728x90 AdSpace

Latest News
Tuesday 4 August 2015

සමහර කාන්තාවන් දැන නොසිටි කාන්තා දිනය


ඇය බලගැන්වෙන තරමට රට යහපත්ය.......කාන්තාවගේ සවිබලය ජාතියේ ජවයයි. බලයෙන් සන්නද්ධ කාන්තාව සමාජයේ පෙරගමන්කාරියයි. මේ ආකරයේ අදහස් කැටීවූ බැනර් පෝස්ටර් කටවුට් නගරයක් ගමක් පාසා විය. එමෙන්ම කාන්තා සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් වෙන්කොට සැලකීම සුරාකෑම හා අපයෝජනය වළක්වා ගැනීමේ හඬක් නැගුණු සම්මන්ත‍්‍රණයක්ද කොළඹ දී පැවැත්විණ.උක්ත විෂය පිළිබඳව ලියැවුණු මාර්ගෝපදේශක පොත් පෙළක්ද යුනිසෙෆ් ආයතනය මගින් විශාල වියදමක් දරා නිතුක් කොට තිබිණ.ඒ අනුව පසුගිය වසර වලට ඩවා මෙවර කාන්තා දින සැමරුම යම් තරමකට ප‍්‍රායොගික වු බවක් පෙනේ. එය කාන්තාවන් උදෙසාවූ සුබ දැක්මකි.මේ ආකාරයෙන් ඇගේ වටිනාකම ජවය ශක්තිය හා ඇප කැපවීම වෙනුවෙන් ප‍්‍රශස්ති ප‍්‍රණාම ලබා උණුසුම මැකි යන්නටත් පෙර කාන්තා දිනයට මෙවැනි පසුවදනක් එක් කරන්නට සිදුවිම කනගාටු දායකය. පෙර මුළු මහත් ලෝකයම සැමරූ තමන් වෙනුවෙන්ම තමන්ගේ සුබ සිද්ධිය උදෙසාම කැපවු කාන්තා දිනය පිළිබඳව වූ උනන්දුව වැදගත්කම මෙන්ම අදහස් ආකල්පයන්ද දැනගැනීම වැදගත්ය. එබැවින්ම මේ කතා බහට අප යොමු කර ගත්තේ වාත්තීය කාන්තාවන් පිරිසකි. ඒ තෝරා ගැනීම අප සාධාරණීයකරණය කරන්නේ වැඩියෙන්ම තාඩනයට පීඩනයට අසාධාරණයට මෙන්ම හිංසනයට ලක්වන්නේද සමාජය පිළිබඳව දැනුම් මිනුම් අවබෝධයන්ද ඇය තුළ පවතින බවට ඇති විශ්වාසය හේතු කොට ගෙනය. එසේ නම් කාන්තා දිනයක් වැඩි වැදගත්කම ඇත්තේ වෘත්තීක කාන්තාවන්ටය යන විශ්වාසයද තිබේ. විවිධ රැකියාවන්හි නියැලි කාන්තාවන් හතළීස්හය දෙනෙකුගෙන් මම එකම ප‍්‍රශ්නයක් විමසුවෙමි.මෙවර කාන්තා දිනයේ තේමාව වූයේ කුමක්ද? ඒ වෙනුවෙන් එල්ලා තිබුණ බැනර් කටවුට් වල සටහන් වූ එක් අදහසක් ඔබේ මතකයේ තිබේද?මෙන්න පිළිතුර.....නෑ.....දැක්කේ නෑ.....බැනර් එල්ලා තිබුණාද.....කාන්තාව ගැන නම් මොනවාද ලියලා තිබුණා තමයි එච්චර උනන්දුවෙන් බැලුවේ නම් නෑ.... මේ එකම කාන්නාවකට හෝ තමන්ගේම දිනය පිළිබඳව දැනුමක් අවබෝධයක් උනන්දුවක් වැදගත් කමක් ඇති පාටක් පෙනෙන්නට තිබේවිද? බොරුවක් නිග‍්‍රහයක් අවමානයක් නොවෙයි. මේක තමා තිත්ත ඇත්ත.....
