728x90 AdSpace

Latest News
Wednesday 15 July 2015

මානසික ආතතිය ජීවිතයේ යහපැවැත්මට හේතුවන බව ඔබ දන්නවාද?


මානසික අතතිය යනු පුද්ලයාගේ උපතේ සිට පවතින දෙයක්. මේ නිසාම ඉතාම කුඩා දරුවන් පවා කෑගැසීම්, ඇඬීම් ආදී හැසිරීම් රටාවන් පෙන්නුම් කරනු ලබනවා. දරුවෙක් වර්ධනයවනවාත් සමඟම වැඩිහිටියන් ලෙස ඔවුන් හැසිරිය යුතු ආකාරය, සමාජ චාරිත්‍ර වාරිත්‍ර ආදිය උගන්වනවා. ඒ වගේම කළ නොකළ යුතු දෑ පිළිබඳවද ඔවුන්ව හොඳින් දැනුවත් කරනවා.
මේ සෑම ආකාරයකින්ම අපි සිදුකරන්නේ කුඩා දරුවන්ගේ චර්යා රටා පාලනය කිරීමට උත්සාහ දැරීමයි. මේ නිසාම ඔවුන් තුළ යම් මට්ටමකින් තමා කළ නොකළ යුත්තේ කුමක්ද ඒ වගේම කළ යුතු දේ නොකිරීමෙන් හා නොකළ යුතුදේ කිරීමෙන් ඇතිවන තත්ත්වය පිළිබඳ යම් ආතතිමය තත්ත්වයක් ඇති වේ. මේ ආතතිය දරුවාගේ ගතිගුණ, සිතුවිලි, හැසිරීම් සදහා යහපත් ලෙස හැඩගසා ගැනීමට බලපවැත්වෙයි. ඒ වගේම අධ්‍යාපනය ලැබීම හා සම්බන්ධයෙන්ද ආතතිමය තත්ත්වයක් මනසේ ඇති කිරීම ඉතා යහපත් බව පැහැදිලි කරගත හැකි වේ.
දැඩි බලපෑමක් ඇති නොකර අධ්‍යාපනය ලබාගැනීමේ යහපත් අංශය පිළිබඳ හා ඉගෙන ගැනීමෙන් අනාගතයේදී ලැබෙන වාසි සහගත තත්ත්වයන් දරුවාට කියා දීමෙන් දරුවාගේ මනස තුළ ඇතිවන ආතතියෙන්, හොඳින් අධ්‍යාපනය ලබා ගැනීමට දරුවා පෙළඹීමට හේතුවේ. උදා ලෙස ඉගෙන ගැනීමෙන් හොඳ පිළිගැනීමක්, උසස් සමාජ මට්ටමක් ලබා ගත හැකි බව ආදි උපදෙස් දැක්විය හැකියි.
ඒ වගේම අනෙක් අතට විභාගය අසමත් වීමෙන් දරුවාට මුහුණ දීමට සිදුවන නරක ප්‍රතිඵල පිළිබඳව දරුවා තුළ පෙරදී දැනුවත් කළ තොරතුරු වගේම යම් අවබෝධයක් ඇති කිරීමෙන්ද දළ මානසික ආතතියක් ඇති කිරීමට හැකියි. එසේවූවත් මේ මනෝමය තත්ත්වය යහපතට පමණක්ම හේතුවන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි. තවද දරුවා මීට දක්වන ප්‍රතිචාරයක් ලෙස ආතතිය අවමකර ගැනීමට පාඩම් කිරීම, ක්‍රීඩා කිරිම,සෞන්දර්යාත්මක ක්‍රියා ආදිය සිදු කරයි. ඒ තුළින් ආතතියේ නරක ප්‍රතිඵල අවම වී එය පෙර දැක්වූ ආකාරයෙන් යහපතටම හේතුවෙයි. දරුවා අධ්‍යාපනය ලැබීමේ කඩඉමකට පැමිණි පසු සමාජය සමඟ ජීවත් වීමට පටන් ගනියි.
එවිට සමාජගත සම්ප්‍රදායන්, සිරිත් විරිත් හා ඒවා කඩ කිරීමෙන් මුහුණ දීමට සිදුවන නරක ප්‍රතිවිපාක (උදා. දඬුවම් විඳීමට සිදුවීම, අවමන් අපහාස ලැබීම ආදිය, ගැරහීම් වලට ලක්වීම) ආදී දේ දරුවන්ට පැහැදිලි කරන විට යම් බියක් මනසේ වර්ධනය වේ. මෙය යම් ආතතිමය තත්ත්වයක්. ඒ නිසා දරුවන් ඊට දක්වන බිය තුළින් යම් ගරු කිරීමක් පෙර දැක්වූ සමාජ සම්මතයන් සඳහා දැක්වීමට පටන් ගනියි. ඒ නිසා ඔවුන් සමාජ විරෝධි ක්‍රියාවලින් බැහැර වී කටයුතු කිරීමට උත්සාහ ගනියි. මෙවැනි සරලව ඇතිවන මානසික ආතති නිසා අභිමානයන්, හැදියාවන් ආදී දරුවෙකු තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණාංග ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමක් සිදුවෙයි.
