728x90 AdSpace

Latest News
Sunday 14 June 2015

විශාලතම ශෛලමය බුදුපිළිමය

ශෛල්‍යමය බදු පිළිමය කුරුණෑගල, රිදීගමට ආසන්නයේ රම්බොඩගල ප්‍රදේශයේ මොණරාගල විහාරයේ නිර්මාණය කර ඇත.
සුවිශාල කළුගල් පර්වතයක නිර්මාණයවන මෙම සමාධි ප්‍රතිමාවේ උස අඩි 67.5 කි. (හිටි උස අඩි 108 කි.) මේ වනවිට ශ්‍රී ලංකාවේ උසම ශෛලමය පිළිමයක් ලෙස සැළකෙන පොළොන්නරුවේ ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමාවේ උස අඩි 22 ක්වන අතර අවුකන ප්‍රතිමාවේ උස අඩි 38 අඟල් 10කි.
ලොව විශාලම ශෛලමය ප්‍රතිමාව ලෙස සැළකෙන ඇෆ්ගනිස්ථානයේ බාමීන් ප්‍රතිමාව, අන්තවාදී තලේබාන්වරුන් විසින් විනාශ කරනු ලැබුවේ 2001 වසරේ මාර්තු 16 වැනි දිනදී ය. රම්බොඩගල්ල, මොණරාගල පිරිවෙන් විහාරයේ මෙම ශෛලමය ප්‍රතිමාව නෙළීම ආරම්භ කර ඇත්තේ 2002 වසරේ සැප්තැම්බර් 13 වැනි දින ය.
අවසන් අදියරේ වැඩ නිමි වෙමින් පවතින විට එම සියුම් නිර්මාණය සඳහා වැය වී ඇති මුදල රුපියල් ලක්ෂ 440 කි. විශ්මිත ගල්වඩුවන් වූ සිහල කලාකරුවන් පිළිබඳ අභූත ගීත ලියැවුණ ද ශ්‍රී ලංකාවේ පැරණි ගල් පිළිම නෙලා ඇත්තේ ද ඉන්දියාවෙන් මෙහි පැමිණි ගල් වඩුවන් බව සහතික කරමින් මෙම විශ්මිත ශෛලමය කටයුත්ත නිමැවීම සඳහා දායකවන්නේ ඉන්දියාවේ ඉහළම සම්මානයවන ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලබා ඇති ඇම්ඇම් ස්ථපති ප්‍රමුඛ ඉන්දියානු ගල් වඩුවන් පිරිසක් විසිනි. ලංකාවේ සිහල ගල් වඩුවන් එකළ ද නොසිටි බවට හොඳම උදාරණයවන්නේ වෘත්තීන් අනුව කුල ධූරාවලියක් ගොඩ නැගී ඇති ලංකාවේ ගල් වඩුවන් වෙනුවෙන් කුලයක් බිහි වී නොතිබීමයි.
පසුගිය 2002 වසරේ සැප්තැම්බර් මස 13 වැනි දින ආරම්භ කෙරුණු බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නෙලීමේ කටයුත්ත ඉන්දීය ශිල්පීන් පිරිසක් විසින් සිදු කර ඇතැයි වාර්තා වේ.
මෙම පිළිමය නෙළීමේ කාර්යයේ නියැළී සිටින්නේ ඉන්දියාවේ ද්‍රවිඩ හින්දු භක්තිකයන්වීම විශේෂත්වයකි. ත්‍රස්ත්‍රවාදී අරගලවලින් මේ රට ඇවිලූ එදා සිට සාමය උදා වූ අද දක්වාම ඉන්දියානු ද්‍රවිඩ ශිල්පීන් විසින් ජාති ආගම් කුල භේද නොසලකමින් මහත් වූ භක්තියකින් පිළිමය නෙළීම සිදු කර ඇත.
මෙම උදාරතර අභීත පුණ්‍යකර්මය සඳහා උරදී කටයුතු කරනු ලැබූවේ කුරුණෑගල රීදිගම රම්බඩගල්ලේ මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි මාහිමිපානන් ය.
