රඹුටන් වාරය සැණකෙළියක් වගේ. මල්වානේ පැණි රඹුටන් කී විට දැනෙන මිහිර කොතරම් ද? මල්වානේ රඹුටන් ගස් රතුපාට පොරවාගෙන. රඹුටන් වලුවලින් බරවෙලා. දවල් තිස්සේ කුරුල්ලෝ ගී ගයමින් රඹුටන් ගෙඩිවල පැණි උරා බොති. රෑ අඳුර වැටෙනවාත් එක්ක තවත් පිරිසක් වැඩ මුරයට ඒ වවුලන්. කුරුල්ලන් යනකොට වවුලෝ රඹුටන් ගස් බදු ගනිති.
අයිතිකරුවන් මාස ගණනාවක් සාත්තු සප්පායම් කර ඇතිදැඩි කළ රඹුටන් ගස්වල මුල්ම අස්වැන්න නෙළා ගන්නේ කුරුල්ලන්! හා වවුලන්. රාත්‍රි කාලයේ රඹුටන් වතුවල සතුන් එළවීමට රඹුටන් වතු හිමියන් තනිමඟ බැස යන්නේ නැත. රඹුටන් ගස් හෙවණේ භූත පිසාචයන් සිටින බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ නිසා ගස් මුර කරන්න දෙදෙනකු හෝ තිදෙනකු මිස කිසිවකු තනියම යන්නේ නැත.
මේ පිළිබඳ තතු සොයා පසුගිය දා අපි මල්වානට ගියෙමු. මැයි මාසයෙන් ආරම්භ වී අගෝස්තු මාසයෙන් අවසන් වන රඹුටන් වාරය වතු හිමියන්ගේ අතමිට සරු කළත් ඔවුන්ගේ ජීවිතය රඹුටන් ගෙඩියක් මෙන් මිහිරි නැත. රසවත් නැත.
කලකට ඉහත අපේ රටේ සාමාන්‍ය රඹුටන් වගා කර තිබුණත් ඒවා විශේෂිත වර්ග නොවේ. එහෙත් අද වන විට මල්වානට ආවේණික මැලේසියන් ස්පෙෂල් වගා ප්‍රචලිත වී තිබේ. එදා ශතයට දෙකට විකුණනු ලැබු රඹුටන් ගෙඩියක් දැන් රුපියල් හතත් අටත් අතර මිලකට අලෙවි වෙයි. රඹුටන් කිව්වොත් මල්වාන ප්‍රසිද්ධය. එහෙත් අද නිකම්ම මල්වාන නොවේ මැලේසියන් ඒවා. මල්වාන ස්පෙෂල් ආදි වර්ග ගණනාවකි.
රඹුටන් වගාව බලාගන්නවාට රෑට තිස්දාහක් විතර ගෙවන්න ඕනෑ
පාරම්පරික වගාකරුවකු වූ වසන්ත ගුණතිලක මහතා අදහස් දක්වමින්, “මං දීර්ඝ කාලයක ඉඳලා රඹුටන් වගාවේ නිරත වෙනවා. ගිය වාරයට වඩා මේ වාරයේ රඹුටන් අස්වැන්න අඩුයි. වර්ෂාව තමයි ඒකට ප්‍රධානම හේතුව. රඹුටන් වගාවට හොඳට හිරු එළිය අවශ්‍යයි. මං සමහර වාරවලදී රඹුටන් ගස් බද්දට දෙනවා. බද්දට දුන්නත්, ගස් නඩත්තුවටත්, වගාව ආරක්ෂා කරන්නත් සැලකිය යුතු වියදමක් යනවා.
ඒ කියන්නේ වගාව බලාගන්න කෙනෙකුට රුපියල් තිස්දාහක් හතළිස් දාහක් තරම් මුදලක් ගෙවන්න සිදු වෙනවා. රෑට වවුලන්ගෙන් වගාව ආරක්ෂා කරන එක එතරම් ලේසි නැහැ. දවල් කාලයට කුරුල්ලන් ගෙන් බේරගන්න අමාරුයි. ගස් අතර ටක බඳින්නේ මේකටයි. මිශ්‍ර බොරළු පසත්, මිශ්‍ර මැටි සහිත පසත් රඹුටන් වගාවට සුදුසුයි. ගස් අතර පරතරය අඩි 40 ක් ප්‍රමාණයට සිටුවන්න පුළුවන්. හැබැයි බොරළු මිශ්‍ර පසේදී නම් අඩි 35 ක පරතරය ප්‍රමාණවත්ය.
අවුරුදු විස්සක් විතර රඹුටන් වගාවක් පවතිනවා
අවුරුදු තුනේදී තමයි ගස්වල ඵල හටගන්න පටන්ගන්නේ. අවුරුදු පහත් අටත් අතර හොඳ අස්වැන්නක් ලැබෙනවා. රඹුටන් ගසකින් අවුරුදු විස්සක් යන තෙක් හොඳ අස්වැන්නක් ලබාගන්න පුළුවන්. රඹුටන් කාලයට පසු එන කාලයේදී අපිට වෙනත් වැඩ කටයුතුවල යෙදෙන්න සිදු වෙනවා. මේ කාලයේදී අපි ගොවිතැන් කටයුතුවල නිරත වෙනවා. අවාරයේ කියලා අපිට ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. කෙලෙසක හෝ අපේ අවශ්‍යතාවයට මුදල් ලැබෙන නිසා. අපේ වතුවලටම ගැනුම්කරුවන් එනවා. ඒ අයට අපි ගෙඩියක් අලෙවි කරන්නේ රුපියල් පහකට හෝ හයකට. සරු බවින් වැඩි නිසා මල්වානේ රඹුටන්වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. හැබැයි, කීය දෙනවා කිව්වත් පහෙන් පස්සේ රඹුටන් කඩන්නේ නැහැ. රඹුටන් ගස් යට යක්ෂ ප්‍රේත බලපෑම් තියෙනවා.”
