තොප්පිගල ඓතිහාසික උරුමය
නැගෙනහිර පළාතේ මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ කෝරළේ පත්තුවේ (උතුර), පෙරිල්ලවේලි ග්‍රාමසේවක වසමේ තොප්පිගල පිහිටා ඇත. තොප්පිගල ගල මුදුනේ පිහිටීම (- උතුරු අක්‌ෂාංශ 700 500 5" නැගෙනහිර දේශාංශ 810 23' 23" වේ.
ලොව අතිබිහිසුණු, තිස් අවුරුදු (ක්‍රි.ව. 1979 - 2009 මැයි 18) ඊළාම්වාදී කොටි ත්‍රස්‌තයන්ගේ සන්නද්ධ ගරිල්ලා අරගල සමයෙහි නැගෙනහිර පළාතේ මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ බටහිර සීමාවේ පිහිටි තොප්පිගල වූ කලී, එකී ත්‍රස්‌තයන්ගේ ගරිල්ලා යුද්ධ මෙහෙයුම් අතින් සුවිශේෂ වූ තැනක් ගත් පර්වතයකි. එය යථෝක්‌ත ස්‌ථානයේ පිහිටියේ වී නමුදු මුළු මහත් මඩකලපු දිස්‌ත්‍රික්‌කයට මතු නොව, යාබද පොළොන්නරු හා අම්පාර දිස්‌ත්‍රික්‌ක දෙකට ද එක සේ ගරිල්ලා මෙහෙයුම් දියත් කළ හැකි ආකාරයේ පිහිටීමකින් යුක්‌ත විය.
තොප්පිගල පර්වතය ගංගා, අතු ගංගා, ඇළවල්වලින් සුපරිවාරිත ය. එහි එකී ජල මාර්ග හරස් කොට බැඳි වැව් සත (07) කි. තොප්පිගල පර්වතයට කි.මී. 03 ක් නිරිත දිගින් එක් අතු ගංගාවක් ද එකී අතු ගංගාවෙන් කි.මී. 1/2 ක් නිරිත දිගින් සුවිශාල නදියක් ද යළි තොප්පිගල පර්වතයෙන් කි.මී. 01 ක් බටහිරින් අතු ගංගාවක් ද කි.මී. 1 1/2 ක් නැගෙනහිරින් අතු ගංගාවක් දැයි මෙසේ ස්‌වාභාවික ජල මාර්ගවලින් තොප්පිගල පර්වත ප්‍රදේශය සුපෝෂිත ය.
තොප්පිගල පර්වතයෙන් කි.මී. 1/2 ක් ඊසාන දෙසින් කුඩිම්බිමලේ වැව ද, කි.මී. 1 3/4 ක් ඊසාන දිගින් පුලියන්කුළම් වැව ද කි.මි. 1 1/2 ක් නැගෙනහිරින් මීරනකඩ්ඩව කුළම් වැව ද කි.මි. 04 ක් ගිනිකොනින් තාරාවි කුළම් වැව (මේ වැව සමීපයේ යුද හමුදා සංචාරක නිවාඩු නිකේතනය පිහිටියේ ය) ද කි.මී. 03 ක් නිරිත දිගින් මීයන්කල් කුළම් වැව ද කි.මි. 1/2 ක් බටහිරින් අර්තිකාඩු කුළම් වැව ද කි.මී. 01 ක් උතුරින් මුතන් කුළම් වැව ද යන මේ සප්තවාපීහු (07) තොප්පිගල පර්වතය වට කොට සිටියාහු ය. (සිතියම අංක 02 බලන්න)
තොප්පිගල පර්වතයට කි.මි. 17 ක් (සැතපුම් 11ක් පමණ) බටහිරින් මාදුරු ඔය ද එකී ඔය, එකකින් අනතුරු ව තවෙකක් පිහිටි සප්ත පර්වත දාමයෙහි, ක්‍රි.පූ. තෙවෙනි සියවසට අයත් පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි සහිත ගල් ලෙන් සිය ගණනක් ඉක්‌ම වූ දනාගල කඳු පෙළෙහි අවසනට පිහිටි කඳු දෙක අතරට පැමිණි පසු එකී කඳු දෙක අතරේ Rජු රේඛාවක වූ මීටර් 100 ක් තරමේ අවකාශය ශක්‌තිමත් බැම්මකින් ආවරණය කිරීමෙන් ගොඩනැගූ+ සුප්‍රසිද්ධ මාදුරු ඔය ජලාශය ද මාදුරු ඔයෙන් යළි කි.