728x90 AdSpace

Latest News
Tuesday 4 August 2015

පෝනෝග‍්‍රාපය (ග‍්‍රැමෆෝනය)


ශබ්දයක් පටිගත කිරීමේ සිට එය නැවත ප‍්‍රතිවාදනය කිරීම දක්වා වූ කාර්යයන් සිදුකළහැකි විදුලියාන්ති‍්‍රක උපකරණයකි. මෙහි පටිගත කිරීමේ කොටස වයිනයිල් තැටියක් ලෙස පවතින අතර එම තැටියේ වෘත්තාකාර ලෙස ඇලි සහ ඒවායේ බිත්ති ලෙස කුඩා ගැටිති පිහිටයි. ගීතයක් හෝ වෙනත් ශබ්දයක් ලෙස අප ලබාදෙන හඬ මෙම තැටිය මත ඇලියක් ලෙස සටහන් වෙයි. පෝනෝග‍්‍රාපයක ප‍්‍රධාන කොටස් 4 ක් දක්නට ලැබෙයි. භ‍්‍රමනතලය, ස්වරදණ්ඩ, ස්ටයිලසය, (ග‍්‍රැමෆෝන් කටුව) සහ විකාශන යන්ත‍්‍රයයි. නමුත් විකාශන යන්ත‍්‍රය සෑම විටම පෝනෝග‍්‍රාපයට සවි වී නොමැත.බ‍්‍රමණතලය ගීත තැටිය තැබීමට හැකි වෘත්තාකාර සමතල වේදිකාවක් සහිතය. විදුලි මෝටරයක කරකැවීම මගින් භ‍්‍රමණතලය මිනිත්තුවකට වට 33 1/3, 45 හෝ 78 වැනි නිශ්චිත වේගයකින් කරකැවේ. ස්වරදණ්ඩ, එහි නිදහස් කෙළවර තද දියමන්ති හෝ පච්ච ගලින් නිමකළ තුඩක් හෝ ඉඳිකටුවක් සහිත දණ්ඩකි. මෙම දණ්ඩේ කෙළවර ඇති ඉඳිකටු තුඩ කරකැවෙන තැටිය මත තැබූ විට එහි ඇති ඇලි හා ගැටිති හේතුවෙන් කම්පනය වීමට පටන් ගනී. එම කම්පනය එහි ඇති විශේෂිත උපකරණයක් මඟින් ග‍්‍රහණය කර ගනී. ඉන් පසු එම සංඥා ශබ්ද විකාශන යන්ත‍්‍රයක් ඔස්සේ ශ‍්‍රවණය කිරීමට හැකිය.
1877 දී ප‍්‍රථම ප‍්‍රායෝගික තත්ත්වයේ පෝනෝග‍්‍රාපය ඇමරිකාවේ තෝමස් අල්වා එඩිසන් විසින් නිෂ්පාදනය කෙරිණි. මෙහිදී ඉදිකටුවක් ස්පර්ශ වෙමින් කරකැවෙන සිලින්ඩරයක ශබ්දය පටිගත විය.  ඉඳිකටුව ඉහළ පහළ යන විට සිලින්ඩරයේ සීරීම් සලකුණු ලෙස ශබ්දය සටහන් විය. ඒවා ප‍්‍රති වාදනයේදී ඇති වන කම්පන කේතු ආකාර නලාවක් වැනි ශබ්ද වාහිනියක් ඔස්සේ ශබ්ද ලෙස ශ‍්‍රවණය කළ හැකි විය. එඩිසන් විසින් හඳුන්වා දුන් පෝනෝග‍්‍රාපය ප‍්‍රධාන වශයෙන් කාර්යාල වල පටිගත කිරිමේ කටයුතු සඳහා යොදා ගැනිණ. කෙසේ නමුත් 1887 දි එමිලි බර්ලිනර් විසින් සමතල තැටි පෝනෝග‍්‍රාපය හෙවත් ග‍්‍රැමෆෝනය හඳුන්වා දීමෙන් පසු ගීත පටිගත කිරීම් වැනි කලාත්මක කටයුතු සඳහා එය විශාල වශයෙන් යොදා ගැනෙන්නට විය. අලුතින් හඳුන්වා දුන් ග‍්‍රැමෆෝනයේ වේගය මිනිත්තුවකට වට 78 ක් විය. සිලින්ඩරාකාර පෝනෝග‍්‍රාප් වල මෙන්ම, එහිදීත් ශබ්දය ප‍්‍රති නිෂ්පාදනය වීම සිදුවූයේ කම්පන තරංග ඉඳිකටුවක් මඟින් ග‍්‍රහනය කරගෙන කේතු ආකාරයේ නලාවක් මඟින් පිට කිරීමෙනි.මෙහි සමහර දුර්වලතා පැවතුනත්, පෝනෝග‍්‍රාපය එක්සත් ජනපදයේ ඉතා වේගයෙන් ජනප‍්‍රිය විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඇමරිකානු සහ යුරෝපීය සමාගම් ඉතා විශාල වශයෙන් සංගීත තැටි නිෂ්පාදනය කිරීම ඇරඹීය.
යුරෝපය තුළත් පෝනෝග‍්‍රාපයේ විවිධ වෙනස්කම් සහිත නිර්මාණ එළි දැක්වෙන්නට විය. ප‍්‍රංශයේ දී වැඩි දියුණු වූ ග‍්‍රැමෆෝනයක් ද බිහි විණි.  මෙය එකල භාවිතා වූ සාමාන්‍ය ක‍්‍රමයට ප‍්‍රතිවිරුද්ධ ආකාරය විය. එමෙන්ම මෙහි වේගය මිනිත්තුවකට වට 90 ක් තරම් ඉහළ අගයක් ගෙන තිබිණි. එම යුගයේ භාවිත වූ වෙනත් ග‍්‍රැමෆෝන් වලට වඩා මෙම ග‍්‍රැමෆෝනයේ ශබ්දතත්ත්වය ඉතා ඉහළ මට්ටමක පැවතුණි. විට්සර්ලන්තයේ සමාගමක් විසින් කුඩා ප‍්‍රමාණයේ අතේ ගෙනයා හැකි පෝනෝග‍්‍රාපයක් නිපදවිමට සමත්විය. පෝනෝග‍්‍රාපය, නැතහොත් ග‍්‍රැමෆෝනය ලැබූ සාර්ථකත්වය නිසා එය තව තවත් වැඩි දියුණු වන්නට විය. 1920 දී පමණ පැරණි යාන්ති‍්‍රක සැකසුම් ඉවත් වන්නට පටන් ගත් අතර ඒ වෙනුවට විදුලියෙන් කි‍්‍රයාකරන පෝනෝග‍්‍රාප් බිහිවිය. ඉඳිකටු තුඩෙන් ලබා ගන්නා කම්පන තරංගයන් මෙම නව නිෂ්පාදනයේදී විශාල නලාව වෙනුවට විද්‍යුත්චුම්බක උපකරණයක් තුළින් ශබ්දය බවට පරිවර්තනය කෙරිණි. කෙසේ නමුත් මිනිත්තුවකට වට 78 ක වේගය තව දුරටත් භාවිතයේ පැවති අතර 1948 දී දිගු ධාවන පෝනෝග‍්‍රාප පැමිණි විට එම ක‍්‍රමය අභාවයට යන්නට විය.


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පෝනෝග‍්‍රාපය (ග‍්‍රැමෆෝනය) Rating: 5 Reviewed By: Unknown