මීට අමතරව සොරකම්, දුෂණ, මැරකම් කිරීමේ අහිතකර පැතිකඩ පිළිබඳ තරුණයන් තුළ යම් ආතතියක් ඇති කිරීමෙන් ඔවුන් ඒ තුළින් වැළකී යහපත් ලෙස හැසිරීමට පටන් ගනියි. මෙසේ තම තමන්ගේ හැසිරීම් පාලනය කර ගැනීමට උත්සාහ කිරීමෙන් ඔවුන් තුළ අස්වාභාවික හැසිරීම්,චර්යාවන් ඇති නොවේ. ආතතියේ යහපත් අංශය පිළිබඳ කතාබහ කරන විට රියදුරෙකුට තිබිය යුතු ආතතිය පිළිබඳ අනිවාර්යෙන් කතාබහ කළ යුතුයි.
ඒ අනුව රියදුරෙකුට ආතතියක් ඇති නොතිබුණහොත් තමාට කැමති ආකාරයටම වාහනය පදවාගෙන යාමට ඔහු උත්සාහ කරයි.නමුත් ආතතිය එය වළක්වායි. ඒ වගේම සෞඛ්‍ය පිළිබඳවද ආතතිමය තත්ත්වයන් ඇති කර ගැනීම පිළිබඳ අනිවාර්යෙන්ම කතාබහ කළ යුතුයි. එවැනි තත්ත්වයකදී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අපි කළ නොකළ යුතු දේවල් හා සම්බන්ධව හොඳ හා නරක වශයෙන් යම් ආතතියක් ඇති කොටගෙන තිබෙයි.
උදාහරණයක් ලෙස සීනි වැඩිපුර ආහාරයට ගැනීම නිසා දියවැඩියාව වැළඳේ, යන ආතතිය නිසා අපි එයින් වැළකී සිටීමට උත්සාහ කරයි. එසේ කිරීමෙන් අපගේ සෞඛ්‍යයට අයහපතක් නොව යහපතක්ම සිදුවෙයි. තවද ඩෙංගු,බරවා වැනි වසංගත රෝග සඳහා හේතුවන තොරතුරු පිළිබඳ අපි යම් දැනුවත් වීමක් ලබා ගනිමු. ඒ තුළින් අප තුළ යම් ආතතියක් ඇති වී මදුරුවන් බෝවන තැන් සුද්ද පවිත්‍ර කිරීමට වගබලා ගනිමු.
මුදල් ඉතිරිකිරීම,මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම ආදිය සම්බන්ධයෙන්ද මේ න්‍යාය ඒ ආකාරයටම ක්‍රියාත්මකයි. කෙසේවෙතත් මේ ආතතිමය තත්ත්ව නිසා කායික රෝග ලක්ෂණ පහළ නොවේ. සිදුවන්නේ මනසේ ඇතිවන ක්‍රියකාරීත්වයෙන් ඒ අදාළ තැනැත්තාගේ යහපතට කටයුතු සැලසීමයි. මේ තුළින් සමාජයට, පුද්ගලයාට , රටට සිදුවනනේ යහපතක් පමණයි. ඒ නිසා ඕනෑම පුද්ගලයෙකුට කායික වශයෙන් මානසික වශයෙන් යම් බලපෑමක් සිදුනොවී මනස තුළ යම් ආතතිමය තත්ත්වයක් ඇති කිරීම අනිවාර්යෙන් කළ යුතු දෙයක් ලෙස හඳුන්වා දියහැකියි.
මෙය මුළු ජීවිතයටම බලපැවැත්වේ. මේ තුළින් හොඳ චර්යා , යහපත් ක්‍රියාකාරකම්, විනයන් මෙන්ම මිනිසුන් දියුණු වන්නේද මේ ආතතිමය තත්ත්වයන් නිසා බව සිතට ගත යුතුයි. ඒ නිසාම මනෝ වෛද්‍ය විද්‍යාවේ ආතතිය යනු රෝගයක් නොව මනසේ ඇතිවන යම් මානසික තත්ත්වයක් පමණක් බවද විශේෂයෙන් පහදා දියහැකියි.
අස්වාභාවිත මානසික ආතතිමය තත්ත්වයක් ඇතිකර නොගෙන මනසේ යම් මට්ටමකින් හෝ ආතතිමය තත්ත්වයක් ඕනෑම පුද්ගලයෙකු තුළ පැවතීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මානසික ආතතිය ජීවිතයේ යහපැවැත්මට හේතුවන බව ඔබ දන්නවාද? Rating: 5 Reviewed By: Unknown