මහරගම පැත්තේ එක්තරා කාන්තා සේවා ස්ථානයක ප‍්‍රධානියකු කාන්තා දිනය දවසේ සේවිකාවන් ටික වේලාසනින් යැව්වේ කාන්තා දින උත්සවයකට සහභාගි කරවන්නටය. මේ යුවතියන් පිරිස උත්සවය පැත්තක කියලා නුගේගොඩ පැත්තේ සාප්පු සාවාරියක් ගොස් තිබේ. කාන්තා දිනය දවසේ කටුනායක වෙළෙඳ කලාපයේ බෝඩිම් දෙකක තරුණියන් කෙස්වලු පටළා ගත් සුදුවීමකුත් ආරංචියි.මේ ගෝරිය උණුසුම් වෙද්දී එක්තරා ගුරුවරයෙක් ඉදිරිපත් වී සමතයකට පත් කළේ ඇයි දරුවනේ අද මේ කාන්තා දිනයේ දිවත් ඔයාලාට සමගියෙන් ඉන්නට බැරිදැයි ඇසමිනි. මේ තරුණියන් බෙහෙවින්ම ලැඡ්ඡාවට පත් වී ඇති අතර පසුව කළ කතා බහේ දී දැනගන්නට හැකි වූයේ එදින ජාත්‍යන්තර කාන්තා දිනය බව ඔවුන් නොදැන සිටි බවයි.මෙදින උදෑසනින්ම මහරගම ප‍්‍රදේශයේ පුද්ගලයකු කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ රජයේ කාර්යාලයකට පැමිණියේ තම දියණියගේ අධ්‍යාපන කටයුත්තක් සඳහා දත්ත වාර්තාවක් ලබාගැනීම සඳහාය. අයතනයට ඇතුල්වන දොරටුවේම කාන්තා දිනය සමරමු යනුවෙන් සඳහන් වූ බැනරයක් විය. අවශ්‍ය වාර්තා මුදල් ගෙවා ලබාගන්නා ලෙස උපදෙස් ලැබුණු හෙයින් අමුත්තා අදාළ කවුන්ටර්ය වෙත ගියේය. ඒ සඳහා ගාස්තුව වශයෙන් රුපියල් එකසිය එකොළහක් ගෙවීමට නියම විය. එහෙත් හැම සාක්කුවක්ම අතපතගෑවත් රුපියලේ කාසියක් සොයාගැනීමට ඔහුට නොහැකි විය. මේ නිසාම අමුත්තා රුපියල් එකසිය දහය කවුන්ටරයේ සිටි කාන්තාව වෙත ඉදිරිපත් කළේ මිස් රුපියලක් නම් නැහැනේ යන්න බැගෑපත්ව පවසමින්ය.“ රුපියලක් මගේ පර්ස් එකෙන් දාන්නද කියන්නේ “ යන්න මේ කාන්තාවගෙන් ඔහු ලද පිළිතුරයි. විජවර්ධන මාවතේ කඩ සාප්පු නැතිකම නිසාම මුදල් මාරුකර ගැනීම සදහා මරදාන ගාමිණී සිනමා හල හන්දියටම පැමිණෙන්නට මේ පුද්ගලයට සිදුවිය. අනේ මෙහෙමත් කාන්තා දිනයක් යැයි ඔහුට කියැවුණේ ඉබේටමය.කාන්තා දිනයට පසුදා කොළම මාළිගාවත්ත ප‍්‍රදේශයේ එක්තරා පුද්ගලයකු අප ඇමතීය. මහත්තයෝ කියන්න කනාගාටුයි. මේ කාන්තා දිනය ගැන හුගක් කාන්තාවන් දැනුවත් වෙලා නැති පාටයි. මම රැකියාව කරන්නේ කාන්තා කටයුතු වලට සම්බන්ධ එක්තරා ආයතනයකයි. මාර්තු 7 දා මහ රෑ වනතුරුම නගරය පුරා බැනර් පෝස්ටර් එල්ලන්න අපේ කට්ටියට පැවරුණා. ඒ කටයුතු ඉවරවෙලා ගෙදර ගියා විතරයි බිරිය ඇඟට කඩාගෙන පැන්නා. මම කිවුවා ඔයාලාගේ විමුක්තිය වෙනුවෙන් පෝස්ටර් ගහන්න ගියා රෑ වුණත් ඒකයි කියලා.අනේ! ඔයා ඔය කියන තුරුම මම දන්නෙ නෑනේ හෙට කාන්තා දිනය කියලා. ඊයේ අපේ කාන්තා සමිතියේ රැස්වීම වෙලාවේදීවත් කවුරුවත් ඔය ගැන කතා කළෙ නැහැනේ. මේ මගේ බිරියගෙන් ලද පිළිතුරුයි.