මී. 17 ක් (සැතපුම් 11 ක් පමණ) බටහිරින් එයට බොහෝ දුරට සමාන්තරව මහවැලි ගඟ ද පිහිටියේ ය. මෙසේ භූ සිතියම් ද අහස් ඡායාරූප ද අධ්‍යයනය කළ විට පෙනෙන්නේ තොප්පිගල පරිසරය අතිදැවැන්ත කෘෂි කාර්මික ප්‍රදේශයක් වන බව ය. එය ගව පාලනයට අවශ්‍ය තෘණ භූමියෙන් ද යුක්‌ත ය. ඓතිහාසික යුගයේ දී මේ ප්‍රදේශය මහත් වූ ජනගහන ඝනත්වයකින් යුක්‌ත වූ බවට සාධක අදට ද එහි ශේෂ වී පවතී. තොප්පිගල ප්‍රදේශයෙහි මහා තැනිතලාවෙන් උඩට මතුවන ශේෂ පාෂාණ පද්ධතිය, බෞද්ධ භික්‌ෂුන් විසූ ගල් ලෙන්වලින් ද නටබුන් දාගැබ්වලින් ද බෞද්ධ විහාර සතු අවශේෂ වාස්‌තු විද්‍යාත්මක නෂ්ටාවශේෂයන්ගෙන් ද ගහන ය. නෙලුගල, කුවිදාගල, තලවාගල ආදී නම්වලින් වත්මනෙහි හැඳින්වෙන ගල් පර්වත සිසාරා ඉපැරණි බෞද්ධ ආරාමවල නටබුන් විසිරී පවතී. එවක මේ සංඝාරාමවල සිය දහස් ගණන් භික්‌ෂූන් සහ භික්‌ෂුණීන් විසූ බව එකී ආරාමවල පැතිරුණු ස්‌වරූපයෙන් පැහැදිලි වෙයි. තොප්පිගල මහා තැනිතලා භූමියත් වගුරු බිමත් කෘෂිකාර්මික කටයුතු සඳහාත් ගම්මාන ඉදිකර ගැනීම සඳහාත් පෙර දවස යොදා ගැනුණු බව නිසැක ය. යථෝක්‌ත ආරාමවල වැඩ විසූ අනේක සහස්‍ර භික්‌ෂූ භික්‌ෂුණීන් සුපෝෂිත වූයේ ඉහත සඳහන් කෘෂි කාර්මික ප්‍රදේශයේ පදිංචි ව විසූ ශ්‍රද්ධාවන්ත බෞද්ධ ජනයා විසිනි.
තොප්පිගල පර්වතය වූ කලි සුවිශේෂ හැඩයකින් යුක්‌ත ය. මේ ලිපියේ වර්තමාන ලේඛකයා ගේ අත්දැකීම අනුව මෙවන් වූ අනන්‍යතා ස්‌වරූපයෙන් යුතු පර්වතයක් තොප්පිගල මුත් ලක්‌දිව අන් තැනකින් හමු නොවේ. මේ පර්වතයේ මේ සුවිශේෂ හැඩය ක්‍රි.ව. 19 වන ශතකයේ දී සුදු ජාතික බැරන් මහතා ප්‍රත්‍යක්‌ෂ කර ගත්තේ තොප්පියක ආකෘතියෙනි. එහෙයින් හෙතෙම එය සිය නම ද එකතු කොට එය Baran's Cap, යි නම් කෙළේ ය. එහි සිංහල අනුවර්තනය 'තොප්පිගල' නමින් ප්‍රසිද්ධ වූයේ ය. එය නිසැකව ම අලුත් නමකි. තව ද තොප්පිගල පෙදෙසේ වැසි දමිළ ජනතාව විසින් පාරම්පරිකව එය ''කුඩුම්බිමලේ''යි එය ඔවුනට දර්ශනය වූ හැටියෙන් හැඳින්විණ. මේ කුඩුම්බිමලේ යනු කුමන අභය භූමියේ පිහිටි කුඩුම්බිගලෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ අන් පර්වතයකි. කුමන පිහිටි කුඩුම්බිගල යනු රෝහණ ජනපදයේ, ක්‍රි.පූ. දෙවන ශතකයේ පාලකයා වූ ගෝඨාභය රජු විසින් ගොඩනැගූ ෙච්තිය පබ්බත/ගිරි විහාරය බව නිශ්චය කොට ඇත.
