මෑතක සිට වඳවී යන සත්ත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින මුහුදු කැස්බෑවා සැලකෙන්නේ මිලියන 100කටත් එපිට අතීතයක සිටම සාගර ආශ්‍රිතව බහුල වශයෙන් දක්නට ලැබුණු සත්ත්ව විශේෂයක් ලෙසින්ය. ඩයිනෝසරයන්ගේ ඇතිවීමත්, නැතිවීමත් කෙසේ සිදුවූවාද යන්න පිළිබඳව නිශ්චිත හඳුනා ගැනීමක් නොමැති වුවද ඊට සමාන කාලයක සිටම සාගර ආශ්‍රිතව ජීවත් වන මුහුදු කැස්බෑවා මෑතක් වනතුරුම බහුල වශයෙන් ජීවත් වීමත්, ඉන් පසු ටිකෙන් ටික වඳවී යෑමට පටන් ගැනීමත් ලෝකයේ දැනට ඉතිරිවී ඇති කැස්බෑ වර්ග 7න් 5ක්ම ලංකාව අවට මුහුදේ ජීවත් වීමත් නිසා ලාංකික අපට කැස්බෑවා ඉතා විශේෂ සත්ත්වයකු බවට පත්වනවා ඇත. මැයි 23 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර කැස්බෑ දිනය නිමිතිකොටගෙන කැස්බෑවුන් පිළිබඳ කතාබහ තව තවත් ඇදී එද්දී මුහුදු කැස්බෑවුන් වෙනුවෙන් එසේ ජාත්‍යන්තර දිනයක් වෙන් කිරීමේ වැදගත්කම පිළිබඳවද අප අවධානය යොමු කළ යුතුය.
දැනට වඳවී යෑමේ තර්ජනයට ගොදුරු වී සිටීම නිසා 1972 වසරේදී වන සත්ත්ව සහ තුරුලතා ආරක්ෂක ආඥා පනත යටතේ නීතිගත කළ පරිදි කැස්බෑවුන් නීතියෙන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇතත් දිගින් දිගටම කැස්බෑ දඩයම සිදුවීම මහත් කනගාටුදායක තත්ත්වයක් බවට පත්වී හමාරය.
සාමාන්‍යයෙන් කැස්බෑවා සැලකෙන්නේ දීර්ඝායුෂ ඇති සත්ත්ව විශේෂයක් ලෙසය. අවුරුදු 80 සිට 120ක් තරම් කාලයක් කැස්බෑවා එක් ජීවිත කාලයක් ගත කරන බව පර්යේෂණවලින් හෙළිවී තිබේ. අතීතයේදී විශාල වශයෙන් වාසය කළා යැයි පැවැසෙන සාගර කැස්බෑවුන් විශේෂ සියල්ලක්ම මේ වන විට සිටින්නේ වඳවී යෑමේ තර්ජනයට ලක්වය.
සාමාන්‍යයෙන් අනෙක් සතුන්ගේ පැටවුන් බෝවීමේ ක්‍රමයට බොහෝ සෙයින් වෙනස් ක්‍රමයකට සිදුවන කැස්බෑවුන්ගේ බෝ වීම ඉතා දීර්ඝ කාලයකට පසුව සිදුවන්නක් ලෙස සැලැකේ.
මුහුදු ජලයේ ජීවත් වන කැස්බෑවුන් සංසර්ගයේ යෙදෙන්නේද මුහුදු ජලය තුළදීම වන අතර ගැහැනු කැස්බෑවා පිරිමි සතුන් කිහිප දෙනකු සමඟම සංසර්ගයේ යෙදීම එහි ඇති විශේෂත්වයකි. තමන් සමඟ සංසර්ගයේ යෙදෙන පිරිමි සතුන්ගේ ශුක්‍රාණු කර්මාන්ත ශාලාවක් මෙන් සිය සිරුර තුළ ගබඩා කර ගන්නා ගැහැනු කැස්බෑවුන් එම ශුක්‍රාණු මඟින් ඩිම්බ සංසේචනය කරන්නේ අත්‍යවශ්‍යම විටෙකදී පමණි. මේ අනුව ගැහැනු කැස්බෑවකුගේ සිරුර තුළ සංසේචනය නොවූ බිත්තර 1,000කටත් වඩා වැඩි ප්‍රමාණයක් තිබිය හැකි අතර එලෙස ගැහැනු කැස්බෑවකු විසින් දමනු ලබන බිත්තර කැදැල්ලක විවිධ පියවරුන්ගේ පැටව් සිටීමද කැස්බෑවුන් බිහිවීමේදී දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි.