කාන්තාවන් සිය දහස් ගණන් රැකියාව කරන නිදහස් වෙළෙඳ කලාපවල තරුණියන් අතළොස්සක් හැරෙන්නට කාන්තා දිනය ගැන බොහෝ දෙනකු දැනුවත් වෙලා හිටියේ නෑ. අඩුතරමින් මේ කර්මාන්තශාලාවල බලධාරීන් හෝ එවැනි මතක් කිරීමක් කර නැහැ. ඒ වෙනුවට සමහර ආයතන මහ රෑ වන තුරුත් සේවය ලබාගත් බවට පැමිණිළිත් තිබෙනවා. ලෝකයේ සමහර රටවල ජත්‍යන්තර කාන්තා දිනය සැමරූ ආකාරය ප‍්‍රශංසනීයයි. ඒ වගේම ඊට පුරුෂ පක්‍ෂයේ දායකත්වය ලැබූ සැටින් සමස්ත කාන්තාවටම ආඩම්බර විය හැකි කරුණක්. නවසීලන්තයේ සැමියෙක් කාන්තා දිනය වෙනුවෙන් තමන්ගේ බිරියට මල්පොරකුත් පිළිගන්වා ආචාර කළ ආකාරය රූපවාහිනී මාධ්‍යකින් දුටුවා. එමෙන්ම නේපාලයේ තරුණයන් දෙදෙනකු තම මවට සුබ කාන්තා දිනයක් වේවා යන්න ප‍්‍රාර්ථනා කරනු දැක්කා. බෙහෙවින්ම සංකරවූ කාන්තා සමාජයක් සිටින හොංකොං රටේ කෝස්වේබේ ප‍්‍රදේශයේ තරුණියන් පිරිමින් වෙනුවෙන් සිසිල් පැන් සංග‍්‍රහක් පැවැත්වුවා.  එහෙත් අපේ බොහෝ කාන්තාවන්ට මාර්තු 8 දා වැදගත් නොවුයේද එසේත් නැත්නම් දැනුවත් නොවුයේද යන්න විමසා බැලිය යුතු කරුණකි.කාන්තා දිනයට සතියකට පමණ පෙර සිටම අප පුංචි පහේ අධ්‍යයනයක නිරතවීමු. ඒ කාන්තාවන් වැඩිවශයෙන් සේවයේ නියුක්ත ආයතන කිහිපයක්ම අමතමින් ඔවුන් විවේකී වෙලාවට කතාබහ කරන කියන දේ පිළිබඳව විමසිල්ලෙන් පසුවී අපට දන්වන ලෙසටය. අරමුණ පැහැදිලි කිරීමෙන් පසුව බොහෝ ආයතන හිමියෝ හරිම කැමැත්තෙන් ඊට සහයෝගය පළකළහ. අපගේ අවශ්‍යතාව බවට පත්ව තිබුණේ කාන්තා කතාබහ අතරට කාන්තා දිනය මාතෘකාවක් බවට පත්වේවිද යන්න සොයා බැලිමය. මේ පිළිබඳව ආයතන 14 කින් අප තොරතුරු ලබාගන්නට සමත් වීමු. ඒ අනුව කාන්තා දිනය පිළිබඳව එම සතිය තුළදී සේවක සාමිච්චියට යොමු කොට ඇත්තේ ආයතන දෙකක සේවිකාවන් පමණි. එයත් එදිනෙට කෙටි නිවාඩුවක් ලැබේදෝ යන කතාබහකි.මේ කාන්තාවෝ වැඩි වශයෙන්ම කෑම විරාමය තුළදී කතා බහට ලක් කරන්නේ කලින් දින රාති‍්‍රයේදී නැරඹු ටෙලිනාට්‍ය හා ගී ප‍්‍රසංග පිළිබඳවය. එක්තරා නාළිකාවක දිනපතාම පැය ගණනක් විකාශය වන ටෙලි නාට්‍ය මාලාවක චරිතද එක්තරා ආධුනික ගී ප‍්‍රසංගයක් ගැන හා ඒවයේ අහුමුළුද මේ දිනවල ඔවුන්ගේ ඕපාදුපයේ ප‍්‍රධාන මාතෘකා බවට පත්ව තිබේ. තමන්ගේම විමුක්තිය හා සුරක්‍ෂිතභාවය වෙනුවෙන් හඩ නැගෙන තමන්ගේ සුබසාධනය උදෙසාම කැපවූ කාන්තා දිනය ගැන කතාබහක් නම් ඇසුණේ නැත. කාන්තා පාර්ශවය මේ තරම් අභියෝගයට සුරාකෑමට හා අනාරක්‍ෂාවට පත්ව සිටින මෙවැනි යුගයක ඇගේ උදාසීන බව ඇගේ මතු දවසට බෙහෙවින්ම අයහපත්ය. එබැවින් වාර්ෂිකව පවත්වන කාන්තා දිනය මීට වඩා ඔබේ අවධානයට හා උනන්දුවට යොමු කරගෙන ඒ තුළ ප‍්‍රායෝගික වීම කාන්තා ඔබේ හෙට කල දවසට සවියක් වනු ඇත.
ඇන්ටන් සැම්සන්


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සමහර කාන්තාවන් දැන නොසිටි කාන්තා දිනය Rating: 5 Reviewed By: Unknown