තොප්පිගල පර්වත මස්‌තකයේ අතිපෞරාණික බෞද්ධ විහාරයක් සතු නෂ්ටාවශේෂ දාගැබක් වෙයි. එහි වූ ඉපැරණි ගඩොළු, පර්වත මුදුනේ විසිරී පවතී. ඒ චෛත්‍යය සතු වූ ශිලා කර්මාන්ත ද ශේෂ වී තිබේ. මේ නටබුන් දාගැබට නුදුරෙහිසමාන දිග පළලින් යුතු අවකාශයක ස්‌වාභාවික ගලේ කෙටූ කුහර සතරකි. මේ වූ කලී අතීතයේ එතැන ඉදි වූ කුඩා ගොඩනැගිල්ලක වහලය දරා සිටි කණු, පොළොවට සවි වූ ගල් වළවල් ය. මේ පර්වතය මුදුනේත් එයට සමීප බෑවුමේත් ගල් ලෙන් දහයක් පමණ බිමට පහත් වී ඇති ආකාරය කෙසේද යත් ඒ පිළිබඳ හරි හැටි කරුණු නොදත් අයෙකුට ඒවා ඉපැරණි ගල් ලෙන්වල අදට විද්‍යමාන ස්‌වරූප බව තේරුම් නොයනු ඇත. තොප්පිගල පර්වත බෑවුම්වල නටබුන් ව පෙර පිහිටුවා තිබූ තැන්වලින් තල්ලූ වී පර්වතයේ පහළට තල්ලූ වෙමින් පවත්නා ඉපැරණි ශිලා කර්මාන්ත ශේෂ විද්‍යමාන වේ. ඒ අතර කැටයම් නැති, ක්‍රි.පූ. යුගයට අයත් වන සඳකඩ පහණ ද ඇත.
මේ ලිපියේ අරමුණ වනාහි මතකයෙන් ඉවත් වුණු තොප්පිගලේත් එකී ප්‍රදේශයේත් යථෝක්‌ත ඓතිහාසික නාම, එහි භූ විෂමතා ලක්‌ෂණ, ශිලා ලිපි, සාහිත්‍ය මූලාශ්‍රය පදනම් කොට ගනිමින් අනාවරණය කරගැනීමත් එකී ප්‍රදේශයේ පුරාතනයේ පැවති දේශීය උරුමය යළි හෙළි පෙහෙළි කිරීමත් ය.
මේ අරමුණ සාක්‌ෂාත් කර ගැනීමට මූලාශ්‍රය කරගත හැකි අතිපෞරාණික කතා වස්‌තුවක් ක්‍රි.ව. සතරවන සියවසේ පමණ රචිත සීහළවත්ථුප්පකරණය, ක්‍රි.ව. දහවන සියවසේ දී පමණ රචිත සහස්‌සවත්ථුප්පකරණය, ක්‍රි.ව. දහතුන්වන ශතකයේ රචිත රසවාහිනිය යන පාළි ග්‍රන්ථවල ද ක්‍රි.ව. දහහතරවන ශතකයේ රචිත සිංහල ග්‍රන්ථයක් වන සද්ධර්මාලංකාරයේද ඇතුළත් වේ. මේ පාළි සිංහල ග්‍රන්ථ ඇසුරු කරගනිමින් එකී කතා වස්‌තුව හුදී ජන පහන් සංවේගය ජනනය කරනු පිණිස ද නූතන සිංහල බසට මෙ පරිදි අනුවර්තනය කෙරේ.