සාගරයේ එහා කෙළවරේ ජීවත් වුවත් තමන් බිත්තර දැමීමට ආසන්න වෙත්ම තමන් උපන් වෙරළටම ආපසු පැමිණීම කැස්බෑවන්ගේ සිරිතකි. මේ හේතුවෙන් මවු කැස්බෑවා උපන් වෙරළ දරුවන්ගේද උපන් වෙරළ වන්නේ නිරායාසයෙන්මය. කෙසේ වෙතත් කැස්බෑ බිත්තරයක් බීජෞෂණය වීම සඳහා දෙමසකට ආසන්න කාලයක් ගත වන අතර වෙරළට පැමිණ බිත්තර දමා මවු කැස්බෑවා යළි සාගරයට නික්ම යෑම නිසා බාහිර උපද්‍රවවලින් කැස්බෑ බිත්තර ආරක්ෂා වීම සිදුවන්නේ ඉතාමත් අල්ප වශයෙන්ය.
කෙසේ වෙතත් මෙසේ වෙරළේදී දමන බිත්තර අතරින් ස්ත්‍රී - පුරුෂ බිත්තර, බිත්තර දැමීමේදීම තීරණය කළ නොහැකිය. එම බිත්තරවලින් බිහිවන පැටවුන්ගේ ස්ත්‍රී - පුරුෂ භාවය හෙවත් ලිංග නිර්ණය වන්නේ බිත්තර දැමූ වැල්ලේ උෂ්ණත්වය අනුවය. සාමාන්‍යයෙන් කැස්බෑ බිත්තරයකින් පිරිමි පැටවකු බිහි වීමට උෂ්ණත්වය සෙල්සියස් අංශක 29කට වඩා අඩු ප්‍රමාණයේ තිබිය යුතුය. උෂ්ණත්වය ඊට වැඩි වන සෑම අවස්ථාවකම ගැහැනු සතුන් බිහිවීම සිදුවේ.
මෙලෙස මවු කැස්බෑවා විසින් දමනු ලබන බිත්තරවලින් වෙරළින් මුහුදට යන පැටවුන්ගෙන් ලිංගික පරිණතභාවයට පත්වන්නේ 1,000කින් එක් පැටවකු පමණි. ඉතිරි සියල්ලම විවිධ හේතු මත විනාශ වී යෑම කැස්බෑවුන්ගේ ඉරණමයි. එය ඇතැම් විට ස්වාභාවික හේතු මත සිදුවන අතර ඇතැම් අවස්ථාවන්හිදී ඒවා බාහිර බලපෑම් හේතුවෙන් විනාශයට පත්වන ආකාරය දැක ගත හැකිය. නමුත් එලෙස දාහකින් ඉතිරිවන එක කැස්බෑවකු පෙර කී පරිදි අවුරුදු 80ක් 120ක් වැනි දීර්ඝායුෂක් භුක්ති විඳීමට වාසනාවන්ත වේ. මක්නිසාද යත් කැස්බෑවුන් සැලකෙන්නේ දීර්ඝායුෂ ඇති සතුන් ලෙසටය.
කැස්බෑ කැදැල්ලක ඇති බිත්තර සංඛ්‍යාව එක් එක් කැස්බෑ විශේෂය අනුව වෙනස් වේ. සාමාන්‍යයෙන් ගල් කැස්බෑවෙක් බිත්තර 120ක පමණ ප්‍රමාණයක් දමන බව වාර්තා වන අතර ලංකාවේදී එක් කැදැල්ලක දැමූ වාර්තා ගත වැඩිම බිත්තර ප්‍රමාණය 202ක් විය. 1994දී ගල් කැස්බෑවකු විසින් එම බිත්තර දමනු ලැබුයේ රැකව වෙරළේදීය.
දැනට ලෝකයේ සාගර කැස්බෑ විශේෂ 7ක් වාසය කරන අතර ඔවුන් අතරින් විශේෂ 5ක්ම ශ්‍රී ලංකාව අවට මුහුදු වෙරළේදී දැක ගත හැකිය. එම කැස්බෑ විශේෂ හත අතරින් ලංකාව අවට වෙරළේ දක්නට ලැබෙන්නේ ගල් කෑස්බෑවා, බටු කැස්බෑවා, දාර කැස්බෑවා, පොතු කැස්බෑවා සහ ඔළුගෙඩි කැස්බෑවා යන විශේෂ පහ පමණි.
