ යි කියැවේ.
බුදු දහම තරම් මැනවින් ඉඳුරන් පිනවීමෙහි ආදීනව පෙන්වා දෙන වෙනත් දහමක් නොමැත. සංයුක්ත නිකායේ කූමෝපම සූත්‍රයෙහි දැක්වෙන මෙම කුඩා කතා පුවත බලන්න.
දිනක් ආහාර සොයමින් ගිය ඉදිබුවකුට ආහාර සොයමින් තමා ඉදිරියට එන හිවලකු දකින්නට ලැබිණ. හිවලා තමා අල්ලාගත හොත් සිදු වන විපත දත් ඉදිබුවා තම පාද හතරත් ගෙලත් වහවහා තම කටුව ඇතුළට ගෙන නිසොල්මන් ව සිටියේ ය.
මෙහි ඉදිබුවාගේ පාද හතරත් ගෙලත් බුදුන් වහන්සේ උපමා කොට දක්වන්නේ පංචේන්ද්‍රියන්ට ය. ඉදිබුවා අඟපසඟ හකුළාගත් සේ කෙලෙස් නමැති මාරයාගෙන් ආරක්ෂා වීමට ඉඳුරන් සංවර කරගත යුතු බවයි, බෞද්ධ ඉගැන්වීම.
කැඩපතකින් ලොව දකිනා විට කිසිවක් එහි නොඇලෙන්නා සේ ම ලොවෙහි ඇති කිසිවකට සිතින් නොඇලෙන්න. සිත දමනය කරගන්න. ‘සචිත්ත පරියෝ දපනං’ යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළේ මෙය යි.
කෙසේ වුව ද ‘නමස්කාර’ යෞවනයේ සඟරාවෙන් යොවුන් ඔබට මග පෙන්වන්නේ ඉඳුරන් පිනවීම සඳහා කරන ආදරයෙන් ඉවත් වී, ආදරයේ සැබෑ අරුත් හඳුනාගෙන සමාජ ප්‍රගමනයට දායක වන ලෙස යි.
මෙය කිසි ලෙසකින් ඔබ ගිහි ගෙයි කලකිරවීම පිණිස නො වේ; නුවණින් සිතා බලා සැබෑ මානව හිතවාදී හැඟීමෙන් කටයුතු කරනු සඳහා ම ය.
0 comments:
Post a Comment