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු එනම් ක්‍රි.පූ. හයවන (06) සියවසෙන් පසු, ශ්‍රී ලංකාද්වීපයෙහි ගôගා තීරයෙහි පිහිටි පූව පරීබත - පූවගාලක - පූවගල්ලක - පූගලූ නම් ගමෙහි එක්‌තරා කුල ගෙයක වෙසෙන දෙමාපිය කෙනෙකුනට පුත් කුමරෙක් උපන. දෙමාපියෝ ඔහුට තිස්‌ස යයි නම් තැබූහ. ඒ තිස්‌සයෝ ද අනුක්‍රමයෙන් වැඩෙන්නාහු තුරුණු වියට එළැඹ ප්‍රියමනාප වූ යුවතියක ආවාහ කොට ගත්තාහු සිය බිරිය සමග යථොක්‌ත ගමෙහි සතුටින් විසූහ. මේ තිස්‌සයෝ පසු කලෙක ඒ ගමෙහි වූ පූව පබ්බත විහාරයට ගියාහු එහි පැවති දම් දෙසුමකට සවන් දුන්නෝ සසර බිය ද ගිහි ගෙයි ආදීනව ද අභිනිෂ්ක්‍රමණයෙහි - පැවිද්දෙහි - අනුසස් ද අසා සිය බිරිය, නෑසියන්ගෙන් පැවිද්දට අවසරය ගෙන පූව පබ්බත - පූවගාලක - පූවගල්ලක - පූගලූ නම් විහාරයට ගොස් එහි විසූ භික්‌ෂු සංඝයාට වැඳ ආරාධනා කොට, ඔවුන් වහන්සේලාගෙන් මහණ උපසම්පදාව ලැබුවාහු ය.
මෙසේ සසර බිය දැක ගිහි ගෙයි කලකිරී අවංක ව සසුන්ගත වූ තිස්‌සයෝ ඛුද්දානුඛුද්දක ශික්‌ෂා පදයෙහි පවා නිරතුරුව සැලකිලිමත් වූවාහු එහෙයින් ම සමාධිගත වූ සිතින් විපස්‌සනාවට නමා ගත් තිර අදිටනින් දිවා රාත්‍රියෙහි භාවනා වඩන්නාහු නොබෝ කලකින් සියලු කෙලෙසුන් සහමුලින් උදුරා දමා රහත් බවට පැමිණියාහු යá අග්‍ර දක්‌ෂිණීය වූවාහු යá තෙවළා බුදු වදන්හි බැස ගත් ගැඹුරු වූ ප්‍රඥාපාටවය සහිත වූවෝ 'පූගලූ වැසි තිස්‌ස මහ රහතන් වහන්සේ' යෑයි මුළු ලක්‌දිව සුපතළ බවට පැමිණියාහු ය.
ඒ තිස්‌ස මහරහතුන්ගේ පාත්‍රය, යම්කිසි ඉසුරුමත් කෙනෙක්‌වත් දිළින්දෙක්‌වත් ගත්තාහු වී නම් ඔහු උන්වහන්සේට සුවඳ ගිතෙල් මුසු මොනර මස් සමග රත් ඇල් සාල් බත් ම පුරා දෙති.
මෙසේ පිළිවෙළින් සැට හවුරුද්දක් ඉක්‌මුණු කල්හී එක් දිනක, තිස්‌ස මහ රජුන්ගේ තිස්‌ස නමැති අමාත්‍යවරයෙක් සිතන්නේ 'මේ තෙරුන් වහන්ස්‌ට හැම දවස්‌ම සුවඳ ගිතෙල් මුසු මොනර මස් හා සමග රත් හැල් සාලේ බත් ම උපදෙනේ යයි බොහෝ දෙන ම කියති. මා විසින් මේ කාරණය සුපරීක්‌ෂා කළ මැනවැ යි සිතා තමා ගේ ගෙට ගොස් රාත්‍රියෙහි සිය බිරියට කියනුයේ 'එම්බා සොඳුර, සෙට දවස් මම, පූගලැ වසන තිස්‌ස මහ තෙරුන් වහන්සේට දනක් දෙනු කැමැත්තෙමි. තෙරුන් වහන්සේ අපගේ ගෙට වැඩි කල්හි නිවුඩු සාලින් කුඩු මුසු කැඳක් පිස වළඳවා වේලා ආසන්න වූ කල්හි පලා මාළුවක් හා කාඩි ඇඹුල් දෙවනු කොට නිවුඩු සාලේ බත් වළඳවා ලවයි විධාන කොට ඒ රාත්‍රිය පහන් වූ කල්හි පූගලූ විහාරයට ගොස් ඒ තිස්‌ස මහ තෙරුන් වහන්සේ වැඳ, ''ස්‌වාමීනි, අද මට අනුග්‍රහ කළ මැනවැ'' යි ආරාධනා කොට තුමූ කිසි කාරියෙකැ ගියා සේ අනික් තෙනකට ගියාහු ය.