රඹුටන් වගා කරන්නන්ගේ අත්දැකීම් එකිනෙකට වෙනස්ය. කාලගුණයේ වෙනස්වීම් මත වාසිය සහ අවාසිය ඔවුන් විඳ දරාගත යුතුය. මේ පිළිබඳ නිමල් ගුණසේකර මහත්මයා දැක්වූයේ මෙවැනි අදහසකි.
රඹුටන් වාරය අවසන් වුණාම ගොවිතැන් කටයුතුවල යෙදෙනවා
“මං අක්කර එකහමාරක පමණ රඹුටන් වගා කරලා තියෙනවා. සමහර වාරවලදී මමත් ගස් බද්දට දෙනවා. බද්දට දීලා තියෙන ගස් හොඳට නඩත්තු කරන්න ඕනෑ. ගස් කප්පාදුව ගැනත් අපි සැලැකිලිමත් වෙනවා. අවාරයට අපි වෙනත් වගා කටයුතුවල නිරත වෙනවා. මං ගස් බද්ධ කිරීමේ කීප පාරක්ම නිරත වුණා. එකම ගසේ විවිධාකාරයේ රඹුටන් තියෙන කොට ඒකත් එක්තරා ආකාරයක කලාවක් කියලා මට හිතෙනවා.”
වගාකරුවන්ට මෙන්ම වෙළෙන්දන්ගේත් අතමිට සරු වෙන්නේ රඹුටන් වාරයේදීය. පොළින් පොළ විකුණන රඹුටන් ගොඩවල් අලෙවි වෙන්නේ මඟ දෙපස ගමන් කරන මගීන්ටය. අවුරුදු පහළොවක් විස්සක් රඹුටන් වෙළෙඳාමේ නිරත වන අයි. පී. ධර්මසිරි මහතා අදහස් දක්වමින්, “මං අලෙවි කරන්නේ මැලේසියන් කහ සහ රතුයි. කහපාට රඹුටන්වලට එළ මැලේසියන් කියලත් කියනවා. සිංහල අය වැඩිපුරම කැමැති රතුපාට රඹුටන්වලට. ඒත් මුස්ලිම් අය අතර ජනප්‍රියම කහපාට වර්ගයයි. අපි වතුවලින් ගෙනැල්ලා තමයි විකුණන්නේ. අපේ කියලා වතු නැහැ. මේ වාරයේ ගිය වාරයට වඩා ආදායම අඩුයි. ගෙඩිවල මිල වැඩි නිසා අපිටත් විකුණන්න වෙලා තියෙන්නේ වැඩි ගාණට.”
මෙදා අස්වැන්න සරු නෑ! විකුණා ගැනීමත් අමාරුයි
කෙතරම් අපහසුකම් තිබුණත්, මේ වෙළෙඳාම හුරු වූවෝ වාරයට සැරසෙති. මඟ දෙපස යනෙන අයට රඹුටන් අලෙවි කරගැනීම එතරම් පහසු නැත. එයට හේතුව මල්වානේ වාරයට රඹුටන් වෙළෙඳුන් බහුල වීමයි.
අවුරුදු හතළිහක පමණ අලෙවි පළපුරුද්දක් අයි. පී. පබිලිස් මහතා අදහස් දැක්වීය.
“මං හැම වාරයේ ම රඹුටන් විකුණනවා. වතුවලින් තමයි වාරයට රඹුටන් ගෙඩි ගාණට ගේන්නේ.”
රඹුටන් විතරක් විකුණලා බෑ අපි දූරියනුත් විකුණනවා
මල්වානේ පිරිමි ගැහැනු ඕනෙම කෙනෙක් රඹුටන් වාරයට තරමක් යුහුසුලුය. කේ. පී. මාලි ද එවැනි උත්සාහයක යෙදෙන්නියකි. “අපි පුංචි කාලේ ඉඳලම රඹුටන් වෙළෙඳාමේ නිරත වෙනවා. රඹුටන් විතරක් නෙවෙයි අපි දූරියන් වෙළෙඳාමෙත් නිරත වෙනවා. සමහර කාලවලට රඹුටන් වතු බද්දට අරගෙන වෙළෙඳාමට රඹුටන් නෙළා ගන්නවා. රාත්‍රියට රඹුටන් වතුවලට විදුලිය ලබා දෙන්න විශාල වියදමක් වැය වෙනවා. මේ කාලයේ නම් අස්වැන්න එතරම් සරු නැහැ. ආදායමට වඩා වියදම වැඩියි. අවාරයට මං පොඩි කඩයක් කරනවා. ඊට අමතරව වෙනත් ව්‍යාපාරික කටයුතුවලත් නියුතු වෙනවා.”
රඹුටන් වාරය වෙළෙන්දන්ට මෙන්ම වතු හිමියන්ට ද අතමිට සරු කරන කාල පරිච්ඡේදයකි. මල්වාන කියූ පමණින් රඹුටන් යැයි සිහි වන බොහෝ දෙනා මල්වානයේ රඹුටන් රස විඳීමට අමතක නොකරති.
0 comments:
Post a Comment