ලොව විශාලතම වූ මෙම අසිරිමත් බුදු පිළිම වහන්සේ නිර්මාණය කරන ශිල්පියාවවන ඉන්දීය ජාතික මුත්තයියා ස්ථපති මහතා ය. ඔහු අමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, මැලේසියාව, බැංකොක් ආදි රටවල මූර්ති ශිල්පියකු වශයෙන් තම ප්‍රතිභාව ප්‍රකට කළ ඉන්දියාවේ ස්ථපති මහතා සමග තවත් ඉන්දියානූ ශිල්පීන් 11 දෙනෙකු පිළිමය නෙළීමේ කටයුත්තට උර දී ඇත.
විහාර භූමියේ ඇති මහා ගල් පර්වතයේ බඳ අඩි 40 ක් ඉදිරියට හාරා, ගල් තලාව පතුල අඩි 17 ක් ගැඹුරට සුද්ධ පවිත්‍ර කර මෙම පිළිමය නෙළීම ආරම්භ කර ඇත. පිළිමයේ ඉදිරිපස බිමෙහි අඩි 07 ක් ගැඹුර රමණීය පොකුණක් ද තනා තිබේ. එසේ ම පිළිමය ඉදිරිපස දැවැන්ත ගල සමතලා කර සැකැසූ මහා පීඨිකාවකි. පොකුණ වටා ශෛලමය කැටයම් වැටක් හා මල් ආසන කීහිපයක් කළු ගලින්ම නිර්මාණය වූ අගනා කලා කෘතියක් දායාද කරයි.
මොනරාගල විහාරය අයත්වන්නේ රිදීගම මහලේකම් කොට්ඨාසයේ මාදුරේ කෝරලයට ය. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි දොඩම්ගස්ලන් ද මැතිවරණ කොට්ඨාසයට අයත් මේ පුදබිම ආසන්නයේ මාතලේ දිස්ත්‍රික්කය හා මහනුවර දිස්ත්‍රික්කය පිහිටා ඇත. මොනරාගල පර්වතය මුදුණේ මොනර සලකුණක් ඇති හෙයින් මොනරාගල යයි හඳුන්වන බව ජනප්‍රවා‍දයේ ඇත. මොනරාගල පිරිවෙන ද පිහිටි රම්බඩගල්ල ග්‍රාමයට ඒ නම නිර්මාණයවීම පිළිබඳ ඇති ජනප්‍රවාද අතර පිළිමයක උදර‍ කොටසේ රත්‍රන් නිදන් කොට තිබීමත්, රුවන්වැලි මහාසෑය තුළ තැන්පත් කර ඇති නිදන් වස්තු අතර රන් සැළක් ඇති අතර එම රන් සැළ ලැබුනේ රන්බඩගල්ලෙන් බව සඳහන් වෙයි.
පිළිම නෙළීමේ කලාවේ ආරම්භය වූ ගාන්ධාර හා මථුරා සම්ප්‍රදායන් දෙකේම සංකලනයක් වූ අමරාවතී සම්ප්‍රදාය ලංකාවේ නෙළන ලද බුදු පිළිමවලට බෙහෙවින්ම ගුරු වී ඇති බව ඉතිහාසය හැදෑරීමේ දී පෙනී යයි. කෙසේ වෙතත් ක්‍රිස්තු නර්ෂ 1215 පසුව ලංකාවේ සෙල් පිළිම නිර්මාණය වී ඇති බවට සාක්ෂි නොමැත. එවකට රට තුළ පැවැති දේශපාලනයම ආරවුල් මෙන්ම 1505න් පසු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රිසි ආක්‍රමණයන් ද එබදු නිර්මාණයන් බිහි කරන්නට යෝග්‍ය පුද්ගල බද්ධතාවන් හා මානසිකත්වයක් ගොඩනගන්නට ඉඩ හසර නොතැබූ බව ද වැඩිදුර අධ්‍යයනය කිරීමෙන් අවබෝධ වේ. මේ මහා ආශ්චර්යවත් නිර්මාණය සැබවින්ම ලක්දිවට බුදුන් වහන්සේ හතරවන වතාවට නැවත වැඩම කිරීමකි.
වර්ෂ 2001මාර්තු 16 දා අන්තවාදී තලෙයිබාන්වරු විසින් ඇෆ්ගනිස්ථානයේ ඇති ලෝක උරුමයන් අතර මුල්තැන දරන බුදු පිළිම විනාශ කිරීම දියතම කම්පා කරවන ඛේදජනක ම්ලේච්ඡ සිදුවීමකි. එදිනම රම්බඩගල්ල මොනරාගල විහාරස්ථානය වෙත සංවේදී බෞද්ධයෝ එක්රොක් වූහ.