ඉක්‌බිති අමාත්‍යවරයාගේ ගෙයි වසන දේවතාවෙක්, රාත්‍රී භාගයෙහි බිරිය හා සමග කරා කරන්නා වූ අමාත්‍යවරයාගේ බස් අසා 'මූ හැම, මේ තෙරුන් වහන්සේ පූර්ව ජන්මයෙහි කළා වූ කුසලය හා ප්‍රාර්ථනා බලයෙන් සිදු වන විපාක සුවිශේෂය, කිසි කෙනකුන් විසින් නොවැළැක්‌විය හැකි බව තමන්ගේ දිව්‍ය ඥානයක් නැති හෙයින් නො දත්තාහුම යයි සිතා, එම ගෙයි වසන මහලු මිනිසකු සැටියෙන් වෙස් වලා, සුවඳ ගිතෙල් බඳුනක් ද මොනර මස් ද රත් හැල් සාල් ද යන සියල්ල ම ඇර ගෙන ගෙට අවුත් ඇමැතිවරයාගේ බිරිඳට දින. ''මේ කොයින් ගෙනවු දැ යි විචාළවුන්ට ''එම්බා මෑණියෙනි, නුඹ ගේ හිමි වූ අමාත්‍යවරයාණෝ, අතර මඟ මා දැක, ''එම්බල, අද මම, පූගලැ වසන තිස්‌ස මහ තෙරුන් වහන්සේට දනට ආරාධනා කෙළෙමි. තෙපි, මේ දානෝපකරණ ගෙන මගේ ගෙට ගොස් මාගේ බිරියට දී කියන කලැ, මෙයින් ඉඳුරා බත් මාළු පිස තෙරුන් වහන්සේ වළඳවාලන්ට කියාලවයි'' මා අතැ මේ හැම එවුවාහු යෑයි කියා දේවතාවා අතුරුදහන් විය.
අමාත්‍යවරයාගේ බිරිය ද එ පවත් අසා ඉඳුරා එයින් බත් මාළු පිස තබා තෙරුන් වහන්සේ වැඩි කල්හි පාත්‍රය ගෙන හිඳිනා අසුන් පනවා වැඩ හුන් කල්හි සුවඳ ගිතෙල් හා මොනර මසින් යුක්‌ත වූ සුවඳ රත් හැල් සාලේ බත වැළඳවූවා ය. තෙරුන් වහන්සේ වළඳා අනතුරුව විහාරයට ම වැඩි සේක. ඉක්‌බිති අමාත්‍යවරයා සිය ගෙට අවුත් ''අද තෙරුන් වහන්සේට දන්දුනුදැයි භාර්යාවගෙන් විමසීය. එකලැ භාර්යාව ''නුඹ එවූ ගිතෙල් හා මොනර මස් ද රත් හැල් සාල් ආදී උපකරණයෙන් බත් මාළු පිස, තෙරුන් වහන්සේ වැළඳවීමි යි කී කල්හි, අමාත්‍යවරයා ''සොඳුර, මා එවූ උපකරණයෙක් නැත. ඒ ගෙනාවෝ කවරහුදැයි විචාළේය. අප ගේ ගෙයි අසවල් මහලු මිනිසාණෝ වේ ද ගෙනාවෝ යයි කී කල්හි, ඒ මහලු මිනිසාගෙන් විචාළේ ය. ඒ පුරුෂයා විසිනුත් එසේ වූ දෙයක් මා ගෙනායේ නැතැ යි කී කල්හි, ඒ අමාත්‍යයාණෝ තෙරුන් වහන්සේගේ කුසලානුභාවයෙන් දෙවියන් කළ දෙයක් ම යයි සිතා, දන් පින් කළවුන් ලබන්නා වූ කුසල විපාකය කිසි කෙනකුන් විසිනුත් වැළැක්‌විය නොහැක්‌කැයි කියා බුදු සස්‌නෙහි පැහැද, එතැන් පටන් තමා ශක්‌ති පමණින් මහ දන් පවත්වා දානපති වූහ.