කෙසේ වෙතත් සාගරයට මහත් සුන්දරත්වයක් ගෙන දෙන සාගර කැස්බෑවුන් සියල්ලම වාගේ මේ වන විට සිටින්නේ වඳවී යෑමේ තර්ජනයකට ගොදුරුවය. මේ නිසාම පෙර සඳහන් කළ පරිදි 1972දී නීතිගත කළ වන සත්ත්ව හා තුරුලතා ආරක්ෂක ආඥා පනතට අනුව කැස්බෑවුන් නීතියෙන්ම ආරක්ෂා කර තිබේ. එමෙන්ම 1993දී ඊට එක්කළ නව සංශෝධනයන්ට අනුව කැස්බෑවුන් මැරීම, බිත්තර එකතු කිරීම, කටු ළඟ තබා ගැනීම හෝ ප්‍රවාහනය කිරීමද තහනම් කෙරිණි. එම නීති දැඩිව ක්‍රියාත්මක කරමින් මෙම නීති උල්ලංඝනය කරන්නන් හට රුපියල් 10,000 සිට 30,000ක් දක්වා වන දඩ මුදලකට යටත් වීමට හෝ වසර දෙකක් දක්වා වන සිර දඬුවමකට යටත් කිරීමටත් එසේත් නොමැති නම් ඇතැම් අවස්ථාවකදී එම දඬුවම් දෙකටම යටත් කිරීමටත් නීතියෙන් කටයුතු යොදා තිබේ.
මෙලෙස නීති රීති දැඩිව ක්‍රියාත්මක වුවත් කැස්බෑවුන්ගේ විනාශය වළක්වා ගැනීමට තවමත් හැකියාවක් නොලැබීම කනගාටුවට කාරණයකි. මුහුදු වෙරළින් සාගරයට යන කුඩා කැස්බෑවුන් දහසකින් වැඩිවියට පත්වන එක් පැටවකු හැරෙන්නට ඉතිරි සියල්ලන්ම සාගරයේ ප්‍රබල මත්ස්‍යයන්ට ගොදුරු වීම හැරුණු කොට දැඩි නීති රීති පනවා තිබියදීත්, ධීවරයන් විසින් දමනු ලබන නීති විරෝධී දැල්වලට හසුව මිය යන කැස්බෑවුන් බේරා ගැනීමට කිසිවකුට හැකියාව ලැබී නැත. බිත්තර දැමූ ක්‍ෂණයෙන් රෑ තිස්සේ රැක සිටින දඩබල්ලන් වැනි රුදුරු මිනිසුන්ගෙන් බිත්තර බේරා ගැනීමද දැඩි අසීරු කාරණයක් බවට පත්ව ඇත්තේ ආහාර සඳහා කැස්බෑ බිත්තර රැගෙන ගොස් වැඩි මිලකට විකිණීමට වෙරළ ආසන්නයේ ජීවත් වන්නවුන් පුරුද්දක් කරගෙන ඇති නිසාය.
එක් අතකින් මත්ස්‍යයන්ට ගොදුරු වන සාගර කැස්බෑවුන් ධීවර කර්මාන්තය සඳහා විශාල මෙහෙයක් ඉටු කළත් ඉතා දුර්ලභ සත්ත්ව විශේෂයක් බවට පත්වෙමින් වඳවී යමින් සිටින කැස්බෑවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම මිහිපිට ජීවත් වන්නවුන් ලෙස අපගේද වගකීමක් බවට පත්වී තිබේ. නීතිමය තත්ත්වය කුමක් වුවත් සාගර පරිසර පද්ධතියේ ඉතා වැදගත් පෝෂී මට්ටම් වන සාගර කැස්බෑවුන් රැක ගැනීම අප සැමගේ යුතුකමක්ද වන්නේය.
කෙසේ වෙතත් මේ වන විටත් සාගර කැස්බෑවුන් සංරක්ෂණය කිරීම සඳහා විවිධ පර්යේෂණ, අධ්‍යාපනික සහ ප්‍රජා මූලික සංරක්ෂණ කටයුතුවල නිරත වී සිටින කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතීන් සමඟ අත්වැල් බැඳගෙන මුහුදු කැස්බෑ සංරක්ෂණය සඳහා ජෛව විවිධත්වය හා කැස්බෑ ජීව විද්‍යාව කෙරෙහි ආදරය කරන ඔබ සැමටද දායක විය හැකිය. එය හුදෙක් මැයි 23 වැනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර කැස්බෑ දිනයටම පමණක් සීමා නොවී දවස් 365 මුළුල්ලේම අවධානයට ලක් කරන්නේ නම් මිලියන 100කට අෑත අතීතයේ දහස් ගණනින් ජීවත් වූ කැස්බෑවුන්ගෙන් ඉතිරි වී ඇති අල්ප ප්‍රමාණය හෝ රැක ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත.
විශේෂ ස්තුතිය නුවන් කන්නන්ගර මහතාට.
0 comments:
Post a Comment