ඊට පසු උදාවූ පෝය දින ප්‍රාථමික අංශයේ දරු දැරියන් මේ පන්සලේ පෙහෙවස් සමාදන් විණි. ඒ කුඩා දරුවන් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පළමු දායකත්වය ලෙස රුපියල් 1358ක මුදලක් එකතු කර නාහිමියන්වෙත භාරදී ඇත. මේ මුදල් කුමකටදැයි නාහිමියන් විමසූ විට දරුවන් කියා ඇත්තේ මේ අර විනාශ කළ පිළිම වෙනුවට බුදු පිළිමයක් නෙළීම සඳහා මුදල් බවයි. මේ මහා නිර්මාණය කිරීමේ අරමුදල ආරම්භවන්නේ එතැනිනි.
අවසානයේ නාහිමියන් හට නුවර එළිය රම්බොඩ හනුමන් කෝවිලේ දී මීට සුදුසු නිර්මාණ ශිල්පියෙකු මුණ ගැස්සවීමට හැකි අයෙකු හමු වී තිබේ. ඒ කෝවිලේ පාලක සභාවේ සභාපති ඩී ඊශ්වරන් මහතාය. හෙතෙම නාහිමියන් සමඟ ඉන්දියාවට ගොස් මේ සඳහා දැනට ජීවත්වන විශිෂ්ඨ ගල් කැටයම්කරුවකුවන “පද්ම ශ්‍රී” ශිල්ප කලාමනි එම් මුත්තයියා ස්ථපති මහතා මුණ ගැහි මේ ගැන කතා බස් කොට තිබේ. ‘ස්ථපති මහතා කවදාවත් බුදු පිළිමයක් නෙළා නොතිබුණ ද ඔහු ලොව ඇති අලංකාර ම බුදු ිළිමය නෙලා දෙන බවට පොරොන්දු වී තිබේ.
ස්ථානය ඇසින් නොදුටුව ද යන මුදල අනුමාන වශයෙන් ගණන් සාදා ස්ථපති මහතා පවසා ඇත්තේ මෙම කාර්යයට ඉන්දියානු රුපියල් දශ ලක්‍ෂ දහයක් පමණ වැය වෙන බවකි. එම හමුවීමෙන් පසුව ස්ථපති මහතා මොනරාගල විහාරස්ථානයේ ගල් තලාව බැලීමට ලංකාවට පැමිණ ගල්තලාව දැකීමෙන් පසුව ස්ථපති මහතාගේ අදහස වෙනස් වී තීරණය කරගත් අඩි 50 ක පිළිමය අඩි 67.5 ක් දක්වා තවත් විශාල ලෙස නිමකරවීමට භාරගෙන තිබේ. පිළිමය නෙළීම ආරම්භ වන්නේ 2002 වසරේ සැප්තැම්බර් 13 වැනි දා වසරක් පුරා පැවැති පරිත්‍රාණ ධර්ම දේශනා මධ්‍යයේ ය.
රම්බඩගල්ල මොනරාගල විහාරයට කොළඹ සිට කිලෝ මීටර 116 ක් ද, අනුරාධපුර සිට කිලෝමීටර 115 ක්ද ඇත. කුරුණෑගලින් නුවර පාරේ කිලෝ මීටර් 04 ක් පමණ පැමිණ මල්ලවපිටිය හන්දියෙන් වමට හැරී කැප්පිටිගල පාරේ තවත් කිලෝමීටර් 20 ක් පමණ ගමන් කිරීමෙන් මොනරාගල විහාරස්ථානයට පැමිණිය හැකි ය. නැතහොත් දඹුල්ල මාතලේ පාරේ රුක්අත්තනගහ හන්දියෙන් දකුණු පසට ඇති මාර්ගයෙන් රිදීගමට ගොස් රිදීගම රම්බඩගල්ල මාර්ගයෙන් ගමන් කළත් මෙම පූජනීය භූමියට ළඟා විය හැකි ය.

Newer Post
Previous
This is the last post.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: විශාලතම ශෛලමය බුදුපිළිමය Rating: 5 Reviewed By: Unknown