ඒ පූගලැ වෙහෙර වැසි තිස්‌ස මහ තෙරණුවෝ ජීවිතාන්තය තෙක් පින් බෙලෙන් ලබන ලද එ බඳු ආහාරය ම වළඳා කෙළවර පරිනිර්වාණ මඤ්චකයෙහි සැතපුණාහු පූගලූ විහාරයෙහි සන්නිපාත භේරිය ගස්‌වා එ වෙහෙර වැසි සියලු භික්‌ෂුන් ද අවට විහාරවාසී භික්‌ෂුන් ද එහි රැස් කරවා තමන් වහන්සේ පිරිනිවන් පානා බව දැන්වූවාහු ය. එකල එහි රැස් වූ භික්‌ෂුහු 'ස්‌වාමීනි, නුඹ වහන්සේ මහා පිනැති සේක. නුඹ වහන්සේගේ කුශල විශේෂය ලක්‌දිවැ හැම තන්හි ම සුපතළ විය. පූර්ව ජන්මයෙහි නුඹ වහන්සේ කවර නම් කුසලයක් කොට මෙ බඳු වූ අසිරිමත් ජීවිතයක් ලත් සේක් දැ යි විචාළ සේක. එ තෙපුල් ඇසූ තිස්‌ස මහ තෙරහු පූර්ව ජන්මයක තමන් වහන්සේ කළා වූ කුශලය කුමක්‌දැ යි ගෙන හැර දක්‌වන්නාහූ 'මම, මේ මහා භද්‍ර කල්පයෙහි තුන්වැනි ව බුදු වූ කාශ්‍යප බුදුන් සමයෙහි රන්වන් වූ සිරියෙල් සුණු (රූපලාවන්‍ය ද්‍රව්‍ය?) ගෙන වෙළඳාම් කොට ඒ ඒ තැනැ ඇවිදිනෙම්, මිල ගෙන එක් කුල කුමාරිකාවකට සිරියෙල් සුණු දිනිමි. ඇය, මා එ වේලා වන තෙක් ආහාරයක් අනුභව නො කළ බව දැන, මට වාඩි වීමට අසුන් දී අතට පැන් දී රත් හැල් සාලේ බතක් සමඟ සුවඳ සොඳ ගිතෙල් සමග මොනර මස් එළැවුව.
එකෙනෙහි සාදුකින් පෙළී ගිය එක් සුනඛයෙක් දෙ කොළින් කෙළ දහරා වගුරුවමින් අවුත් මා ඉදිරියෙහි බැගෑපත් ව මා දෙස බල බලා සිටියේ ය. ඒ සුනඛලා දැක කරුණාවෙන් කම්පිත වූ මම ගිතෙල් හා මොනර මස් එක් කොට මැනවින් හනා මහත් වූ බත් පිඩක් කොට එයින් ඒ සුනඛයා අනුභව කරවීමි. එ කලැ ඒ සුනඛයා ලබන ලද බල ඇති ව මහත් සතුටින් වලග සලමින් මාගේ මුහුණ බලා සිටියා දැක මම මහත් සේ සතුටු වීමි. තව ද එ වේලේ ඒ සුනඛයාට බත් දුන් කුශලයෙන් ඒ ජාතියෙහි පටන් උපනුපන් යම් ම ජාතියෙකැ සුවඳ ගිතෙල් මුසු මොනර මස් හා සමග කුඩු නො මැති වූ ඉතා නිර්මල වූ උතුම් රත් හැල් සාලේ බත් සැපසේ ම ලැබෙම්ව යි, මෙසේ කැමති කැමති සැපත් විඳ කෙළවරැ අමා මහ නිවන් දකිම්වයි පැතූයෙමි. ඒ මම, මෙ පමණ වූ අල්ප කුසලයක් කොට ජීවිතාවසානයෙහි චුති චිත්තයට අරමුණු වූ මේ කුසල් සිතින් මිය ගොස් දෙව් ලොව ඉපදුණෙමි. එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි අපමණ වූ දිව්‍ය සම්පත් විඳ එයින් චුත ව අවුත් මිනිස් ලොවැ පන්සියයක් ජාතියෙහි ඉපිද ඒ උපනුපන් ජාතියෙහි ගිතෙල් මුසු මොනර මස් හා සමඟ සුවඳ රත් හැල් සාලේ බත් ම ලද්දේ ය. ඉක්‌බිති අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවි පසු, මම මේ ශ්‍රී ලංකා ද්වීපයෙහි ගංගා තීරයෙහි පිහිටි පූවපරීබත/ පූවගාලක/ පූවගල්ලක/ පූගලූ/ නම් ගමැ එක්‌තරා කුල ගෙයකැ ඉපදුණෙමි. මට තිස්‌ස යෑයි නම් තැබිණ. යොවුන් වියට පැමිණි මම යුවතියක ආවාහ කොට ගත්තෙම්, ඇය හා ඉතා සතුටින් ගෘහ ජීවිතය ගෙව්වෙමි.
0 comments:
Post a Comment